
- ඉදිකිරීමට බලාපොරොත්තු වන නිවසට දෙවි පිහිට ලබා ගැනීම මෙහි අරමුණයි
- දේව කන්නලව්ව සත් වතාවක් සිදු කරන්න
- පහන් පූජාව සිදු කරන දිනවල මාංශවලින් වළකින්න
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී විශ්‍රාමලත් විදුහල්පති කොස්ගොඩ කේ.ඩී.ආර්.පී. රාජකරුණා
ජීවත්වීම සඳහා අප හට නිවසක් අත්‍යවශ්‍යය. එය අප කාගේත් මූලික අවශ්‍යතාවකි. තම නිවස ඉදිකිරීම තම ආර්ථික මට්ටම අනුව සිදු කරයි. මේ සඳහා දහස් ගණන් මුදල් වැයකොට විවිධ පූජා වැඩසටහන් පවත්වති. නමුත් ඉන් සැමට සාර්ථක ප්‍රතිඵල නොලැබේ. ඇතැමුන්ට ඉතිරි වන්නේ නිවසේ ගෙපළ සහ බිත්ති ටික පමණි. මෙයට හේතුව පැවැත්වූ පූජාවල විද්‍යාත්මක සත්‍යයක් නොමැති බවය.
මේ නිසා අපගේ ඉසිවර පාඨකයන් වෙත දේව ආශීර්වාදය ලබා ගැනීම සඳහා පවත්වන සතර දිශා පහන් පූජා වැඩසටහන මෙලෙස පළ කරමි. එය පවත්වන ආකාරය මෙසේ ය.
මුලින්ම පහන් දල්වා සතර වරම් දෙවියන්ගෙන් පොළොව මහී කාන්තාවගෙන් විෂ්ණු, කතරගම, ශිව, විභීෂණ දෙවියන්ගෙන් ඉල්ලා සිටිය යුත්තේ අද දින වැඩ ආරම්භ කිරීමට නියමිත අපගේ නිවස කිසිම බාධාවකින් තොරව ඉදිකර ගැනීම සඳහා ඔබ වහන්සේලාගේ ආශීර්වාදය ලබා දෙන ලෙසයි.
ආරම්භ කිරීමට නියමිත අපගේ නිවෙසේ වැඩකටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කර දෙන ලෙස ඉෂ්ට සිද්ධ කරන දෙන ලෙස බැගෑපත්ව ආයාචනා කර සිටින්නෙමු.
අවසරයි. අවසරයි. සාධු! සාධු! සාධු!
මෙය සත් වතාවක් කියා අනතුරුව දෙවියන්ට පින් දෙන්න. එකී දිනවල මස් මාංශවලින් වළකින්න. සියලුම පහන් පත්තු කොට පන්සිල් ගෙන සුදුවතින් සැරසී මෙය හත් වතාවක් කියන්න. මුල්ගල තබන විට ද මෙය තුන් වතාවක් කියන්න.
දේව ආශීර්වාදය ලබා ගැනීම සඳහා පවත්වන සතර දිශා පහන් පූජාව සඳහා නිවාසය ඉදිකරන භූමියේ පහන් දල්වන ආකාරයේ සැලැස්මද රූප සටහනෙන් ඉදිරිපත් කෙරේ.
එසේ භූමියේ පහන් දල්වන සැලැස්ම ඉදිකිරීමේදී නිවැසියන් මෙකී කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
1. නිවස ඉදිකිරීමට නියමිත පෙර දින රාත්‍රී 09.00 පසුවීමත් සමඟම ඉදිකරන ලද පහන් දල්වන සැලැස්මේ පිහිටි පහන් මැසි හතරේ පොල් තෙල් පහන් දල්වන්න.
2. ගෙබිම ඇතුළත බංකුවක් මත මුඩ්ඩ සහිත පොල් ගෙඩියක් තබා ඒ මත කපුරු පෙත්තක්ද දල්වන්න.
3. පහන් මැසි සම්බන්ධ කරමින් රතු පාට නූලක් අදින්න.
4. ගෙබිම මැද අඟල් හයක් යටට කුඩා වළක් හාරා ඒ මත ගස්ලබු පළුවක් තබා එහි පහනක් තබා පස් තෙල්වලින් හෝ ගිතෙල්වලින් දල්වන්න.
5. මේ සියලුම පහන් පෙර දින රාත්‍රී 9 පසු වනවාත් සමඟම දල්වන්න. එම පහන් නිවෙන්නට ඉඩ නොතබන්න.
6. පහන් දැල්වීමෙන් අනතුරුව දෙහි ගෙඩි 4ක් සුරක්ෂිතව බුදු පහන අසල තබන්න.
7. නියමිත දිනට අලුයම 4 - 5 අතර කාලයේ මේ දෙහි ගෙඩි හතර නිවස ඉදිකිරීමට නියමිත භූමියේ සතර කොණෙහි අඟල් හයක් යටට වළවල් හාරා වළලන්න. මෙය සතුන් හඬලන්නට පෙර කළ යුතුය.
8. ගෙබිම මැද ඇති ගස්ලබු පළුව එතැනම පස්වලින් වහන්න.
9. ගෙබිමේ තබන ලද පොල් ගෙඩිය දේවාලයට ගොස් දින හතක් ඇතුළත තම අරමුණු ඉටු වේවායි සිතා පොල් ගසන ස්ථානයේ ගසා බිඳ දමන්න.
10. රතු පැහැති නූල අලුයම 6ට පෙර ඉවත් කරන්න. එය බුලත් කොළයක ඔතා ගලා යන ජලයට දමන්න. (ගඟකට දමන්න)
මේ ආකාරයට නිවස ඉදිකරන භූමියේ සතර දිශා පහන් පූජාව පැවැත්වීමෙන් පසු නැවත බහිරව පූජාවක් පැවැත්වීම අවශ්‍ය නොවන බවද සඳහන් කරමි.