බුද්ධිමය දේපළක බලය තහවුරු කළ පබිලිස්ගේ නඩු තීන්දුව | සිළුමිණ

බුද්ධිමය දේපළක බලය තහවුරු කළ පබිලිස්ගේ නඩු තීන්දුව

බිලිස් සිල්වා ප්‍රසිද්ධව ඇත්තේ ගල්කිස්ස මහ හෝටලයේ සූපවේදියා ලෙසය. එමෙන්ම පබිලිස් ප්‍රසිද්ධ හෙළ රටාවේ ඉවුම් පිහුම් ගැනය. එහෙව් පබිලිස් ගැන පසුගිය සතියේ බොහෝ සන්නිවේදන මාධ්‍යවල දැඩි කතාබහක් ඇති වූයේ තමාගේම ග්‍රන්ථයක බුද්ධිමය හිමිකරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලැබීමෙන් පසුවය.

පබිලිස් සිල්වාගේ පොත සම්බන්ධයෙන් ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුවකින් මහා ආන්දෝලනයක් ඇති කළ මෙම පොතේ නම 'ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම්ය'. මෙකී සූප ග්‍රන්ථයේ පිටු 15ක් පුරා ඇත්තේ පබිලිස් සිල්වාගේ ජීවන තොරතුරුය. පබිලිස් තම දීර්ඝ චරිත කතාවේ තමන් කළ රැකියා 13ක් ගැන සඳහන් කොට ඇති අතර එයින් එක් රැකියාවක් වී ඇත්තේ මුද්‍රණාලයක අකුරු ඇමිණීමයි. පබිලිස් මඩකලපුවේ සිට ඇති කාලයේ ජීවන වෘත්තිය වී ඇත්තේ පොල් කැඩීමය. අවසානයේ පබිලිස් තමන් ගල්කිස්ස හෝටලයට රැකියාවට පැමිණි අන්දම සටහන්කොට ඇත්තේ මෙසේය. 

"ගල්කිස්ස මහා හෝටලටය පැමිණි මට පැවරුණු මුල් ම රාජකාරිය වූයේ, මුළුතැන්ගෙයි උඳුන සඳහා අඟුරු ගෙන ඒමත්, ඒ අඟුරු දමා ළිප පත්තු කිරීමත් ය. ඒ කාලයේ ගෑස් ළිපක් තිබුණත්, අපට භාවිත කිරීමට වූයේ ගල් අඟුරු ළිපකි. හෝටලයෙන් පිටත අඟුරු මඩුවෙන් අඟුරු කරත්තයක පටවා ගෙන ආ යුතු වෙයි. උදේ පහට වැඩට එන මම, තවත් කෙනකු සමඟ අඟුරු ඇදීමට යමි."

පසුගියදා පබිලිස් සොයා අප ගියේ ගල්කිස්ස මහා හෝටලයටය. පබිලිස් අපව පිළිගත්තේ 'අයිබෝවන් කොහොමද වජිර මහත්තයා' කියමිනි.

"මං ගල්කිස්ස හෝටලේට ආවේ 1956 දී. ඒ කාලේ මිරිස් වැඩියි කියල සුද්දො අපේ කෑම කෑවේ නෑ. මම තමයි මිරිස් අඩු කරල සුද්දන්ට කන්න පුළුවන් තරමට අපේ හෙළ බොජුන් පුරුදු කළේ." මට දැන් අසූහතයි."

"දැන් මේ පොතේ සටහන් ලියපු ධර්මාට එහෙම ඒවට මුදල් ගෙවීමක් කළාද?"

"මම බැංකුවකට ගිහිල්ල සල්ලි ගත්තත් ගණන් කරන්නේ නෑ. මේ ලිපිවලට මම මුදල් ගෙව්වා"

පබිලිස් කියන්නේ පුවත්පත්වල පළවූ මෙම ආහාර වට්ටෝරු පොතකට අවශ්‍ය භාෂා විලාසයකට පරිවර්තනය විය යුතු බව තම මතය වූ බවය.

"පත්තරේ භාෂා ස්ටයිල් එක වෙනස්. පොතක් විදිහට ඒවා හදන්න වෙනම සරසවි ප්‍රකාශකයෝ රුපියල් 25,000ක් ගෙව්වා. මං හිතුවේ නෑ මේ පොත මේ තරම් යයි කියලා. මේ ධර්මා නෝනගේ ප්‍රශ්නේ ආවේ 15 වැනි මුද්‍රණයේදි"

පොතේ අවසන් මුද්‍රණයේ මිල වී ඇත්තේ රුපියල් 750කි.

