උපන් නැකතින් කියැවෙන කත සතු ගතිගුණ | සිළුමිණ

උපන් නැකතින් කියැවෙන කත සතු ගතිගුණ

කාන්තා හඳහනේ ඇයට හිමි උපන් නැකත අනුව සුවිශේෂ වූ පලාපල විස්තරයක් ජ්‍යොතිෂයේ සටහන් වී ඇත. අස්විද, බෙරණ, කැති, රෙහෙණ, මුවසිරස, අද, පුනාවස, පුෂ, අස්ලිස, මා, පුවපල්, උත්‍රපල්, හත, සිත, සා, විසා, අනුර, දෙට, මුල, පුවසල, උත්‍රසල, සුවණ, දෙනට, සියාවස, පුවපුටුප, උත්‍රපුටුප හා රේවතී යන නැකත් 27න් එකක් කාන්තා ඔබට අයත්ය. මෙම නැකත් 27 කිසියම් ග්‍රහයෙකු යටතේ පාලනය කරයි. ඇයට උරුම නැකත අනුව නැකත් 27ට අදාළ ජීවන තොරතුරු ඇතුළත් පලාපල විස්තරයක් පහත දැක්වේ.

1) අස්විද - විශාල ධනයකට හිමිකම් කියයි

කේතු ග්‍රහයා යටතේ පාලනය කරන අස්විද නැකතින් උපන් කතට විශාල ධනයක් ලැබීමේ වාසනා ගුණයක් ඇත. කීකරු කාන්තාවකි. ඇස් දීප්තිමත්ය. කතාව ප්‍රිය උපදවයි. පිරිසිදුව සිටීමට කැමැතිය. සරාගී බැල්ම නිසා අන් අය වශී වෙයි. දෙවියන්ට ගරු කරයි. වැඩිහිටියන්ගේ බසට අවනත වෙයි.

2) බෙරණ - කාන්තාවන් වැඩිපුර ඇසුරු කරයි

සිකුරු ග්‍රහයා යටතේ පාලනය කරන බෙරණ නැකතින් උපන් කතගේ හදවත දුෂ්ට ගතිවලින් පිරී ඇත. මෙම නැකතින් උපන් ඇය කාන්තාවන් සමඟ වැඩිපුර ඇසුරු කරන නිසා චරිතය හොඳ නැත. අඬදබරවලට පෙලඹේ. හදවත පිරිසිදු නැත. අපිරිසිදු වස්ත්‍ර ඇඳීමට කැමතිය. බොහෝ විට දුප්පත් වෙයි.

3) කැති - සිහින් සිරුරක් හිමියි

රවි ග්‍රහයා යටතේ පාලනය කරන කැති නැකතින් උපන් කත නපුරුය. ශරීරය උෂ්ණය. හිතුවක්කාරය. නිතරම කේන්තියෙන් කාලය ගත කරයි. රණ්ඩු කිරීමට කැමැතිය. පිරිමින් සමඟ දබර ඇති කරගෙන වෛර කරයි. නෑදෑයින් ඈත් වෙයි. සිහින් සිරුරක් ඇත. ඉවසීම අඩුය.

4) රෙහෙණ - පියකරු සුකුමාල ළඳක්

සඳු ග්‍රහයා යටතේ පාලනය කරන රෙහෙණ නැකතින් උපන් කත පියකරු සුකුමාල ළඳකි. ප්‍රියමනාපයි. රූපයෙන් අනූනය. ඇගේ සහකරුට ආදරය මෙන්ම ගෞරවය දක්වයි. මව්පියන් වෙනුවෙන් කැපවෙයි. ඔවුන්ට ආදරය කරයි. ධනයෙන් අඩුවක් නැත. වාසනාවන්ත දූ දරුවන් ලැබීමේ හැකියාව තිබේ.

