ඉකුත් දා ශ්‍රී ලාංකික විද්වතකු පිළිබඳ අපූර්ව පුවතක් විදෙස් මාධ්‍ය තුළ සටහන්ව තිබුණි. ඒ සුප්‍රකට තාරකා හා භෞතික විද්‍යා මහාචාර්යවරයකු වූ රේ ජයවර්ධන පිළිබඳවය. හෙතෙම අමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ 16 වැනි ප්‍රධානියා ලෙස පත්කර තිබේ. ඒ අනුව ඔහු 2023 ඔක්තෝබර් 15 වැනිදා සිට එහි සේවය කිරීමට නියමිතය. මෙම පත් කිරිමට ප්‍රථම හෙතෙම කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ විද්‍යා සහ කලා අංශයේ 22 වැනි අංශාධිපති හා අභ්‍යවකාශ පිළිබඳ මහාචාර්යවරයා ලෙස සේවය කළේය.
කෝර්නෙල් විශ්වවිද්‍යාලයට එකතු විමට පෙර මහාචාර්ය රේ ජයවර්ධන කැනඩාවේ යෝර්ක් විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨාධිපති සහ භෞතික විද්‍යාව හා තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ලෙස සේවය කළේය. ඔහු ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ද දශකයක පමණ කාලයක් සේවය කළ අතර කැනඩාවේ පර්යේෂණ සභාපතිවරයකු, තාරකා විද්‍යාව හා තාරකා භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු මෙන්ම විද්‍යා කටයුතු සඳහා ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙස ද සේවය කර ඇත. එසේම මිචිගන් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයකු ලෙස ද සේවය කර ඇත.
ශ්‍රී ලංකාවේ දී උපත ලැබූ රේ ජයවර්ධන, පාසල් අධ්‍යාපනය සඳහා යොමු වූයේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයටය. අනතුරුව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වූ හෙතෙම තාරකා විද්‍යාව කෙරෙහි වැඩි ඇල්මක් දැක් වීය. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි හෙතෙම වැඩි දුර අධ්‍යාපනය සඳහා අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියේය. එහිදී යේල් සරසවියට ඇතුළත් වූ ජයවර්ධන තරුණයා එහිදී තාරකා විද්‍යාව සහ භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය හිමි කරගත්තේය. ඉන් නොනැවතුනු හෙතෙම අනතුරුව හාවඩ් සරසවියට ද ඇතුළත් විය. එහිදී විද්‍යා දර්ශනපති උපාධිය ලබා ගත්තේය. හාවඩ් සරසවියේ ඉගෙන ගන්නා කාලයේදී හේ තාරකාවක් වටා පැවති දුහුවිලි වලාවක් සොයා ගැනීමට සමත් විය.
පසුකාලයේදි ජයවර්ධන කියා සිටියේ කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ "විශිෂ්ට විද්වතුන්ගේ ප්‍රජාවේ" කොටසක් වීමට තමන්ට ඉඩප්‍රස්තාව ලැබීම ගැන බෙහෙවින් සතුටට පත් වූ බවයි.
කලා අධ්‍යාපනය හැදෑරීමට ඇති ආශාව තමන් හැදී වැඩුණු ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපදයට යාමට ප්‍රධාන හේතුවක් වූ බව ද එහිදී ඔහු පවසා තිබුණි.
2018 සැප්තැම්බර් 1 දින සිට කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ විද්‍යා සහ කලා අංශයේ 22 වැනි අංශාධිපති හා අභ්‍යවකාශ පිළිබඳ මහාචාර්යවරයා ලෙස සේවය කළ හෙතෙම, විශ්වවිද්‍යාලයේ වඩාත්ම ශාස්ත්‍රීය වශයෙන් විවිධ වූ අංශ කෙරෙහි සිසුන් නැඹුරු කළ සුවිශේෂී මඟ පෙන්වන්නකු වූ බව හිටපු අධ්‍යාපන ප්‍රධානි මයිකල් කොට්ලිකොෆ් පවසා තිබුණි. එසේම ඔහු පවසා තිබුණේ මහාචාර්ය රේ ගේ නායකත්වය යටතේ, කලා හා විද්‍යාව උගත් ඉහළ පීඨවල පර්යේෂකයන් සහ සිසුන් මෙම විෂයන් කෙරෙහි ආකර්ෂණය කර ගනිමින් ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කළ බවයි.
එසේම විශ්වවිද්‍යාල පුරා රැඩිකල් සහයෝගීතා හැඩගැස්වීමේදීත්, විවිධ විමර්ශන ක්ෂේත්රවල සොයාගැනීම් ප්‍රවර්ධනය කිරීමේදීත් ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බවයි. “වසර ගණනාවක් පුරා, මම විවිධ විෂයයන්වල සගයන් සමඟ සම්බන්ධ වීමට අවස්ථා සොයමින් සිටියෙමි, එබැවින් එය පුද්ගලික මට්ටමින් උද්ගීමත් අපේක්ෂාවක් වූ බව ඔහු තවදුරටත් පවසා තිබුණි.
