
- කාල හෝරාව සහ එහි බෙදීම් සැකසෙන හැටි නිවැරදිව දැන ගනිමු
- ගුරු හෝරාව විවාහයට:සිකුරු හෝරාව ගමනට-බිමනට සුදුසුයි
- ජ්‍යොතිෂවේදී, දේශබන්ධු,ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
ශුභ මුහුර්තයක් සෑදීමේදී අදාළ මුහුර්ත වේලාව ගණනය සඳහා කාල හෝරාව භාවිතයේ යෙදේ. එසේම ඊට අතිරේකව ජ්‍යොතිෂය පිළිගන්නා අය එදිනෙදා දෛනික වැදගත් යැයි සිතන කටයුතුවලදී ශුභ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඒ ඒ වැඩට සුදුසු යැයි සම්මත හෝරාව තෝරා ගැනීම සිදුවේ. හෝරාවක් යනු ආසන්න වශයෙන් පැයකි. කිසියම් දිනක ඉර උදාවේ සිට පසු දින ඉර උදාව දක්වා කාල පරාසය පැය 24කට ඉතාම ආසන්නය. රවිගේ ගමන ගණන් ගන්නේ අංශකවලිනි.
රවි දිනකට දළ වශයෙන් අංශක 1 ගමන් කරන නිසා මෙය රවිගේ එක් දිනක භාගය ලෙස ද හඳුන්වයි.
ඒ අනුව අංශක 1ක් හෙවත් භාගයක් එක් සූර්ය දිනයකි. එසේම තරුවලට සාපේක්ෂව පෘථිවිය වරක් භ්‍රමණය වීමට ගතවන කාලය නක්ෂත්‍ර දවස ලෙස පිළිගැනේ. නක්ෂත්‍ර ක්‍රමයට දිනයක් සලකනු ලබන්නේ කිසියම් දිනක සූර්ය උදාවේ සිට ඊට පසු දින සූර්ය උදාව දක්වා කාලය ලෙසය. ඒ අනුව නක්ෂත්‍ර දිනය ඉංග්‍රීසි පැය 23 මිනිත්තු 58 තත්පර 3.44කි.
ඉහත සඳහන් ලෙසට පැය 24ක් ගතවීම සඳහා අවශ්‍ය ඉතිරි කාලය මිනිත්තු 01යි තත්පර 56.56කි. එම ප්‍රමාණය පැය 24න් බෙදූ විට ලැබෙන අගය තත්පර 04.86කි. මෙම ප්‍රමාණය ඉතාම කුඩා බැවින් එම අගය නොසලකා හෝරාවක් යනු පැයක් ලෙස සලකයි. දිනකට ඉංග්‍රීසි පැය 24කි. එය සිංහල ක්‍රමයට නම් සිංහල පැය 60කි. එනම් සිංහල පැය 2 1/2ක ප්‍රමාණයක් ඉංග්‍රීසි පැයකට සමානය.
එක් දිනක සූර්ය උදාවේ සිට අනෙක් දින සූර්ය උදාව දක්වා වන දිනයකට මානයන් 2ක් ඇත. ඒ සූර්ය උදාවේ සිට සූර්ය අස්ථය දක්වා වන දිවා මානයක් සූර්ය අස්ථයේ සිට පසුදින සූර්ය උදාව දක්වා වන නිශා මානයක් ලෙසිනි. මෙකී දිවා මානය හෝ නිශා මානය 12න් බෙදා ගත් විට ලැබෙන එක් කොටසක් හෝරාවක් වේ.
පෙර කී ලෙසම සෑම දිනකම සූර්ය උදාවේ සිට සූර්ය අස්ථය දක්වා වූ කාලය 12න් බෙදූ කල ඉන් මුල්ම කොටසට හිමි වන කාලය එනම් මුල් හෝරාව එදින දින අධිපතියාගේ නමින් වේ. නිදසුනක් ලෙස සඳුදා දින මුල්ම හෝරාව වන චන්ද්‍ර හෝරාව දැක්විය හැක. ඒ ආකාරයට ඕනෑම දවසක ඉතිරි හෝරා යම් රටාවකට යෙදේ. ඒ තිබෙන හෝරාවට කලින් දිනට කලින් දින දින අධිපතියාගේ නම ඊළඟ හෝරාව ලෙස යෙදෙන පරිදිය. නිදසුනක් ලෙස සඳුදා මුල්ම හෝරාව චන්ද්‍ර හෝරාව වේ. ඊළඟට යෙදෙන හෝරාව වනුයේ සඳුදාට කලින් දවස වන ඉරිදාට කලින් දවස වන ශනිදා වේ. ඒ අනුව චන්ද්‍ර හේරාවට පසු යෙදෙන හෝරාව ශනි හෝරාව වේ. සතියේ ඕනෑම දිනක හෝරා යෙදෙන ක්‍රමය මේ ආකාර වේ. තවද එලෙස හෝරා ගැන ගන්නා අනුපිළිවෙළ ශ්්ලෝකයෙන් දැක්වෙන්නේ මෙසේය.
