
අපේ රටේ ‘සිස්ටම් චේන්ජ්‘ නමින් සුබවාදී ලෙසින් ආරම්භ කළ ‘අරගල‘ කතාව පසුව වෙනත් මුහුණුවරකින් එළියට බැස්සේය. ඒ පසු අරගලය අස්සේ විදේශීය කුමන්ත්‍රණ මෙන්ම මෙරට යම් යම් දේශපාලන අතකොළුද විය. පසුකාලීනව අරගලය වෙනත් මාවතට යන බව නොදත් බොහෝ අය ඒ අරගලය තවමත් යන්නේ තමන් වෙනුවෙන්ම යැයි සිතා ඊට හැකි උපරිම දායකත්වයක්ද සැපයීය. මැයි 9 වෙනිදා අරගලකරුවන්ට පහර දීමට පිරිස් පැමිණීමත් සමඟ ඇති වූ උණුසුම් තත්ත්වය රට පුරා පැතිර ගිය අතර එහි එක් ශෝචනීය සිදුවීමක් වූයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ නිට්ටඹුවේදී ඝාතනය කිරීමය.
ඔහුත් සමඟ ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන, ඇමැති ආරක්ෂක අංශයේ සැරයන් ජයන්ත ගුණවර්ධන ද ඉතා සාහසික ලෙස ඝාතනයට ලක් විය. මන්ත්‍රී අතුකෝරළ ඔහුගේ ඇමැති ආරක්ෂක සැරයන්වරයා සමඟ නිට්ටඹුව නගරයේ සුඛෝපභෝගී ජීප් රථයෙන් ගමන් කරමින් සිටියදී එය වාහන තදබදයකට හසු වූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා සහ ආරක්ෂක නිලධාරියාට මේ ඛේදනීය ඉරණමට මුහුණ දීමට සිදු වූයේ ඒ වන විටත් කිසියම් සංවිධානාත්මක පිරිසක් නිට්ටඹුව නගරය ඔස්සේ නුවර පාරේ ගමන් කරමින් තිබුණු වාහන පරික්ෂාකරමින් ගාලු මුවදොර අරගලකරුවන්ට පහර දී පලායන පුද්ගලයන් ගැන සෙවිල්ලෙන් පසු වූ බැවිනි.
තම ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා පලා යමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරී සැරයන් ජයන්ත ගුණවර්ධන ඝාතනය කරනු ලබන්නේ ඉතා මිලේච්ඡ ලෙසටය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරි සැරයන් ජයන්ත ගුණවර්ධන පහර දෙන්නන්ගෙන් බේරි දිවි ගලවා ගැනීම සඳහා නිට්ටඹුව නගරයේ පදික වේදිකාව මතින් දිව එන ආකාරයත් ඒ පසුපසින් සංවිධානාත්මක පිරිස හඹා එන ආකාරය සහ මන්ත්‍රීවරයා සහ ආරක්ෂක නිලධාරියා සිය ජීවිත බේරා ගැනීම සඳහා නිට්ටඹුව නගරයේ පිහිටි නිහාල් ෆැෂන් ආයතනයට ඇතුළු වී එහි විදුලි සෝපානයට ඇතුළු වන ආකාරය සී.සී.ටී.වී. කැමරාවල සටහන් වී තිබුණි.
තමන් ගාලු මුවදොරට නොගිය බව පවසා තිබුණත් ඒ ගැන නොසලකා මන්ත්‍රීවරයාට සහ ආරක්ෂක නිලධාරීයාට දිගට හරහට පහරදී ඇති බව පසුව හෙළි විය.
ඇත්තෙන්ම මන්ත්‍රීවරයා ගාලු මුවදොරට නොගියා නම් අරලියගහ මන්දිරයේ රැස්වීමෙන් පසු ගියේ කොහේද? එතෙක් වේලා කුමක් කළේද?
එහි කතාව පවසන්නේ අවසන් මොහොත දක්වා ඔහුගේ රියැදුරු ලෙස කටයුතු කළ සමන් කුමාරයි.
