![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/18/India-Sri-Lanka.jpg?itok=2TTzyXdU)
මුහුදු මාර්ගයෙන් මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම යටතේ පිහිටුවන ලද ඉන්දියා - ශ්‍රී ලංකා ඒකාබද්ධ කමිටුව අන්තර්ජාලය ඔස්සේ රැස් විය.
ඉන්දියානු පාර්ශවය ඉන්දීය රජයේ වරාය, නාවික සහ ජලමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ශ්‍රී රාජේෂ් කුමාර් සිංහා මහතාගේ ප්‍රධානත්වයෙන් ද ශ්‍රී ලංකා පාර්ශවය ශ්‍රී ලංකා රජයේ වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ද මේ සඳහා පසුගිය 14වැනිදා සහභාගි වූහ.
අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ස්ථාන යා කරමින් බෝට්ටු සේවා නැවත ඇරඹීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවන් හිදි අවධානය යොමු විය. බෝට්ටු සේවා නැවත ආරම්භ කිරීම කලාපීය වෙළඳාම සහ සංචාරක කර්මාන්තය ඉහළ නංවනු ඇති බවට ද ජනතාව අතර වඩාත් ශක්තිමත් සබඳතා ප්‍රවර්ධනය කරනු ඇති බවට ද දෙපාර්ශවය එකඟ වූහ.
නුදුරු අනාගතයේ දී බෝට්ටු සේවා මෙහෙයවීමේ දී අන්‍යෝන්‍ය සහයෝගීතාවය සඳහා ක්ෂේත්‍ර ගණනාවක් ද ඒකාබද්ධ කමිටුව විසින් හඳුනා ගැනුණු අතර අන්‍යෝන්‍ය අවබෝධය මත පදනම්ව වැඩිදුර පියවර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කෙරිණ.
මෙම ඒකාබද්ධ කමිටුව 2011 වසරේදී අත්සන් තබන ලද මුහුදු මාර්ගයෙන් මගීන් ප්‍රවාහනය සම්බන්ධයෙන් වන ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුමේ විධි විධාන අනුව ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන් විසින් මෑතක දී නැවත පිහිටුවන ලදී.