හැමෝම බය කරන 22 දෙර්කාණාධිපති රවි ග්‍රහයා | සිළුමිණ

හැමෝම බය කරන 22 දෙර්කාණාධිපති රවි ග්‍රහයා

22 දෙර්කාණාධිපතියා වූ විට පියාගෙන් උදවු උපකාර නෑ

කෙනෙකුගේ කුජ 22 දෙර්කාණාධිපති වූයේ නම් හදිසි අනතුරු, තුවාල වීම් සහ ලේවල දෝෂ ඇතිවීමටත් ආගිය තැන කලහකාරී පුද්ගලයකු ලෙස හැසිරීමටද හේතු වේ

සඳු 22 දෙර්කාණාධිපතියා වූ විට ජලයෙන් හානි

බොහෝ ජ්‍යොතිෂවේදින් හා ජන්ම පත්‍ර පරීක්ෂා කර ගැනීමට පැමිණෙන බොහෝ දෙනෙකු 22 දෙර්කාණාධිපතිට දක්වන්නේ විශාල බියකි. එම 22 දෙර්කාණාධිපති තමන්ට බලපාන්නේ කෙසේදැයි සොයා ගන්නේ මෙසේය.

ජන්ම පත්‍ර සෑදීමේදී රාශියකට අංශක 30ක් තිබෙන බව කවුරුත් දන්නා කරුණකි. යම් කිසි රාශියක පළමු අංශකයේ සිට අංශක 10 දක්වා කාලය තුළ ඉපදී ඇත්නම් 22 දෙර්කාණාධිපති වන්නේ එම ලග්නයෙන් අටවැන්නාධිපතියාය. අංශක 10 සිට අංශක 20 දක්වා කාලය තුළ කෙනෙකුගේ 22 දෙර්කාණාධිපති වන්නේ එම ලග්නයෙන් 12 වැන්නාධිපතියාය.

කෙනෙකු වෘෂභ ලග්නයෙන් ඉපිද පළමු අංශක 10 තුළ ඔහු ඉපදී ඇත්නම් 22 වැනි දෙර්කාණාධිපති වන්නේ 8 අධිපති ගුරුය. අංශක 10 සිට 20 දක්වා කාලය තුළ ඉපදී ඇත්නම් එම අයගේ 22 දෙර්කාණාධිපති වන්නේ කුජය. අංශක 20 සිට 30 දක්වා කාලය තුළ ඉපදී ඇත්නම් එම අයගේ 22 වැනි දෙර්කාණාධිපති වන්නේ රවිය.

මේ ආකාරයට කෙනෙකුගේ 22 දෙර්කාණාධිපති ඕනෑම අයෙකුට පහසුවෙන් සොයා ගත හැකිය. කෙනෙකුගේ 22 දෙර්කාණාධිපති 'රවි' වුවහොත් ඇති වන අසුබ පල මොනවා ද? ග්‍රහ මණ්ඩලයේ මූලිකයා වන්නේ රවිය. පීතෘ කාරක රවි 22 වැනි දෙර්කාණාධිපති වූ විට පියාගෙන් ප්‍රතිඵල උදවු උපකාර අඩු වීමටත් ඇස්වල රෝග ඇතිවීමටත් හෘද රෝග ඇතිවීමටත් තම රැකී රක්ෂා පිළිබඳව ගැටලු අපහාස නින්දා හා තත්ත්වයෙන් පහතට වැටීමටත් හේතු වන බව කියැවේ. ගින්නෙන්ද විපත් ඇති වේ.

සඳු 22 දෙර්කාණාධිපති වූ අයට ජලයෙන් විපත්, සෙම් අමාරු, හිතේ බිය ගතිය හා මනස චංචල ගතිය ඇතිවීමටත් හේතු වේ. කාන්තාවක්නම් ගර්භාෂයේ දෝෂ හා අඝාත වීමේ දෝෂ ඇතිවීමට පුළුවන. තවද ගෙල මහත් වීම සහ ආමාශ ගත රෝග ද ඇතිවීමට පුළුවන. සෙම් බහුල රෝග සිහිය අඩු වීමට ද හේතු වේ.

කෙනෙකුගේ කුජ 22 දෙර්කාණාධිපත් වූයේනම් හදිසි අනතුරු, තුවාල වීම සහ ලේවල දෝෂ ඇති වීමටත් ආගිය තැන කලහකාරී පුද්ගලයකු ලෙස හැසිරීමටද හේතු වේ. එඩිතරකම සටන්කාමිත්වය අඩු කරයි. උෂ්ණ රෝග ඇතිවීමටත් තම සහෝදරයන් සමඟ ගැටලු, නඩුහබ පවා ඇති වීමට හේතු වේ. මෙම අයට අඟහරුවාදා දිනක කුජ හෝරාව අසුබ පල වැඩි කිරීමට හේතු වේ. ගින්දරින් හානි වීමටත් ලේවල දෝෂ ඇති වීමටත් හේතු වන බව ජ්‍යොතිෂ මතයයි. බුධ 22 වැනි දෙර්කාණාධිපති වූ විට පලාපල කිව යුත්තේ ඉතා ප්‍රවේසමින්ය. එනම්, බුධ යම් කිසි ග්‍රහයකු යෝග වූ විට එම ග්‍රහයාගේ තත්ත්වයට බලපාන නිසාවෙනි. බුධ 22 දෙර්කාණාධිපති වූ විට ඉගෙනීමට බාධාත්, ගොත ගැසීම, අවසිහිය, අමතක වන ගතිය ඇති වීමට ස්නායු රෝග, මොළයේ ආබාධ යම් කිසි අධ්‍යාපනයකින් පරිණත වීමට අපහසු ගතිය වැනි ප්‍රශ්න ඇති වීමට පුළුවන.

විශේෂයෙන් අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති වීමත් විශේෂත්වයකි. ගුරු 22 දෙර්කාණාධිපති වූ විට නායකත්වය නොලැබීම, තනතුරු තාන්න-මාන්න නොලැබීම, සමාජයෙන් කොන් වීම, ඥාන ශක්තිය අඩු වීමටත්, නීතිගරුක නොවීම, විවාහය අවුල් වීමටත් හේතු වේ. ඉගෙනීමට අදක්ෂ වේ. සිකුරු 22 දෙර්කාණාධිපති වූ විට වකුගඩු රෝග හා ලිංගික රෝග, විවාහය අවුල් වීම, මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, ලෞකික සම්පත් අවම වීම, විවාහය අවුල් වීම, කරදර මැද්දේ ජීවත් වීම සහ අන් අයගේ ආදරයට ගෞරවයට පත් නොවීම වැනි ප්‍රශ්න ඇති වේ.

සෙනසුරු 22 දෙර්කාණාධිපති වූ විට දුක සේ හා බියෙන් ජීවත් වීමට සිදු වේ. ආර්ථික වශයෙන් පිරිහේ. වාත අමාරු, සුව නොවන තුවාල, හොරි දද, කුෂ්ඨ වැනි රෝගත් දියුණුවට බාධා, දිළිඳු වීමටත් හේතු වන බව උගන්වයි.

කරුණු මෙසේ වුවද මෙම ග්‍රහයින් උච්චව මිත්‍රව ස්වක්ෂේත්‍රව සුබ ග්‍රහයන් සමඟ යෝගව සිටීමෙන් මෙම පලාපලවල වෙනස්කම් දක්නට ලැබේ. මේ නිසා ජන්ම පත්‍ර සියුම්ව පරීක්ෂා කර බලා පලාපල කිව යුතු බව සලකන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී නන්දසේන වීරසිංහ

Comments