දෙලොවක් අතර | සිළුමිණ

දෙලොවක් අතර

සිය නිවෙස ඉදිරිපස වූ දර කොටයක් මත වාඩි වී සිටි ගුණවතී, යාබද නිවෙස ඉදිරියේ නවත්වා තිබූ මෝටර් රිය දෙස බලා සිටියේ බලවත් විමතියකිනි. එබඳු මෝටර් රියක් එයින් පෙර කිසිදිනක එහි ආ ගිය බවක් ඇයට සිහිපත් වූයේ ද නැත. ගෙතුළින් ඇසෙන උස් සිනා හඬත් කතා බහත් අනුව කිසියම් හිතවත් පිරිසක් එහි පැමිණ ඇතැයි ගුණවතීට සිතුණි.

කවුද බොලේ අර මාරිලාගේ ගෙදර කැකිරි පළන්නේ, බලන්න එපායැ අර වාහනේ උජාරුව විතරක්." ඇය ගෙතුළට හැරී දියණියට ඇසෙන්නට කීවාය. නිතරම අනුන්ගේ ඕපාදූප කතා කරන සිය මවගේ ගති සිරිත් මනාව හඳුනන චාන්දනී, එක් වරක් පමණක් හිස ඔසවා බලා යළිත් බීරලු රේන්දය ගොතන්නට වූවාය.

"මාරි නැන්දාගේ බාල දුව අනෝමා ගෙදර ඇවිත්. මම හිතන්නේ ඒ කාර් එක එයාගෙ මහත්තයාගෙ" චාන්දනී එසේ කීවේ, මෑණියන්ගේ නොඉවසිලිමත් බව හඳුනා ගනිමිනි.

"මොනවා!" ගුණවතී සිය දියණිය දෙස බැලුවේ පුදුමයෙන් දෑස් විවර කරගෙනය.

"වෙන්න බෑ. අනෝමා කෙල්ල කසාද බැඳ ගත්තේ ඉස්කෝලෙක ගුරෙක්ව"

"ඉතින් ඒ මහත්තයාට කාර් එකක් ගන්න බැරියැ, ලොකු පඩියකුත් නැතැ"යි චාන්දනී කීවේ කෝපය හා කලකිරීම මුසු හඬකිනි.

"පුළුවන් තමයි, ගෙවන්න ගන්න ඇති. දැන් කාර් නැත්තේ කාටද බන්"

"ඉතින් මොකද අම්මේ ගෙවන්න ගත්තත්, ඒ ණය ගෙවන්නේ, ඒ මහත්තයා මිසක් අපි නෙවෙයිනෙ, තියෙන මිනිස්සු කාර් ගත්තාම අපිට මොකෝ?" චාන්දනී කීවේ මව කෙරෙහි උපන් අප්‍රසාදයෙනි.

"උඹ දන්නෙ කොහොමද ඒක අනෝමාගෙ මිනිහාගෙ කාර් එක බව" ගුණවතී විමසුවේ කේන්තියටත් එක්කය.

"ඇයි, පොඩි අයියා කියාගෙන ගියේ. කඩේ ළඟ මිනිස්සු කතා වුණාලු."

"මොනවා! ඉතින් උඹලා දෙන්නා කතා වුණා මිස මට කිව්වේ නැත්තේ. මම පිළිකන්නේ ඉන්නකොට එයා කොහේද යනවාය කියලා ගියේ. උඹලා ඔක්කොම එකයි"

ඒ අසා චාන්දනී සාවඥ ලෙස සිනාසුණා ය.

"මොනවාටද අම්මේ අපි ඔක්කොම එකතු වෙලා, අනුන්ගේ කාර් එකක් ගැන කතා කරන්නේ."

"ඔව් ඉතින්, උඹලා දෙන්නා විතරක් කතා වුණාම මදැයි. උන් ඔක්කොම අඩව් අල්ලන්නේ අපිට පේන්න. ඒක උඹලාට තේරෙන්නේ නෑ."

