අමෙරිකාව කැලඹූ පිටසක්වළ යානා හා ජීවීන්ගේ අබිරහස | සිළුමිණ

අමෙරිකාව කැලඹූ පිටසක්වළ යානා හා ජීවීන්ගේ අබිරහස

ජිප්සීස්ලා ‘කුරුමිට්ටෝ‘ ගීතය එළිදැක්වූයේ අසූව දශකයේ මුල් භාගයේදීය. එවකට කුඩා දරුවන් වූ අප කුරුමිට්ටෝ ගීතය ඇසීමෙන් සිතෙහි උපන් කුතුහලය නිසාම රාත්‍රී කාලයේ රංචු ගැසී මුව අයාගෙන හිස් අහසට නෙත් යොමා සිටියේ පාවෙන පීරිසියක් දැක බලා ගැනීමේ බලාපොරොත්තුවෙනි. කුරුමිට්ටෝ ගීයට අනුව පාවෙන පීරිසි පැමිණෙන්නේ පිටසක්වළ සිටය. පෘථිවියට ආසන්නයේම පිහිටි ග්‍රහලෝකය වන අඟහරු ලෝකයේ සිටය. ඒවායේ පැමිණෙන ජීවීන් කුරුමිට්ටෝ වෙති. ඔවුන්ගේ මුහුණු ඉතා බියජනක අයුරින් පිහිටා ඇත. හිස විශාලය. සිරුර සිහින්ය. අපගේ සිත් තුළ ඒවා පැලපදියම් වූයේ නුහුරු හැඟුම් සමුදායක් ද සමඟිනි.

පිටසක්වළින් පැමිණෙන බව කියන කුරුමිට්ටෝ පෘථිවියෙන් මිනිසුන් ඩැහැගෙන ගොස් ඔවුන්ගේ ලෝකයේදී විවිධ පරීක්ෂණවලට භාජනය කරන බවට වැඩිහිටියන් එක්රොක් වී කතාබහ කරද්දී ඊට සවන් දෙමින් සිටි එවකට කුඩා දරුවන් වූ අප විටෙක භීතියටත්, තවත් විටෙක විමතියටත් පත්ව සිටියෙමු. එහෙත් දශක ගණනාවක් ගෙවී ගොස් මැදිවියේ පසුවන වැඩිහිටියන් ලෙස ඩිජිටල් ලෝකයට පිවිස සිටියත් අද වනතුරු අපිට කිසිදු පියාඹන පීරිසියක්වත්, පිටසක්වළ ජීවීන්වත් දැකබලා ගැනීමට හැකි වී නැත. එහෙත් එවැන්නක් දැකීමට ඇති බලාපොරොත්තුව නම් තවමත් එලෙසමය.

භෞතික හා බුද්ධිමය වශයෙන් මිනිසාගේ දියුණුවත් සමඟ පරිණාමයට පත්වී ඇති පියාඹන පීරිසි, පිටසක්වළ ජීවීන් වර්තමානය වෙද්දී ‘හඳුනා නොගත් ආකාශ වස්තූන්‘ (Unidentified Flying Object - UFO) බවට පරිවර්තනය වී තිබේ. ඒ සම්බන්ධයෙන් ලොව පුරා දියුණු රටවල් රැසක සිදු කෙරෙන විවිධාකාරයේ ක්‍රියාකාරකම් අදටත් ඇත්තේ පර්යේෂණ මට්ටමේය. එහෙත් එසේ වූ පමණින් ඒවා සුළුකොට තකා බැහැර කළ හැකි කාරණා නොවන බව වරින් වර විවිධ රටවලින් ඇසෙන විස්මයජනක තොරතුරු හා සංසිද්ධීන් මඟින් පැහැදිලි වෙයි.

