ස්ටෑන්ඩ්-අප් කොමඩිය විගඩමක් වෙයිද? | සිළුමිණ

ස්ටෑන්ඩ්-අප් කොමඩිය විගඩමක් වෙයිද?

කුත් සති කිහිපය පුරාම සමාජ මාධ්‍යවල ශ්‍රී ලංකාවේ විකට ශිල්පිනියක් ප්‍රබල ප්‍රහාරයකට ලක් වූවාය. ඇය විසින් කරනු ලැබූ ප්‍රකාශයකින් බොහෝ සෙයින් සිත් බිඳගත් පුද්ගලයන්ගේ නිර්දය විවේචන මේ වන විටත් ඇයට එල්ල වෙමින් තිබේ. ඇතැමකු ඇය කළ කාර්යය නිවැරැදි යැයි තර්ක කරයි. තවත් අයකු මෙය ආගම්වාදී ගැටුමක් දක්වා ගෙන යන්නට උත්සාහ කරයි. කෙසේ වෙතත් ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තරමටම තත්ත්වය බරපතළ විය.

මේ විවේචන අතර සැමුවෙල්, ඇනස්ලි, බර්ටිලා මෙහෙම කළේ නැහැ යැයි කියන අය ද සිටිති. සැමුවෙල් ඇනස්ලි බර්ටිලා ගේ දශක ගණනාවක හාස්‍ය රංගනය තුළ සමාජයේ මේ ආකාර ගැටුම්කාරී වාතාවරණයක් ඇති නොවුණේ කෙසේදැයි සොයා බැලීම වටී.

ප්‍රශ්නකාරී යුවතියගේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් හඳුන්වන්නේ stand -up comedy කියාය. මෙයට පැහැදිලි සිංහල තේරුමක් ඇත්දැයි මම නොදනිමි. කෙසේ වෙතත් එය "හාස්‍යකථක" ලෙස හැඳින්වීම සුදුසු යැයි සිතේ. හාස්‍ය කථකයන් යනු පිරිසක් ඉදිරියේ තනිව හාස්‍ය රංගනයේ යෙදෙන්නන්ය. අතීතයේ මොවුන් හැඳින්වූයේ “තිරය ඉදිරියේ“ හෙවත් front cloth ශිල්පීන් ලෙසය. ප්‍රසංගයක් අතරතුර කිසියම් කාර්යයක් සඳහා වේදිකා පසුතල අලුතෙන් සකස් කිරීමට සිදුවූ අවස්ථාවක තිරය වසා, තිරය ඉදිරියේ ශිල්පියෙක් යෙදීම අතීතයේ සිට පැවත ආ සිරිතකි. එම ශිල්පියා තමන්ගේ සාමාන්‍ය ඇඳුමෙන් සැරසී අවුත්, හාස්‍යෝත්පාදක කතා කියමින් සංවිධායකයන්ට අවශ්‍ය කාලය ලබා දෙයි.

මේ පිළිබඳ ලිඛිත ඉතිහාසය හමුවන්නේ ඇමෙරිකාවෙනි. ඒ, වර්ෂ 1840 පමණ සිටයි. නමුත් වර්තමානය වන විට මෙම ශිල්පීන් තම වෘත්තිය වෙනුවෙන් සුවිශේෂී අනන්‍යතාවක් ගොඩනඟාගෙන තිබේ.

මේ වන විට ලෝක ප්‍රකට හාස්‍ය කථිකයන් රැසක් බිහිව තිබේ. ඔවුන් ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ තමන්ගේ රංගනය ඉදිරිපත් කරන අතර, ඇතැම් අය විවිධ රූපවාහිනී නාළිකා ඔස්සේ ප්‍රසිද්ධියක් ලබාගෙන තිබේ. අද වන විට මේ අතරින් ප්‍රමුඛයා ජෙරී සයින් ෆෙල්ඩ් ය. ඔහු හාස්‍ය කථනයේ යෙදීමෙන් උපයාගත් වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 950 ඉක්මවයි.

