
සිළුමිණ ඉසිවර පාඨක පින්වත් ඔබ වෙත නිවැරදිව කිරිඅම්මා වරුන්ගේ දානයක් පිරිනැමීම පිළිබඳව වැදගත් කරුණු කීපයක් ගැන සාකච්ඡා කිරීමට අදහස් කළෙමි. ලක්දිව සිංහල බෞද්ධයන් පත්තිනි දේවිය උදෙසා පවත්වන පූජාවන් අතර කිරිඅම්මාවරුන්ගේ දානය ඉතා විශිෂ්ට පූජාවක් සේ සලකයි. තමන්ට සිදුවන අයහපතකදී එයින් මිදීමට සහ වසංගත ලෙඩ රෝග සුව කර ගැනීමට, ගැබිනි මව්වරු, දරු ගැබ, දරුවන් ආරක්ෂා කරගැනීම, දරු පල ලබා ගැනීම, අපල උපද්‍රව දුරු කරගැනීම, භූත දෝෂ සහ අමනුෂ්‍ය බය දුරු කරගැනීම, දුක් කම්කටොලු, කරදර බාධක දුරු කරගැනීම, නියඟය, වගා හානි, ගව ආදී සතුන්ට ඇති වන රෝග නිවාරණය සහ නිවැසියන්ට ආශිර්වාද ලබාගැනීම ආදිය සඳහා කිරිඅම්මාවරුන්ගේ දානය පූජා කිරීම ඉතා බලසම්පන්න දෙයකි.
අද සමාජයේ බොහෝ දෙනා කිරිඅම්මා වරුන්ගේ දානය හුදෙක් සම්ප්‍රදායක් ලෙස අවභාවිතාවට ගන්නා බව පෙනේ. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කෙරෙන කිරිඅම්මා වරුන්ගේ දානය ඇති පලක් නැත. එය නිකරුණේ මුදල් නාස්තියක් පමණි. කිරිඅම්මා දානය සඳහා අම්මාවරු තෝරා ගැනීමේදී සත්වර උපන් සත්පත්තිනි මෑණියන් වෙනුවෙන් අම්මාවරු සත්දෙනෙකු හෝ දොළොස් පත්තිනි මෑණිවරු වෙනුවෙන් අම්මාවරු දොළොස් දෙනෙකු සහභාගි කරගැනීම සාමාන්‍ය සිරිතයි. එසේ නමුත් හැකි පමණින් අම්මාවරුන්ගේ සංඛ්‍යාව වැඩි කරගැනීමේ වරදක් නැත. මවු ගුණය, සිල්වත් ගුණවත් බව, වැඩිහිටියන්ට සැලකීම, දන් දීම යනාදී උතුම් බෞද්ධ සංකල්ප හා මුසුවී ආශිර්වාද ලබා ගැනීම හා පින් අනුමොදන් වීම මෙම උතුම් කිරිඅම්මාවරුන්ගේ දානය හා බැඳී පවතී.
කිරිඅම්මාවරුන්ගේ දානය සඳහා කෙම්මුර දිනයක් යොදා ගැනීම පුරාණයේ සිට පැවත එන සිරිතයි. ඒ සඳහා සෙනසුරාදා හෝ බදාදා දින යොදා ගැනේ. "කෙම් " යනු සෙත ශාන්තිය යන අර්ථයයි. "මුරය" යනු කාලය වෙලාව හෝ අවස්ථාවයි. කෙම්මුර යන්නෙහි සරල අදහස සෙත් ශාන්තිය කරන කාලයයි. කිරිඅම්මා බිසෝවරු දඹදිව සිට මෙරටට ගොඩ බැස්සේ සෙනසුරාදා දිනයක බව විශ්වාසයයි.
"මේ ලෙස නැව් හත එන්ට පටන් ගති
ඇවිදින් සෙනසුරු දින ගොඩ බසිති" පත්තිනි හෑල්ලේ එසේ සඳහන්ව ඇත.
කිරිඅම්මාවරු යනු වියපත් කාන්තාවෝ නොව කිරි දෙන අම්මාවරු කිරිඅම්මාවරුයි. එබැවින් අම්මාවරුන්ගේ කිරි දානය සඳහා ආරාධනා කිරීමේදී සස්වාමික (ස්වාමියා ඇති) කරුණාව, දයාව වැනි උතුම් ගුණ ඇති චරිතවත් ශීලාචාර කාන්තාවන් සොයා ගැනීම ඉතා වැදගත් වේ. අඩුම තරමින් කිරි දෙන මවුවරු කෙනෙකු හෝ දෙදෙනෙක්වත් මෙම දානයට සහභාගි වීම උතුම් පත්තිනි මාතාවගේ අපමණ ප්‍රසාදයට හේතු වේ. කිරි දානය දින දානයේ ප්‍රථම භාගය බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කර බුද්ධ පූජාවන් පවත්වා, දානයෙහි දෙවන භාගය පත්තිනි දේව මෑණියන් උදෙසා පූජා කර ඉන් අනතුරුව අම්මාවරුන්ට දානය පිළිගැන්විය යුතුය. අම්මාවරු දානය ඉඳුල් කිරීමට පෙර නිවැසියන් හා තමන්ද පන්සිල්හි පිහිටා තෙරුවන් වන්දනා කර බුද්ධ පූජාවන් පවත්වා තෙරුවන් සමා කරගෙන සියලු දෙනා ශාන්ත හඩකින් කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කර පත්තිනි මෑණියන් ප්‍රමුඛ දෙවි දේවතාවුන් උදෙසා පින් අනුමෝදන් කළ යුතුය.
