සියලු සැප සම්පත් ලැබෙන හොඳම නිවාස නැකැත් | සිළුමිණ

සියලු සැප සම්පත් ලැබෙන හොඳම නිවාස නැකැත්

රෙහෙණ, මුවසිරස, පුෂ, උත්‍රපල්, උත්‍රසල උත්‍රපුටුප, හත, මුල, සුවණ, රේවතී, අනුර,  සිත, පුනාවස, දෙනට, සියාවස, අස්විද, මා, සා යන නැකත් නිවාස  වැඩට ඉතා යෝග්‍යයයි

අපේ ජන සමාජය අතීතයේ සිටම නැකත් 27 ගැන‍ උනන්දුයි

 

අපේ ජන සමාජය ඈත අතීතයේ සිටම නැකත් 27 පිළිබඳ දැඩි උනන්දුවක් දක්වා ඇති අයුරු පොතපතින් සහ ජන විශ්වාසයෙන් ද පැහැදිලිය. ජ්‍යොතිෂය ගැන සුළු දැනුමක් ඇති අය පවා ඒ, ඒ, නැකත් කෙරෙහි උනන්දුවක් දක්වන ආකාරය අදත් අප අතර පවත්නා ගැමි වහරින් පැහැදිලි වේ. එදා ගමන් බිමන්, මඟුල් තුලා පමණක් නොව අටුවට වී පිරවීම සහ ගැනීමත් ධාන්‍ය හුවමාරුව ද සිදු වූයේ නැකත් අනුවමය.

ඉතාම පැරණි කාලයේ ගොම්මන් වේලාවේ හෙවත් 'ගෝධූලි' මුහුර්තිය සවස් කාලයේ 5.00 සිට 7.00 දක්වා අතර උදාවන හෙයින් ගවයෙකු ඉඩමට ඇතුළු කර ඉදිකඩුල්ල වසා දමා පසු දින අලුයම් කාලයේ ගවයා ලැග සිටි තැන නිවසක් ඉදිකිරීමට යොදා ගත් බැව් පැරණි පත්ඉරුවක සඳහන් වී ඇත.

වත්මන් කාලයේ නැකත්වලට මුල් තැනක් ඇත. නිවසක් සෑදීමට යොදා ගන්නා ඒ ඒ නැකත් පිළිබඳව විමසා බැලීමක් කිරීම යෝග්‍ය වේ. ලණු ඇදීම, අත්තිවාරම් කැපීම, මුල්ගල තැබීම ආදියට සුබ යැයි සම්මත නැකත් 18ක් අප අතර බහුලව භාවිත වේ.

රෙහෙණ, මුවසිරස, පුෂ, උත්‍රපල්, උත්‍රසල, උත්‍රපුටුප, හත, මුල, සුවණ, රේවතී, අනුර, සිත, පුනාවස, දෙනට, සියාවස, අස්විද, මා, සා යන නැකත් දහඅට නිවාස වැඩට යෝග්‍ය බැව් පොත්පත්වල සඳහන් වූවත් ඒ ඒ නැකත්වලින් නිවාස වැඩ ඇරඹූ විට අත්වන ප්‍රතිඵල පිළිබඳ නිවැරදි සටහනක් නොවීම ගැටලුවට කරුණකි.

ඉපැරණි පත් ඉරුවේ සඳහන් පරිදි හරවත් බවක් පෙනෙන නිසා මෙවැන්නක් සටහන් කරමි.

අස්විද නැකතින් නිවාස ඇරඹූ විටදී ධන ධාන්‍ය සැප සම්පත් සියල්ලම උදා වන්නේය.

බෙරණ නැකතින් ලෙඩ රෝග, සතුරු පීඩා, මුල්‍යමය සම්පත් පිරිහීම ඇතිවේ.

කැති නැකතින් දුක් කරදර, කායික මානසික පීඩාවන්ට ගොදුරුවේ.

රෙහෙණ නැකතින් සම තත්ත්වයක් ඇතිවේ. තරමක සම්පත් පිරිහීමකට ද ලක්වේ.

මුවසිරස නැකත මුලදී සම්පත් ලැබූවත් සොර සතුරු පීඩා ගෙන දේ.

අද නැකතින් නීතිමය ගැටලුවලට ලක්වේ.

පුනාවස නැකතින් ඉතාම සුබයි. සම්පත් කාරක වේ. දියුණුව ළඟා වේ.

පුෂ නැකතින් ධන ධාන්‍ය සැප සම්පත් පිරිවර ලැබේ. වාසනාව පෑදේ.

අස්ලිස නැකතින් දුක් කරදර ලෙඩ රෝග ධන හානියට පත් වේ.

මා නැකතින් සම්පත් කීර්තිය වහා ළඟා වේ. එහෙත් හදිසි වියෝවයන් ඇතිවේ.

පුවපල් නැකත ඉතාම සුබයි. සම්පත් බහුලව ඇතිවේ.

උත්‍රපල් නැකත සෑම අතින්ම සුබයි. ධනය සැපය නිරෝගී බව අත්වේ.

හත නැකතින් ලැබීම්වලට යහපත් වේ. ධනය ලැබේ සුබයි.

සිත නැකතින් සම්පත් උදාවේ. ශ්‍රියාව ඇතිවේ. කලාකරුවන්ට යහපත් වේ.

සා නැකතින් ධන ධාන්‍ය සැප සම්පත් දියුණුව ඇතිවේ. සුබදායකයි.

විසා නැකතින් සමපල ලැබේ.

අනුර නැකත ඉතාම සුබයි. වස්තු සම්පත් ධන ලාභ අත්වේ. දිගුකල් නිවස පවතී.

දෙට නැකත ඉතාම යහපත් වේ. සැප සම්පත් බහුල වේ. උගත් දරුවන් ඇතිවේ.

මුල නැකතින් ලැබීම් යහපත් වුවත් පසු කලෙක ලෙඩ රෝග කරදර ඇතිවේ.

පුවසල වස්තු ලැබීම්වලට යහපත් වන්නේය. රහස් සතුරු පීඩා ඇතිවේ.

උත්‍රසල නැකත ඉතාම යහපත් වේ. වස්තු සම්පත් ලැබී නිරෝගි බව ඇතිවේ.

සුවණ නැකතින් සම ප්‍රතිඵල අත්වේ.

දෙනට නැකත ඉතාම සුබයි. සැප සම්පත් ලැබේ. මූල්‍යමය සම්පත් හිමිවේ.

සියාවස නැකතින් සම්පත් හීනවේ. ලැබීම් දුර්වල වේ. සතුරු පීඩා ගෙනදේ.

පුවපුටුප නැකතින් සම්පත් බහුල වේ. සියලු වැඩකටයුතු සාර්ථක වේ.

උත්‍රපුටුප නැකතින් වස්තු ධන ධාන්‍ය සැප සම්පත් බහුලව අත්පත් වේ. පිරිස් බලය සහ කීර්තිය ඇතිවේ.

රේවතී නැකත ඉතාම සුබදායකයි. ධන ලාභ අත්වේ. සෑම අතකින්ම උසස් ප්‍රතිඵල අත්වේ.

මෙම නැකත් එදින තත්කාල ලග්නයේ ග්‍රහ පිහිටීම කෙරෙහි ද සැලකිලිමත් වීම හරහා තවත් ප්‍රයෝජන අත්කර ගැනීමට හැකිවේ.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

ටී. හෙන්රි බෙම්මුල්ල

Comments