"පොත අලෙවි කරන එක උසාවියෙන් තහනම් කරනකොට පොත් 800ක් තිබුණා. මම ඒ අටසීයම මුදලට අරගෙන ඉස්කෝලවලට බෙදුවා. මෙන්න අන්තිම පොත මහත්තයට"

ධර්මා සමරනායකගෙන් මෙම නඩු විභාගයේ හරස් ප්‍රශ්න ඇසූ විට (පිට 627) ඇය පවසා ඇත්තේ ඔහුට රචනා ශෛලියක් නැහැ. ලියන්නත් බැහැ කියාය. ඇය පවසා ඇත්තේ ප්‍රකාශකයාට තමන් මෙම පොතේ අත්පිටපත තම අත් අකුරින් ලබාදුන් බැවින් මෙම කෘතිය තමන්ගේ බුද්ධිමය දේපළක් බවය. හරස් ප්‍රශ්නවලදී ධර්මා පිළිතුරු දී ඇත්තේ මෙසේය.

ප්‍රශ්නය- මම අහන්නේ මුළු පොතම?

පිලිතුර-ලිව්වේ මම. එයා කිව්වම මම ගැළපෙන විදියට ලිව්වා.

ප්‍රශ්නය- ඒක සංස්කාරකගේ කාර්යභාරය?

පිළිතුරක් නැත

(page 683 of the brief)

අප පබිලිස්ගෙන් අසා සිටි එක් ප්‍රශ්නයක් වූයේ නඩුවාර කීයකට මෙම නඩුව සම්බන්ධයෙන් උසාවියේ පෙනී සිටියා ද යන පැනයයි.

"මේ නඩුව ධර්මා නෝනා පැවරුවාම සරසවි ව්‍යාපාරේ අධිපති ප්‍රේමසිරි මට උසාවියට එක දවසක්වත් එන්න ඕන නැති විදිහට ඔක්කොම ප්‍රශ්නෙ බලා ගත්තා. අන්තිමට මට ඊයේ කිව්වා අපි නඩුව දිනුවා කියලා. ඒ අතින් ප්‍රේමසිරි හරි වැදගත් හොඳ මහත්තයෙක්."

ඉන්පසු පබිලිස් දුන් හෙළ රටාවට ඉවුම් පිහුම් පොත පෙරළා බලමින් ගියේ සරසවි ප්‍රකාශන අධිපති එච්. ඩී. ප්‍රේමසිරි හමුවීමටය. මෙම පොතේ ධර්මා සමරනායක මුලින්ම සටහනක් තබා ඇත්තේ සංස්කාරක සටහන ලෙසය. ඒ අනුව මේ පබිලිස්ගේ ලිපි පෙළ පළවී ඇත්තේ ලේක්හවුසියේ 'තරුණි' පුවත්පතේය.

ඒ ගැන ධර්මා සටහන් කොට ඇත්තේ මෙසේය.

එක්දාස් නවසිය අනූහයේ අවසාන කාර්තුවේ මා ලේක් හවුස් ආයතනයේ 'තරුණි' පුවත්පතේ ප්‍රධාන කර්තෘවරිය ලෙස පත් වූ ඉක්මනින් ම මා සිත යටපත්ව තිබූ මාහැඟි අවශ්‍යතාවක් දොරට වැඩියේ ය. එනම් කෑම බීම පිළිබඳ පමණක් නොව අප රටේ වැවෙන ගහකොළ, තුරුලතා, දලු, මල්, අල ආදී මුළුතැන්ගෙයට අදාළ සියල්ල පිළිබඳව පබිලිස් සිල්වා සතු දැනීම 'තරුණි' පුවත්පත තුළින් එළිපහළියට ගෙන ඒමයි. එය 1996 අවසාන කාර්තුවේ 'තරුණි' පුවත්පත හරහා පාඨක ජනතාවට හඳුන්වාදීමට මගේ පෑන මෙහෙයවිණි.

මේ සද්ක්‍රියාවේදී පළමුවෙන් ම මගේ ස්තුතිය පිරිනැමෙන්නේ මේ ග්‍රන්ථයේ සැබෑ හිමිකරුවා වන පබිලිස් සිල්වාට මහතාටය. අනතුරුව ඒ මහතා ගල්කිස්ස හෝටලයේ මුළුතැන්ගෙයින් පරිපාලන මේසය වෙතට ගෙන ආ ගමනේ දී උරදුන්, අත දුන් සියලු දෙනාට ද මගේ ස්තුතිය පිරිනැමේ.