"මහාචාර්ය ජයවර්ධන ශාස්ත්‍රීය වශයෙන් කැපී පෙනෙන අයෙක් වන අතර ශාස්ත්‍රීය නායකත්වය පිළිබඳ විශිෂ්ට අත්දැකීම් ඇති අයකු බව" හිටපු ප්‍රධානී මයිකල් කොට්ලිකොෆ් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි. "ඔහු මානව ශාස්ත්‍රය, විද්‍යාවේ හා සන්නිවේදනයේ සැලකිය යුතු පසුබිමක් සමඟ පුළුල් ලෙස පුහුණුව ලබා ඇති, ඔහු අයාසයකින් තොරව ශිෂ්‍ය විනය පවත්වා ගෙන යයි."
පීඨාධිපතිවරයා පත්කිරීමේ කමිටුවේ සාමාජිකයකු වන ස්නායු ජීව විද්‍යාව සහ හැසිරීම් පිළිබඳ මහාචාර්ය රොබට් රගුසෝ පැවසුවේ “ජයවර්ධන විශ්වවිද්‍යාලය තුළ ප්‍රබල උපදේශකයකු වනු ඇතැයි කමිටුවට හැඟී ගිය බවයි.
විශාරදයකු ලෙසත් පරිපාලකයකු ලෙසත් රේගේ අසාමාන්‍ය නිර්මාණ ශක්තියෙන් කමිටුව පැහැදුණා”, රගුසෝ ද සන් මාධ්‍ය වෙත පවසා තිබුණි.
නව පීඨාධිපතිවරයකු ලෙස ඔහු මුහුණ දෙන අභියෝගවලට කල්පනාකාරී ප්‍රතිචාර දැක්වීමට හැකි අයකු විය.
“ඔහු මේ සියල්ල කර තිබුණේ තමාගේම සාරවත් පර්යේෂණ වැඩසටහනක් පවත්වා ගෙන යන අතරතුරය. එසේම මහජනයා මේ පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා ලිවීම් කටයුතු දිගටම කරගෙන යන අතරවාරයේදීය. මේ පිළිබඳ අදහස් දක්වමින් මහාචාර්ය රේ ජයවර්ධන ප්‍රකාශ කර තිබුණේ “මෙවැනි විශිෂ්ටගනයේ විශ්වවිද්‍යාලයක් තුළ ආශ්වාද ජනක සගයන් සහ කාර්යමණ්ඩලයකට නායකත්වය ලබාදීමට හැකි විමත්, අසාමාන්‍ය දක්ෂතාවයන්ගෙන් පිරිපුන් සිසුන් පිරිසකට සහයෝගය දැක්වීමට ලැබීමත් තමන් ලද භාග්‍යයක් බවය.”
හෙතෙම පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ උපායමාර්ගික ප්‍රමුඛතා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කර තිබුණි. පර්යේෂණ, නිර්මාණාත්මක විශිෂ්ටත්වය, අධ්‍යයන නවෝත්පාදන, ශිෂ්‍ය අත්දැකීම්, මහජන සහභාගීත්වය සහ බලපෑම, නවක පීඨ සඳහා සාමාජිකයන් 90කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගැනීම සහ පනහකට අධික මහාචාර්ය පදවි සඳහා පත්වීම් ලබාදීම ඔහු විසින් අධීක්ෂණය කර තිබුණි.
විද්‍යාර්ථීන්ට නව උපාධි විෂය මාලාවක් හඳුන්වාදීමට පියවරගත් හෙතෙම ඇතුළත් වන සියලුම සිසුන්ට පළමු වසරේ උපදේශන සම්මන්ත්රණ හඳුන්වා දුන්නේය. එසේම කොරනෙල් ජෙබ් ඊ. බෲක්ස් රාජ්‍ය ප්‍රතිපත්ති පාසල , සමාජ විද්‍යාව සහ මනෝවිද්‍යාව පිළිබඳ “ප්‍රධාන දෙපාර්තමේන්තුව” පිහිටුවීම මෙන්ම ආර්ථික විද්‍යා අධ්‍යයන ක්ෂේත්රය පුළුල් කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඔහු විසින් ඉටු කර තිබුණි.