මෙබඳු ඒකල විකට ශිල්පීන් පිළිබඳ ශ්‍රී ලංකාවේ ද ඉතිහාසයක් තිබේ. එය ලිඛිතව හමුවන්නේ ගුවන්විදුලි ඉතිහාසයත් සමඟය. නවසිය හතළිස් ගණන්වල ගුවන්විදුලි විකට වැඩසටහන් ආරම්භ කිරීමට දරන උත්සාහයේදී මුලින්ම කැඳවා ගෙන ඇත්තේ ප්‍රේක්ෂකාගාරවල ප්‍රකටව සිටි විකට ශිල්පීන්ය. ඩී. එම්. කොළඹගේ විසින් රචිත ගුවන්විදුලි වංශය පොතේ සඳහන් වන පරිදි මුල්ම ගුවන්විදුලි විකට ශිල්පියා වනුයේ ඒ. ඒ. පෙරේරා ය. ඔහු තැපැල් හා විදුලි සංදේශ නාට්‍ය සංගමයේ සාමාජිකයෙකි. ඒ වනවිට හාස්‍ය කථකයකු ලෙස ඔහු හඳුනා ගෙන තිබිණ.

සිරි අයියා නොහොත් අධිනීතිඥ යූ.ඒ. එස්. පෙරේරා ද ඒ ආකාරයේ හාස්‍ය කථිකයෙක් ලෙස ක්‍රියා කර තිබේ. ඔහු බොහෝ විට තමාගේ කතාවට කවි මිශ්‍ර කර ගනී. ආරම්භක යුගයේ ගුවන්විදුලි නිවේදකයකු මෙන්ම පසුකලෙක ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයකු වශයෙන්ද කටයුතු කළ තේවිස් ගුරුගේ ද ගුවන්විදුලි මාධ්‍යය තුළ මෙබඳු ඒකල රංගනයක යෙදී තිබේ. ඔහු එසේ කර ඇත්තේ "මිස්ට කොටවිල" නම් වූ අන්වර්ථ නාමයකිනි. ගුවන්විදුලියේ ඉංග්‍රීසි සේවයේ අතිශයින් ජනප්‍රිය වූ ඒකල හාස්‍ය රංග වැඩසටහනක් වූයේ "පුවක්පිටියේ රාළහාමි" වැඩසටහනයි. මෙය ඉදිරිපත් කළේ ඒ.එම්. ඩබ්ලිව්. ජෝශප් ය. ඔහු යුද සමයේ තොරතුරු හාස්‍යෝත්පාදක ආකාරයෙන් ඉදිරිපත් කර ඇති අතර, එය ගුවන්විදුලි මාධ්‍යය අසන්නන් අතර ජනප්‍රිය කරවීමට ද හේතු වූවකි.

විහිළු තහළු සහ විනෝද සමය කණ්ඩායම්වලට අයත් වූ සැමුවෙල්, ඇනස්ලි සහ බර්ටි තිදෙනා stand-up comedy ගණයේ ලා සැලකිය නොහැක. ඔවුන් කණ්ඩායමකි. නමුත් මෙම පිරිස වෙන් වෙන්ව ඒකල වැඩසටහන් ඉදිරිපත් කළ අවස්ථා නැත්තේ ද නොවේ. ඒ අතරින් වැඩිපුරම ඒකල වැඩසටහන් ඉදිරිපත් කර ඇත්තේ මගේ පියා වන සැමුවෙල් රොඩ්‍රිෙගා්ය. ඔහුගේ පූර්වාදර්ශය වූයේ ගුවන්විදුලි නූතන සම්ප්‍රදායේ විකට වැඩසටහන් නිර්මාතෘ මෙන්ම ඔවුන්ගේ කණ්ඩායමේ ගුරුවරයා ද වන එච්. ඩී. විජේදාස ය. ඔහු එවක ලංකාවේ ප්‍රකට ඒකල විකට ශිල්පියකු ලෙස හාස්‍ය කථනයේ යෙදුණේය. එම අවස්ථාවක් දෙකක් දැක ගැනීමේ භාග්‍යය ද මට ලැබිණ.

