දරු පල ප්‍රමාද ද? ඉක්මන් ප්‍රතිඵල ලැබෙන‍ බෝධි පූජාවක් | සිළුමිණ

දරු පල ප්‍රමාද ද? ඉක්මන් ප්‍රතිඵල ලැබෙන‍ බෝධි පූජාවක්

 

බෝධි පූජාව කළ යුත්තේ සඳුදා සහ සිකුරාදා උදේ

පිරිමි සහ ගැහැනු දරුවන් ලබන ග්‍රහ පිහිටීම්

දරු පල ප්‍රමාදය වැළැක්වීමට ජ්‍යොතිෂ‍යෙන් පිළියම් රැසක්

අඹු - සැමි  කේන්දර පරීක්ෂාකර දෝෂ සොයාගත හැකියි

 

ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකු ප්‍රේමණීය හෝ යෝජිත විවාහයකින් එක් වහලක් වෙත සම්ප්‍රාප්ත වන්නේ දහසකුත් එකක් බලාපොරොත්තු පෙරදැරි කරගෙනය. ප්‍රජාවගේ පැවැත්ම වන්නේ යහපත් විවාහයයි. එහි අග්‍ර පලය නීරෝගි දරු සම්පතයි. ඒ අතර එම යුවළගේ මූලිකම අපේක්ෂාව වනුයේ හුදෙක් ලෞකික සැප සම්පත් විඳිමින් වසානාවන්ත නීරෝගි දරු සිඟිත්තෙකුගේ මුහුණ බැලීමයි. මේ ලෝකයේ උතුම්ම සම්පත දරු සම්පතයි. නමුත් වර්තමාන සමාජය දෙස අවධානය යොමු කිරීමේදී දරුවන් නොමැතිව ජීවිත ගත කරන අඹුසැමියන් විශාල පිරිසක් අප සමාජයේ දැක ගැනීමට හැකිය. ඔවුන් දරුවන් නොමැතිව මානසික පීඩනයට ලක්ව සුසුම් හෙළමින් සිටී.

යහපත් සාර්ථක විවාහයක් තුළින් දරුවන් අපේක්ෂා කළ හැකි වුවත් පොරොන්දමට පමණක් සීමා වීම වී ග්‍රහ ගැළපීම් නොසලකා හැරීම තුළ මෙවැනි තත්ත්වයක් උදා වී ඇත. මෙවැනි තත්ත්වයක් උදාවූ විට බොහෝ අවස්ථාවල ඇඟිල්ල දිගු වන්නේ කාන්තාවට වුවද ඒ සඳහා පුරුෂයා ද වගකිව යුතුය. සෑම කාන්තාවක්ම විවාහයෙන් පසු දරු පල අපේක්ෂා කළත් දරු පල අහිමි කරන ග්‍රහ පිහිටීම් නිසා හැම කාන්තාවක්ම එම තත්ත්වයට පත් නොවේ. ලෝකයේ උත්තරීතරම පදවිය වන මවු පදවිය ලබා ගැනීමට ප්‍රබල පින් බලයක් මෙන්ම වාසනා ගුණයක් ද පැවතිය යුතුය. දරුපල රහිත පුරුෂයන්ද කොතෙකුත් අප සමාජයේ සිටී. අද සමාජයේ මෙම කාරණාව මතම බොහෝ විවාහ දෙදරා යාමේ ප්‍රවණතාවක්ද දක්නට ලැබේ. එම නිසා අඹුසැමියන් එම තත්ත්වයට නොගොස් මේ පිළිබදව උපේක්ෂාවෙන් බැලිය යුතුය. එවිට බොහෝ ප්‍රශ්න විසඳා ගත හැකිය.

මෙම ලිපිය මඟින් අප අවධානය යොමු කරන්නේ දරු පල නොමැති වීම හා දරු පල ප්‍රමාදය පිළිබද ජ්‍යොතිෂානුකූල විග්‍රහයක යෙදීමය.

ගේ දොර ඉඩ කඩම්, යාන වාහන, මිල මුදල්, රැකී රක්ෂා, දේපළ යන මේ සියල්ල ලැබුණත් දරුවෙකු ලැබීමේ වාසනාව අහිමිව ඇත. නමුත් සමහරෙකුට ඒ සියල්ල නැති වුවද දරුවන් ලැබීමේ වාසනාව හිමිව ඇත. එසේ නම් මෙයට හේතුව කුමක් ද? එහි සරල තේරුම නම් අප පූර්ව ආත්ම භාවයේ කළ පව් පින් අනුව අපට මේ ආත්මයේ ලැබෙන නොලැබෙන දේ තීරණය වීමයි. එම නිසා අප පූර්ව ආත්මයේ දැඩි ලෙස පව්කර ඇත්නම් මේ ආත්මයේ අවාසනාවන්ත ලෙස දරුවන් නොලැබී යාමට ද හැකිය. නමුත් දරුපල ප්‍රමාදයට ජ්‍යොතිෂයේ පිළියම් රාශියක් ඇත. ඒ සඳහා ස්ත්‍රී පුරුෂ දෙදෙනාම තම තමන්ගේ හඳහන් දක්ෂ අවංක ජ්‍යොතිෂවේදියෙකු ලවා පුළුල් පරීක්ෂාවකට ලක්කළ යුතුය. එවිට එයට අදාළ දෝෂය සොයා බලා ග්‍රහ ශාන්තිකර්ම කළ හැකිය.