මේ ග්‍රන්ථය මුද්‍රණද්වාරයෙන් එළිදක්වන්නේ කෙසේ ද යන්න ඊළඟට අප වෙත ඉදිරිපත් වූ අභියෝගයයි. වර්තමානයේ මුද්‍රණ ක්ෂේත්‍රයේ මහත්මා පොත් ප්‍රකාශන සේවාවක් පවත්වා ගෙන යාම පිළිබඳ ඉදිරියෙන් සිටින නුගේගොඩ සරසවි ප්‍රකාශන අධිපති එච්.ඩී. ප්‍රේමසිරි මහතා වෙත මම මේ අවශ්‍යතාව ඉදිරිපත් කළෙමි. ඉතා භාරධූර කර්තව්‍යයක් වන 'ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම්" නමැති ග්‍රන්ථය මුද්‍රණද්වාරයෙන් එළිදැක්වීමේ කටයුත්ත ප්‍රේමසිරි මහතා භාරගත්තේ සැබෑ වුවමනාවකිනි"

ඉහතින් උපුටා ගත්තේ ආන්දෝලනයට ලක්වූ මෙම කෘතියේම ධර්මා සමරනායක තැබූ සටහනකි.

අප එච්.ඩී. ප්‍රේමසිරි සොයා යනවිට ඔහු තම කාර්යාලයේ නඩු තීන්දුව කියවමින් සිටියේය.

"එතකොට මේ පොත ප්‍රකාශයට පත්කරන්න කියලා අරන් ආවේ ධර්මාද නැත්නම් පබිලිස්ද?"

දෙන්නම මාව හම්බ වුණා. මුලින් සංස්කරණ ගාස්තුව විදිහට අපේ ආයතනයෙන් ධර්මාට රුපියල් 25,000ක් ගෙව්වා. පොත ප්‍රකාශනය ගැන ගිවිසුම අත්සන් කළේ පබිලිස් සිල්වා එක්කයි. පොත පිටපත් 2000 බැගින් පහළොස් වතාවක් ප්‍රින්ට් කළා.

"මේක ඓතිහාසික නඩු තීන්දුවක්. පොත් ප්‍රකාශනයේදී ඊට ප්‍රථම එම නිර්මාණයේ බුද්ධිමය අයිතිය තහවුරු කරගැනීම ප්‍රධාන කරුණක් බව මේ නඩු තීන්දුවෙන් පේනවා"

මේ ඓතිහාසික නඩු තීන්දුවෙන් තවත් එක් කරුණක් තහවුරු කොට ඇත. බොහෝ ග්‍රන්ථ නිකුත් වූ විට ඇතැම් ලේඛකයන් මැසිවිලි නඟන්නේ එය තමන්ගේ නිර්මාණයක් කොපිකොට හෝ ගෙඩි පිටින් පළකොට ඇති බවය. එසේ මැසිවිලි නඟමින් සිටිනවාට වඩා ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමෙන් සත්‍ය ජයගත හැකි බවට මෙම නඩු තීන්දුව ඓතිහාසික සාක්ෂියක් වනු ඇත.


ඡායාරූප - ගයාන් පුෂ්පික


නඩු තීන්දුව සැකෙවින්...

ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වාගේ ‘ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙළ රටාවට ඉහුම් පිහුම්‘ කෘතියේ කර්තෘභාගය එම කෘතියේ සංස්කාරකවරිය වන ධර්මා එස්.සමරනායකට හිමි බවට තීන්දු කරමින් බුද්ධිමය දේපළ යටතේ ඇයට ගෙවීම් කරන ලෙසට 2013 වසරේ මැයි 17 වැනිදා කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කරනු ලැබූ නියෝගයට සහ එම කෘතිය මුද්‍රණය කිරීම සඳහා රඳවා ගැනීම හා බෙදාහැරීම වළක්වාලමින් පනවනු ලැබූ අතුරු තහනම් නියෝගයට එරෙහිව එවකට එම නඩුවේ විත්තිකාර පාර්ශ්වය වූ සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගම අදාළ තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලමින් ඊට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා තීන්දුව දීර්ඝ ලෙස විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය 2023 මැයි 17 දා තම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

මුර්දු ප්‍රනාන්දු, පද්මන් සූරසේන සහ ඒ. එච්. එම්. ඩී. නවාස් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ එම අභියාචනා පෙත්සම විභාගයට ගත් අතර, විත්තිකාර පෙත්සම්කරු වෙනුවෙන් කේ. ජී. ජිනසේන සම ඩී. කේ. වී. ජයනාත් නීතිඥවරුන් පෙනී සිටි අතර, අසෝක සේරසිංහ සහ අකලංක සේරසිංහ නීතිඥවරුන් විත්තිකාර වගඋත්තරකාරිය වෙනුවෙන් පෙනී සිටියහ.

