
බුධ මණ්ඩලයේ හා ඉහළ කුජ මණ්ඩලයේ පහත කොටසේ සිට මැණික් කටුව ප්‍රදේශයේ ඉහළ කොටස දක්වා වූ ගොඩැලි ප්‍රදේශය චන්ද්‍ර මණ්ඩලය හෙවත් සඳු ග්‍රහයාට අයත් ප්‍රදේශය වේ. ධාරණ ශක්තිය, කාරුණික බව, විදේශ ගමන්, තැන්පත්කම ආදී ගුණාංගයන් චන්ද්‍ර මණ්ඩලය මඟින් පෙන්නුම් කරයි. මේ නිසා සඳු හෙවත් චන්ද්‍රයාගේ සෞම්‍ය ගුණය ද චන්ද්‍ර මණ්ඩලයේ පිහිටීම අනුව පුද්ගලයා තුළින් දැකිය හැකිය. මනාව පැහැදිලිව ප්‍රබලව චන්ද්‍ර මණ්ඩලයක් පිහිටා ඇති අය බොහෝ විට දයාව, කරුණාව ආදී යහගුණයෙන් යුතු අය වන අතර ඔවුහු හැම විටම අන් අයට උදවු උපකාර කිරීමට උනන්දු වන අය වෙති. චන්ද්‍ර මණ්ඩලය පිරුණු බවින් යුතුව ප්‍රබල වූ තරමටම එහි ඵලදායි බවක්, වාසනාවක් පෙන්නුම් කරයි. ප්‍රබල නොවී නම් නැතිනම් චන්ද්‍ර මණ්ඩලය පහත් වූ ආකාර නම් ප්‍රතිඵල ද හීන වේ.
මෙම මණ්ඩලයෙන් ලම්බාකාර රේඛාවක් (ඉහළට විහිදුන) වැටී අැත්නම් එම මණ්ඩලයේ වැදගත්කම වැඩියෙන් කැපී පෙනේ. එවිට ඔවුන්ගේ පරිකල්පන ශක්තීන්ගේ දියුණුව පෙන්නුම් කරන අතර ඔවුන් හට වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට ද හැකි වෙයි. චන්ද්‍ර මණ්ඩලය කුඩාව, දුර්වලව ඇතිනම් චන්ද්‍රයාගෙන් ලැබෙන ගුණාංගයන් ද හීන වේ. බොහෝ විට ඔවුන් නිකරුණේ කාලය ගත කරන අලස බවක් පෙන්නුම් කරන අය වෙති. බොහෝ දේවල් ගැන සිහින මවන නමුත් එම සිහින සැබෑ කර ගැනීමට උනන්දු නොවීම ඔවුන් තුළ ඇති ලොකුම දුර්වලකමකි. ක්ෂණික කෝප සහගත බවද හැමවිටම ප්‍රදර්ශනය කරති. යම් කාර්යක් ගැන නිශ්චිත තීරණයක් ගැනීමටද අපොහොසත් වෙති. ගුප්ත දේවල් කෙරෙහි වැඩි විශ්වාසයක් තබන ඔවුහු කපටි පුද්ගලයන්ගේ රැවටිලිවලටද බොහෝ විට අසු වෙති.
