සමහරක් ජීවත්ව සිටියේ වුවද ජීවත්ව නොසිටියාක් මෙනි. එහෙත් ඇතැමෙක් භෞතික ශරීරයෙන් අප අත හැර ගියේ වුවද වසර ගණනාවකට පසුව වුව අප අතර ඉන්නාක් මෙන් හැඟෙයි. මීට 14 වසරකට පෙර අප අතරින් වියෝ වූ සරත්චන්ද්‍ර ජයකොඩි පිළිබඳව අපට දැනෙන්නේද එලෙසිනි.
ප්රමුඛ පෙළ විද්වතෙකු, ගත් කතුවරයකු, පරිවර්තකයෙකු, පුවත්පත් කලාවේදියකු මෙන්ම මානව දයාවෙන් උතුරා ගිය ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙකු වූ සරත්චන්ද්‍ර ජයකොඩි 14 වැනි ගුණානුස්මරණය මේ අගෝස්තු 9 වැනිදාට යෙදී තිබේ.
කුරන් ඇලේ සීතල වතුරින් දෙපා දොවාගෙන හඳපාන්ගොඩ නා ගහ යට ඉස්කෝලෙන් අ යනු ආ යනු කී සරත්චන්ද්‍ර ජයකොඩි නිර්මාණශීලීත්වයට හැඩ වැටෙන්නට පටන් ගත්තේ හොරණ තක්ෂිලා සෙවණට අකුරු පිණිස ගිය පසුවය. ඔහු සාහිත්‍ය සමිති, ශිෂ්‍ය සමිති ආදී සියල්ලේ කැපී පෙනෙන තරුවක් විය. සැබැවින්ම ඔහුගේ කවියට මූලික අඩිතාලම වැටුණේ තක්ෂිලාවෙනි. එයට සාක්ෂි අදත් ජීවමානය. සරත්චන්ද්‍ර ජයකොඩි ශිෂ්‍යයා විද්‍යාවෙන් කලාවට හැරෙන්නට පටන් ගත්තේ කුඩා උඩුවේ නාලන්දා සෙවණට එක් වීමෙන් පසුවය.
ජයකොඩි සූරීන් සිය වෘත්තිය ජීවිතය ආරම්භ කළේ ලංකා තුනී ලෑලි සංස්ථාවේ විධායක නිලධාරියකු ලෙසය. තම පළමු රැකියාවට ඉතා ඉක්මනින් සමුදුන් සරත්චන්ද්‍ර ජයකොඩි සූරීන් සිංහල විශ්වකෝෂය හා එක් වූයේ අලූත් ගමනක පළමු පියවර තබමිනි. කතුවරයෙකු ලෙස එහි එක් වූ ජයකොඩි පසු කාලීනව එහි මුල් පුටුවට පවා හිමිකම් කීවේ ය. ඊට ඔහු ලාංකික ප්‍රජාව අතර ප්‍රසාදයට පත්ව සිටියේ එක් දෙයකට සමත් පුද්ගලයකු ලෙස නොවේ. ඒ අතරින් සාහිත්‍ය ඔහුගේ දිවිය වසා පැතිරුණු ආලෝකය විය. ඔහු ගත් කතුවරයකු මෙන්ම සිත් ඇද බැඳගත් පරිවර්තකයෙකු ද වීය. ඔහු අතින් ලියැවුණු පනහකට කිට්ටු වූ පරිවර්තන, නවකතා හා ළමා සාහිත්‍ය කෘති අතර බිංදු බිංදු මල්, පිනි කැටය, පුන්කලස, හිත හොඳ හාවා, කරළිය රඟදුන් නිදහස් සටන, දියණි , සීවලී මහ රහතන් වහන්සේ, ලූම්බිණියේ සිට කුසිනාරාවට, ගමේ ඇත්තෝ, ශ්‍රී මහා බෝධීන් වහන්සේ, පුලතිසි ගීතය වැනි කෘති විශේෂයෙන් සඳහන් කළ හැකිය.