ඊයේ පෙරේදා අමෙරිකාව කලඹමින් විශේෂිත සෙනෙට් කමිටුවක් හමුවේ අනාවරණය වූ කරුණු කාරණා ඊට හොඳම නිදසුනය. අමෙරිකානු ගුවන් හමුදාවේ සහ බුද්ධි අංශයේ හිටපු නිලධාරී ඩේවිඩ් ග්‍රස්ච් සිදු කළ මේ විස්මිත හෙළිදරව්ව නිසා පෙන්ටගනයට පවා නිවේදන නිකුත් කිරීමට සිදු වී තිබිණි. ඔහු කීවේ හඳුනා නොගත් ආකාශ වස්තුන් සහ හඳුනා නොගත් අද්භූත ගුවන් සිදුවීම් සම්බන්ධව අමෙරිකානු රජය අතිශය රහසිගත වැඩසටහනක් පවත්වා ගෙන යන බවය. එමෙන්ම මිනිසුන් රහිත පිටසක්වළ අභ්‍යකාශ යානා පිටසක්වල ජීවීන් යැයි පැවැසෙන ගුවන් නියමුවන්ගේ මළ සිරුරු අමෙරිකානු රජය සතුව ඇති බවය. වසර ගණනාවක් පුරා තමා නම් ගම් හෙළි නොකරනු ලබන නිලධාරීන් රැසක් සමඟ මේ සම්බන්ධව අදහස් හුවමාරු කරගත් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි. ඩේවිඩ් ග්‍රස්ච්ගේ මේ අනාවරණය අමෙරිකාවේ පමණක් නොව ලොව බොහෝ රටවල ආන්දෝලනයට තුඩු දුන් හෙළිදරව්වක් බවට පත් වී ඇතැයි ද වාර්තා වේ. බුද්ධි අංශයේ හිටපු නිලධාරියකු පුන පුනා ප්‍රකාශ කරන මේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව සුළුවෙන් තැකිය නොහැකි බවට තවත් හේතු සාධක රැසකි. ඊට හේතුව වන්නේ තමා සමඟ එම කාරණා බෙදාහදා ගත් පුද්ගලයන් රැසක් තොරතුරු වසන් කිරීමට රජය දරන උත්සාහයේ කොටසක් ලෙස මේ වන විට ඝාතනයට ලක්වී ඇතැයි වාර්තා වන බැවිනි.

ඩේවිඩ් ග්‍රස්ච් යනු එසේ මෙසේ පුද්ගලයකු ද නොවේ. ඔහු පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ උපත ලබා පසුකාලීනව ගුවන් හමුදාවට බැඳී ඇෆ්ගනිස්තානයේ යුද අරගලයට ද සහභාගී වූ හමුදා නිලධාරියෙකි. තනතුරෙන් හෙතෙම මේජර්වරයෙකි. එරට භූගෝලීය බුද්ධි ඒජන්සියේ සහ ජාතික ඔත්තු බැලීමේ කාර්යාංශයේ ප්‍රවීණ නිලධාරියෙකි. එමෙන්ම ඔහු ඔත්තු බැලීමේ කාර්යාංශයේ නියෝජිතයා ලෙස හඳුනා නොගත් ගුවන් සංසිද්ධීන් පිළිබඳ කාර්ය සාධක බලකායේ ද සේවය කර තිබේ. මීට අමතරව පසුගිය වසරේ ජූලි මාසය දක්වා හඳුනා නොගත් ගුවන් සංසිද්ධීන් පිළිබඳ කාර්ය සාධක බළකායේ කටයුතු විශ්ලේෂණ කිරීම සඳහා ජාතික භූගෝලීය බුද්ධි ඒජන්සියේ සම ප්‍රධානියා ලෙසත් කටයුතු කර ඇති අතර, මේ වසරේ මුල් භාගයේදී ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනත කෙටුම්පත් කිරීමට සහාය වූ විශාරදයකු ද වේ. හඳුනා නොගත් ආකාශ වස්තුන් සහ හඳුනා නොගත් අද්භූත ගුවන් සිදුවීම් සම්බන්ධ විධි විධාන ඊට ඇතුළත් වන අතර, රහස් තොරතුරු හෙළි කරන පුද්ගලයන්ගේ ආරක්ෂාව සහ හෙළිදරව් නොකිරීමේ නියෝග සහ ගිවිසුම්වලින් ඔවුන් නිදහස් කිරීමේ විධි විධානයන් ද ඇතුළත් ය. ඒ අනුව ඩේවිඩ් ග්‍රස්ච් ඉහත සඳහන් අතිශය රහසිගත තොරතුරු හෙළිදරව් කර ඇත්තේ තමා විසින්ම දායකත්වය දුන් ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනතට ආවරණය වෙමින් බව පෙනේ.