‘ඒ දවස්වල අගමැති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මහත්තය අරලියගහ මන්දිරයේ පවත්වන හමුවකට සහභාගි වෙන්න පාන්දරම මට කතා කරපු මන්ත්‍රීතුමා උදේ 5.30ට විතර ගෙදරින් ගියා. දවල් 12.30ට විතර අරලියගහ මන්දිරයෙන් පිටත්වෙලා සිරිපාල ගම්ලත් ඇමැතිවරයාගේ ගෙදරට ගියා.
දවල්ට කෑම කාලා හවස 2.30ට විතර ආයිත් පොළොන්නරුවට යන්න පිටත්වුණා. කිසි කෙනෙකුට කරදරයක් හිරිහැරයක් නොකරන නිසා මන්ත්‍රීතුමාට කිසිම බයක් තිබුණේ නැහැ. නිට්ටඹුවේදී විශාල පිරිසක් වාහන පරීක්ෂා කර කර හිටියා. ඒක දැකපු මන්ත්‍රීතුමා කිව්වා ‘ අපි මඟුල් ගෙදරක ගිහින් එන්නෙ කියල කියමු‘. කියලා. ඒ කට්ටිය අපේ වාහනය වට කරගත්තා.
‘උඹල කොහෙද ගියේ....‘‘
‘‘ අපි මඟුල් ගෙදරක ගියා මල්ලි‘
මන්ත්‍රීතුමා එහෙම කිව්වෙ එයාලට ආචාර කරමින්. ‘ඇදල ගනින් ඕකුන්ව‘ කියල දොර ඇරපු නිසා මන්ත්‍රීතුමයි රාලහාමියි බැහැල දුවල ගියා. මාවත් ඇදල අරගෙන හොඳටම ගැහුව. මැරෙන තරමට ගහගෙන ආවත්, කවුද හොඳ මනුස්සයෙක් ඉදල මාව නිදහස් කරල යැව්වා.
ඒ අස්සෙ වෙඩි තියන සද්දත් ඇහුණා. මන්ත්‍රීතුමා මිය ගිහින් කියල පස්සෙ දැන ගත්තා. ඇත්තටම ජීවිතේ කනගාටුදායකම අවස්ථාවක්. දූෂිත අය ඇති, ඒත් අපේ මන්ත්‍රීතුමා හරිම වටින කෙනෙක්‘
අමරකීර්ති මන්ත්‍රීවරයා පොළොන්නරුව ජනතාව නියෝජනය කළ ද ඔහුගේ පාසල වන්නේ කොළඹ තර්ස්ටන් විදුහලයි. එම නිසා ඔහු ගමේ නගරයේ වෙනස ඉතා හොඳින් දැන සිටියේය. එමෙන්ම ඔහු පාසලට පැමිණියේද අළුත්ගම සිටය. මහ මඟටම කාලය වැය වුණද එය තම අධ්‍යාපනයේ කොටසක් සේ සිතාගත් අමරකීර්ති එය තම අධ්‍යාපනයට කිසිදු ලෙසිකින් බාධාවක් ලෙස සැලකුවේ නැත. උසස් අධ්‍යාපනයෙන් පසුව පොළොන්නරුව සතොස ආයතනයේ රැකියාවකට ගිය ඔහු තම දක්ෂතාවෙන් එහි ඉහළ පුටු දක්වාම ගියේය.
පසුව පසුව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි සූරියආරච්චිගේ ලේකම් ධුරය දැරූ අතුකෝරළට දේශපාලනයට පිවිසෙන ලෙස ඇරියුම් ලැබුණි. ඒ අනුව පළමුව උතුරුමැද පළාත් සභාවට තරග වැදුණු අමරකීර්ති ඉහළ මනාපයෙන් තේරී පත් විය.
ඔහු පළාත් සභා අරමුදලෙන් තමන්ට උපරිම අයුරින් ජනතාවට සේවය කළේය. ඇවිද ගන්නට බැරිව තිබුණු මං මාවත් පිළිසකර කරන්නට පියවර ගත්තේය. විහාරස්ථාන, දහම් පාසල් ඇතුළු සියලු පොදු ස්ථානයන්ට තමන්ගේ අරමුදලින් හැකි උපකාර කළේය.
