
“හීං බබා” “හීං බබා” “මේ හිටියා මේ නෑ”
මේ යෝදයා මොන දීපංකරේක අන්තරස්දාන වෙනවද හැබෑටම”
නායක හාමුදුරුවෝ හඬ නඟන්නාහ.
“අනේ මෙහෙමත් මං කොන්න සුමෙයක්. හීං බබා අරක කොරපං. හීං බබා මේක කොරපං. අතෙන්ට පලයං. මෙතෙන්ට පලයං කිය කියා නොගන්නා කටයුතු අප්පර මෙයියයි.” මෙසේ සිතමින් හීං බබා ගල් බැම්මෙන් බිමට බැහැල, පය ඉක්මන් කොරල ලැගුම් ගේ පැත්තට ගාටැව්වා.
නායක හාමුදුරුවෝ, පත අත් ඇඳි තියෙන පුටුවේ දිගෑදිලා පතුල් දෙකත් උඩින් තියාගෙන මහ බර කල්පනාවක.
“අවසර අෙප නායක හාමුදුරුවනේ”
“හ්ම්.... උඹ ආවද?”
“ඔය මීතෙල් ඩිංගිත්තක් මයේ කකුල් දෙකේ අමදාපංකෝ. මේ තණ්ඩි ගස් රුජාව ඉන්ට හිටින්ට බෑ බොල.”
නායක හාමුදුරුවෝ ගමං විස්තරේ කියාන කියාන යනවා. හීං බබා කන් දෙක හරවාගෙන උන්නාන්සේගේ මූණ දිහා බලාන, වේළිච්ච කුරුම්බා ඇට්ටියක් වාගේ තියෙන මූණෙ මතුවෙච්චි රැවුල් කොට අත ගගා බිම ඇන තියාන ඉන්නවා.
“අවසර මීතෙල් ටිකක් අමදල, ගම්මිරිස් කොළයක් ඩිංගිත්තක් රත්කොල්ල තවා දාන්ටද?” හීංබණ්ඩාට ඉස්පාසුවක් නෑ. මේ පත්තියම කම්මුතු කොරාදාන කල්.
“හ්ම්... සුනංගු නොකර ඇන්න වරෙං”
“එහෙමයි”
හීංබබා මීතෙල් සාත්තුව පටන් ගත්තා. නායක හාමුදුරුවෝ ඇස් දෙක පියාගෙන ශ්ලෝකයක් කියනවා. උන්නාන්සේ බොහෝම කාරණා කාරණා දන්න කියන කෙනෙක්. පන්සලේ පොත් ගුලේ උන්නාන්සේගේ ඇහැ ගැහිච්ච නැති පොතක් නැතුවා. එහෙම වුණත් නායක හාමුදුරුවෝ කීප දොහක හිට, අමුතු කුලප්පුවකින් පොත් අවුස්සනවා. දිග අරිනවා. බලනවා. ආයෙම අල්මාරි වහදානවා.
“හීංබබා මං මේ කීපදොහක් මහා පුරස්නෙකට පූට්ටු වෙලා ඉන්නැද්දී, ඒ අවුඅස්සේ උඹත් එනවා උළිහිලි පාන්ට.”
“අවසර”
“නැතුවා, නැතුවා”
“තමුන්නාන්සේට උළිහිලිපාන්ට මී බෙට්ටක් වාගේ ඉන්න මං”
“ඒත් ඉතිං ඉඳ හිටල කුකුල් බෙටිත් බේතට ගන්නවා නොවැ. ඕනෑ පුරස්නයක් මට දේසනා කොරන්ට. මං ඕක සුරුස්ගාල ලිහා දෙඤ්ඤං. අවසර අර පුරස්නෙ වදාරන්ට... තමුන්නාන්සේට තවත් ඉස්පාසු දැනෙයි.”
“හ්ම්.... එහෙනං මේක සාර සුබාවට කං ෙකටියේ පට්ටල කොරා ගන්නිං කෝ”
“බූටාවත්තේ ගෙදර මැද්දුමයා. අර වෙලං ගොබිලක් හේ අතක් පයක් නොහොල්වා හතීකොන හක්කලං කොරන නාම්බා.”
“අනේ සංසාරේ.... එහෙමයි... මේ සම්මජ්ජාතියේ කැත්තක්, උදැල්ලක් අත තියලා නැති බුබ්බඩයා නොවැ ඔය කියන්නේ”
“එපිටදා මං පිරිතකට වැඩලා පිං කුඹුරේ නියර පිට පන්සලට වඩිනවා.”
