ග්‍රහ දෝෂ නසන වාස්තු විද්‍යා රහස් | සිළුමිණ

ග්‍රහ දෝෂ නසන වාස්තු විද්‍යා රහස්

නිවසේ ඊසාන සහ මධ්‍ය ලක්ෂ්‍ය  බල ගැන්වීමෙන් දෝෂවලින් දරුවා මුදාගත හැකියි

නිවසේ ඊසානය පිරිසුදුව තබා ගැනීම අත්‍යවශ්‍යයි

උතුර - ඊසාන  නැඟෙනහිරට වැසිකිළි කැසිකිළි කුණු ගොඩවල් එපා

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආචාර්ය  කැලුම් ගුණතිලක

ඊසානයට ළිඳක් ඉතා ශුභයි. දරුවන්ගේ පාඩම් කාමර  ආදියට ද ශුභම දිශාවයි.

 

විටින් විට සිදුවන ග්‍රහ මාරු, ග්‍රහ යුද්ධ නිසා සෑම විටම ඔබේ දරුවාගේ ආරක්ෂාව, අනාගත දියුණුව පිළිබඳ ඔබගේ සිත තුළ සැක සංකා මතු වෙනවාද? ඒ වගේම වර්තමාන සමාජය තුළ නිතර අහන්න දකින්න ලැබෙන අපයෝජන, පැහැර ගැනීම්, විවිධ අකටයුතුකම් හා දරුවන්ගේ නොමඟ යෑම්, දරුවන් දෙමාපියන්ට වංචා කර, බොරු කර අනවශ්‍ය ප්‍රේම සබඳතා ආදියට පටලැවී අනාගතය අඳුරු කරගැනීම් පිළිබඳව ගැටලු ඔබට පවතිනවාද? එහෙමනම් වහාම අපි අද මේ කතා කරන වාස්තු විද්‍යා දෝෂ නිවැරැදි කරවා ගන්න.

එවිට සෑම දේකටම මූලය සකස් කරන බිම් යහපත් වනු ඇත. එවිට ඔබට, ඔබේ දරුවාට නිසි බිම් වාසියක් නිර්මාණය වනු ඇත. එවිට අප පවා විටින් විට කියන ග්‍රහ යුද්ධ, ග්‍රහ මාරු වීම්, චන්ද්‍රග්‍රහණ, සූර්යග්‍රහණ ආදියේ අනිටු විපාකවලින් ඔබේ දරුවාව අත්මුදවා ගැනීමට අවස්ථාව උදාවනු ඇත.

උදාහරණයක් ලෙස අපි සිතමු, පසුගියදා සිදුවූ චන්ද්‍රග්‍රහණය පිළිබඳව. එම චන්ද්‍රග්‍රහණය නිසා බොහෝ දැරියන්ගේ මානසික තත්ත්වය ව්‍යාකූල වන බව පෙනේ. තවද මනස පාලනය කර ගැනීමට නොහැකිව විවිධ අයථා ක්‍රියා කරා යොමු වේ. සමාජයේ අපචාර ක්‍රියා ඉහළ යයි. ඔබගේ නිවසේ ඊසාන හා මධ්‍ය ලක්ෂ්‍ය බලගන්වා ගැනීමෙන් මෙම දෝෂවලින් දරුවා මුදවා ගත හැක.

ඔබ ප්‍රථමයෙන්ම ගෙදර මැද හෙවත් මධ්‍ය ලක්ෂ්‍ය ආසන්න වශයෙන් හෝ සොයා ගත යුතුයි. එසේ නිවසේ මැද සොයා ගත් පසු ඒ මත මාලිමාවක් තබන්න. දැන් ඔබට ඉතා පහසුවෙන් ඊසාන දිශාව සොයා ගත හැක. එය මාලිමාවේ (NE) ලෙස සටහන් කර ඇත.

ඕනෑම අයෙකුගේ නිවසක ඊසාන යනු ඉතා පිරිසිදුවම තැබිය යුතු මූලිකම දිශාවයි. ඊසාන දිශාව පිරිසිදුව තබා ගැනීම යනු කුණුකසළ, අපජලය ආදිය ඉවත් කිරීමයි. එමෙන්ම අඳුර වැටෙන ගස්කොළන් නොමැති වීමයි. නිතර පිරිසිදු කර කිසිදු කැළිකසළක් නොමැති ලෙස පරිසරය සකසා එම ප්‍රදේශයට හොඳ හිරු එළියක් පතිත කරගැනීමෙන් පමණක්ම ඔබට බොහෝ වාසි අත්පත් කරගත හැක. දරුවන්ගේ මනස දීප්තිමත් වේ. ඔවුන්ගේ බුද්ධිය වර්ධනය වීම ඇරඹේ. දරුවන්ට යහපත් ගුරුවරු ලැබේ. දරුවන්ගේ ගුණධර්ම උසස් තත්ත්වයට පත්වේ. වැඩිහිටියන්ට, දෙමාපියන්ට ගරු කිරීම සිදු කරයි. නව නිර්මාණ කිරීමට පෙලඹේ.