පසුකලෙක තමන් සතු ඇතැම් කථාංග ද මගේ පියාට පවරා විජේදාස මහතා ඒකල ඉදිරිපත් කිරීම්වලින් සමුගෙන තිබේ. එවක මෙබඳු ඒකල හාස්‍යරංග ශිල්පීන් ලෙසින් නවනන්දන විජේසිංහ සහ විවිධ හඬ අනුකරණය කිරීමේ අපූර්ව හැකියාවක් සතුව සිටි මංගල ප්‍රේමදාස ද ජනප්‍රිය වී සිටියෝය.

විහිළු තහළු සහ විනෝද සමය ශිල්පීන් සමස්තයක් ලෙස හාස්‍ය රංගනයේ යෙදුණු කාලවකවානුව අඛණ්ඩව දශක පහකට ආසන්නය. ඔවුන්ගේ නිර්මාණ අද ද රූප මාධ්‍යයේ මෙන්ම ශ්‍රව්‍ය මාධ්‍යයේද පළවෙයි. අන්තර්ජාලය ඔස්සේ නැරඹීමේ හැකියාව ද තිබේ. එහෙත් මෙම කවර වූ හෝ හාස්‍ය රංගයකට කිසිම විටක ජන විරෝධයක් එල්ල වී නැත. ඒවායේ හාස්‍ය රසය අද වන විටත් අඩු වී නැත. එසේ නම් එයට හේතුව කුමක්ද යන්න සොයා බැලිය යුතුය.

විනෝද සමය වැඩසටහන් බොහොමයක පුහුණුවීම් කටයුතු සිදු වූයේ අපගේ නිවසේය. මේ නිසා කුඩා දරුවෙක් ලෙස ඔවුන්ට ආවතේව කරමින් එතැන රැඳී සිටීමේ අවස්ථාව මට හිමිවිය. පුහුණුවීම් අතර වුවද කිසිවකුගේ ඇස් රතුවන විහිළු ඔවුන් නොකළ බව මගේ විශ්වාසයයි.

"අපොයි ඒක කියන එක හරි නෑ"

"ඒක කිව්වොත් අරූට රිදෙයි"

"ඔය වගේ ඒවා කිව්වහම ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්"

වැනි වදන් ඔවුන් අතර හුවමාරු වෙනු මට ඇසී තිබේ. ඔවුන් තුළ ඉතා දැඩි ස්වයංවාරණයක් තිබිණ.

එච්. ඩී. විජේදාසගේ හාස්‍ය නිර්මාණ කලාව ග්‍රන්ථය ආරම්භ කර ඇත්තේ මෙසේය.

“විහිළුව, විහිළුවක් නොවේ. විහිළුව විගඩමක් නොවේ. විහිළුව බහුබූතයක් නොවේ. විහිළුව අනුන්ගේ කුණු ගොඩවල් අවුස්සන සවලක් නොවේ. ඇත්තෙන්ම විහිළුව කලාවක්. විහිළුව ආගමක්. විහිළුව දර්ශනයක්. විහිළුවෙන් කරන්නේ සත්‍යය හෙළි කිරීමයි. ගැඹුරුතම දහමක් සරලතම අන්දමින් හෙළි කරන ප්‍රබලතම මාධ්‍ය විහිළුවයි“

විජේදාස මහතා ඒකල හාස්‍ය කථනයේ යෙදෙන විට සැරසෙන්නේ බටහිර පන්නයටය. ටයි පටියක් අනිවාර්යය.ඔහු බටහිර හාස්‍ය කථිකයන් අනුගමනය කළා දැයි මම නොදනිමි. කෙසේ වෙතත් ඔහුගේ කතාව සැකසෙන්නෙ අර්ධ නාගරික පන්ති නියෝජනයක් ලෙසය. තමාගේ අත්දැකීම් විස්තර කරන ආකාරයට ඔහු ඇතැම් මිනිස් චර්යා රටා සහ දේශපාලන ක්‍රමවේද උපහාසයට ලක්කරයි. තමන්ගෙ කතාව අතරතුර කවිය යොදා ගැනීම එකල හාස්‍ය කථිකයන්ගේ සුලබ ලක්ෂණයකි. මේ නිසා විජයදාස ද කවි යොදා ගත්තේය.