"අර්කඃ ශුක්‍රො බූධඃශ්චන්ද්‍රඃ ශනීර් මන්ත්‍රී මහීසූතඃ"
මෙහි අරුත වනුයේ සූර්ය උදාවේ සිට හෝරා ගැන ගත යුතු පිළිවෙළ රවි, ශුක්‍ර, බුධ, චන්ද්‍ර, ශනි, ගුරු, කුජ ආදී ලෙස වන බවයි.
ගුරු හෝරාව විවාහයට ද සිකුරු හෝරාව ගමන්බිමන් යෑමට ද ඥානය වඩන ඉගෙනීම වැනි දේට බුධ හෝරාව ද මහණ කිරීම ආදී ලෝකෝත්තර වැඩ සඳහා ශනි හෝරාව ද යුද හා තරග වැදීම් සඳහා කුජ හෝරාව ද රජුන් වැනි ප්‍රභූන් හමුවීමට රවි හෝරාව ද සියලු ශුභ කටයුතු සඳහා චන්ද්‍ර හෝරාව ද යහපත් බවය. කෙසේ නමුත් සම්මතයට අනුව චන්ද්‍ර, බුධ, ගුරු, ශුක්‍ර හෝරා ශුභ වැඩවලට යොදන අතර රවි, කුජ, ශනි හෝරා ශුභ වැඩෙහි නොයොදවයි.
එසේම ඒ ඒ දිනයට මරු හෝරා ද වේ. ඒ ඉරිදාට කුජ හෝරාව, සඳුදාට බුධ හෝරාව, අඟහරුවාදාට ශනි හෝරාව, බදාදාට සඳු හෝරාව, බ්‍රහස්පතින්දාට සිකුරු හෝරාව, සිකුරාදාට ගුරු හෝරාව සෙනසුරාදාට රවි හෝරාව ආදී වශයෙනි. ශුභ මුහුර්ත සැකසීමේදී උක්ත මරු හෝරා ද අත්හළ යුතුය. සෑම හෝරාවක් තුළම තිබෙන්නාවූ පැයක කාලය හෙවත් මිනිත්තු 60ක ප්‍රමාණය මිනිත්තු 12 බැගින් වූ කොටස් 5කට බෙදූ කල එයින් එක් කොටසක් පංචම කාල හෝරාවක් ලෙස ගැනේ. මෙම මිනිත්තු 12ක් වන පංචම කාල හෝරාව නම් කිරීමේදී මුල්ම පංචම කාල හෝරාව එම හෝරාධිපතියාගේ නමින් නම් කොට එතැන් සිට ඉතිරි පංචම කාල හෝරා සතියේ දින උදාවන අනුපිළිවෙළට නම් කරනු ලැබේ.
එලෙස ඉදිරියට ගනිනුයේ දින 5ක් දක්වා පමණි. ඒ අනුව රවි හෝරාවට දින අධිපතියා වූ රවි සිට පිළිවෙළින් රවි, චන්ද්‍ර කුජ, බුධ, ගුරු ආදී ලෙස ගැන නවත්වයි. එසේම චන්ද්‍ර හෝරාවට දින අධිපති වූ චන්ද්‍ර සිට පිළිවෙළින් චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර ලෙස ගැන නවත්වනු ලබයි. ඉතිරි හෝරාවන්හිදී ද පංචම කාල හෝරා ගැන ගත යුත්තේ මේ ලෙසටම වේ.
මෙලෙස නම් කරනු ලබන පංචම කාල හෝරා අතුරින් එක් පංචම කාල හෝරාවක් විෂය. එම විෂ පංචම කාල හෝරාව ශුභ මුහුර්ත සැකසීමේදී අත්හළ යුතුය. මෙම විෂ පංචම කාල හෝරාද, පංචාංග, ග්‍රහස්ඵුට ලිත්වල පැහැදිලිව දක්වා ඇත. එලෙස හෝරාවනට අදාළ විෂ පංචම කාල හෝරා වනුයේ රවි හෝරාවේ ගුරු පංචමය. චන්ද්‍ර හෝරාවේ චන්ද්‍ර පංචමය. කුජ හෝරාවේ ශනි පංචමය. බුධ හෝරාවේ සිකුරු පංචමය. ගුරු හෝරාවේ චන්ද්‍ර පංචමය. සිකුරු හෝරාවේ රවි පංචමය. ශනි හෝරාවේ ශනි පංචමය ද ආදී වශයෙනි. මේ අනුව කාල හෝරා නැවත යෙදෙන පිළිවෙළ වන රවි, ශුක්‍ර, බුධ, චන්ද්‍ර, ශනි, ගුරු, කුජ යන පිළිවෙළ නිර්මාණය කර ඇත්තේ එක් හෝරාවක අවසන් පංචමයට පසු ඊළඟට යෙදෙන සතියේ දින නාමයෙනි.