පොහොර ගැටලුවෙන් දැඩි අපහසුතාවන්ට පත්ව තිබූ ගොවියන්ට අවශ්‍ය කටයුතු ගැන සොයා බලන්නට ඔහු කටයුතු කළේය. පාසල්වල අඩුපාඩු එමටය. ඒවා ගැන අදාළ බලධාරීන් දැනුවත් කර දරු දැරියන්ගේ ඕනෑ එපාකම් ගැන සොයා බලන්නටද ඔහු කටයුතු කළේය.
ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ පවසන්නේ ඔහුට මහජන දිනයක් නොතිබූ බවයි. සෑම දිනක්ම මහජන දිනයක් වූ බවත් හදිසියේ ඔහු හමුවට පැමිණෙන අවස්ථාවන්හිදී ගමනක් යාමට සැරසී සිටිය ද පැමිණෙන තැනැත්තාගේ තරාතිරම නොබලා වාහනයේ බඳේ තබා හෝ අවශ්‍ය ලියවිල්ලට අත්සන් කර ලබා දෙන බවද උන් වහන්සේ පවසති.
වන අලි ගැටලුවට මෙන්ම ප්‍රදේශවාසීන්ගේ අනෙකුත් පාරිසරික ගැටලුවලට ස්ථාවර විසඳුමක් ලබා දීම කෙරෙහි ද ඔහු අවධානය යොමු කර තිබුණි. පරාක්‍රම සමුද්‍රය අසල ස්ථාපිත කිරීමට යෝජිත වූ ව්‍යායාම මං තීරුව ඇතුළු සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පැන නැඟුණු විරෝධතා හමුවේ ඔහු ජනතාවගේ මෙන්ම පරිසර සංවිධානවල අදහස්වලට මනාසේ සවන් දුන් අයෙක් විය. ජනතා අදහස්වලට නිතර ගරු කළ නිසා ඔහු ජනතාව අතර ප්‍රසාදයට පත් මන්ත්‍රීවරයකු විය.
අමරකීර්තිගේ එකම පුත් රනිදු අතුකෝරළ පවසන්නේ මන්ත්‍රීවරු 225ම එකයි කියන සංකල්පය වෙනස් විය යුතු බවකි.
‘‘පාර්ලිමේන්තුවේ ඉන්න හැම මැති ඇමැති කෙනෙක්ම එක වගේ නෙමෙයි. ඒ වෙනස වටහා ගන්න ඕන. මාධ්‍ය මඟින් කරන්නෙත් 225ම හොරු කියන එක කියලා, දූෂිත කරුණු විතරක් පෙන්වා දෙන එකයි. ඒකට අමතරව ඒ මැති ඇමැතිවරු කරන සේවාවත් පෙන්වා දෙනවා නම් ජනතාවට මේ මැති ඇමැතිවරුන් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්.
තාත්තට ජනතාව කොයිතරම් ආදරේ කළා ද කියලා ජනතාවගෙන්ම අහල බලන්න, තාත්තා එක පක්ෂෙක ඉදල පාර්ලිමේන්තුව නියෝජනය කළත් වැඩ කිරීමේදී තාත්තට පක්ෂ පාටක් තිබුණෙ නැහැ. ‘‘
අමරකීර්ති අතුකෝරළ නමින් මාවතක් නම් කිරීම හෝ ඔහු සිහිවීම වෙනුවෙන් යමක් කළ යුතු බවට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනාවගෙන් ඉල්ලීම් ගලා එන්නට විය. ඒ ඉල්ලීම් ඉටු විය. ඒ අමරකීර්ති අතුකෝරළගේ පළමු ගුණානුස්මරණය වෙනුවෙන් පින්කම් රැසක් පොළොන්නරුව කේන්ද්‍ර කරගෙන පැවැත්වුණු අවස්ථාවේදීය. එහිදී එතුමා පොළොන්නරුව ජනතාව වෙනුවෙන් කළ සේවාව ඇගැයීම පිණිස අනුස්මරණීය ව්‍යාපෘති රැසක්ද ක්‍රියාත්මක කෙරිණි.
