සිහිනෙන් දුටුවොත් කුරුලු රංචුවක් ළඟ ළඟම සුබදායක පුවතක් | සිළුමිණ

සිහිනෙන් දුටුවොත් කුරුලු රංචුවක් ළඟ ළඟම සුබදායක පුවතක්

ඔබ දුටු සිහින ගැන පලාපල දැනගන්න සිළුමිණ-ඉසිවර ලෙක්හවුස්, කොළඹ 10 ලිපිනයට යොමුකරන්න.

නින්දේදි දකින සිහින කියන පලාපල

 

 

නින්දෙදී දකින සිහින පිළිබඳව මහත් උනන්දුවක් දක්වන චීන ජාතිකයන් ඒ සම්බන්ධයෙන් ග්‍රන්ථ රැසක් එළිදක්වා තිබේ. පළමුවැනි සිහින පලාපල ග්‍රන්ථය එළිදක්වා ඇත්තේ ක්‍රි.ව. 6189 - 68 අතර ටැන්ග් රාජ්‍ය පාලන සමයේදීය. ඉන් පසුව ක්‍රි.ව. 1562 දී චෙං ෂී යුවාන් නමැත්තා සිහින පිළිබඳ ග්‍රන්ථ හතක් ලියා තිබේ. තම ග්‍රන්ථයකට හැඳින්වීමක් ලියමින් සැමුවෙල් කුල්රිස් කවියා හෙළි කරනුයේ එහි ඇතුළත් කවි අතරින් බොහොමයකට තමන් නිද්දේදී දුටු සිහිනයක් මුල් වු බවය.

වෝල්ටර් ද ලාටා නම් ලේඛකයාද තමා දුටු සිහින මුල් කරගෙන කතා ලියන්නට හුරු වුවෙකි. චාල්ස් ඩිකන්සන් 1843 වර්ෂයේදී තමා දුටු අරුම පුදුම සිහිනයක් පිළිබඳව ලියා තැබුවේය. මහා කවි විලියම් ශේක්ස්පියර්ගේ නිර්මාණ රැසකම සිහින සම්බන්ධ අවස්ථාවන් දක්නට තිබේ. දොස්තර ජෙකීල් කතාව ලියන්නට මුල් වූයේත් තමා දුටු සිහිනයක් බව ආර්.එල්. ස්ටීවන්සන් පවසයි. තමා දකින සිහින මෙසේ නම් ඒ පිළිබඳව ජ්‍යොතිෂයෙහි දැක්වෙන්නෙ මෙබඳු විග්‍රහයකි.

1. ඇඳ ඇතිරිලි - තීරණය කළ විවාහ මංගල්‍යයක් සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතුවේ.

2. ඇතෙක් සොඬින් ගත් යමක් තම හිස මත තැබීම - බලවතුන්ගේ පැසසුමට සහ ඇගයීමට පාත්‍රවේ. එසේ නැත්නම් පුත්‍ර ලාභයකි.

3. ඇතෙක් හෝ ඇත් රැළක් (රංචුවක්) -

අන් අයගේ පැසසුමට ලක්වේ.

4. ඇළක දොළක හෝ ගඟක පිහිනන අයුරු - සමීපතයන්ට තමන් වෙතින් දුරස් වෙන්නට

කරුණු සිදුවේ.

5. ඇළකින් දොළකින් හෝ ගඟකින් දිය බීම - බලාපොරොත්තු වන කරුණු කාරණා

ඒ අයුරින්ම සපල වේ.

6. ඇඳුම් මහන අයුරු - බලාපොරොත්තුව සිටි සතුටුදායක ආරංචියක් අසන්නට ලැබේ.

7. ඉගිළෙන කුරුල්ලෙක් / කුරුලු රංචුවක් -

සතුටුදායක අවස්ථාවක් උදාවීමට නියමිතය.

8. ඉණිමඟක් / ඉණිමඟක නැඟීම -

තම කටයුතුවලට තමාගේම කෙනකුගෙන් බාධා සිදුවේ.

9. ඉදලෙන් මිදුල ඇමදීම හෝ ඉදල -

තමාගේ හිතවතෙක් හට විපතක් සිදුවේ.