චන්ද්‍ර මණ්ඩලය ප්‍රබල වූ තරමට ඔවුන්ගේ ජීවිතය ද උසස් තත්ත්වයකට පත් වෙයි. අධ්‍යාපනයට හා විවිධ න්‍යාය ශාස්ත්‍රයනට ඇලුම් කරන ඔවුහු ඥාන කෝෂයක් හා සමාන වෙති. ආගමික කටයුතු කෙරෙහි වැඩි භක්තියක් හා ලැදියාවක් දක්වන ඔවුන් නින්දට හා ප්‍රිය ආහාරවලට ලොල් බවක් දක්වති. ඉතා ඉක්මනින් වෙනස් වන ගතිගුණ ඇති බැවින් මෙවැනි අයගේ ක්‍රියාවන් පිළිබඳව පූර්ව නිගමනයකට ගත හැකි නොවේ. මෙම ගුණය නිසාම මොහොතකින් සියලු කරදර අමතක කොට සිනහමුසු මුහුණින් සිටීමට චන්ද්‍ර මණ්ඩලය ප්‍රබලව පිහිටා ඇති පුද්ගලයන්ට හැකියාව ලැබෙයි. ඉතා කුඩා කරුණකදී වුවත් කලබල වන ඔවුහු තමන්ගේ හැකියාවන් පිළිබඳව පවා සැක පහල කර ගනිති. මෙය ඔවුන්ගේ දියුණුවට සැබෑ බාධකයක් වෙයි. කෙසේ වුවත් චන්ද්‍ර මණ්ඩලය අප්‍රකටව උඩට නෙරීමක් නොමැතිව හෝ එක ප්‍රමාණයට සමතලාව පිහිටීම හෝ දුර්වල චන්ද්‍ර මණ්ඩලයක් ලෙස හඳුන්වයි.
දැල් සලකුණ, දූපත් සලකුණ, තිත්, හරස් ඉරි ආදිය මණ්ඩලය මතුපිට ඇතිවී තිබීමද දුබල වීමේ ලක්ෂණයක් ලෙස සලකයි. මේ අයුරින් චන්ද්‍ර මණ්ඩලය දුර්වල වූ විට පුද්ගලයන් තුළ පහත් ගතිගුණ පිහිටයි. රාගයෙන් දැවෙන සිත් ඇති ඔවුන් මන්ද බුද්ධිකයන් විය හැකිය. කෙතරම් උසස් ලෙස ඔවුනට සැලකුවත් එයට කෘතගුණ සැලකීමක් නම් ඔවුන් වෙතින් ඉටු නොවේ. මානසික තත්ත්ව දුර්වල ඔවුන්ගේ මුවින් පිටවන වචන අන්‍යයන්ගේ සිත් රිදවීමට හේතු වේ. මහජනයාගේ පිළිකුලට හැම විටම ලක් වේ. දුරදිග නොබලා කටයුතු කරන ඔවුන් කිසිම විටෙක විශ්වාසය තැබිය හැකි පුද්ගලයන් නොවේ. එසේ වුවත් අල්ලේ පාට තද හෝ මෘදු බව, නියවල පාට, ඇඟිලි, ඇඟිලි තුඩු, ජීවන, ශීර්ෂ, සුඛ රේඛාවල සුබ අසුබතාව පිළිබඳවද නිරීක්ෂණය කර පලාපල නිගමනය කළ යුතුය. සුබ පිහිටීම් ද දැකිය හැකි නම් චන්ද්‍ර මණ්ඩලයේ දුබලතාවන් අවම වේ.
චන්ද්‍ර මණ්ඩලය ප්‍රමාණය ඉක්මවා විශාල වීමද සුබ නොවේ. සිතට නැඟෙන හැමදේම කරන ඔවුන් කාමාතුරය. බෙහෙවින් චපල ගති ඇත්තෝය. ඇතැම් විට උමතු වූවෙකු මෙන් ක්‍රියා කරයි. හැම දෙනාම සැක කරයි. නාවිකයන්, සංගීතඥයන්, කවියන්, ලේඛකයන්, දක්ෂ ව්‍යාපාරිකයන්, පූජකවරුන් ආදී අය චන්ද්‍ර මණ්ඩලය බලවත් වූවන් අතර වෙති. චන්ද්‍ර මණ්ඩලය දුබල වූවන් අතර සුරා සොඬුන්, අනාචාරයේ හැසිරෙන්නන්, අනුන්ගේ දොස් පතල කරන්නන්, නිකරුණේ කාලය ගත කරන්නන් ආදීහු වෙති. චන්ද්‍ර මණ්ඩලය දුබල වූ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වයද සතුටුදායක නැත. ජීවන රේඛාව කැපී හෝ කැඩී ඇති අතක චන්ද්‍ර මණ්ඩලයෙහි කවාකාර සටහනක් හෝ තරු සටහනක් වී නම් දියේ ගිලීමෙන් මරණය සිදු විය හැකිය.
මීළඟට සිකුරු මණ්ඩලය