ඒ යටතේ පොළොන්නරුවේ සේවාගම - වරාකැලේ මාර්ගය "අමරකීර්ති අතුකෝරළ මාවත" ලෙස නම් කරමින් එය ජනතා අයිතියට පත් කෙරිණි. එම මාර්ගය විවෘත කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණි. එමෙන්ම කාපට් යොදා සංවර්ධනය කෙරුණු මාර්ගයේ ඉතිරි සංවර්ධන කටයුතු ආරම්භ කිරීම ද මේ වැඩසටහනට සමගාමීව සිදු කෙරිණි.
එමෙන්ම වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැලිකන්ද මහවැව බටහිර නව පාලම ‘අමරකීර්ති අතුකෝරළ‘ නමින් නම් කිරීම ද එදින අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ මූලිකත්වයෙන් සිදු විය.
ඊට අමතරව එතුමා වෙනුවෙන් සිදු කළ මෙම අනුස්මරණ පින්කමේදී පොළොන්නරුව ඩිපෝව වෙත ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ගවල ධාවනය සඳහා ලබා දුන් නව බස්රථ අතුරින් බස් රථ තුනක් දිවුලාන - කදුරුවෙල සහ ඕනෑගම - කදුරුවෙල මාර්ගවල සහ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෝට්ටපිටිය ජයසිරිපුර කනිෂ්ඨ විද්‍යාලය අසල සිට කදුරුවෙල නගරය දක්වා ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් ධාවනය සඳහා එක් කිරීමද ඇමැතිවරයා ප්‍රමුඛ ආරාධිත අමුත්තන් අතින් සිදු විය.
රාජකාරිය වෙනුවෙන් දිවි කැප කළ තාත්තා
(අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාගේ වියෝවෙන් වසරක් සම්පූර්ණ වන මේ අවස්ථාව්දී කතා කළ යුතු තවත් විශේෂ පුද්ගලයෙක් සිටී. ඒ අවසන් මොහොත දක්වාම ඔහු අත නොහැර ජීවිතය දෙවෙනි කොට රාජකාරිය කළ සැරයන් ජයන්ත ගුණවර්ධනය. ඔහු උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කෙරුණු අතර හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකිර් මාකර්ගේද ආරක්ෂකයා ලෙස කටයුතු කර ඇත. ඔහුගේ දියණිය වන පරිගණක ඉංජිනේරු උපාධියක් හදාරණ ජයන්දී අකිත්මා ගුණවර්ධන විසින් තබන ලද සටහනකින් උපුටා ගත් කොටසකි මේ. )
අපේ ජීවිතයට අවශ්‍යම වෙලාවේ දී තාත්තා අප අතහැර ගියේය. විශේෂයෙන්ම දියණියකට තාත්තා නැති අඩුව පිරවීමට නොහැකිය. මිහිපිට සිටින සියලුම දියණියන්ට මෙවන් වේදනාවක් නොවේවා යයි මම සිතමි.
තාත්තා රාජකාරිය අකුරටම ඉටුකළ කෙනෙක්. එදා නව වන දින සියලු දෙනා වසන් වෙමින් රාජකාරිය පැහැර හරිද්දී මගේ තාත්තා අකුරටම රාජකාරිය ඉටු කළේය. මගේ තාත්තාට මන්ත්‍රීතුමා ගැන තිබුණේ පුදුම ළෙන්ගතුකමක්.
තාත්තා මා ගැන සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන සිටිය කෙනෙක්. මා එම දේවල් ඒ අයුරින්ම ඉෂ්ට කිරීමට අධිෂ්ඨාන කර ගනිමි. මගේ රත්තරන් තාත්තා උපන් නූපන් හැම ආත්මයේ අම්මාගේ සැමියා වෙලා මගෙයි මල්ලිගෙයි තාත්තා වෙලා සෑම ආත්මයකම ඉපදේවා යැයි මම ප්‍රාර්ථනා කරමි. තාත්තා නැතිවුණු අවස්ථාවේ පටන් අපට ශෝකය පළ කළ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ටත් පොලිස්පතිවරයා ඇතුළු පොලිසියේ සියලු නිලධාරීන්ට හා නිලධාරිනියන්ටත් අපගේ ස්තුතිය පිරි නමමු.