ඔබේ කේන්දරේ රාහු කොතැනද? | සිළුමිණ

ඔබේ කේන්දරේ රාහු කොතැනද?

 

කපටිකම් දන්නා රාහු කරන දේ කරන්නේ ප්‍රසිද්ධියේමයි

රාහු සිටින තැන අනුව පලාපල මෙහෙමයි

රාහු හතේ නම් මහ දශාවකදී ඔහුට ඇයට සුන්දර සහකරුවෙක් සහකාරියක්

 

රාහු ග්‍රහයා ගැන කතා කිරීමේදී පළමුව කාගේත් සිතට මතක් වන්නේ රාහුට ඔළුවක් නැති බවය. සැබැවින්ම රාහු යනු ඔළුවක් නැති ඔළුව වෙනුවට නයි පෙනයක් ඇති ඡායා ග්‍රහයෙකි. එසේනම් රාහු ග්‍රහ මඬුල්ලේ වෙසෙන නියම ග්‍රහයෙකු නොවේ. රාහු ඡායා ග්‍රහයෙකි. නුවණ අඩුකම සිහිමද ගතියක් රාහු තුළින් පෙන්වන බව ජ්‍යොතිෂයේ දැක්වෙයි. රාහුගේ අත්පා දිගුය. නැඟ සිටින්නේ අශ්වයකු පිට මතය. මේ කරුණු රාහු ග්‍රහයාගේ සාමාන්‍ය හැඩරුව පිළිබඳවය.

රාහුගේ ගතිගු ණ

රාහුගේ ගතිගුණ අපූරුය. රාහු කපටිකම් දනියි. එහෙත් කරන දේ ප්‍රසිද්ධියේම කාටත් දැනෙන පරිදි කරයි. හැංගි හැංගි වැඩ කරන්නත් රාහු දක්ෂය. ඇවිදිලිවලට ඉතා කැමති වෙයි. එක තැන වාඩිවෙලා සිටීමට කැමති නැත. නරක අය සමඟ ආශ්‍රයට ගියහොත් නරක් වෙයි. හොඳ අය සමඟ ඇසුරට වැටුණොත් යහපත් වෙයි. මේ රාහුගේ හැටිය. මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි, සූදුවට මහත් කැමැත්තක් දක්වයි. රාහු ලැබූ ජන්මියා තුළත් රාහු තුළ පවතින මේ ගතිම ඇති කරයි. රාහු දශාවලදී ජන්මියා වැඩ කරන්නේ ඔළුවක් නැති ගානටය. රාහුගේ පෙලඹවීම මත එසේ කරයි. රාහු ලැබූ විට ජීවිතයේ නොයෙක් දේ වෙනස් කිරීමට සිදු වෙයි. ස්ථිර අරමුණුවලින් බැහැර වෙයි. ජන්මියාගේ සිත සන්සුන් නොවෙයි. පිස්සු වැඩ කිරීමට සිත පෙලඹේ. ඉගෙන ගන්නා වයසේනම් ඉගෙනීම කඩාකප්පල් විය හැකිය. රාහු දශාව ජන්මියා තුළදී වැඩිහිටි ඥාතියකුගේ වියෝවක් දැකිය හැකිය. එය බොහෝ විට පවුලේම අයකු වීමට හෝ තමාට ඉතාම සමීප ඥාතියකු වීමට ඉඩ ඇත. රාහු දශාව තුළදී ස්ත්‍රීන් පුරුෂයන් කෙරෙහිත්, පුරුෂයන් ස්ත්‍රීන් කෙරෙහිත් දැඩිව ආකර්ෂණය වේ. අනියම් සබඳතා පවා ඇති කර ගනී. එහෙත් බොහෝවිට එම සබඳතා වැඩිකල් පවතින්නේ නැත. රහස් සබඳතාවලට සිත යොමු කරයි. අන් අයට ඒවා හෙළිදරවු වීම නිසා නින්දා අපහාස ඇසීමට පවා සිදුවේ.

රාහු 07 වැන්නේ සිටින අයකුට රාහු දශාවක් ලැබුණහොත් ඔහුට හෝ ඇයට සුන්දර කඩවසම් සහකරුවකු හෝ සහකාරියකගේ අත ගැනීමට එම දශාව තුළදී හැකියාව ලැබේ. එහෙත් එම විවාහය තුළ අසුබකාරී බවක් ඇතිවේ. එක්කෝ දෙන්නාගෙන් එක් අයකුගේ අභාවයක් හෝ දෙදෙනා වෙන්ව යාමක් සිදුවිය හැකිය. රාහු දශාවේදී කේන්දරයේ රාහු සිටින ස්ථානය වෙනත් ප්‍රබල ග්‍රහයකුගේ බැල්මට හසුව ඇත්නම් ජන්මියාට රාහු දශාව තුළදීම ජීවිතයේ දියුණුව ඇති කරගැනීමට ඉවහල් වනු ඇත.

මුදල් හදල් වැඩිපුර උපයා ගනියි. රාහු දශාවේදී මෙවන් සුබ පල ගෙන දීමට නම් රාහු සුබ ග්‍රහයකුගේ බැල්මට හසුව තිබිය යුතුය. එවිට ජන්මියාට අනෙකුත් දශාවන්ට වඩා රාහු දශාවෙන් වඩාත් සුබ පල උදා කරයි.