ජ්‍යොතිෂානුකූලව දරු පල පිළිබඳ විමසා බැලීමේ ක්‍රම රාශියකි.“සන්ථානදීපිකාව” නම් ග්‍රන්ථයේද මේ පිළිබඳව දක්වා ඇත. දරුවන් පිළිබඳව බැලීමේදී මූලික වන්නේ කේන්දරයේ 5 වැන්නයි. එනම් ඔබගේ කේන්දර සටහනේ ලග්නයෙන් පස්වන කොටුව පුළුල්ව විමර්ශනය කළ යුතුය. මෙහිදි 5 වැන්නේ සිටින ග්‍රහයන්, එම භාවයට දෘෂ්ටි හෙළන ග්‍රහයන්, එහි අධිපති සහ එම ග්‍රහයාගේ තත්ත්වය, පුත්‍රකාරක ගුරුගේ ස්වභාවය, 5 වැන්නෙන් 5 වැන්න, 5 වැන්න අධිපතියාගෙන් පස්වැන්න හා පුත්‍ර කාරක ගුරුගෙන් පස්වැන්න පුළුල්ව විමර්ශනය කළ යුතුය. ස්ත්‍රී කේන්දරයක සඳු, කුජ, සිකුරු ග්‍රහයන් අසුබව නීචව හෝ සතුරුව පීඩාවට පත්ව සිටීනම් අදාළ ස්ත්‍රිය ලිංගික ක්‍රියාකාරකම්වලට පසුබසී. එම නිසා ද දරුපල අපේක්ෂා කළ නොහැකිය. දරුවන් ගැන බැලීමේදී 5 අධිපතියා උච්චව හෝ ස්වක්ෂේත්‍රව බලවත්ව සිටීම නිසා වාසනාවන්ත දරුවන් අපේක්ෂා කළ හැකිය. ගුරු, සිකුරු උච්චව 5 වැන්නේ සිටීම ඉතාම සුබය. එවිට ගුණ නැණබලෙන් යුතු දරුවන් ලබයි. ගුරු නීච වීම දරුවන් අඩු වන අතර ඔවුන් මානව හිතවාදී නොවනු ඇත. බුද ග්‍රහයා ලග්නයෙන් 05 09 වී සෙසු ග්‍රහයෝ දුර්වල වූ විට පිරිමි දරුවන් ලබයි. ලග්නය සිංහ වී එහි රවි, සඳු දුර්වල ව කුජ සහ ශනිගේ දෘෂ්ටියට ලක් වූ විට අන්ධ දරුවන් බිහි වීමේ ප්‍රවණතාවක් ඇත.

මීට අමතරව දරු ගර්භයක් හටගන්නේ ලිංගික සේවනයේ යෙදෙන විට රවි, සඳු, සිකුරු ස්වකීය නවාංශකවල සිටින විටය. ගුරු හෙවත් බ්‍රහස්පති කේන්දරයේ 05, 09 හෝ ලග්නයේ සිටීමෙන් දරු පල උදා කරනු ඇත.

 

1. කේන්ද්‍රයේ 5 වන භාවය තුළ රාහු දුර්වලව සෙනසුරුගේ දෘෂ්ටියට ලක්වීම

2. 5 වැන්න අධිපති කුජ වී කේන්දරයේ 5 වැන්නේ සෙනසුරු සිටීම

3. කේන්දරයෙ පුත්‍රස්ථානය වන 5 වැන්නේ රාහු නීචව සිටීම

4. සෙනසුරු 8 වැන්නාධිපතියා වෙමින් 5 වැන්න වන පුත්‍රස්ථානය දැකීම

5. කුජ හා කේතු යන පාප ග්‍රහයන් දුර්වලව 5 වැන්නේ සිටීම

6. රවි හා සඳු යන ග්‍රහයන්ගෙන් 5 වැන්නේ පාපීන් සිටීම

7. මීට අමතරව සූර්යා හා චන්ද්‍ර කේන්දරයෙන් ද විමසා බැලිය යුතුය.

දරුවන් පිළිසිඳ ගැනීම ස්ත්‍රියකගේ මාසේ ශූද්ධියෙන් 06, 08, 10, 12, 14, 16, යන ඉරට්ටේ දිනවලත් 05, 07, 09,11, 13, 15, යන ඔත්තේ දිනවලත් පිළිවෙළින් පුතුන් හා දූවරුන් පිළිසිඳ ගනු ලබයි. දරුවන් පිළිසිඳ ගැනීමේ දී මාසේ ශූද්ධියෙන් 04 වන දිනයේ සිට උචිත දිනවල බිරිය හා ස්වාමි පුරුෂයා දිවා කල නා පිරිසිදු වී රාත්‍රියේ දී පුරුෂයා දකුණු පසින් ද ස්ත්‍රීය වම්පසින් ද යහන්ගත වී එක්වීම ජ්‍යොතිෂානුකූලව ඉතා සුදුසුය. එවිට යහපත් දරුවන් පිළිසිඳ ගනු ඇත.