වාණිජ මහාධිකරණයේ තීන්දුවට අනුව පැමිණිලිකාර වගඋත්තරකාරිය ‘ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙළ රටාවට ඉහුම් පිහුම්‘ කෘතියේ කතුවරිය බවට ධර්මා එස්. සමරනායක පිළිගෙන තිබූ අතර, එම කෘතියේ අයිතිය ඇය වෙත පවරා දෙමින් විත්තිකාර සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගම පැමිණිකාරියගේ වාණිජමය හිමිකම් උල්ලංඝනය කර ඇතැයි නිගමනය කර තිබිණි. ඒ අනුව පැමිණිලිකාරියගේ වාණිජ හිමිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් ඇයට රුපියල් අටලක්ෂ තිස්හත්දහස් පන්සියයක වන්දි මුදලක් ගෙවන ලෙස සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගමට නියම කර තිබිණි.

එවකට පැමිණිලිකාර පාර්ශ්වය මහාධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ ප්‍රකට මාධ්‍යවේදිනියක වන පැමිණිලිකාරිය සතිපතා සිංහල පුවත්පතක කතුවරියක් බවත්, ගල්කිස්ස හෝටලයේ සූපවේදී පබිලිස් සිල්වාගේ දේශීය ඉහුම් පිහුම් ක්‍රමවේද සම්බන්ධව ඇති උනන්දුව හේතුවෙන් කාන්තා පුවත්පතක පාඨකයන්ට එම ක්‍රමවේදය හඳුන්වා දුන් බවත්ය.

2003 වසරේදී පැමිණිලිකාරිය කෘතියක් ප්‍රකාශයට පත් කිරීමට දේශීය ඉහුම් පිහුම් පිළිබඳ එම තොරතුරු සියල්ල ඒකරාශී කළ බවටත්, පබිලිස් සිල්වා ඒ සඳහා ව්‍යවහාරික සහයෝගය ලබා දුන් බවටත් කරුණු දක්වා තිබිණි.

එමෙන්ම එම කෘතියට ‘ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වා‘ වදන් භාවිත කිරීම වෙනුවට ‘ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙළ රටාවට ඉහුම් පිහුම්‘ නම භාවිත කිරීමට පැමිණිලිකාරිය සහ පබිලිස් සිල්වා අතර එකඟතාවක් පළ වූ බවටත් කරුණු ගෙන හැර දක්වා තිබිණි.

එම කෘතියේ පළමු පරිච්ඡේදයේ සිට 11 වැනි පරිච්ඡේදය දක්වා කරුණු ඇය විසින් පබිලිස් සිල්වා සහ සෙසු පුද්ගලයන් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වා පෞද්ගලිකව ඒකරාශී කරනු ලැබූ කරුණු වන බවත්, 12 වැනි පරිච්ඡේදයට පබිලිස් සිල්වාගේ සාධනීය සහයෝගය ලැබුණු බවත් ඇය කරුණු ඉදිරිපත් කර තිබිණි. එමෙන්ම එම කෘතියේ 14 සහ 15 පරිච්ඡේද ඇය විසින්ම නිර්මාණය කර ලියන ලද බැවින් එම කෘතියේ කර්තෘ හිමිකම පැමිණිලිකාරිය සතු බව සඳහන් කර තිබිණි.

ඒ අනුව එම කෘතිය ප්‍රකාශයට පත් කරන ලෙස ඇය සරසවි ප්‍රකාශකයන්ගෙන් ඉල්ලීමක් කළ ද, ප්‍රකාශන සමාගම සමඟ විධිමත් ගිවිසුමකට එළැඹ නොතිබුණු බවත් සඳහන් කර තිබිණි. 2005 වසරේ ජූනි මස 25 වැනිදා එම කෘතිය ප්‍රකාශයට පත් කර තිබූ අතර, කෘතියේ පළමු මුද්‍රණය වෙනුවෙන් ඇයට රුපියල් විසිපන්දහසක අත්තිකාරම් මුදලක් ලැබී තිබිණි.