සරත්චන්ද්‍ර ජයකොඩි නාමය කොළඹ යුගයේ කීර්තිමත් කවියන් අතර ඉදිරියෙන්ම තිබෙන්නකි. ඔහු හිටිවන කවියේ උපන් හපනකු ද විය. අපූරු බස් වහරකින් යුතු වූ සරත්චන්ද්‍ර ජයකොඩිගේ නම ලංකාවේ පුවත්පත් කලාව ගැන කතා කරද්දී නිරන්තරව සිහියට නැෙඟන්නකි. එක්දහස් නවසිය හැට ගණන්වල මුල පටන් වෙන්ව ගිය දෙදහස් නවය වන තෙක් ම ඔහුගේ ලියවිල්ලකින් නොසැරසුණු ජාතික පුවත් පතක් ලංකාවේ නොතිබූ තරම් යැයි කීමේ වරදක් නොවේ. එහෙත් පත්තර රස්සාව ඔහුගේ ජීවිතය වූයේ නැත. පුවත්පත් කලාව ඔහුගේ ජීවිතයේ එක් සුළු කොටසක් පමණකි. එසේ වුවද පුවත්පත් කලාව ඔහුගේ ආශාව හා ආදරය වූයේය. ඔහුගේ සිහිවටන කුටියේ ඇති පුවත්පත් ලිපි කන්දරාව මිනිහෙකුගෙන් අඩක් උසට ගොඩ ගැහී තිබුණු හැටි මට මතකය. ජයකොඩි අතින් යම් සුබ කටයුත්තකට ජය හෝරාවක් හදා ගන්නට, වේලපත්කඩය බලවා ගන්නට, සෙත් කවියක් ලියවා ගන්නට කොටිගල මහගෙදරට පැමිණි අයගෙන් ඇතැම් දවසක ඔහුගේ ආලින්දය පිරී ගොස් තිබුණි. උසස් නිලතල දරන්නන්, ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් මෙන්ම එදිනෙදා දවසේ කුලියක් මලියක් කර ගන්නා ගැමියන් ද මේ මහ සෙනඟ අතර සිටිනු දකින්නට ලැබුණි. එහෙත් ජයකොඩි නිවසේදී ඔවුනට ලැබුණේ සමාන සැලකුම් ය.
මේ කවර දක්ෂතාවකට හෝ වඩා වැඩියෙන් මිනිසුන් ඔහුට ආදරය කළ වෙන යම් දෙයක් වී නම් ඒ ඔහුගේ නිරහංකාර මනුස්සකම වීය. ඔහු සැමවිටම සෑම කෙනෙකුටම සැලකූයේ සමානාත්මතාවෙනි. එහෙත් වරද දුටු තැන ඔහු කිපුණේය. එවක ඔහු දිනා සිටි සමාජ තත්ත්වය හා තරාතිරම අනුව පහසුවෙන්ම නගරයකට සේන්දු වී ඉතා සැප පහසු ජීවිතයක් ගත කරන්නට ඔහුට ඉඩකඩ සැලසී තිබුණේය.
නමුත් ඔහු තෝරා ගත්තේ තමාට හුරු පුරුදු ඒ සුන්දර හඳපාන්ගොඩ - කොටිගල ගම්මානයම ය. ඔහු කිසි විටක මුදලට මුල්තැන දුන් තැනැත්තෙකු නොවූවා සේම කිසි විටෙකත් මුදලට විකිණුනු තැනැත්තෙක්ද නොවූයේය.
ඔහුගේ වියොවින් පසු ඒ ආදරණීය නාමය සිහි කෙරුම වෙනුවෙන් පුරා දසවසක් මුළුල්ලේ පැවැති සරත්චන්ද්‍ර ජයකොඩි සම්භාවනා සාහිත්‍ය මහෝත්සවය ද සිහිකළ යුතු ය. ඔහුගේ නමින් ජාතික මට්ටමේ සාහිත්‍ය උලෙළක්, සැණකෙළියක් සම්පාදනය කිරීම ගැන සරත්චන්ද්‍ර ජයකොඩි සම්භාවනා සාහිත්‍ය මහෝත්සවය කමිටුවේ සභාපති යාමිත් හතුරුසිංහ හා කමිටු සාමාජිකයන් ද ජයකොඩි පවුලේ ආදරයට පාත්‍ර වෙයි.