එබැවින් මෙවැනි හෙළිදරව්වකින් පසු සිදුවිය හැකි ජීවිත අවදානම ගැනත් වැඩිපුර අවධානය යොමු කර තිබේ. ඔහු මුලින්ම කර ඇත්තේ නීති විරෝධී හා සදාචාරාත්මක නොවන ක්‍රියාකාරකම් අමෙරිකාවේ බුද්ධි තොරතුරු සම්බන්ධ කටයුතු කිරීමට තෝරාගත් සෙනෙට් කමිටුව සමඟ හුවමාරු කරගැනීම සඳහා සහාය වන ලෙස බුද්ධි අංශයේ නිලධාරීන්ගේ ප්‍රධානියාගේ කාර්යාලයෙන් ඉල්ලීමක් කිරීමය. ඔහු එවැනි පියවරක් ගෙන ඇත්තේ එවැනිම පැමිණිල්ලක් 2021 වසරේදී ඉදිරිපත් කිරීමෙන් පසු තම සේවා ප්‍රධානියාගේ පළි ගැනීමකට ලක් වීම නිසා බවත් කියැවේ.

විශේෂිත සෙනෙට් කමිටුවේ නිලධාරින්ගේ නළල රැලි ගැන්වීමට සමත් වූ ඩේවිඩ්ගේ එම හෙළිදරව්ව තහවුරු කරමින් හිටපු තවත් නිලධාරින් දෙදෙනකු ද සෙනෙට් කමිටුව හමුවේ තොරතුරු අනාවරණය කර තිබේ. අනික් දෙදෙනා අමෙරිකානු ප්‍රහාරක යානා නියමුවන් වන රයන් ග්‍රේව්ස් සහ ඩේවිඩ් ෆ්‍රේවර්ය. මේ තිදෙනාම සිය ප්‍රකාශ ඉදිරිපත් කිරීමට පෙර කමිටුව හමුවේ දිව්රුම් දෙමින් සියලු ප්‍රකාශ සත්‍යය බව තහවුරු කිරීම නිසා අමෙරිකානු රජයට හෝ පෙන්ටගනයට ඩේවිඩ්ගේ අනාවරණය ප්‍රලාපයක් බවට ඉස්මතු කර පෙන්වීමට තිබූ ඉඩකඩ ඇහිරී ගොස් තිබිණි. එහෙත් ඔහුගේ තොරතුරු සම්බන්ධව නාසා ආයතනය සහ අමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදන දෙකක් නිකුත් කර ඇති අතර, ඉන් ප්‍රකාශ කර ඇත්තේ පිටසක්වළ ජීවීන් සම්බන්ධව කිසිදු සාක්ෂියක් නොමැති බවය. එමෙන්ම අමෙරිකානු රජය සතුව පිටසක්වළ යානා හෝ වෙනත් කිසිදු උපකරණ ඇතැයි පිළිගත හැකි කිසිදු තොරතුරක් නැති බවය.

අමෙරිකානු රජය එසේ කීවද හඳුනා නොගත් ආකාශ වස්තුන් ගැන වරින් වර අනාවරණය වූ තොරතුරුවලින් අමෙරිකානු ඉතිහාසය පිරී ඇත. ඒ සම්බන්ධ ඉතිහාසය 40 දශකයේ අගභාගය දක්වා විහිදී ගිය එකකි. ‘පියාඹන පීරිසි‘ නමින් එවකට ඒවා හඳුන්වනු ලැබුවේ එවැනි ආකාශ වස්තූන් දුටු බවට මුල් කාලයේදී තොරතුරු අනාවරණය කළ කෙනත් ආර්නෝල්ඩ් නමැති ගුවන් නියමුවකු නිසාය. ඔහු තමා දුටු අද්භූත ගුවන් වස්තුන් පිළිබඳ කරුණු අනාවරණය කරනු ලැබුවේ ඒවා flying saucers ලෙස නම් කරමිනි.