5) මුවසිරස - රූපයෙන් ආකර්ෂණීය

අඟහරු ග්‍රහයා යටතේ පාලනය කරන මුවසිරස නැකතින් උපන් කත රූපයෙන් ආකර්ෂණීයයි. ජීවිතය සැපවත් ලෙස ගත කරයි. අන්‍යයන්ගෙන් ගරු බුහුමන් ලැබීමේ වාසනාව ඇත. ධනයට මෙන් ම සැපයට ආශාව දක්වයි. ඉතා පිරිසිදු යහපත් ජීවිතයක් ගත කරයි. වාසනාවන්ත දූ දරුවන් බිහි කරයි. යටත් නොවේ. ටිකක් සැරයි.

6) අද - දෙවියන්ට ඇල්ම දක්වයි

රාහු ග්‍රහයා යටතේ පාලනය කරන අද නැකතින් උපන් කතගේ චරිතය යහපත් නැත. නරක ආශ්‍රය නිසා චරිතය අවුල් කර ගනියි. නමුත් දෙවියන්ට තද ඇල්මක් දක්වයි. සතුරන්ගේ තොරතුරු සොයයි. ඒ නිසා බලවත් සතුරන් ඇයට ළං වෙයි. වියදම පාලනය කළ නොහැක. ඉතිරි කිරීමට අමාරුය. බිය නැතුව ඉදිරියට යයි. පාලනයට දක්ෂයි.

7) පුනාවස - නිහතමානියි, ගුණගරුකයි

බ්‍රහස්පති ග්‍රහයා යටතේ පාලනය කරන පුනාවස නැකතින් උපන් කත ඉතා නිහතමානී ගුණගරුක කාන්තාවකි. පුණ්‍ය කටයුතුවලට තදබල ආශාවක් පෙන්වයි. දානමාන කටයුතුවලට මුල් වේ. ඇයට පිරිවර ලැබීමේ වාසනාව ඇත. තම චරිතය වැඩියෙන් ආරක්ෂා කර ගනියි. වාසනාවන්ත සැමියෙකු ලැබේ. අන්‍යයන්ගේ ගරු සම්මාන හිමි වේ. ආදරය මෙන්ම කරුණාව ඇය සතුව පවතී.

8) පුෂ - යහපත් අදහස් ඇත

සෙනසුරු ග්‍රහයා යටතේ පාලනය කරන පුෂ නැකතින් උපන් කත යහපත් අදහස්වලින් පිරී ඇත. රූමත් කාන්තාවක් බවට පත්වේ. ඕනෑම වේදනාවක් දරා ගැනීමේ ශක්තියක් ඇත. දුක හඳුනාගෙන ජීවිතය ගැට ගසයි. ආගමික පූජකයින්ට මෙන්ම දෙවිවරුන්ට තද භක්තිය දක්වයි. ඔවුන්ට පුද පූජා පවත්වයි. නෑදෑයින්ගේ කරුණාව දිනා ගනියි. ලොකු නිවසකට හිමිකම ලැබේ. කුමන ප්‍රශ්න ආවත් සතුටින් කාලය ගත කරයි.

9) අස්ලිස - දුක්බර හදවතක්

බුධ ග්‍රහයා යටතේ පාලනය කරන අස්ලිස නැකතින් උපන් කතගේ චරිතය පිරිසිදු නැත. ඇය අහංකාරයි. නිතර ශෝකයෙන් පිරුණු දුක්බර හදවතක් ඇත. කතා කරන විට හොඳ වචනවලට වඩා නරක වචන පිට කරයි. පින් කිරීමට වඩා පවු කිරීමට කැමැතිය. අන්‍යයන් සමඟ නිතරම රණ්ඩුවලට පැටැලෙයි. නිතරම කතාව නිසා අසා සිටින අයට හිසරදයකි.

10) මා - සුව පහසු ජීවිතයකට වරම්

කේතු ග්‍රහයා යටතේ පාලනය කරන මා නැකතින් උපන් කත සතුරන් මර්දනය කිරීමේ හැකියාව ඇත. සුව පහසු ජීවිතයක් ගත කිරීමට පින් කර ඇත. අන්‍යයන්ගෙන් ගරු බුහුමන් ලබයි. මහත් ධනයකට හිමිකම් ලැබේ. දෙවියන්ට තද ඇල්මක් දක්වයි. බුද්ධිමත්ව කටයුතු කරයි. ඉදිරියට යන ගතිය අඩුයි.