එය ඊළඟ කාල හෝරාවේ නාමය වෙයි. නිදසුනක් ලෙස රවි හෝරාවේ අවසන් පංචමය ගුරු වේ. ඒ අනුව ඊළඟට යෙදෙන සතියේ දින නාමය සිකුරාදා වේ. එම නිසා ශුක්‍ර ඊළඟ කාල හෝරාව වෙයි. එලෙසම සිකුරු හෝරාවේ අවසන් පංචමය කුජ වේ. ඒ අනුව ඊළඟට යෙදෙන සතියේ දින නාමය බදාදා වේ. එම නිසා බුධ ඊළඟ කාල හෝරාව වෙයි.
මීළඟට පංචම කාල හෝරාවට අයත් මිනිත්තු 12ක කාලය 3න් බෙදා මිනිත්තු 4 බැගින් සූක්ෂම කාල හෝරා ලබාගැනීම සිදු වේ. මෙම සූක්ෂම කාල හෝරා ගනිනුයේ ද රවි, ශුක්‍ර, බුධ, චන්ද්‍ර, ශනි, ගුරු, කුජ යන ලෙසට කාල හෝරා ගැන ගත් ක්‍රමයටමය. තවද ඉහතදී සඳහන් කළ විෂ පංචම කාල හෝරා ලබාගැනීමේදී රවි, කුජ, ගුරු කාල හෝරාවල අවසානය හෙවත් 5 වන පංචම කාල හෝරාවන් සඳු, ශනි කාල හෝරාවල පළමු පංචම කාල හෝරාවන් බුධ, ශුක්‍ර කාල හෝරාවල 3 වන හෙවත් මැද පංචම කාල හෝරාවන් විෂ පංචම කාල හෝරා වේ.
තවද ප්‍රකාශ ග්‍රහයන් නම් කිරීමේදී එනම් කාල වේලා උපග්‍රහයන් නම් කිරීමේදී දිවා මානයේ මෙන්ම නිශා මානයේ ද රවිට අයත් කාල නම් කොටස රාහු කාලය ලෙස සැලකේ. දිනකට දෙවරක් යෙදෙන මෙම පැය 1 1/2ක පමණ වන රාහු කාලය ශුභ මුහුර්ත සඳහා යොදා නොගනී. එසේම දිවාමානයේ මෙන්ම නිශාමානයේ ශනිට අයත් ගුලික ද නිශාමානයේ මෙන්ම දිවාමානයේ මාන්දිද යන සෙනසුරුගේ පුත්‍රයන්ට අයත් කාල ද ශුභ මුහුර්ත සෑදීමේදී අත්හළ යුතුය.
තවද ශුභ මුහුර්ත සැකසීමේදී කිසියම් ශුභ දිනක කිසියම් ශුභ කාල හෝරාවක එම කාල හෝරාව තුළ කිසියම් ශුභ පංචම කාල හෝරාවක එම පංචම කාල හෝරාව තුළ කිසියම් ශුභ සූක්ෂම කාල හෝරාවක් යොදාගත යුතුය.
පංචාංග ග්‍රහස්ඵුට ලිත්වල කොළඹට ඉර උදාව උදේ 6ට ලෙස සලකා කාල හෝරා වගු පිළියෙල කර ඇත. නමුත් ඇතැම් දිනවල බොහෝ විට කොළඹට ඉර උදාවන වේලාව හා ඉර බසින වේලාව වෙනස් වන නිසා ලිතේ පංචාංග පිටුවෙන් අදාළ දිනට ඉර උදාව හා ඉර බැසීම සොයා ගත යුතුය.
පසුව එම අගයන් කොළඹ සිට ඉර උදා වෙනස අනුව ගළපා ප්‍රාදේශීය වශයෙන් නිවැරදි කරගත යුතුය. කෙසේ නමුත් තත්කාල හෝරාව, පංචම කාල හෝරාව සහ සූක්ෂම කාල හෝරාව යන හෝරාවන්හි හෝරා අධිපතීන් අන්‍යොන්‍ය මිත්‍ර ග්‍රහයන් නම් එම කාල පරාසය ඉතාම යහපත්ය. මෙහිදී උක්ත හෝරා තුනම ශුභ ග්‍රහයන්ට අයත් විය යුතුය. එලෙස සාදාගත් සූක්ෂ්ම හෝරාවේ මධ්‍යය ශුභ මුහුර්තය සේ සැලකේ.