පිටසක්වළ යානා ගැන ලොව කැලඹූ විශාලතම අනාවරණය සිදු වූයේ 1947 වසරේ මැද භාගයේදිය. මෙක්සිකෝවේ දේශසීමාව අසල පිහිටි රොස්වෙල් පළාතේදීය. අදටත් රොස්වෙල් ප්‍රදේශය ලොව පුරා ප්‍රචලිතව ඇත්තේ ‘හඳුනා නොගත් ආකාශ වස්තුන් කඩා වැටුණු ස්ථානය‘ හැටියටය. මැක් බ්‍රේසල් නමැති පුද්ගලයකු සිය ගොවිපොළේ අක්කර කිහිපයක් පුරා විසිරී තිබූ අද්භූත හා අසාමාන්‍ය යානාවක සුන්බුන් සොයාගත් අතර, පසුව ඒවා එකතු කර පැත්තක ගොඩගසා තිබුණේ පසුව ගිනි තබා විනාශ කර දැමීමටය. ඒ වන විටත් මේ පියාඹන පීරිසි සම්බන්ධ කසුකුසුවක් ලොව පුරා පැතිර ඇතැයි ඔහු නොදැන සිටියේ දුරකතන හෝ ගුවන් විදුලි පහසුකම් ඒ හැටි නොතිබුණු බැවිනි. ඊට දින දෙකකට පසු නගරයට ගිය බ්‍රේසල් එහි අවන්හලක මත්පැන් පානය කරමින් සිටියදී මේ පිළිබඳ සෙසු අය හමුවේ කීවේ කයිවාරුවට මෙනි. පසුව එය නගරයේ ශෙරිෆ්වරයට ආරංචි වූ බැවින් එම අද්භූත යානයේ සුන්බුන් ශෙරීෆ් කාර්යාලය වෙත ප්‍රවාහනය කිරීමට ඔහුට සිදු විය. එතැනින් හමුදා මූලස්ථානයට පුවත ගියේය. කපිතාන්වරයකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් සැණෙකින් පැමිණි අතර, ඔවුන් අදාළ ස්ථානය වෙත රැගෙන යෑමට බ්‍රේස්ලට අණ කෙරිණි.

මේ සම්බන්ධව සොයා ගත් කරුණු මත මෙක්සිකෝ රජයේ නිගමනය වූයේ එය අමෙරිකාව විසින් යවනු ලැබූ කාලගුණය නිරීක්ෂණය කිරිමේ බැලූනයක සුන්බුන් ලෙසටය. එහෙත් ඒ වන විටත් මෙක්සිකෝවේ පුවත්පත් ‘පියාඹන පීරිසියක්‘ කඩා වැටුණු බවට තොරතුරු පළ කර හමාරය. හඳුනා නොගත් ආකාශ වස්තුන් සම්බන්ධව උනන්දුව රටවල් අතර ව්‍යාප්ත වූව ද සැකය ඉතිහාසයට එක් කරමින් රොස්වෙල් සිදුවීම පසුව මැකී ගියේය. එසේ වුවද 1980දී චාල්ස් බර්ලිස්ට් සහ විලියම් එල්. මුවර් නමැති ලේඛකයන් විසින් මේ සම්බන්ධව පොතක් ලියා පළ කරනු ලැබූ අතර, එහි සඳහන් වූයේ කාලගුණ බැලූනයේ කතාව පියාඹන පීරිසියේ තොරතුරු සැඟවීමට ගොතනු ලැබූ ආවරණ කතාවක් හැටියටය.

