
විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් "ධර්ම රශ්මි " පොසොන් කලාපය විවෘත කෙරේ.
හෝමාගම පිටිපන ධර්ම රශ්මී පොසොන් කලාපයේ සමාරම්භක උත්සවය පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාම විහාරස්ථානයේ දී ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
බෝධිරාජාරාම විහාර පරිශ්‍රයේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව විදුලි ආලෝක පද්ධතිය විවෘත කරමින් අමාත්‍යවරයා ඇතුළු ගෞරවනීය ආරාධිත අමුත්තන් විසින් නිල වශයෙන් පොසොන් කලාපය විවෘත කිරීම සිදුවිය.
ඉන් අනතුරුව හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පොසොන් කලාපයට සමගාමීව නිර්මාණය කළ තොරණ විවෘත කිරීම අමාත්‍යවරයා ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
පොසොන් පොහොය දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංවිධානය කරන විශාලතම බත් දන්සල වන හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාල ක්‍රීඩාංගනයේ යුද හමුදාව විසින් සංවිධානය කර ඇති බත් දන්සල විවෘත කරමින් පැමිණ සිටි පිරිසට ආහාර පිළිගැන්වීම ද අමාත්‍යවරයා ප්‍රමුඛ ආරාධිත පිරිස විසින් සිදු කරන ලදී.
ධර්ම රශ්මී පොසොන් කලාපය වෙනුවෙන් ප්‍රදේශයේ පාසල් සිසුන් සහ අනෙකුත් නිර්මාණ ශිල්පීන් ඉදිරිපත් කළ පහන් කුඩු මෙන්ම ප්‍රථම වරට මෙරට විදේශීය තානාපති කාර්යාල විසින් නිර්මාණය කරන ලද පහන් කූඩු කිහිපයක් ද ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම මෙහිදී සිදු විය.
NSBM හරිත සරසවියේ එළිමහන් පරිශ්‍රය පැවැත්වෙන පොසොන් බැති ගී සංදර්ශනය ද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.
ශ්‍රී ලංකාවේ බංගලාදේශය තානාපති තාරික් අරිෆුල් මහතා,ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය, ජපානය, චීනය, ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය රුසියාව ඇතුළු තානාපති කාර්යාල නියෝජනය කරමින් එක්ව සිටි රාජ්‍යතාන්ත්‍රික නිලධාරින්, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින්, රාජ්‍ය ආයතන නියෝජනය කල නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.