මෙම පිරිසිදු කිරීම් තවදුරටත් වාස්තු විද්‍යානුකූලව කරගන්නේ කෙසේදැයි දැන් බලමු. වාස්තු විද්‍යානුකූලව ඊසාන දිශාව තුළ වැසිකිළි, කැසිකිළි පද්ධති, වැසිකිළි වළ, අපජලය වළ, මුළුතැන්ගෙය, කොම්පෝස්ට් බඳුන, කුණු පුලුස්සන තැන, අබලි ද්‍රව්‍ය ගබඩාව ඉතා අශුභයි. ඒවා ඉවත් කර ගත යුතුයි. උතුර, ඊසාන, නැඟෙනහිර පරාසයෙන්ම ඒවා මුළුමනින්ම ඉවත් කරගෙන පහත ද්‍රව්‍යවලින් බලවත් කරගත හැක.

ඊසානයට ළිඳක් ඉතා ශුභයි. තවද බුදුන් වඳින තැන, දෙවියන් පුදන තැන ඊසාන දිශාවට යහපත් වේ. දරුවන්ගේ පාඩම් කාමර ආදියට ද ශුභම දිශාව ඊසානයි. විශ්ව ශක්තිය ගලා එන ප්‍රධානම දිශාව ඊසාන දිශාව වේ. තීන්ත ආලේප කිරීමේදී සුදු, ලා කොළ, කහ වැනි චාම් වර්ණ ආලේප කිරීමද යෝග්‍යයි.

මේ තුළින් දරුවාගේ මතක ශක්තිය වර්ධනය වීම, විභාග තුළින් ජය අත්වීම, හොඳින් පාඩම් කිරීම, මුරණ්ඩු හිතුවක්කාර ගති ඉවත් වීම, ගෘහ මූලිකයා නිසි කල්‍යාණ මිත්‍ර ඇසුරට වැටීම, එනම් අයහපත් යහළු මිත්‍රයින්ගෙන් දුරස් වීම සිදුවේ.

ගෘහ මූලිකයාගේ කේන්තිය ද අඩුවේ. ගෙදර සාමයට යහපත්ය. නව ආදායම් මාර්ග විවර වේ. ගුණධර්ම පිරි, තම ගෞරවය රැකගන්නා, යහපත් දරු පරපුරක් උරුම වේ.

එමෙන්ම නිවසේ මධ්‍ය ලක්ෂ්‍යය හෙවත් නිවසේ හරි මැදම ශක්තියකින් පීඩා වීම, මුදුන් ලීයෙන් පීඩා වීම, පඩිපෙළක් වැටීම, බර ගෘහ භාණ්ඩ තැබීම නොකළ යුතුයි. එසේ නිවසේ මැද නිදහස්ව තැබීමෙන් ඔබට නිදහස් මානසිකත්වයක් උරුම වනු ඇත.

යම් විදිහකින් මෙසේ නිවසේ ඊසාන මෙන්ම හරි මැද පීඩා වී ඇත්නම් කඩා පිළිසකර කිරීම යෝග්‍ය වන අතර, එසේ කිරීමට අපහසු අයට ලොව රටවල් 26කට අධික සංඛ්‍යාවක් භාවිත කරන පිරමීඩ වාස්තු විද්‍යා නිරාකරණ ක්‍රමවේද මඟින් කැඩීම් බිඳීම්වලින් තොරව වුවද මෙම දෝෂ නිරාකරණය කර ගත හැක.

කෙසේ වෙතත් තමා ජීවත්වන නිවස තමාගේ ආරක්ෂිත ආවරණය නැතහොත් කටුව වන අතර එය නිවැරැදි හා ශක්තිමත් වන තරමට (විශ්ව ශක්තිය මඟින්) තම ආරක්ෂාව මෙන්ම දියුණුව ද තීව්‍ර කරනු ඇත.

 

Comments