පසුව විත්තිකාර පාර්ශ්වය ඇය දැනුම්වත් කිරීමකින් තොරව එම කෘතියේ 6 වැනි මුද්‍රණය ප්‍රකාශයට පත් කර ඇති බවටත්, 7 වැනි මුද්‍රණයට ද සූදානම් වෙමින් සිටි බවටත් ඇය කරුණු දක්වා තිබිණි. අනතුරුව මුද්‍රණ 6කට පසු ඒ සඳහා ඇය තම කර්තෘ භාගය ඉල්ලා ඇති අතර, විත්තිකාර පාර්ශ්වය ඇගේ කර්තෘ භාගය ගෙවීමට අසමත් වී ඇති බවටත්, එම කෘතිය ප්‍රකාශයට පත් කිරීමට පබිලිස් සිල්වා සමඟ ගිවිසුමකට ඇතුළත් වූ බව අඟවා ඇති බවටත් මහාධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව පැමිණිලිකාර පාර්ශ්වය බුද්ධිමය දේපළ පනත යටතේ එම නඩුව ගොනු කර තිබිණි.

2008 දෙසැම්බර් 3 වැනිදා පැමිණිල්ල වෙනුවෙන් මහාධිකරණය වාරණ නියෝගයක් ලබා නොදුන් නමුත් අතුරු සහනයක් සඳහා අදාළ ප්‍රකාශන සමාගමට නොතීසි නිකුත් කර තිබූ අතර, විත්තිකාර ප්‍රකාශන සමාගම පැමිණිලිකාරිය ඉල්ලා සිටි අතුරු තහනම් නියෝගය ලබා දීම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කර තිබිණි.

‘ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම්‘ කෘතියේ නිර්මාතෘ පබ්ලිස් සිල්වා මහතා බවත්, එහි කර්තෘ හිමිකම පබ්ලිස් සිල්වා සතු බවත් ඉන් අවධාරණය කර තිබිණි. දෙපාර්ශ්වය අතර විශේෂ

එකඟතාවකට අනුව පබිලිස් සිල්වාට කර්තෘ භාගය ගෙවා ඇති බව අවධාරණය කරමින් විත්තිකාර පාර්ශ්වය දෙපාර්ශ්වය අතර ගිවිසුමෙහි පිටපතක් ද ඉදිරිපත් කර තිබිණි. පැමිණිලිකාරිය එම කෘතියේ සංස්කාරක පමණක් බවත්, ඒ සඳහා පබිලිස් සිල්වා විසින් ඇයට සංස්කාරක ගාස්තු ගෙවනු ලැබූ බවත් එහි සඳහන් වෙයි. අදාළ කෘතියෙහි පළමු මුද්‍රණයට පෙර පබිලිස් සිල්වාගේ ඉල්ලීම මත විත්තිකාර පාර්ශ්වය ඇයට රුපියල් විසිපන්දහසක් ගෙවා ඇත. නමුත් එම මුදල අත්තිකාරම් මුදලක් හෝ පැමිණිලිකාරිය කියන පරිදි කර්තෘ භාගය හෝ නොවන බව සඳහන් කරමින් අතුරු තහනම් නියෝගය ප්‍රතික්ෂේප කිරීමට ඉල්ලා තිබිණි.

වසර 2009 පෙබරවාරි 19 වැනිදා පැමිණිලිකාර පාර්ශ්වයේ අතුරු සහනයක් සඳහා වන ඉල්ලීම ඉවත දැමීමට තීන්දු කළේය.

අනතුරුව නඩු විභාගය පවත්වාගෙන ගොස් ඇති අතර, ඉදිරිපත් වූ සාක්ෂි මත උගත් මහාධිකරණ විනිසුරුවරයා පැමිණිලිකාරියට පක්ෂව තීන්දුව ප්‍රකාශ කර තිබිණි. 