11) පුවපල් - සතුරන් මර්දනය කරයි

සිකුරු ග්‍රහයා යටතේ පාලනය කරන පුවපල් නැකතින් උපන් කත තම කටයුතු කරගෙන යෑමේ දී සතුරන් අභිභවාගෙන ඉදිරියට යයි. සැප පහසු ජීවිතයක් ගත කරයි. ඇය ඉතා අවංකයි. ආඩම්බර නැත. නිහතමානියි. ඉගෙනීමට දක්ෂයි. මිහිරි කටහඬක් ඇත. කළගුණ සලකයි. යහපත් චරිතයක් තිබේ. විනෝදයට ප්‍රියයි. ජීවිතය සතුටින් ගත කරයි.

12) උත්‍රපල් - කිසිවකුට යටත් නැත

රවි ග්‍රහයා යටතේ පාලනය කරන උත්‍රපල් නැකතින් උපන් කතට ස්ථිර අදහස් ඇත. යටත් නොවේ. හිස කෙළින් තබාගෙන වැඩ කරයි. මහත් ක්‍රියාශීලිව ඉදිරියට යන ගතියක් තිබේ. නීතියට ගරු කරයි. ගෙදර පාලනයට දක්ෂයි. නිතර සතුටින් කාලය ගත කරයි. ශරීරය නීරෝගියි.

13) හත - නිහඬ ජීවිතයක් ගත කරයි.

සඳු ග්‍රහයා යටතේ පාලනය කරන හත නැකතින් උපන් කත නිහඬ ජීවිතයක් ගත කිරීමට කැමැතිය. දුටුවන් වශී වන රූපයක් ඇත. කෝමල අත් තිබේ. නෙත් යුගල ඉතා පියකරුය. යහපත් සිතුවිලිවලින් පිරුණු හොඳ ගතිපැවැතුම් ඇත. ඉගෙනීමේ දක්ෂතාවක් දක්වයි. ධනවත් වීමට උත්සාහ ගනියි.

14) සිත - රන් අබරණ ලැබීමේ වාසනාව

කුජ ග්‍රහයා යටතේ පාලනය කරන සිත නැකතින් උපන් ඇයගේ රූපය ඉතාමත් පියකරුය. ඇගේ රූ සපුව නෙතට රසඳුනකි. රන් ආභරණ ලැබීමේ වාසනාව ඇත. යටත් නොවේ. ඉදිරියට යන ගතිය ඇත. නින්දා අපහාස ලැබීමට පුළුවන. සෞඛ්‍යයට බාධා කරන ලේ විෂ වීමේ රෝග ඇත. ශරීරය උෂ්ණය.

15) සා - වාසනාවන්ත දරුවන් බිහි කරයි.

රාහු ග්‍රහයා යටතේ පාලනය කරන සා නැකතින් උපන් කත වාසනාවන්තයි. චරිතයට ගරු කරයි. වාසනාවන්ත දූ දරුවන් බිහි කරයි. ගමන් බිමන්වලට හෝ විනෝදයට එතරම් ප්‍රියමනාපයක් නැත. අනවශ්‍ය ගමන් ඇත. අනුන්ගෙන් ගරුබුහුමන් ලබයි. බොහෝ මිතුරු මිතුරියන් ආශ්‍රය කරයි. සතුරන් පරාජය කිරීමට සමත්ය.

16) විසා - නිතරම සතුටින්

ගුරු ග්‍රහයා යටතේ පාලනය කරන විසා නැකතින් උපන් කත නිතරම සතුටින් කාලය ගත කරයි. ඇගේ සුන්දර කතාවට සිත ඇදී යයි. විශාල ධනයකට හිමිකම් කියයි. මනා ලෙස රූප සම්පත් පිහිටා ඇත. ආගමික කටයුතුවලට උදවු කිරීමට හෝ පූජ්‍ය ස්ථානවලට යෑමට කැමැත්තක් දක්වයි. තමන්ගේ ලේ නෑයන්ට උදවු කරයි.