10. ඉලපතකින් මිදුල ඇමදීම හෝ ඉලපතක් - තමන්ට වඩා පහත් අය වෙතින් නින්දා අපහාස විඳින්නට සිදුවේ.

11. ඉඳුල් සහිත අත - කරදරයකින් තොරව

තම අරමුණ දිනා ගන්නට පුළුවන.

12. ඉඳුල් සහිත භාජන - තමන්ට වඩා පහත් අය කෙරෙහි විශ්වාසය හේතුවෙන් කරදර විඳින්නට සිදුවේ.

13. ඉදුනු කෙසෙල් කැනක් -

දෙවියන්ට වූ බාරයක් ඔප්පු කර නැත.

14. ඉලත්තට්ටුව / බුලත් හෙප්පුව -

තමන් වෙතින් දුරස්ව සිටි නෑ මිතුරන් යළිත් සමීපවේ.

15. ඉරුණු ඇඳුම් -

කවරාකාරයේ බාධක පැමිණියද තම අරමුණු ජයගන්නට හැකියාව ලැබේ.

16. උල්පතක් / උල්පතකින් දිය බීම / උල්පතකින් ජලය උතුරන අයුරු - දෙගිඩියාවෙන් යුතුව බලාපොරොත්තුව සිටින කාරණය සාථර්ක වේ.

17. උයනක් / උයනක සිටීම - නිෂ්ඵල කටයුත්තකට මුදල් වැය වේ.

18. උමඟක් / උමඟක් තුළ ගමන් කිරීම - ඉදිරි වැඩ කටයුතු සාථර්ක වේ. එහෙත් ඒ සඳහා දැඩි වෙහෙසක් දැරිය යුතුය.

19. උකුණන් හිසේ සිටීම - තම සමීපතමයන්ගේ කියුම් කෙරුම් හේතුවෙන් තමන් කරදරයට පත්වේ.

20. උකුස්සා / උකුසු පිහාටු - නොසිතූ මොහොතක නොසිතූ කෙනකු නිසා තමන් කරදරයට පත් වේ.

21. උදුන / පෝරණුව - තමන්ට අතිශයින් සමීපව සිටි කෙනෙක් වෙතින් දුරස් වෙන්නට සිදු වේ.

22. උසුළු විසුළු කරමින් සිනාසීම / කෙනෙකුට උසුළු විසුළු කිරීම - නුදුරේදී ශාරීරික ආබාධයකට ගොදුරු විය හැකිය.

23. උදැල්ල / උදැල්ලෙන් වැඩ කිරීම / උදැල්ලෙන් වැඩ කරන කෙනෙක් - තමන්ගේ කියුම් කෙරුම් හේතුවෙන් සමීපයෙන් ඇසුරු කළවුන් දුරස් වෙන්නට ඉඩ තිබේ.

24. උගුලක් / උගුලකට හසු වූ සතෙක් - බියජනක සිදුවීමකට ළඟදීම මුහුණ පාන්නට සිදු වේ.

25. උතුම් කාන්තාවක වෙතින් ආශීර්වාද ලබන අයුරු - නොසිතූ නොපැතූ මොහොතක ධන ලාභයක් හෝ වස්තු ලාභයක්

26. උත්සව අවස්ථාවක් - මෙතෙක් සඟවාගෙන සිටි රහසක් හෙළි වීමෙන් බලවත් අපහසුතාවට සහ අවමානයට ලක්වීමට සිදු වේ.

27. ඌරු මස් / ඌරු මස් අනුභව කිරීම / ඌරු මස් පිසීම - සමීපතම හිතවතියක්/ හිතවතෙක් මුල් වීමෙන් අලාභයක් සිදු වේ.

28. ඌරෙකු වෙතින් පීඩාවට පත්වීම / ඌරෙකු විසින් පහර දීම - හදිසි ධන ලාභයකට වාසනාව උදාවේ.

29. ඌරා - තමාට වඩා පහළින් සිටින්නෙකු වෙතින් හෝ පහත් පෙළේ අයෙකුගෙන් කරදර සිදුවේ.

30. එළුවා - පවතින කරදර කම්කටොලු ඉතා ඉක්මනින් නිමාවී සතුට උදාවේ.

 

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සුදත් රත්නායක

Comments