ගුණවතී නැවතත් නිහඬව, යාබද නි‍ෙවසෙන් ඇසෙන උස් සිනාවටත් කතාවටත් සවන් දීගෙන සිටියාය. ඒ සියල්ලෙන්ම කියැවෙන්නේ ඒ ගෙදර සියලු දෙනා මහත්වූ ප්‍රීති ප්‍රමෝදයකින් හා සැහැල්ලුවකින් පසුවන බවක් නොවේද?

හිස නමාගෙන බීරලු ගොතන චාන්දනීට මව කෙරෙහි මහත් අනුකම්පාවක් හා දුකක් ඇති වූයේ නිරායාසයෙනි. නැතිබැරිකමින් පීඩා විඳිමින් දහසක් දුක් ඉවසමින් ජීවත් වන්නට වෙහෙසෙන මෑණියන් තුළ යාබද නිවෙසේ උදවිය කෙරෙහි ඇතිවී තිබෙන ඊර්ෂ්‍යාව මුසු වූ දොම්නස් සහගත බව සාධාරණ යැයි ඇයට සිතුණි.

"මොකද අම්මේ දිනූෂාට එයාගෙ මහත්තයා එක්ක කාර් එකකින් එන්න බැරි. දැන් එයාට කළුතර කච්චේරියේ උසස්වීමකුත් ලැබිලා "චාන්දනී කියන්නට වූයේ එක්තරා ආකාරයක ආත්ම අනුකම්පාවක් ද ඇතිවය. තමා සමඟ එකට පාසල් ගිය, යාබද නිවෙසේ දැරියන් දෙදෙනා‍ හොඳින් ඉගෙන ගෙන රැකියාවන්හි යෙදී, විවාහ වී දරුවන් ලබා වාසනාවන්ත ජීවිත ගත කරති. එහෙත් චාන්දනීට එබඳු වාසනාවක් වූයේ නැත.

"මට ඉස්කෝලෙ ගිය කාලෙ හොඳට ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒත් හුඟක් දවස්වලට මම පොඩි මල්ලිලා බලාගන්න ගෙදර නැවතුණා. ඉස්කෝලෙට ඕන පොතක්පතක් ගන්නවත් පුළුවන්කමක් තිබුණෙ නෑ. සේරටම හරහට හිටියේ අපේ දුප්පත්කම "ඇය සිතන්නට වූයේ බලවත් දුකකිනි.

"මාරි ගෑනිත් ඉතින් බෑණලා නිසා බැබළෙනවා. ඒත් ඉතින් ලක්සෙට කොඩි දැම්මත් එක පුතෙක්වත් ඉන්න එකක් යැ. එයාගෙ දරුවෝ දෙන්නාම කෙල්ලොනෙ"ගුණවතී යළිත් කීවේ අවඥාවෙන් සිනාසෙමිනි.

"මාරියාට දැන් මුල මතක නැතිවෙලා. අපි දෙන්නාම වැඩ කෙරුවෙ වත්තෙ, එකට. අපි අතට ගත්තු තුට්ටු දෙකෙන් ළමයි හතර පස් දෙනෙකුගෙ වැඩ. එයාට එහෙමයැ කෙල්ලෝම දෙන්නෙක් විතරයි. මොකෝ එක පුතෙකුගෙවත් සුවඳක් දැනුණු ගෑනියෙක්යෑ"

චාන්දනී මව දෙස විමසිලිමත්ව බලා සිටියාය. කවර දුක් දෝමනස්සයකදී වූවත් ඇය මේ මන්තරය ජප කරන බව චාන්දනී දනී.

