කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

ඔබ එන තුරා

 

සිහියට නැඟෙන සඳ දිවියෙහි මතක රස

නොදැනිම වගේ තෙමෙනවා මගෙ යුගල ඇස

යුග දිවි මගේ විසි වසරක් නැඟුණු නස

අරගෙන ගියා මෙනි එතෙරට සතුට ඉස

 

සෙනෙහස සතුට සුව සොම්නස පෑව රගේ

තැබුවා විරාමය මනසට දුකක් නැඟේ

දරු තිදෙනා සමඟ දිවියෙහි සුවඳ දිගේ

විඳගෙන සිටිමි එනතුරු හිමි සඳුනි මගේ

 

බැඳි සෙනෙහසින් යළි ඔබ පැමිණෙනා තුරා

ඉන්නෙමි ඇඟිලි ගනිමින් සිත දුකෙහි දරා

පෙර සසරෙහි පටන් පැතු ලෙස පාරමී පුරා

මම වෙමි හිමි සඳුනි ඔබගේ යශෝදරා

 

lක. ආ. ජයරත්න සිරිසේන

 

ඔබේ කවි නිර්මාණ

‘කවි සිළුමිණ’ සිළුමිණ, ලේක්හවුස්,

කොළඹ - 10 යන

ලිපිනයට

යොමු කළ හැකිය.

දුරකතනය

011 2429269

කල් ඉකුත් උපමාව

 

සුපුන් සඳ

උපමා කරනු හැකි වේද

ළඳකගෙ සොඳුරු උවනට

තව දුරට

වෙනස් කළා

විද්‍යා ලෝකයෙන්

අම්ස්ටෝන් යුරි ගගාරින් පමණක් නොව

සුරතල් බැල්ල ලයිකා

සඳ ගැන වු මතය

පා තබා සඳ මත

සඳත් ග්‍රහ තාරකාවක්

කුරූලෑ, ලප, කැලැල්

පිරී ඇති කැතම කැත

මූණකට මිස උපමා කළ හැකිද

ළඳකගෙ සොඳුරු උවනට

 

lසිරිනිමල් ලක්දුසිංහ

දිරි ගතිමි

 

පාළුව කාන්සිය ඇත හද වෙළාගෙන

තනිකම වරපටකි හිත ගැට ගසාලන

දරු මුනුපුරන් වෙන්වී දුර ගෙවාගෙන

හිත ඉකිබිඳුම කවියක් විය දයාවෙන

 

මහ දුර ගෙවා තනියම යා හැකි වේද

මගෙ තනි නොතනියට කවුරුන් එක් වේද

එන අභියෝගයට පිළිතුරු මතු වේද

සැකයක් නැතිව එයි සිත තුළ අවිවාද

 

බිය විය යුතු නොවේ තනිකම මවාගෙන

වියපත් අය බොහෝ යති දුර ගෙවාගෙන

සියයක් සෙනඟ මැද සෙනෙහස පුරෝගෙන

සිත සනසමින් යා යුතු දිරි නඟාගෙන

 

lකුසුමා වර්ණසුරිය

ඇසළ සඳ සිසිල

 

පතළ මෙත් ගුණ කාය මුනි සඳ කසීරට වැඩම වන පුවතයි

ඇසළ පුර සඳ මඬල මෝදුව අහස් ගිර රන් කැළුම් වපුරයි

නිසල මිගදා අරම සත් වග රැස් බුදු බණ අහන දවසයි

ඇසළ මල් වැට සිනාසෙනවා දම් අමා බණ සවන අමතයි

 

නෙළුම සුවඳයි කළල ගඳමයි එහෙත් පත්ලේ ඇලී නොසිටියි

බොහෝ සත්වග කෙලෙස් බරිතයි ඉන් මිදෙමු මඟ සොයමු නියතයි

සුතුරු දම්සත් පැවතුමෙන් කළ පළමු බණවර අමා වතුරයි

මහබඹුන් හා ඇසළ පුර සඳ කරපු ඇරයුම ලොවම සසලයි

 

lජයම්පති අල්ගම

ආවර්ජනා

 

පෙරදින ලැබූ පැතුමන් පත් ඇත එමට

දුබල දෑස විඳිනට ඉඩ නොදෙයි මට

මනසින් ගොසින් ඒ පාරේ විටින් විට

මිහිරක් ලබමි එබිකම් කර අතීතෙට

 

lචන්ද්‍රා පුංචිඅප්පුහාමි - නුගේගොඩ

පරිසර දිනේ

 

කැලැන්ඩර් පත්තිරුවේ

වඩින ඒ දවසවිත්

නව දසුන් මවනවා

ජේත්තුව පෙරටුගත්

කොලොම්තොට මහත්තුරු

පුල පුලා බලනවා

හිට වන්න පැළයක්

සුබ මොහොතින්

දවස මුළු තිස්සේම

මහ පොළොව එක්ක ඔට්ටුවෙන

ගහකොළට ළෙන්ගතුව

සියාතු උන්දෑ පැත්තක

යටි සිතින් සිනාසී ඉන්නවා

හැමදාම සිද්ධ වෙන දේ උන්දෑ දන්නවා

කුණු රොඩුත් එක්කලම උන් හිටෙව් පැළේ ළඟ

කවර ටික පොලිතීන් ඔහේ බිම දමනවා

මේ ඇත්තෝ යනතුරා උන්දෑ මඟ බලනවා

ඒ ටිකම එකතු කර පරිසරේ රැක ගන්න

 

lඋපුල් වික්‍රමනායක

 

Comments