රාහු සිටින දශාව අනුව පල විපාක

කේන්දරයක රාහු සිටින ස්ථානයන් අනුව ඇති කරන පල විපාක කෙසේදැයි බලමු. රාහු ග්‍රහයා 3, 6, 11 වැන්නේ සිටීනම් දෝෂ භංග වී ජන්මියාට දීර්ඝායුෂ ගෙන දීමට හේතු වේ. එහෙත් මෙකී ස්ථානවලදී ද පාප ග්‍රහයන් සමඟ සංයෝගව රාහු සිටින්නේනම් අසුබ පල ගෙන දෙන බවට අමතක නොකළ යුතුය. රාහු දශාවලදී විශේෂයෙන්ම මෙම අශුභ පල ගෙන දීමට රාහු ඉදිරිපත් වේ. රාහු ග්‍රහයා 5, 9, 12 සිටින විටදී අසුබ පල ගෙන දෙයි. සුබයන් සමඟ මෙකී ස්ථානවල යෙදුණ ද රාහුගෙන් හොඳක්නම් බලාපොරොත්තු විය නොහැකිය.

රාහු සමඟ ග්‍රහ සංයෝග

රවි - රාහු සමඟ ග්‍රහ සංයෝගව සිටින විට සුබ පල උදාකරන අතර අයහපත්ව සිටීමෙන් අසුබ පලත් ශුභව සිටීමෙන් යහපත් බවත් ඇති කරයි.

සඳු - රාහු සමඟ සංයෝග වීමෙන් ශාන්ත ගතිය අඩු කරන අතර අධික චිත්තවේග ගති ඇති අයකු වේ. තම ඥාතීන්ට අපල ගෙන දෙයි.

ඇවිදීමට ගිජු නිතර කෙටි ගමන් ඇති අයකු වන අතර වේදනා සහිත සිදුවීම් ඇති කරයි. දෙදෙනාම යහපත්ව 10 වැන්නේ පිහිටයිනම් දක්ෂතා ඇති අයකු බිහි කරයි. දියුණුව ද මේ නිසා ඇතිවේ.

කුජ - රාහු සමඟ සංයෝග වීමෙන් ඉතා වේගයෙන් කටයුතු කරන අතර අයහපත්ව පිහිටි විට හිසේ දරුණු ආබාධ, ඉගෙනීමේ අවුල්, මෝඩකම් මෙන්ම දාමරික ක්‍රියාවලට ද හේතුවේ.

දෙවැන්නේ මෙම යෝගය තිබූ විට මුහුණේ දත්වල ආබාධ, ධන හානි, විවාහ ජීවිතයේ අවුල් ඇති වේ. 3, 8, 9, 10, 11 කුජ සමඟ එකතු වූ විට ධනවත් වනු ඇත. ලොතරැයි දිනුම් ලැබීම් ඇති කරයි.

බුධ - රාහු සංයෝගය නිසා බුධගේ ගති අවම වී රාහුගේ ගති ඉස්මතු වන තත්ත්වයන් ඇති කරයි. මේ නිසා ඇවිදීමට, දුම්බීමට, මත්පැන් හා මත්ද්‍රව්‍යවලට යොමු වන තත්ත්වද ඇති වේ. තරුණ අවදියේනම් තැරැව් කටයුතුවලින් ලාභ ලැබිය හැකිය. ඇවිදීමෙන් කරන රැකියාවලින් ද ලාභ ඇතිවේ.

ගුරු - රාහු සංයෝගය අනුව හොඳ උස මහත ශරීරයක් හිමි වන අතර සංවිධාන ශක්තිය ඇති යම් යම් කාර්යයන් කෙරෙහි සුවිශේෂි දක්ෂතා ඇති කරයි. මධ්‍යස්ථ අධ්‍යාපනයක් ලැබීමේ හැකියාවක් ඇත. අයහපත්ව පිහිටි විට නඩු මගට වැටීම, රෝග පීඩා, වැයවීම් අධික වනු ඇත.

සිකුරු - රාහු සමඟ සංයෝග වීමෙන් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණයක් ඇති කරවයි. වීර්ය ගති ඇති අයකු වේ. පසුතැවිලි වන දේවල් කරන අතර ඉක්මන්කම, හොඳ නුවණක් නැතිකම දැකිය හැක. 07 වැන්නේ මෙම සංයෝගයෙන් විවාහයේ අර්බුද ඇති කරවයි.

ශනි - රාහු සංයෝගය නිසා සුබ පල ගෙන දෙන තත්ත්වයන් ඇතිවේ. ව්‍යාපාර ලාභ ලැබීම තදින් කටයුතු කිරීම, ලෝභකම වැනි දෑ ඇතිවේ. අශුභ ලෙස යෙදුණු විට දුක් සහිත දේවල් සිදුවන බවද මතක තබා ගත යුතුය.

රාහු අපලය දුරු කර ගැනීමට පිළිවෙත්

පැලඳිය යුතු මැණික් - මිලි ග්‍රෑම් 728 බරැති ගෝමේද මැණිකක් රිදී මුදුවක බහා සුළඟිල්ලේ පැලඳිය යුතුය.

දාන - එළුමස් සහිත බත්, නිල් වස්ත්‍ර, තල තෙල්, පස්ලෝ

යන්ත්‍ර - නාගර්ජුන යන්ත්‍රය 1800 වාරයක් ජප කර පැලඳීම යහපති

ස්නානයට ඖෂධ - ඉරිවේරිය, කලාදුරු, බෙලිකොළ, රත්හඳුන්, ලොත් සුබුළු, කස්තුරි, ගජමද, ඊතණ

මල් - වැටකේ මල්, සුදු හෝ ලා රතු මල්, නිල් මල් පූජා කරන්න.

පහන් - තලතෙල් පූජා කරන්න

සුගන්ධ ධූප - ලාකඩ දුම් අගිල් මිශ්‍ර සඳුන් පූජා කරන්න

දේවතාවා - විෂ්ණු දෙවියන්ට පින් දෙන්න

ජ්‍යෙතිර්වේදී, විදුහල්පති උපුල් ජයශ්‍රි ද සිල්වා

Comments