"එක දුවට, පුත්තු හතරක්" පුතුන් පිළිබඳ මහත්වූ කිසියම් අභිමානයක් මව තුළ පවතින අතර, අහල පහල කිසිවකු සමඟ රණ්ඩු දබර කරගන්නා අවස්ථාවලදී මෙම අභිමානය ඇය ශක්තිමත් ආයුධයක් කරගන්නා බව චාන්දනී සිතුවේ මව කෙරෙහි අනුකම්පාවකිනි.

"අනිත් ගෑනු වගේ නෙවෙයි. මම පුත්තු හතර දෙනෙකුගේ අම්මා කෙනෙක්" ඇය එසේ කියා සිටින්නේ පුතුන්ගේ ලෝකයේ ජයග්‍රාහීව සක්මන් කරමිනි.

ගුණවතී නිහඬව යාබද නිවෙස දෙස බලා සිටියාය. කලකට පෙර කුඩා පැල්පතක් ලෙස තිබූ මාරිගේ නිවෙස දැන් දැකුම්කලුය. එහෙත් එදා කෑලි තුනකින් සමන්විතව තිබූ ඇගේ නිවෙස ගරා වැටෙමින් ඇතැයි ඇයට සිතිණ. තමාට පුතුන් සිටියද ඔවුන්ට ගෙයක් දොරක් සාදා ගැනීමට වුවමනාවක් හෝ හැකියාවක් නොවීය.

"ගෙවල් දොරවල් හදාගන්නෙ නැතුවාට මම මගේ දරුවන් ලොකු කරගත්තා මදැයි! " තමා හා මාරි අතර වෙනස දකින ගුණවතී සිත සනසා ගත්තේ එලෙස සිතමිනි.

සැමියා සිරිසේන අකාලයේ මිය ගිය සසු ගුණවතී වත්තේ වැඩට ගියේ දරුවන් පස් දෙනෙකු ලොකු මහත් කරගැනීමට අන් මඟක් නොවූ හෙයිනි. ජීවත්ව සිටියදීත් ඔහුගෙන් පවුල වෙනුවෙන් ලැබුණු හයියක් නොවීය. ඒ නිසාම දරුවන් වෙනුවෙන් එක හොද්දක් හා බතක් පිළියෙල කොට තබා ගුණවතී වත්තේ වැඩට ගියේ දහසක් දුෂ්කරතා මැදය. වැඩිමහල් පුතු පියදාස පාසල් ගියේ ඉඳහිට දවසකය.

"පුතේ, උඹ අද ඉස්කෝලෙ නොයා මල්ලිලාවයි නංගිවයි බලාගෙන ගෙදර ඉඳින්" ගුණවතී එසේ කියන්නේ නි‍ෙවසේ ඇති එකම ඇ‍ඳේ දිගාවී සිටින සිරිසේනට ඇසෙන්නටය. රේල් පාරේ කුලී කරුවකු වශයෙන් සේවය කරන ඔහුට පවුලේ වගකීම් ගැන කිසිදු වුවමනාවක් නොවීය. බොහෝ දිනවල ඔහු බීමතින් පැමිණ බිරිය සමඟ දබර කරන විට කුඩා දරුවෝ බියපත්ව ඒ මේ අත දිව යති. සිය අපිරිසිදු රෙදි පොටේ එල්ලී හඬන කුඩාම දරුවා වඩාගන්නා ගුණවතී සිරිසේනට දෙස් දෙවොල් තැබුවද බීමත්ව සිටින ඔහුට ඒ කිසිවක් නෑසෙයි.

"මේ පොඩි එවුන්ට හරියකට කන්න අඳින්නත් නෑ. ඒ මදිවාට මේ යකාගෙ කරච්චලේ නිසා පාඩුවේ ඉන්නත් නෑ" ඒ සෑම විටකම ඇගෙන් කියැවෙන්නේ එකම වචන මාලාවකි.