“ඉතිං ඉතිං අවසර”
“මේකා වනාත දෙහෙදු කොරාන රැලේ වැටෙන්ට යන කුළු හරකා හේ, පන්නා ආපි’
“මං නොහොල්මනම නියර පිට හිටිපිය වැඩ ඉන්නවා.”
“ඇවිත් අහකවෙලා මා ඉස්සරහා වැඳ වැටිලා අහනවා, “නායක හාමුදුරුවනේ මට පුරස්නයක් තියනවා තමුන්නාන්සේගෙන් දැන කියාගන්ට.” කියාපි.”
“මේකා පුරස්නෙ විචාරන මෝසමක්යැ බොල. මං මේ තකහනියක් ගාටන්නේ බුද්ධ පූජාව තියන සමයම ආසන්නේ නොවැ.”
“හොඳයි කාරි නෑ. කියමු බලනට තමුන්ගෙ පුරස්නේ.”
“අවසර නායක හාමුදුරුවනේ මට කරණ පහ කියා දෙන්ටකෝ.” කියාපි.
“මාත් ඉස්බක් ඉතර කල්පනා කොරාට තුල්කුට්ටියට (මොළයට) වැටුණේ නෑ.”
“හ්ම්.... එහෙනං උඹ ගෙහුං බුරාස්පොතින්දා හැන්දෑ කොරේ වරෙන්කෝ කියලා මම පන්සලට වැඩම කොල්ලා මේ අටුවා ටීකා පෙල්ල බෙල්ල කරණ පහ හොයා ඇවිද්දා. ම්.... හ්... තවම හොයාගන්ට බැරි වුණා.”
“එහෙමයි, තමුන්නාන්සේ විස්සෝප නොවී වැඩ ඉන්ට. මං ඔය ගැටේ සුරුස්ගාන කොට ලිහා දෙඤ්ඤං”
“මට අවසර ගිලංපස මෝසමත් ළං වෙච්චි. මං වතුර මුට්ටිය ළිපට උඩි කොල්ල ගින්දර තුඩු කොල්ලා විගැහිං එනවා.”
“අනේ හීං බබා මේ අන්ඩර ගැට ලිහන්ට උඹට පුළුවනෑ.”
“නායක හාමුදුරුවෝ නොහොල්මනා වැඩ ඉන්ටකෝ. මං ගිලන්පස කෝප්පෙත් ඇන්න ඔය ගැටෙත් ලිහාන එඤ්ඤං” කියා හීං බබා උයන ගෙට ගියා.
හද්දා පිරිතක් කම්මුතු වුණා වගේ. ඉස්පාසුවක් නායක හාමුදුරුවනට දැනිච්චි.
හීං බබා ගිලන්පස කෝප්පෙත්, වතුර කෝප්පෙත්, පොල් කටුවකුත් බන්දේසිය පිට තියාන ගෙනත් කනප්පුව උඩ තියාපි.
හීං බබා හනිකට පොල් කටුව අතට කොරාන අනිත් අතින් පොල් කටුවේ කට වහගෙන හොල්ලන්ට පටන් ගත්තේ නැතෑ, ඒක ටක ටක ගාල හෙල්ලෙනවා.
“මොකදෑ හීං බබා උඹ පච කෙළින්ට තනනවාද? මොකදෑ අඩා මේ කොරන කෝලිත්තම.”
“මං මේ කරණ පහ හොයාන ආවා.” කියමින් දෝතින්ම පොල් කටුව නායක හාමුදුරුවන්ගේ අතේ තැම්පත් කොළා.
“මොනවද අඩා මේ. මේ පුස්කාපු කහ කෑලි කැටියක් නෙව.”
“එහෙමයි එහෙමයි ඔව්වා තමයි කරණ පහ කියන්නේ. ඔය පදේ අනික් පිට හරවා බලන්ටකෝ අවසර”
“කරන පහ”
“පරණ කහ”
හැබෑ නේන්නම් කියමින් නායක හාමුදුරුවෝ හීං බබා දිහා බැලුවේ අලුත් ග්රහ තාරකාවක් හොයාගත්තු ශාස්ත්රපතියෙකු දිහා බලන්නැහෙ උතුරා ගිය තුනිංචියකිනි.