17) අනුර - නිහතමානී ජීවිතයක්

සෙනසුරු ග්‍රහයා යටතේ පාලනය කරන අනුර නැකතින් උපන් කත නිහතමානී ජීවිතයක් ගත කරන කලබල නැති අයෙකි. සමාජ සේවයට මෙන් ම දේශපාලන කටයුතුවලට කැමැති ය. රන් රිදී අාභරණ ලැබීමේ වාසනාව තිබේ. ඇගේ රූ සපුව ඉතා මනස්කාන්තය. තමන්ගේ වැඩිහිටියන්ට විශේෂ ආදරයක් දක්වයි. ඔවුන්ගේ ඔවදන් පිළිගනියි.

18) දෙට - අධ්‍යාපනයෙන් ඉහළට

බුධ ග්‍රහයා යටතේ පාලනය කරන දෙට නැකතින් උපන් කත ගුණවත් කාන්තාවකි. ඉහළ අධ්‍යාපනයක් ලබයි. සුමිහිරි කටහඬක් ඇයට ඇත. ලොකු ධනස්කන්ධයකට හිමිකම් ලබන අතර, සැපවත් ජීවිතයක් ගත කරයි. යහපත් දූ පුතුන් බිහි කරයි. බුද්ධිමත්ව සිතා හොඳ තීරණ ගනියි. උගත් දූ දරුවන් බිහි කරයි.

19) මූල - නෑ හිතමිතුරන්ගෙන් ඈත් වේ

කේතු ග්‍රහයා යටතේ පාලනය කරන මූල නැකතින් උපන් කත සතුටින් කාලය ගත කළත් පසුව වැන්දඹු වීමේ අවස්ථා වැඩිය. දුප්පත් වේ. ඒ නිසා ජීවිතය ඉදිරියට ගෙන යාමට ආත්ම ශක්තියක් නැත. ජීවිතය ජය ගැනීමට අසීරුය. ශරීර සෞඛ්‍යයට බාධා ගෙන දෙයි. හදිසි ලෙඩ රෝග සෑදේ. නෑ මිතුරන්ද තමන්ට එතරම් ප්‍රියමනාපයක් නැත. නින්දා අපහාස විඳීමට සිදු වේ. මානසික පිඩාවන්ට පත් වේ.

20) පුවසල - සමාජයේ බලවත් කතක්

සිකුරු ග්‍රහයා යටතේ පාලනය කරන පුවසල නැකතින් උපන් කතට ප්‍රියමනාප දේහයක් ඇත. නෑදෑයින් අතර කැපී පෙනෙයි. සමහර විට ප්‍රධාන තැන ගනියි. වාසනාවන්ත මෙන් ම බලවත් කාන්තාවක් ලෙස සමාජයේ පිළිගනියි. පළල් වුණු ප්‍රියමනාප නෙත් යුගලක් ඇත. මනාවට වැඩුණු අඟපසඟ නිසා ඇය දෙස කවුරුත් වශී වී බලයි. ප්‍රිතීමත් ජීවිතයක් ගත කරයි.

21) උත්‍රසල - ශක්තිමත් දේහයක්

රවි ග්‍රහයා යටතේ පාලනය කරන උත්‍රසල නැකතින් උපන් ඇයට ශක්තිමත් දේහයක් ඇත. බලවත් කාන්තාවකි. යටත් නොවේ. නායිකාවක් ලෙස පිළි ගැනෙයි. තම සැමියා සතුටු කර ඔහු සොම්නස් ගඟේ ගිල්ව වීමේ හැකියාවක් ඇය සතුව ඇත. නායකත්වය මත ඉහළ තනතුරු ලබයි.