දරුවන් කවා පොවා නිදිකරවන ගුණවතී‍, පැදුරක් හෝ මල්ලක් වියන්නට පටන් ගන්නේ මොහොතකට පෙර සිය නිවෙසේ කිසිවක් සිදු නොවූ පරිද්දෙනි. සෙනසුරාදා හවසට පොළට ගොස් පැදුරු, මලු විකුණා ගැනීමෙන් ලබාගන්නා මුදල් සියල්ලම වැය වන්නේ ගෙදර ඕනෑ එපාකම්වලටය.

බොහෝ වේලා නිදාගෙන වෙරි සිඳුණු පසුව සිරිසේන මුළුතැන්ගෙයට වැදී වළං හූරමින් බත් කන හඬ ඇසුණද ගුණවතී එහි යන්නේ නැත. කොතරම් අඬ දබර සිදු වුවද සිරිසේනගේ බත් පංගුව හැළි වළංවල ඉතිරිකර තැබීමට ඇය පුරුදුව සිටියාය.

තමා මුහුණ දෙන කවර දුක් වේදනාවක් වුවද විඳ දරා ගැනීමේ පුදුම ශක්තියක් උපතින්ම දායාද කරගෙන සිටි ගුණවතීට අවශ්‍ය වූයේ කෙලෙස හෝ දරුවන් හදා වඩා ගැනීමටය. ඇය කිසිවිටෙක ඒ සඳහා සිරිසේනගේ සහායක් බලා සිටියේ නැත. එනිසාම සිරිසේන අකාලයේ මිය යෑම ගුණවතීගේ බලවත් ශෝකයකට හෝ කම්පාවකට හේතු වූයේ නැත.

"නමට මිනිහෙක්, තාත්තා කියලා එකෙක් හිටියාට මොකක්ද තිබුණු සෙතේ. හැන්දෑවට බීගෙන එනකොට දරුවෝ බයේ හැංඟෙනවා. රණ්ඩු කෝලාහල ඉවරයක් නෑ. හිටියයි මැරුණයි කියලා මොකක්ද? දෙකම එකයි."

ළමා විය ඉක්ම යන්නට පෙර, නගරයේ කඩපොළක සුළු රැකියාවකට ගිය වැඩිමහල් පිරිමි දරුවා පියා අහිමි පවුලේ බර ඉසිලීමට යම් අයුරකින් සහාය විය. පියදාස සැඳෑවේ ගෙදර එන්නේ පාන් ගෙඩි දෙකක් සහ තවත් සුළු කළමනා ද රැගෙනය.

"හිටපල්ලා පුතේ දැන් අයියා එනවා ඇති" යැයි කියමින් ළිප මත ඉදෙන පරිප්පු හොද්ද හැඳිගාන ගුණවතී කුසගින්නේ හඬන දරුවන් අස්වසාලන්නීය.

ගුණවතී ඒ අතීත සිදුවීම් ගැන සිතන්නට වූයේ වරින් වර යාබද නිවෙස දෙස ද බලමිනි. හදිසියේම ඇයගේ ඇස ගැටුණේ පාරේ එමින් සිටි නාමවතී ය. නාමවතී ද ගුණවතීත් මාරිත් සමඟ ඒ දිනවල වත්තේ වැඩ කළ බොහෝ දුක සේ දරුවන් ඇති දැඩි කළ ගැහැනියකි.

"කොහොමද ගුණවතී අක්කේ, හුඟ කාලෙකින් දැක්කේ"යැයි කියාගෙන ඇය නතර වූයේ මුව පුරා සිනාසීගෙනය.

"අපිත් ඉතින් තාම හිටපු තැනමයි නංගියේ. ඒත් කොහොම හරි ජීවත් වෙනවා." ගුණවතී කියා සිටියේ දැඩි සොම්නසිනි.

