
ජ්‍යොතිෂවේදී ග. මු. සුබසිංහ
වර්ණය කළු පාටින් ද හැඩය අනුව මුං, මෑ, තල හා උඳු ඇට ප්‍රමාණයෙන් ද උපන් ලප ස්ත්‍රී පුරුෂ බේදයක් තොරව සෑම ශරීරයකම විවිධ අවයවවල අඩුම වශයෙන් එකක්වත් පිහිටා තිබේ. අල්ල මත පිහිටි රේඛා බලා කෙනෙකුගේ ගතිගුණ කීමට පුළුවන් වන්නාක් මෙන් ශරීරයේ පිහිටි උපන් ලපවලින් ද විවිධ ගතිගුණ කීමට පුළුවන.
ගැහැනුන්ගේ වම් පැත්තේ ද, පිරිමින්ගේ දකුණු පැත්තේ ද උපන් ලප යහපත් බව පෙර සෘෂිවරුන් පවසා ඇත. කෙනෙකුගේ දුක මෙන් ම සැප ද හොඳ මෙන්ම නරකද ආදී විවිධ ගතිගුණ උපන් ලප ශාස්ත්‍රයෙන් දැනගත හැකිය. ඒ අනුව ශරීරයේ විවිධ ස්ථානවල පිහිටි උපන් ලප ගැන ජ්‍යොතිෂයෙහි මෙලෙස සඳහන් වේ.
හිසේ උපන් ලපයක් තිබේ නම් - රටක් රාජ්‍යයක් රැකීමට තරම් බලයක් ලැබේ. එවැනි ලප පිහිටා තිබෙන අය පණ්ඩිතයෙකු වන්නේ ය.
නළලේ උපන් ලපයක් තිබේ නම් - තවුස්දම් පිරීමට උපකාර වන අතර දැඩි ආගමික භක්තියක් ඇති අයෙකු වේ. මෙවැනි පුද්ගලයන් ඔවදන් දෙමින් යහපත් චේතනාවෙන් සමාජයේ ජීවත් වෙයි.
කනේ උපන් ලපයක් තිබේ නම් - බොහෝ කල් ජීවත්වීමට වාසනා බලයක් ලැබේ. මේ අය නෑදෑයන් සමඟ වැඩි ඇසුරක් දක්වන්නේ නැත.
ඇහි බැමේ උපන් ලපයක් තිබේ නම් - ඔහුගේ හෝ ඇයගේ විවාහය හිතුවක්කාර ලෙස අවසන් වේ.
කම්මුලේ උපන් ලපයක් තිබේ නම් - නම්බුව මෙන් ම තණ්හාවට කැමැතිය. නිතර සෙම රෝගවලට ලක් වේ. රාගික හැඟීම් මතු කරයි.
නළලේ උපන් ලපයක් තිබේ නම් - සෙල්ලක්කාර ජීවිතයක් ගත කරයි. සැහැල්ලුවෙන් ජීවත් වේ.
උඩු තොලේ උපන් ලපයක් තිබේ නම් - ස්ත්‍රියකගේ පිහිටා තිබේ නම් ඇගේ සැමියා වෙන් වේ. පුරුෂයෙකුගේ පිහිටා තිබේ නම් ඔහුගේ බිරිය වෙන් වේ.
යටි තොලේ උපන් ලපයක් ඇති කත - පිරිමියෙක් කිසි දිනෙක කැමැති වන්නේ නැත.
බෙල්ලේ උපන් ලපයක් තිබේ නම් - සල්ලාල ජීවිතයකට යොමු වේ.
උර හිසේ උපන් ලපයක් තිබේ නම් - එකතු කළ ධනය විනාශ වේ.
අතේ උපන් ලපයක් තිබේ නම් - නිතර කරදරවලට මුහුණ දෙයි
පපුවේ උපන් ලපයක් තිබේ නම් - හිතේ එඩිතර ගතියක් තිබේ.
පයෝදරවල උපන් ලපයක් තිබේ නම් - කෙළිලොල් ජීවිතයකට ප්‍රිය කරයි. එයට පිරිමින් වැඩි කැමැත්තක් දක්වයි.
බඩේ උපන් ලපයක් තිබේ නම් - අධ්‍යාපනය මඟදී බිඳ වැටෙයි.
කොන්දේ උපන් ලපයක් තිබේ නම් - වැඩි ධනයක් නොලැබෙන අතර කෙනෙකු යටතේ ජීවත්වීමට සිදු වේ.
අල්ලේ උපන් ලපයක් තිබේ නම් - චරිතය පිරිසිදු වුවත් නිදන්ගත රෝග ඇත.
ඇඟිලිවල උපන් ලපයක් තිබේ නම් - කඩිසර ගතියක් නැති චරිතයකි.
යටි බඩේ උපන් ලපයක් තිබේ නම් - ධන සම්පත් වැඩි කරයි. නොසිතූ ලෙස ගුප්ත ධනයක් ලැබේ.
තට්ටමේ උපන් ලපයක් තිබේ නම් - නරක මිනිසුන් ඇසුරට නොයන චරිතයකි.
ලිංගයේ හා යෝනියේ උපන් ලපයක් තිබේ නම් - කම්සැප හා කාමුක හැඟීම් පහළ වී සල්ලාල ජීවිතයක් ගත කරයි.
පාදයේ උපන් ලපයක් තිබේ නම් - ලේ කුපිත වෙන රෝග සෑදෙයි.
යටි පතුලේ උපන් ලපයක් තිබේ නම් - තදබල අපල ගෙන දෙන කාලයකි.
මෙසේ පොදුවේ උපන් ලපවලින් ගතිගුණ පවසා ඇතත් ඒ ගැන පුළුල් පර්යේෂණයක් කරන අයෙකුට වටිනා තොරතුරු රැසක් තව සොයා ගත හැකිය.