එසේ වරින් වර ඉස්මතු වෙමින් ද, යටපත් වෙමින් ද ලොව පුරා ජනතාව අතරට ගිය හඳුනා නොගත් ආකාශ වස්තුන් කඩා වැටීමේ හෝ පියාසර කිරීම් දුටු බවට හෙළි වූ තොරතුරු අතිවිශාල ප්‍රමාණයක් තිබේ. ඒ අතරතුර ජාත්‍යන්තර සිනමාවට නැඟුණු පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන චිත්‍රපට ද රැසකි. මෙවැනි කරුණු හේතුවෙන් අමෙරිකාව ඇතුළු ලොව දියුණු රටවල් රැසක් පිටසක්වල යානා සහ ජීවීන් සම්බන්ධව පර්යේෂණ පැවැත්වීමට විශේෂිත ඒකක පිහිටුවීමට කටයුතු කර තිබූ අතර, පසුගියදා අමෙරිකානු ගුවන් හමුදාවේ සහ බුද්ධි අංශයේ හිටපු නිලධාරී ඩේවිඩ් ග්‍රස්ච් සෙනෙට් කමිටුව හමුවේ අනාවරණය කරනු ලැබුවේ මේ සම්බන්ධව අමෙරිකානු රජය විසින් රහසිගතව පවත්වාගෙන යනු ලබන බව කියන අතිශය රහසිගත වැඩසටහනක තොරතුරුය.

සැබැවින්ම අමෙරිකානු ගුවන් හමුදාවේ ප්‍රධානත්වයෙන් එවැනි ව්‍යාපෘති තුනක් මීට පෙර වාර්තා වී තිබිණි. ඒ අතුරෙන් වඩාත්ම කතාබහට ලක් වූයේ ‘නිල් පොතේ ව්‍යාපෘතිය‘ ලෙස නම් කර තිබුණු ව්‍යාපෘතියයි. එහි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ මහාචාර්ය ඇලන් හයිනෙක් ය. ඔහුගේ නිර්වචනයට අනුව හඳුනා නොගත් ආකාශ වස්තුන් යනු සාමාන්‍ය ආකාරයෙන් හෝ විද්‍යාත්මකව හෝ පහදා දිය නොහැකි වස්තුවක්, ආලෝකයක් හැටියටය. ඒවාට අහසේ ගමන් කිරීම හැරුණු විට ගුවනේ නැවතී සිටීමේ හැකියාව ඇතැයි ද සඳහන් විය. එපමණක් නොව මෙවැනි වස්තුන් පීරිසියක හැඩයෙන් හෝ බිත්තරයක හැඩයෙන් යුතු බවටත්, අධික දීප්තියක් විහිදෙන බවටත් නිගමනය කර තිබිණි. එය ගමනේ යෙදෙන විට පෘථිවිය සතු කිසිදු යානයක් නිකුත් නොකරන ආකාරයේ සංඥා එළි නිකුත් කරන බවත්, එහි වේගය ශබ්දයේ වේගය පරදවනසුලු බවත් වැඩිදුරටත් නිගමනය කර තිබිණි. එහෙත් ශබ්දයේ වේගය ඉක්මවීමේදී පවා සාමාන්‍ය ගුවන් යානයකින් නිකුත්වන ශබ්දය තරම් වත් අධික නොවන බවටත් නිගමනය වී ඇත. රාත්‍රී කාලයේ ලොව ඕනෑම ස්ථානයකට රහසේම ගොඩ බැසීමේ හැකියාවක් එවැනි යානාවලට ඇති බව ද කියැවිණි. පසුගිය දශක ගණනාවක දීර්ඝ කාලය පුරා මෙවැනි යානා දුටු බවට වාර්තා වූ තොරතුරු විශ්ලේෂණය කිරීමේදී එම සියලු නිගමන තහවුරු වී තිබිණි.