දේශගුණය, කෘත්‍රිම බුද්ධිය සහ ක්වොන්ටම් පර්යේෂණ පිළිබඳ “වැදගත් අදහස්” විශ්වවිද්‍යාලය පුරා සිටින පීඨාධිපතිවරුන් සහ පීඨ සමඟ හවුල් වී අධ්‍යයනය කිරීමට හෙතෙම මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. පර්යේෂකයකු ලෙස හෙතෙම සෞරග්‍රහ මණ්ඩලවල සම්භවය, ග්‍රහලෝකවල විවිධත්වය පිළිබඳව හා ඒවායේ ජීවය පැවතීමේ ඉඩ ප්‍රස්තාව පිළිබඳ නොයෙකුත් පර්යේෂණ රැසක නිරත ව තිබේ. විශේෂයෙන්ම, ඔහුගේ කණ්ඩායම හවායි හි නිරීක්ෂණාගාරය සහ මෑතකදී දියත් කරන ලද ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ඇතුළු විශාලතම දුරේක්ෂ භාවිත කරමින් පෘථිවියේ සහ අභ්‍යවකාශය පිළිබඳ නිරීක්ෂණය කරමින් විශ්වයේ ජීවය පිළිබඳ අපේක්ෂාවන් විමර්ශනය කළේය. ඒ සඳහා බාහිර ග්‍රහලෝකවල දුරස්ථ සංවේදන යෙදවීමට හේ මුල්වී තිබේ.
මහාචාර්ය රේ ජයවර්ධනගේ පර්යේෂණ, ලේඛන සහ ව්‍යාපෘති සඳහා ලැබී ඇති ගෞරව අතර, ගූගන්හයිම් සහ ස්ටේසි සාමාජිකත්වය, අමෙරිකානු භෞතික සංගමයේ නිකල්සන් පදක්කම, අමරිකානු තාරකා විද්‍යා සංගමයේ ග්‍රහලෝක විද්‍යා අංශයෙන් කාල් සේගන් පදක්කම ආදිය වේ. ඔහුට කාල් සේගන් පදක්කම පිරිනමන ලද්දේ ග්‍රහ විද්‍යාවේ මහජන සන්නිවේදනය සඳහා ඔහුගේ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් ය.
විද්‍යා ලෝකයේ දැනුම සොයනවාට අමතරව විද්‍යා දැනුම සාමාන්‍ය මහජනයාට සමීප කරවීමටත් මහාචාර්ය රේ ජයවර්ධන කටයුතු කර ඇත.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය මඟින් කළ ඇරැයුම පිළිගත් මහාචාර්ය රේ ජයවර්ධන පවසා සිටියේ
"ජෝන්ස් හොප්කින්ස් ධෛර්ය සම්පන්න අභිලාෂයන් සහ දැවැන්ත ප්‍රවේගයකින් යුතුව කැපී පෙනෙන මාවතක ගමන් කරන විශ්වවිද්‍යාලයක් බවයි. මෙම අති විශේෂ ගතික ප්‍රජාවට සහ හවුල්කරුවන්ට සම්බන්ධ වීමට ලැබීම ගැන තමන් සතුටු වන බවයි. මෙම විශ්වවිද්‍යාලයේ විශිෂ්ටත්වය සහ එහි අධ්‍යයනයන් මඟින් නූතන විද්‍යා ක්ෂේත්රයට කරන බලපෑම තවදුරටත් ඉහළ ගෙන යෑමට මේ මහඟු අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට තමන් බලාපොරොත්තුවන බවයි. එසේම තමා ලද අවස්ථාව ඉතා නිහතමානීව සහ උද්යෝගයෙන් භාර ගන්නා බවත් තාර්කික චින්තනයකින් යුතු කාර්යශූර නව පරපුරක් ගොඩ නැඟීමට තමාට හැකි අයුරින් සහාය වන බවත් මහාචාර්ය රේ ජයවර්ධන පැවසීය.
හෙතෙම නිව්යෝර්ක් ටයිම්ස්, ඉකොනොමිස්ට්, වෝල් ස්ට්‍රීට් ජර්නල්, ද වොෂින්ටන් පෝස්ට් වැනි ප්‍රකාශන සඳහා ලිපි 250කට වඩා රචනා කර ඇති අතර “අමුතු නව ලෝක” (Strange New Worlds 2011) සහ “නියුට්රිනෝ හන්ටර්ස්”(Neutrino Hunters 2013) ඇතුළු පොත් කිහිපයක් ද ලියා පළ කර ඇත. ළමයින් වෙනුවෙන්ම අලංකාර ඡායාරූප යොදා නිර්මාණය කළ ඔහුගේ නවතම කෘතිය "විශ්වයේ දරුවා" නමින් 2020දී ප්‍රකාශයට පත් කර ඇත.
ජයවර්ධනගේ වෙබ් අඩවියට අනුව "The Planet Hunters" රූපවාහිනී වාර්තා චිත්‍රපටය ඔහුගේ Strange New Worlds කෘතිය ඇසුරෙන් නිර්මාණය වූවකි.
මහාචාර්ය රේ ජයවර්ධන ලැබූ මේ ගෞරවනීය අවස්ථාව ශ්‍රී ලාංකිකයන් ලෙස අපට ද මහත් ආඩම්බරයකි.