එම තීන්දුවෙන් ප්‍රකාශයට පත් වූයේ ‘ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම්‘ කෘතියේ හිමිකම් පැමිණිලිකාරිය සතු වන බවය. එමෙන්ම එම කෘතියේ මුද්‍රණය සහ අලෙවිය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විත්තිකාර පාර්ශ්වයට උපදෙස් ලබා දුන් අතර, කෘතියේ අලෙවිය මත පැමිණිලිකාරියට කර්තෘ භාගය ගෙවන ලෙස වැඩිදුරටත් විත්තිකාර පාර්ශ්වයට උපදෙස් ලබා දී තිබිණි. මීට අමතරව බුද්ධිමය දේපළ පනත යටතේ පැමිණිලිකාරියට රුපියල් අටලක්ෂ තිස්හත්දහස් පන්සියයක මුදලක් ගෙවන ලෙස ද විත්තිකාර පාර්ශ්වයට ප්‍රකාශ කර තිබිණි.

එම කෘතිය ප්‍රකාශයට පත් කිරීම, බෙදා හැරීම, තබා ගැනීම සහ අලෙවි කිරීම වළක්වාලමින් විත්තිකාර පාර්ශ්වයට ස්ථීර වාරණ නියෝගයක් ද පනවනු ලැබීය.

වාණිජ මහාධිකරණයේ තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා විත්තිකාර සරසවි ප්‍රකාශන පෞද්ගලික සමාගම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අභියාචනා විභාගයේදී අදාළ කෘතියේ අන්තර්ගතය සහ නිමාව සම්බන්ධව පැහැදිලි කිරීම් ගණනාවක් සිදු කර තිබිණි. පිටු 279කින් යුතු එම කෘතියේ අන්තර්ගතයට සහ මතුපිට නිමාවට සම්බන්ධව පබිලිස් සිල්වාගේ ඡායාරූපය සහ තොරතුරු ඇතුළත් විම සැලකිලිමත්ව පරීක්ෂණයට භාජනය කිරිමේදී කෘතියේ හිමිකම් පබ්ලිස් සිල්වා සතු වන බවට සාධක ගණනාවක් පෙන්නුම් කෙරෙන බවත්, 2005 වසරේ මාර්තු මස ප්‍රකාශයට පත් කරනු ලැබූ පළමු මුද්‍රණයේ කෘතියට අදාළ තොරතුරු සඳහන් පිටුවේ හිමිකම් පබ්ලිස් සිල්වා නමින් මුද්‍රණය වීම ද ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කර තිබිණි. මීට අමතරව එම කෘතියෙහි 5 වැනි පිටුවේ ‘ගල්කිස්ස හෝටලයේ පබ්ලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම් නමැති ග්‍රන්ථයේ සංස්කරණය වෙනුවෙන් සටහනක් තබනු පිණිස‘ යනුවෙන් ද, එහි 7 වැනි පිටුවෙන් එහි සංස්කාරක ධර්මා එස් සමරනායක ‘මේ සද්ක්‍රියාවේදී පළමුවෙන්ම මාගේ ස්තූතිය පිරිනමන්නේ මේ ග්‍රන්ථයේ සැබෑ හිමිකරුවා වන පබ්ලිස් සිල්වාටය.‘ යනුවෙන් ද සටහන් වීම පෙන්වා දී තිබිණි.

එහි 9 වැනි පිටුවේ ‘ඔබ සැමට මාගේ භක්ති ප්‍රණාමය‘ ලෙස පබිලිස් සිල්වා මහතා විසින් තබනු ලැබූ සටහනට ‘මෙවන් ග්‍රන්ථයක් ඔබ අතට පත් කිරීමට මා යොමු කළ ධර්මා එස්. සමරනායක මාධ්‍යවේදිනිය‘ ලෙස සටහන් වීම ද ඉන් පෙන්වා දී තිබිණි. මීට අමතරව පිට කවරයේ ඇතුළු පිටුවෙහි ‘ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම් කෘතිය පබිලිස් සිල්වා සූපවේදියාගේ ප්‍රථම ග්‍රන්ථයයි‘ ලෙස සටහන් වීම ද අවධානයට යොමු කර තිබිණි.

සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය කොළඹ වාණිජ මහාධිකරණයෙන් ලබා දුන් තීන්දුව අපැහැදිලි, නිරවද්‍ය නොවූ සහ දෝෂ සහිත බවට තීන්දු කරමින් එය ඉවත දැමූ අතර, රුපියල් විසිපන්දහසක නඩු ගාස්තුව පෙත්සම්කාර සරසවි ප්‍රකාශන පෞද්ගලික සමාගමට ගෙවීමට ධර්මා එස්. සමරනායකයට නියම කළේය. (සංක්ෂිප්ත සටහනකි)

Comments