ගමේ මුදලාලිගෙ බල්ලා මිය යයි. මුදලාලිගේ බල්ලාගේ මරණය වෙනුවෙන් ඉතා විශාල පිරිසක් එක් වෙති. ඔවුහු බල්ලාගේ ගුණ ගයමින් මුදලාලිගෙන් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙති. මේ අතර බල්ලාගේ මරණය වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් රැගෙන මුදලාලි හමුවීමට විජේදාස මහතා කටයුතු කරයි. එම ශෝක ප්‍රකාශය පහතින් පළවෙයි.

විදුලිය වගේ දුව ආ හැමවිට ජුක් කී 
උඹ පරලොව ගියත් පෙරළා කුණු බක්කී  
බල්ලන් නැති විටදි සිය පතිදම රැක්කී  
වැලපෙයි උඹේ සොඳුර වලිගය කොට කික්කී

තිස් තුන් කෙළක් පමණට පැටවුන් හැදුව 
මස්කටු පුස්පාන් උන් හැමටම බෙදුව  
නස්පැත්තියක් කොට බලු ලෝකෙට පොදුව  
වස්තුව උඹ නිදිද කොස් කොටයක් බඳුව

මැස්සන් වහපු කුණු ගොඩකදී බැඳි හාද 
සිත් සන්තොසින් දුන් මස්කටු කෑවද 
බස්තන් පාරකින්වත් නුඹ මැරුණාද 
ටොම්සන් මගේ නමට ජීවිතේ දුන්නාද

කං කොට කිකී සහ මදුරි හොඹු හිනී 
හන්දියේ නගරමට හිටි වෛරගේ දෝණී 
උන් හැමදෙනා අත්හැර උඹ ගියා ඉනී 
අන්තඃපුරය පාළුයි බලු ස්වාමිනී

ගුවන්විදුලියේ විහිළු තහළු වැඩසටහන පැවති දේශපාලන බල අධිකාරියට නම් ගැටලුවක් වී තිබිණ. විජේදාස එකොළොස් වතාවක් වැඩ තහනමට ලක්වන්නේ ඒ නිසාය. එයට හේතුව දේශපාලනික වශයෙන් ගනු ලැබූ තීන්දු ජනතාවාදීව සලකා බැලීම විය යුතුය. එසේ නොමැතිව ඔහුගේ විහිළුවලින් කිසිම අවස්ථාවක සංස්කෘතිය, සදාචාරය, ආගම, ජාතිය, කුලය සහ ගෝත්‍රය වැනි සංවේදී ඉසව්වක් අපහාසයට හෝ උපහාසයට ලක් වී නැත.

විජයදාස මහතාගෙන් යෂ්ටිය අතට ගත්තේ මගේ පියාය. පසු කලෙක ඔහු අමාරිස් අයියා චරිතයටම කොටු වුවත්, මුල් යුගයේදී ඔහුද stand -up comedy හාස්‍ය කතා ඉදිරිපත් කළේය. එම හාස්‍ය ජවනිකාවකට ඇතුළත් වූ එක් කතාවක් මෙසේය.

"අඟහරුවාදා, සෙනසුරාදා දවස්වලට හොරු එන්න පුළුවන් කියලා තමයි අපේ සීයල අපිට කියලා තියෙන්නේ.

