නෙළුම් කුළුණ නැරඹීමට ආ පිරිස මිලියනය ඉක්මවයි | සිළුමිණ

නෙළුම් කුළුණ නැරඹීමට ආ පිරිස මිලියනය ඉක්මවයි

කොළඹ නෙළුම් කුළුණ මහජනතාවට විවෘත කළ දින සිට එය නැරඹීමට පැමිණි පිරිස් සංඛ්‍යාව මිලියනය පසු කරයි.
 
ඒ අනුව මාතලේ, විල්ගමුව ප්‍රදේශයේ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක අයෙකු පසුගිය 27වැනිදා නෙළුම් කුළුණ නැරඹීමට පැමිණි මිලියනයේ අමුත්තා බවට පත්වූ බව සීමාසහිත Colombo Lotus Tower Management Company Pvt Ltd සමාගම සදහන් කළේය. 
 
මෙම මිලියනයක අමුත්තා පිළිගනිමින් හා එම විශේෂ අවස්ථාව සමරමින් ඔහුගේ පවුලේ උදවියට තෑගි වවුචරයක් ලබා දීම සිදු විය. 
 
2022 වසරේ සැප්තැම්බර් 15 වැනිදා සිට කොළඹ නෙළුම්  කුළුණ නැරඹීමට පැමිණි මිලියනයක ජනතාව අතර විදේශීය ජාතිකයන් 22,000ක් වේ. 
 
සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා කුළුණ නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කෙරෙන අතර නරඹන්නන්ට රාත්‍රී 10 දක්වා රැඳී සිටීමට අවසර දෙයි. සති අන්තයේ උදේ 9 සිට රාත්‍රී 10 දක්වා ප්‍රවේශපත්‍ර නිකුත් කෙරෙන අතර සති අන්තයේ මහජනතාවට නෙළුම් කුළුණේ රාත්‍රී 11 දක්වා රැඳී සිටිය හැකිය.
 
සීමාසහිත Colombo Lotus Tower Management Company (Pvt.) Limited සමාගම නෙළුම් කුළුණට හානි කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට අනතුරු අඟවා සිටියි. කුළුණ ආරක්ෂා කර ගැනීමට සහය වීම සාමාන්‍ය ජනතාවගේ යුතුකමක් බව එම සමාගම පෙන්වා දෙයි. 
 
නෙළුම් කුළුණ කළමණාකරන සමාගම තහවුරු කළේ දේපළවලට හානි කළ පුද්ගලයන් කිහිප දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
 
දැනටමත් විශාල නඩත්තු පිරිවැයක් දැරීමට සිදුවී ඇති අතර අමුත්තන්ගෙන් සිදුවන හානි හේතුවෙන් වරින් වර වැඩි මුදලක් වෙන් කරන බව ද ඔවුන් සඳහන් කළේය. 

Comments