එය කෙසේ වුවද කවදත් ඕනෑම ආකාරයක රහස් මෙහෙයුම් සම්බන්ධව කුප්‍ර‍කට ඉතිහාසයකට හිමිකම් කියන අමෙරිකාව තුළ පිටසක්වළ යානා හෝ ජීවීන් රඳවා තබාගෙන සිටින බවට අමෙරිකාවෙහිම ගුවන් හමුදාවේ හිටපු නිලධාරියකු පුන පුනා කරනු ලබන හෙළිදරව්ව සැහැල්ලුවෙන් ඉවත දැමීමට හැකි ආකාරයේ එකක් නොවන බව බොහෝ මාධ්‍ය වාර්තා කර තිබිණි. ඊට හේතුව වී ඇත්තේ නෙවාඩා ප්‍රාන්තයේ කාන්තාරයක් මැද ස්ථාපිත කර ඇතැයි කියන ‘ඒරියා 51‘ රහසිගත ගුවන් හමුදා කඳවුර සම්බන්ධ පුවතය. එය අධිආරක්ෂිත කලාපයකි. අතිශයින්ම රහසිගත මෙන්ම ගුප්ත බව පිරුණු කතා රැසක් වරින් වර ඉස්මතු වන ආකාරයේ ස්ථානයකි. එම කඳවුර තුළ පිටසක්වළ යානා හා ජීවීන් රඳවා තබාගෙන විවිධ පර්යේෂණ පවත්වමින් සිටින බවට ජනතාව අතර විවිධ කතා පැතිරී ගියත් ඒවා තහවුරු කිරීමට කිසිවකු සමත් වී නැත. අමෙරිකාව කියන්නේ ‘ඒරියා 51‘ කලාපය ඉදි කරනු ලැබුවේ අතිනවීන ගුවන් යානා අත්හදා බැලීම් සිදු කිරීමට බවය. එහි මෙහෙයුම් සී.අයි.ඒ. සංවිධානය හා අමෙරිකාවේ මධ්‍යම බුද්ධි අංශය ඒකාබද්ධව සිදු කරනු ලබන බවත් ප්‍රසිද්ධ කාරණාවකි.

පියාඹන පීරිසි හෝ හඳුනා නොගත් ආකාශ වස්තූන් සහ පිටසක්වළ ජීවින් අමෙරිකාව සතු බවට ගුවන් හමුදාවේ සහ බුද්ධි අංශයේ හිටපු නිලධාරියා හෙළිදරව් කළ කරුණු පෙන්ටගනය ප්‍රතික්ෂේප කළ ද, මේ සම්බන්ධව තොරතුරු අනාවරණය කරනු ලැබූ බොහෝ පුද්ගලයන් ඝාතනයට ලක් වූ බවට කළ හෙළිදරව්ව නම් ඉතා බරපතළය. ඉන් පැහැදිලි වන්නේ හඳුනා නොගත් පිටසක්වල යානා හා ජීවීන් ගැන කිසිවකුට වසන් කිරීමේ අවශ්‍යතාවක් ඇති බවය. නොඑසේ නම් ඩේවිඩ් ග්‍රස්ච් කියන පරිදි ජනතාවට වඩා රජය බොහෝ කරුණු දන්නා බවය. එය වඩාත් තහවුරු වන්නේ ඔහුගේ හෙළිදරව්වෙන් පසු පසුගිය පෙබරවාරි මාසයේදී අමෙරිකානු ගුවන් හමුදාව විසින් පහර දී බිම දැමූ හඳුනා නොගත් ආකාශ වස්තුන් හතරක් සම්බන්ධව සෙනෙට් කමිටුවේ අවධානය යොමු වී ඇති බැවිනි. එය සිදු වූයේ පසුගිය පෙබරවාරි මාසයේදීය. ඇලස්කාව, උතුරු කැරොලිනා, යූකෝන් සහ මිචිගන් පළාත්වලදී අමෙරිකානු ගුවන් ප්‍රහාර මඟින් බිම හෙළනු ලැබූ හඳුනා නොගත් බව කියන ආකාශ වස්තුන් පිළිබඳ වැඩිදුර තොරතුරු යටපත් වූයේ ඒ කාලයේදීම චීනයට අයත් ඔත්තු බැලීමේ බැලූනයක් අමෙරිකානු අහස් සීමාවට පැමිණි බව කියන සිදුවීම හේතුවෙනි.

 

Comments