එදා අඟහරුවාදා දවස මාසේ පෝය. කට්ට කරුවලයි. මාසේ පෝයත් වෙලා අඟහරුවාදාත් වෙලා පොද වැස්සකුත් ගියොත් හොරු එනවාමයි. ඒක හින්ද මං කෝකටත් සූදානම් ශරීරයෙන් ඇට්ටේරියා පොල්ලකුත් ළඟ තියාගෙන සෝදිසියෙන් හිටියා.

ඔන්න රෑ 12 විතර වෙනකොට මට ඇහෙනවා සද්දයක් බර බර ගාලා. මං ගත්තා පොල්ල අතට, උගුර පෑදුවා. ඔය හොරු එක්ක ගහමරාගන්න හොඳ නෑ. පන්නලා දාන්න බලන්ඩෝන. බයකට නෙමෙයි, ඒ වුණාට අපේ ආරක්ෂාව අපිම බලා ගන්ඩ එපායැ.

හොරාට පෙන්නන්න ඕන අපි ඇහැරිලා ඉන්නවා කියලා. එතකොට හොරා මාරු වෙලා යනවා. හරි සද්දයක් නෑ. ඔන්න ටිකක් වෙලා යනකොට ආයෙ බර බර ගානවා. මේක හරියන්නෑ ගත්තා පොල්ල අතට, කැස්සා. ඒ පාර සද්දයක් නෑ, හොරා ගියා මගේ හිතේ. ඕන්න ඇස් දෙක පියාගෙන නින්ද යාගෙන එනකොට ආයි බර බර ගානව. හරියන්නේ නෑ වැඩේ. ගත්තා පොල්ල මේ අතට, මේ අතට ගත්ත බැස්ටිය, ගැහැව්ව කෙලින්ම ජනේලෙන් හොරාගෙ මූණටම. මේක පත්තු වුණේ නෑනේ. බැලින්නම් කොල්ල බැස්ටි කෑලි අනිත් පැත්තට දාලා.

පස්සෙ ආයේ ආයේ බැස්ටි කෑලි ටික ගලවලා හරි පැත්තට දැම්මා. ඒ පාර සද්දේ ආයිත් එනවා. කෙලින්ම සිහි කරා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවෝ. සියලුම මළගිය ඥාතීන්ට පින් දීලා ආරක්ෂාව ප්‍රාර්ථනා කෙරුවා. ඊට පස්සේ පොල්ලත් අරගෙන කෙළින්ම එළියට බැහැලා ගැහැව්ව බැස්ටිය. (සිනා) බැලින්නන් මොකක්ද වෙලා තියෙන්නේ... අර පොද වැස්සට අලුත හිටවපු හබරල පාත්තිය අල බහිනවා බර බර ගාලා."

වර්තමානයේ බොහෝ විකට ශිල්පීන් දෙපිට කැපෙන වචන සහ ලිංගිකත්වය අදාළ කරගනිමින් හාස්‍ය රස මවන බවට චෝදනා එල්ල වෙයි. පැරණි විකට වැඩසටහන්වල එසේ නොතිබුණු බව බොහෝ අය ප්‍රධාන ජනමාධ්‍යවල ද සමාජ මාධ්‍යවලද සඳහන් කර තිබෙනු මම ද දුටුවෙමි. ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි මාධ්‍යය ආරම්භ වී වැඩිකල් ගතවන්නට පෙරම කිසියම් ආචාර ධර්ම පද්ධතියක් ඔස්සේ වැඩසටහන් විසුරුවා හැරි බව සත්‍යයකි.

විශේෂයෙන්ම වෙළෙඳ වැඩසටහන් විෂයෙහි ඕස්ට්‍රේලියාවෙන් ගෙන්නා ගත් ආචාර ධර්ම පද්ධතියක් තිබිණ. ගුවන්විදුලියේ ශික්ෂණය ලත් ශිල්පීන් කවර විටෙකවත් බාහිර ප්‍රසංග වේදිකාවකදී සදාචාරයට හෝ සංස්කෘතියට හානි කළේ නැත. එසේ වූ පමණින් ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් තුළ ලිංගිකත්වය නොතිබුණා යැයි තර්ක කරන්නට බැරිය. නමුත් සත්‍ය වශයෙන්ම සිදු වූයේ ඇතැම් ප්‍රේක්ෂක කණ්ඩායම් අතික්‍රමණය කොට එම රසාංග, විශේෂ වූ ප්‍රේක්ෂක පිරිසකට පමණක් සංවේදී වන ලෙස ඉදිරිපත් කිරීම්ට ඔවුන් තුළ තිබූ නිර්මාණශීලීත්වය ඉස්මතු වීමයි.