22) සුවණ - ගුප්ත ශාස්ත්‍රයට ප්‍රිය කරයි

සඳු ග්‍රහයා යටතේ පාලනය කරන සුවණ නැකතින් උපන් ඇය ඉතා රූමත් කාන්තාවකි. බුද්ධිමත්ය. රැවටීම්වලට අසු නොවේ. ජ්‍යොතිෂ වැනි ගුප්ත ශාස්ත්‍රයට ප්‍රිය කරයි. එයින් ලබන දැනුම අන් අයට බෙදයි. ආගමික කටයුතුවලදී මහත් උනන්දුවකින් කටයුතු කරයි. අවංක ගතිගුණවලින් පිරී ඇත. නෑදැයින්ගෙන් හා හිතමිතුරන්ගෙන් කරුණාව ලැබේ.

23) දෙනට - ආහාර ඇඳුම් නිරායාසයෙන් ලැබේ

කුජ ග්‍රහයා යටතේ පාලනය කරන දෙනට නැකතින් උපන් ඇය කතාවට දක්ෂයෙකි. ආහාර ඇඳුම් පැලඳුම් නිරායාසයෙන්ම ලැබේ. උගත්ය. ලිපි ලේඛන කටයුතුවලදී දක්ෂ ලෙස මෙහෙයවයි. රිය පැදවීමට දක්ෂයි. චරිතය මනා ලෙස රැක ගනියි. විවාහ සහකරුට නිර්මල ප්‍රේමයක් දක්වයි. පුතුන් වැඩිපුර ලබයි.

24) සියාවස - ජවයෙන් ඉදිරියට

රාහු ග්‍රහයා යටතේ පාලනය කරන සියාවස නැකතින් උපන් ඇයට ඉක්මන් හා ඉදිරියට යන වේගයක් ඇත. සංචාරයට කැමැතිය. සරාගී හැගිම් මතු කරයි. කාන්තා පක්ෂයේ ගෞරවය හිමි වේ. වැඩිහිටියන්ට ගරු කරයි. දෙවියන්ට ප්‍රියයි. දෙන දේ සතුටින් කරයි. හිතුවක්කාරයි. සමහර විට මනස අවුල් කරගෙන කටයුතු කරයි.

25) පුවපුටුප - සැපවත් ජීවිතයක්

ගුරු ග්‍රහයා යටතේ පාලනය කරන පුවපුටුප නැකතින් උපන් ඇයට මහා ධනයක් හිමි වේ. සැපවත් ජීවිතයක් ගත කරයි. දානමාන කටයුතුවලට මහත් උනන්දුවක් දක්වයි. පාපයට බයයි. උසස් අධ්‍යාපනයට හිත යොමු වෙයි. සමාජයේ ඉහළ තැනක් හිමි වේ. ඉදිරියට යන ගමන වරදින්නේ නැත.

26) උත්‍රපුටුප - අවශ්‍ය තැනදී උපායශීලිය

සෙනසුරු ග්‍රහයා යටතේ පාලනය කරන උත්‍රපුටුප නැකතින් උපන් ඇය සැමියාට දැඩි ආදරයක් දක්වයි. ඕනෑම දුකක් විඳීමේ ශක්තියක් ඇත. බුද්ධිමත්ය. අවශ්‍ය තැනදී උපායශීලී වෙයි. සතුටින් දිවිය ගත කරයි. ඉවසීම අගේ කොට සලකයි. කිසි දෙයක් ගණන් ගන්නේ නැත.

27) රේවතී - සතුරු බලවේග සුන් කරයි

බුධ ග්‍රහයා යටතේ පාලනය කරන රේවතී නැකතින් උපන් ඇය පිරිසිදු චරිතයක් ඇත. බුද්ධිමත්ය. බුද්ධියෙන් කටයුතු කරන නිසා වරදින්නේ නැත. උසස් අධ්‍යාපනයට යොමු වේ. ලැබීම් අතින් හොඳයි. සතුරු බලවේග නැති කරයි. නීතියට ගරු කරයි. සැමියා සමඟ බුද්ධියෙන් කටයුතු කරයි. බාධා මැඬගෙන ඉදිරියට යයි.

 

 ජ්‍යොතිර්වේදී - ග. මු. සුබසිංහ

Comments