"කොහොමද ඉතින් ළමයි හෙම"

"ලොකු එකා තාම කඩේ වැඩ. ඌට දැන් හොඳයි. කෙල්ල කුලී මහනවා. බීරලු රේන්ද ගොතනවා. ලොකු එකා කෙල්ලට මැසින් එකක් අරගෙන දුන්නා ගෙවන්න. දැන් ඒකත් ගෙවලා ඉවරයි. දෙවැනි කොල්ලා දැන් යූ.සී. එකේ කුලී වැඩ. අනිත් එකා තමයි මට කරුමෙ. තාත්තා නවත්තලා ගිය තැනින් ඌ පටන් අරගෙන." "අනිච්චන්! ඒක නේන්නම්. මටත් ආරංචියි" නාමවතීට සිය හිතවතිය ගැන දුකය. "මේවා මම උඹෙන් හංගන්නෙ මොකටද නංගියෙ. තාත්තාගෙ උරුමෙ ගෙනියන්නත් එකෙක් ඉන්න එපායැ" ගුණවතී කීවේ ශෝකයකිනි.

"මගේ බාල එකත් ඔය වගේ අක්කෙ. හිරේ තැපලා ළඟදි ආවේ. දැන් ගෙදර එන්නේ කලාතුරකින්. වැල්ලේ සුද්දො එක්ක ඇවිදිනවලු. මම නම් හොයන්නෙත් නෑ"

"අපි කාටත් එක වගෙයි. ඒ වුණාට බලපල්ලකො මාරි. මිනිහත් නැතුව පවුල හදාගත්ත ලස්සන. දුවලා දෙන්නා රස්සාවල. ගේත් ලස්සනට හදාගෙන. දැන් ළමාතැනී වගේ"

"අම්මපා! "නාමවතීට කියැවුණේ පුදුමයට පත්වෙමිනි. ඒ සමඟම මාරි විඳින සැප සම්පත් ඇසූ ඇයගේ සිත කෙළවර ඊර්ෂ්‍යාව ද ලැඟුම් ගන්නට විය.

"ඒ දවස්වල ඒකි හිඟා නොකා හිඟා කෑවා. "

" ඒත් ඒකිට හිටියෙ කෙල්ලෝ දෙන්නා විතරයිනෙ. ළමයි බලාගන්න අම්මා හිටියා. ඒ නිසා අපිට වගේ දුක් විඳින්න වුණේ නෑ" ගුණවතී කීවේ සුසුම් හෙළමිනි.

"අපි ළමයි කී දෙනෙකුගේ බඩ කටවල් පිරෙව්වද? බේබදු මිනිස්සුන්ගෙන් මොනතරම් කරදර වින්ඳා ද? මාරිට එහෙම කරදර තිබුණෙ නෑනේ"

"ළමයි වැඩි වුණාම දුක් වැඩි වෙනවාය කිව්වට මොනවා කරන්නද, හෙණ ගහන්නා වගේම දරුවෝ හතර පස් දෙනා හම්බු වුණාම. දැන් කාලෙ අම්මලා වගේ ගඟට මූදට විසි කරන්නද? බෙල්ල මිරිකලා කටු අකුල්වලට දාන්නද‍? ඉස්පිරිතාලෙ දාලා පැනලා යන්නද? තියෙන හැටියකට හදාගන්නවා මිසක්."

නාමවතී කීවේ සන්තාපයෙනි.

"ඒ මොනවා වුණත් පවුලකට කොල්ලෙක් එපායැ" ගුණවතී කීවේ පුරුදු අහිමානය සිතේ තබාගෙනය.

"එක අතකට අක්කේ, අපිට පුත්තු ඉන්නවාය කියලා ඇති සෙතේ මොකක්ද? පුතෙක් හරි දුවෙක් හරි, මොකා වුණත් හරියට හැදුණොත් තමයි අපිටයි රටටයි දෙකටම වාසනාව" නාමවතී එලෙස කියද්දී ගුණවතී තිගැස්සුනාය.

"ඒකත් ඇත්ත තමයි" ගුණවතීට කියැවිණි.