දරුපල අහිමි අය තමන්ගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරවාගෙන එම දරු පල ප්‍රමාදය දිගු කාලීන ද කෙටි කාලීනද යන්න පළමුව විමසා බැලිය යුතුය. ඇතැම් විට වසරක් දෙකක් හෝ තුනක් වශයෙන් හෝ පහ හය දහය වශයෙන් දිගු කාලයන්වලදීද දරු පල හට ගැනීමේ තත්ත්වයක් පවතී. කෙසේ නමුත් දරු පල ඇති කර ගත හැකි ශාන්ති කර්මයක් හෙවත් අති විශේෂ බෝධි පූජාවක් පහත සඳහන් වෙයි.

 

දරු පල නොමැති හා ප්‍රමාද වූ

කාන්තාවන් වෙනුවෙන් ප්‍රබල ප්‍රතිඵල ලබා දෙන අතිවිශේෂ බෝධි පූජාව

 

තමාට පහසුවෙන් යා හැකි ආගමික වතාවත් ඉටු කරනු ලබන අනුහස් ඇති බෝධින් වහන්සේ නමක් තෝරාගෙන එම ස්ථානය අතුගා පිරිසිදු කොට සුවඳ ධූපයක් අල්ලා එම ස්ථානය මේ සඳහා සුදුසු පරිදි සකසා ගන්න.

මෙම බෝධි පූජාව සතියේ සඳුදා හා සිකුරාදා දිනවල උදෑසන 6.00ත් 8.00ත් අතර කළ යුතු අතර සවස (6.00ත් 8.00ත් අතර) කරන්නේ නම් කිරිබත් වෙනුවට පලතුරු යුෂ පමණක් පිදිය හැකිය. කෙසේ වෙතත් මෙම බෝධි පූජාව වඩාත් සුදුසු වන්නේ උදෑසන කිරීමය. ඒ සඳහා පිරිසිදුව සාදාගත් කිරිබත් පිඟානක් කිරි කළයක් (යෝගට් කෝප්පයක ප්‍රමාණයේ මැටියෙන් තැනූ කළයක් ) සුදු මල් වට්ටියක්, සුදු කොඩියක්, හොඳ ඉදුණු අඹ ගෙඩියක්, ගිතෙල් පහනක්, සුවඳ පැන් කළයක්, වී පොරි ස්වල්පයක්, සුදු හඳුන් ස්වල්පයක් ද බන්දේසියක තබා ගිතෙල් පහනක්ද දල්වා බෝධියෙහි තැන්පත් කරන්න. බෝධි පූජා ගාථා කියමින් පූජාව තබන්න.

වී පොරි ස්වල්පයකට ගිතෙල් දමා අනා ඒවායින් බෝධිය වටා දුම් අල්ලන්න. බෝධිය නෑවීමේදී සුවඳ මිශ්‍ර පැන්වලින් බෝධිය නාවන්න. ඒ සෑම විටකම ඉහත කී අරමුණ සිතට ගන්න. පසුව බෝධි පූජාව තබමින් ඒ සියල්ල බුදුරජාණන් වහන්සේට පූජා කරන්න.

මෙම ශාන්තිකර්ම තුළින් ඔබ උපදවන්නේ අතිප්‍රබල කුසල කර්මයකි. බලගතු පිනකි. ඒ පින් බලයෙන් දරු පල නැති කල අකුසල බලය දුරු වේවායි පතමින් අරමුණු කරමින් මෙම බෝධි පූජාව අවසන් කරන්න. එසේ අවසන් කර ඔබ උපදවා ගත් ඒ කුසලයේ අග්‍ර වූ භාගය සත්පත්තිනි මෑණියන්ට අනුමෝදන් කරන්න. එසේ අනුමෝදන් කර තමන්ට නීරෝගි දරු සම්පතක් ලබා ගන්නට අවහිර වන සියලු බලවේග බාධා සිඳ බිඳ දරු පල ඇති කර දෙන ලෙස ඉල්ලා සිටින්න. පහත සඳහන් ගාථාව කියා පින් අනුමෝදන් කරන්න.

 

යං අම්මේහි කතං පුඤ්ඤාං

සබ්බ සම්පත්ති සාධකං

සත්පත්තිනි දේව මාතානං

ඉමං පුඤ්ඤානු මෝදනං

 

(මෙම බෝධි පූජාව පවත්වන කාලයේදීවත් සම්පූර්ණයෙන්ම නිර්මාංශ ආහාර වේලක් ගත යුතු අතර කිලිවලට හසු නොවී ධාර්මික දිවි පෙවතක් ගත කළ යුතුය)

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

බණ්ඩාරගම,

සම්පත් එස්. කල්පගේ

Comments