පහත සඳහන් කවි කීපය ඊට කදිම නිදසුනකි. මෙහි මුල් කවි දෙක එච්. ඩී. විජේදාස විසින් තමාගේ ඒකල ඉදිරිපත් කිරීම් සඳහා යොදා ගන්නා ලද්දකි. පසුව තමන්ට වඩා කවි ගායනයෙන් දක්ෂ බව කියමින් ඔහු එය මගේ පියාට පවරා දී තිබේ. ඒ අනුව පසුව එන කවි දෙක මගේ පියාගේ රචනාය. මේ කවි ඉදිරිපත් වන අවස්ථාවල මම ද ප්‍රේක්ෂකාගාරවල ඉඳ ඇත්තෙමි. වැඩිහිටි පිරිස් නවත්වා ගත නොහැකි ආකාරයෙන් මේවාට සිනාසෙන අයුරු මම දැක ඇත්තෙමි. නමුත් ළමුන් ඒවාට සිනාසුනේ නැත. මම ද ළමයෙකු වශයෙන් ඒවා නැරඹූ අවස්ථාවේ මෙහි ඇති යටි පෙළ වටහා ගත්තේ නැත.

පසු කලෙක මගේ පියා විසින් මෙම කවි ඉදිරිපත් කරනු ලැබූවේ ඔහු විසින් මවන ලද චරිතය වූ “අමාරිස් අයියා“ ගේ අත්දැකීමක් ලෙසය.

"මහත්තයලට කියන්න ඉස්සර අපේ ඔය ඇලන් නෝනා, මම බඳින්න ඉස්සෙල්ල බලන්න බෑ ලස්සන රන් තැඹිලි ගෙඩිය වගේ. මගේ ඉතින් ඇවැස්ස නෑනා නේ. මම ඒ දවස්වල මාමණ්ඩියා නැති වෙලාවල් බලලා හෙමිහිට හෙමිහිට ගෙදරට රිංගනව. ඕකට ඉතින් අපේ නැන්දම්මා හරහට හිටියා. දවසක් මං හැන්දෑවෙ යනකොට දෙන්න ඉස්තෝප්පුවට වෙලා වරක ගෙඩියක් කපනවා.

මාව දැක්ක ගමන් නැන්දම්මා ඇලන් නෝනට කිව්වා “කෙල්ලෙ ගෙට පලයන් අන්න අර හෝතඹුවා එනවා“ කියලා. අනේ ඉතින් ඇලන් නෝනා ගෙට ගියා. හඳ පායලා තිබිලා බැහැල ගියා වගේ මුළු ඉස්තෝප්පුවම කරුවල වෙලා ගියා. මාත් ඇරියේ නෑ. මං හිටිවන කවි කියල තියෙනවනේ, මං කිව්වා හොඳ කවියක්, ඕන් අහගන්න.

තරුව තිබෙන්නේ හැමදාමයි නැන්දේ 
හෙරළි තිබෙන්නේ තුන් මාසෙයි නැන්දේ 
නුඹේ අයියට දා පුතෙකිය මම නැන්දේ 
පැණි වරකා බෑය ඇයි හැංගුවෙ නැන්දේ

නැන්දම්මත් ඇරියේ නෑ. කවදාවත් පරදින්න කැමැති ගෑනියෙක් නෙවෙයි නේ. උන්දෑ නැඟිට්ට ගමන් කිව්වා කවියක්. ඔන්න ඒ කවිය.