"අපි රාජ පරම්පරාවක උදවිය නොවෙයිනෙ. ඊළඟට රජ කරවන්න පුත්තු ඕනෑ රජ පරම්පරාවලටනෙ. එහෙම බැලුවාම අපි කවුද?"

නාමවතී නිවැරැදි බව ගුණවතීට ද හැඟුණි.

"එක අතකට නාමවතී කියන්නෙත් ඇත්ත. බේබදු පරම්පරාව ගෙනියන පුතෙක්නෙ මට ඉන්නෙ."

තවත් මඳ වේලාවක් කතා කරමින් සිටි නාමවතී නික්ම ගියාය. ගුණවතී හදිසියේම හුන් තැනින් නැඟිට්ටේ පාරේ වංගුව දෙසින් ඇසුණු ගී රාවය නිසාය.

"අන්න අර වසවර්ති මාරයා අදත් හොඳටම බීගෙන එනවා වගෙයි" ඇයට එක්වරටම කියැවිණ.

"අම්මා ඔන්න එයත් එක්ක කතාවට යන්න එපා" යි චාන්දනී කීවේ කලකිරුණු හඬකිනි.

"ඇයි ඌ මගෙ මහ එකාද මම බයේ ඉන්න?" ගුණවතී කෝපයෙන් කෑගැසුවාය.

"අර එහා ගෙදර මිනිස්සුත් ඉස්සරහ ඉන්නවා" චාන්දනී සිහින් ස්වරයෙන් කීවාය.

"ඉතින් මොකද? ඒගොල්ල රාජවංසෙද? මාරියා මාත් එක්ක වත්තෙ වැඩ කරපු ගෑනි."එසේ කියන අතරම ගුණවතීට සිහිපත් වූයේ පෙර දිනෙක තමා මාරිට බැණ වැදුණු අයුරුය.

"උඹට එක පුතෙක්වත් ඉන්නවාද උඹලගෙ පරම්පරාව ගෙනියන්න"

"අනේ මට නෑ තමයි. ඒත් මේ කෙල්ලෝ දෙන්නා ඉගෙන ගෙන තැනකට ආ දාට මට පුත්තු නැති පාඩුවක් දැනෙන එකක් නෑ "මාරි එදා ජයග්‍රාහී හඬින් කියූ අයුරු ඇයට යළි සිහි විය.

"ඇත්ත නේන්නම්! පුත්තු නැති වුණාට ඒ ගෑනි දැන් රජ සැප විඳිනවා. ඒත් මම!"

මාරිගේ බාල දියණියත් බෑණාත් දරුවනුත් රැගත් මෝටර් රිය නික්ම යත්ම සිය පුතුගේ ගී රාවය ළං ළංව ඇසෙන්නට වූයෙන් ගුණවතී නිහඬව ගෙතුළට ගියාය.

"මදැයි අම්මාගෙ පුත්තු ගෙදර එන හැටි!" චාන්දනීට කියැවුණේ මව කෙරෙහි උපන් බලවත් අනුකම්පාවකිනි. "ඒ වුණත් අම්මා තාමත් අතරමං වෙලා ඉන්නෙ පුත්තුන්ගෙ ලෝකෙ.

පුත්තු නැති මාරි නැන්දයි අපේ අම්මායි අතර මොන තරම් වෙනසක්ද? අනෝමා අක්කායි මහත්තයායි කාර් එකෙන් යනවා දැක්කාම අම්මාට තවත් දුක හිතෙන්න ඇති" චාන්දනී එසේ සිතනවාත් සමඟම වැනි වැනී ආ ඇයගේ සහෝදරයා විසල් ගසක් මුලින් ඉදිරී බිම පතිත වන්නාක් මෙන් ගේ දොරකඩ ඇද වැටුණි.

"අනේ මගෙ රත්තරන් පුතේ" ගුණවතී වහා එතැනට දිව ආවේ මහ හඬින් විලාප තබමිනි.

Comments