එසේ පින් දීමෙන් අනතුරුව අම්මාවරු දානය ඉඳුල් කර පත්තිනි මාතාවගේ ආශිර්වාදය ලබාදිය යුතුය. ඒ සඳහා මෙම උතුම් පත්තිනි ස්තෝත්‍රය කියවීම බලවත් වේ.
පතිබ්බතායා සහසාමිකේන -
ගන්ත්වා පුරං පණ්ඩු නරාදි පස්ස
දාහේසිතං ආගු මහයිය මානා -
සා පත්තිනි පාල යතං සදා මං
අම්මාවරුන්ගේ ශාන්තියක් ලෙස ඒ ඒ පළාත්වලට ආවේණික ආශිර්වාද කවි ගයනා කිරීම සිදුවේ. එය ගායනා කිරීම වරදක් නැත. එනමුත් පත්තිනි මාතාවගේ කිරි දානය යනු කවි කිය කියා සිටීම නොව උතුම් ශීලයක පිහිටා වතාවත් කර ගුණවන්තව දානය පිළිගෙන පත්තිනි මෑණියන්ට පින් දී අදාළ නිවැසියන්ට ආශිර්වාද කිරීමයි. එහිදී තථාගතයන්ගේ බුද්ධ වචනයක් සිහි කිරීම මැනවයි සිතමි.
"යො සීලවා සීලවන්තේසු දදාති දානං"
උතුම් සීලයක පිහිටා සිල්වතුනට දන් දෙන්න එම උතුම් බුදු වදනට අනුව කිරිඅම්මාවරුන්ගේ දානය පූජා කිරීම අපමණ ආශිර්වාද ලැබීමට හේතු වේ. පත්තිනි මාතාවගේ දානයෙන් අනතුරුව පහන් තිර නිවීමට පෙර නිවැසියන් අම්මාවරු ඉදිරිපසට කැඳවා ශබ්ද නඟා කියවිය හැකි මවු කෙනෙක් මෙම උතුම් පත්තිනි යාදින්න කියවා ආශිර්වාද කර පහන් තිර නිවා දානමය පූජාව අවසන් කරන්න.
පත්තිනි යාදින්න
"අපරිමිත දයානුකම්පාවෙන් මෙලොව සත් වාරයක් පහළ වූ සත්ත්වයන්ගේ සියලු ඉල්ලීම් ඉෂ්ට සිද්ධ කර දෙන්නා වු සිද්ධ මධුර මාලා සත්පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්ස, දෙමට මලින්, පිනි බිංදුවෙන්, නයි කඳුළෙන්, විදුලියෙන්, ගිනිදැල් මාලාවෙන්, මවිත අඹෙන්, සිනා රැල්ලෙන් සත් වාරයක් මෙලොව පහළ වු ඔබ දෙවියන් වහන්සේ සුරලොවට වරම් ලබාගෙන, බඹ ලොවෙන් නා ලොවට වරම් ලබාගෙන නාග මානවිකාවන් තිස් දහසක් පිරිවරාගෙන පුන් කලසක් ශ්‍රී හත්තයෙහි දරාගෙන නවගමුවේ පිහිටි හිමි දේව මාලිගාවට අධිගෘහිත වූ ඔබ දෙවියන් වහන්සේගේ දිව්‍ය තේජානුභාවය බලම්හයි සිතා ශක්‍රයෝ සුර ලොවින් සතර පැත්ත කපා අට බෙරදක් නාග දෙකොණ කපා එවු කොස් උළුවහු කාණුවේ දලු ඇද දමා දෙදුමා පලගන්ට වරම් දුන්නා,
සත්‍යවාදී සැබෑ නම්, තවද ඔබ වහන්සේ පරංගි සමයක්කාරයාගේ යුද්ධයට තුන් මසකට කල් තියා නවගමු දේවාලයෙන් රුවින් සළන් සත් නමක් ඇලි කිඹුල් වාහනය පිටින් මැදගොඩ ඇල්ලට වැඩම කොට මැදගොඩ ඇල්ලෙන් කෙලි පුද වරම් ලබාගත්තා සත්‍යවාදී සැබෑ නම්, තවද ඔබ දෙවියන් වහන්සේ අඳුන්ගිරි පර්වතයේ තපස් රකිනු බලා සිටි ශක්‍ර දේවේන්ද්‍රයෝ මහලු වේශයක් මවාගෙන පැමිණ මොහුගේ ශීල තේජානු භාවය බලම්හයි සිතා නැඟණියනි,