අයියාගේ පුතා උඹ බව සැබවයි බෑනෝ 
ඇඟිලි ගගා උඹ මෙහි ඇවිදින් බෑනෝ 
කොහොල්ලා ගාගන්න හින්දා මම බෑනෝ 
පැණි වරකා බෑය ගෙයි හැංගුවා බෑනෝ

අපේ නැන්දම්මා එක්ක වාද කරල දිනන්න බෑ කියලා දන්න හින්ද මං කතාව හැරෙව්වා අනිත් පැත්තට.

නැන්දේ උඹේ දුව මට බැඳ දෙන්නේ 
ඒ ගැන මගේ හිත තරග කරන්නේ 
බැඳ දුන්නොත් එහෙම කුසලක් වන්නේ 
කුමට ද කුසලට කම්මැළි වන්නේ

ඒ වුනාට ඉතින් වැඩේ හරි ගියේ නෑ. මට නැන්දම්මා එක්ක ඔට්ටු වෙන්න බැරි වුණා. හැබැයි ඉතින් අපෙ මාමණ්ඩියා කන බොන මිනිහා නෙ. මිනිහා මට උදව් කළා. 

කොතන වුණත් නැත මරුහට බාධා 
විඳින මේ සැප පින් ඇති තෙක් වේදා 
කෙල්ල කැලණි යන විට මේ පෝදා 
උස්සන් පල බෑනෝ නැත බාධා

ඔන්න ඔහොමයි වැඩේ වුණේ. දැන් ඉන්නව ළමයි දාසයක්, හෙට අනිද්දා වෙනකොට දාහතක් වෙන්ඩ බැරි නෑ. එව්ව ඉතින් දෙයියන්ගෙ වැඩ නේ."

වර්තමාන නිර්මාණකරණය නිර්මාණය වෙනුවෙන් නොව අවස්ථාව වෙනුවෙන් සිදුවන්නකි. කිසියම් සමාගමක හෝ ආයතනයක උත්සවයක් වෙනුවෙන් තවත් එක අයිතමයක් ලෙස මිස, ජනතා රසවින්දනය වෙනුවෙන් කලා නිර්මාණයක් බිහි වන අවස්ථා දුලභය. වාණිජත්වය මුල්කරගත් සමාජයකින් මීට වඩා යමක් බලාපොරොත්තු වීම ද උගහටය.

සමාජ සම්මතයෙන් බැහැර යමක් ප්‍රකාශ කිරීම, රැඩිකල් වීමක් ලෙස සිතමින් එය ජනප්‍රියවීමේ මඟක් ලෙස අදහන පිරිසක් බෝ වෙමින් තිබේ. එම ක්‍රියාවලියට ඇතැම් ජනමාධ්‍ය ද බෙහෙවින් උපකාර කරයි.

මේ අතර අද බොහෝ අයට තමන්ගේ ම ජනමාධ්‍ය ආයතනයක් තිබේ. ඒ අන්තර්ජාල මාධ්‍යයි. ඒ මඟින් ඒ අයරිසි සේ තමන්ගේ මතවාද කියා පාති. මේ නිසා ආගමික සංස්කෘතික හෝ වෙනත් කවර ආකාරයකින් හෝ බෙදීමක් ඇති සමාජයට පොදු පිළිවෙතක් අහිමි වී තිබේ. ආචාර ධර්මවලින් පාලනය කෙරෙන ජනමාධ්‍ය මඟින් කිසිදු ජන කොට්ඨාසයකට රිදෙන්නට හෝ තවත් ජන කොට්ඨාසයකට “ආතල්”ගන්නට හෝ හේතුවන කාරණා සිදු විය නොහැක.

නිදහස යනු හැරමිටියේ කෙළවර අනිකාගේ නාසයේ නොවදින මට්ටම යන්න අවබෝධ කර දිය යුතු කාලය එළැඹ තිබේ.

චන්දන තිලකරත්න

Comments