මට දානයක් දුන මැනැවැයි කී තැනේ දී කුමන දානයක් දැයි ඇසු කල අඳුන්ගිර පයින් මඩ කර සුවඳ හැල් ඉස පැළ කර, පස්සවා දියෙන් ගිනිගෙන සත් පැයක් ඇතුළත දී බොජුන් තනා දෙන්ට ඕනෑය යි කී තැනේ දී ඕකත් මට අපූරුවක් දැයි සත්‍ය ක්‍රියාකොට අඳුන්ගිර පයින් මඩ කර සුවඳ හැල් ඉස පැළ කර පස්සවා දියෙන් ගිහි ගෙන සත් පැයක් ඇතුළත දන් දෙවා ලොව්තුරා බුදු බව ප්‍රාර්ථනය කළා, සත්‍යවාදී සැබෑවී නම්, තවද තොටියාගේ වරිගයට හැට හතරක් වඳුරු වසංගත රෝග බෝ වෙන්නට වරම් දී දෙවනුව ගුණ වෙන්නට වරම් දුන්නා,
සත්‍යවාදී සැබෑවී නම්, තවද මේ ලංකාද්වීපයට කුවේණි නම් යක්ෂණි විසින් විජය රජ්ජුරුවන්ගේ සේනාවට හැට හතරක් වඳුරු වසංගත රෝග මවා පෑ තැනේදී ඔබ වහන්සේ උතුරු සළුවෙන් පවන් සලා ගුණ වෙන්නට වරම් දුන්නා, සත්‍යාවදී සැබෑවී නම්, තවද ඔබ දෙවියන් වහන්සේ මේ කල්පයට, ලංකාද්වීපයට, මත් තොණ්ඩුපුරට, සාලියපුර නුවරට, නවගමුවේ හිමි දේව මාලිගාවට යහතින් දිවැස් කරුණාවෙන් වැඩ වසන්නා වූ ඔබ වහන්සේට දොහොත් මුදුනේ තබා කියා සිටින කන්නලව්ව නම්
ඔබ වහන්සේ නමින් කිරි අම්මලා හත් දෙනාට දානය දුන් පුණ්‍යානුමෝදනය මතු බුදු බව ප්‍රාර්ථනය කරන්නා වු ඔබ වහන්සේ පිළිගෙන මේ ආතුරයින්ගේ ගෙදර, ඉඩමට, ගහකොළ, ගව මහේෂාදීන්ට පැමිණ තිබෙන්නා වූ. ඇස්වහ දෝෂ, කටවහ දෝෂ, අඬ වැඩියා දෝෂ, දෙවි දෝෂ, ග්‍රහ දෝෂ, වින දෝෂ, භූත දෝෂ, ප්‍රේත දෝෂ, වාපිත් දෝෂ, සෙම් ආදී දෝෂ ද නැති කර සියලු යස ඉසුරු අර්ථ සිද්ධිය ළඟා කර දෙන මෙන් ඔබ වහන්සේගේ ශ්‍රී පාද මූලයෙහි මේ කිරිඅම්මාවරු හත්දෙනා වැඳ නමස්කාරයෙන් පිහිට ඉල්ලා සිටින අතර මෙම ආතුරයින්ට අද පටන් වටින් හමනා සුළඟත්, උඩිත් පායනා අව්වත් හැර වෙනත් අතුරු උපද්‍රවයක් සිද්ධ නොවී ආරක්ෂා කර දෙනවයි, මේ ආතුරයන් නමින් කියන කන්නලව්ව දිව්‍ය කරුණාවට ගන්නවයි.
දැන වැරදි, නොදැන වැරදි, දහසක් වැරදි ඇත්තේ නමුත් පින ගන්නවයි. පිනට පිහිට වෙනවයි. මෙහි පුදකර සිටින භාරහාර පිළිගන්නවයි. මේ ආතුරයින්ට පත්වී ඇති සකල දෝෂාන්ධකාරවල් දුරු කරවා සෙත් ශාන්තියක් ළඟා කර දෙනු මැනවි. ඔබ කීර්ති පස්වාන් දහසකට ආයුබෝ වේවා... ආයුබෝ වේවා... ආයුබෝ වේවා..!
වාරියපොල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී, නේපාලයේ ලුම්බිනි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති,
සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන් වහන්සේ (කොළඹගම පොඩි හාමුදුරුවෝ)