
නැකැතක් හදන්න ජ්‍යොතිර්වේදියා ගන්නා මහන්සිය
හදිසි වුණාට ඉක්මන් නැකැත් ඉල්ලන්න එපා
නිවාස නැකැත් හදද්දි මුහුණපාන අභියෝග
සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව වන්නේ කිසියම් සුබ කටයුත්තක් වෙනුවෙන් නැකැතක් පිළියෙල කර ගැනීමේදී හැකි ඉක්මනින් දිනයක් ලබා ගැනීමය. එනම් බොහෝදෙනෙකු සිතන්නේ තමන් කැමති දිනයක් හෝ තමන් ලබා දෙන සතියක් හෝ සති 2ක් ඇතුළත දිනයක් තුළ තම කාර්යයට සුදුසු දිනයක් ලබා දීම ජ්‍යොතිර්වේදියෙකුට ඉතා පහසුවෙන් සහ ඉතා ක්ෂණිකව කළ හැකි කටයුත්තක් බවය. නමුත් සැබැවින්ම ප්‍රායෝගිකව එය ඉතා අපහසු වෙයි. එනම් නැකැතක් ලබා දීමේදී ජ්‍යොතිර්වේදියෙකුට මුහුණ දීමට සිදු වන ප්‍රධානතම අභියෝගය වන්නේ ඒ සඳහා දිනයක් තේරීම බව මගේ අදහසයි.
උදාහරණයක් ලෙස කිසියම් සුබ කටයුත්තක් වෙනුවෙන් නැකැතක් ලබා දීමේදී නැකැත් දිනයක් යොදා ගැනීම හැකි සෑම විටම කළ යුතුය. නමුත් මාසයක් තුළ ඇති නැකැත් දවස් අප විසින් සොයා බැලුවහොත් බොහෝවිට නැකැත් දවස් කිහිපයක් පමණක් ඇති බව පෙනේ. සමහර මාසවල ඇත්තේ නැකැත් දවස් එකක් හෝ දෙකක් පමණි. නැකැත් දවස් යනු දිනය, තිථිය, නැකැත, යෝගය, කරණය යන පංචාංගය සුබ වන දවස්ය. නැකැතක් ලබා දීමේදී මසකට කිහිපයක් පමණක් නිසා සුබ නැකැතක් ලබා දීමේදී සාමාන්‍යයෙන් ඉතිරි දවස් සියල්ල අත් හැරීමට සිදු වේ.
උදාහරණ ලෙස නිවාස නැකතක් පිළියෙල කිරීම සැලකූ විට පළමුවෙන්ම කළ යුත්තේ නැකැත් දවස් හැර ඉතිරි දවස් ඉවත් කිරීමය. එමෙන්ම සාමාන්‍යයෙන් අඟහරුවාදා සහ සෙනසුරාදා දවස්වල සුබ නැකැත් පිළියෙල කිරීම සිදු නොකරන අතර, අත්‍යවශ්‍ය අවස්ථාවකදී පමණක් ඉරිදා දිනය විකල්ප නැකැත් දවසක් ලෙස භාවිත කළ හැකිය. ඒ අනුව නිවාස නැකැතක් පිළියෙල කිරීමේදී අඟහරුවාදා සහ සෙනසුරාදා යන දින අනිවාර්යයෙන්ම ඉවත් කිරීමට සිදුවේ. ඊළඟට දිනයට අදාළ නැකැත පවුලේ සාමාජිකයන්ගේ උපන් නැකැත්වලට සාපේක්ෂව සම්පත්, ක්ෂේම, සාධක, මෛත්‍රී, පරම මෛත්‍රී වැනි නැකැතක් විය යුතු අතර, ඔවුන්ගේ උපන් නැකැත්වලට සාපේක්ෂව විපත්, පුතසාරි, වද යන නැකැතක් නොවිය යුතුය. ඒ අනුව නැකැත් දිනය තේරීමේදී ගෘහ මූලිකයාගේ සහ ඔහුගේ සහකාරියගේ උපන් නැකැත්වලට සාපේක්ෂව විපත්, පුතසාරි, වද යන නැකැත් යෙදෙන දින ඉවත් කිරීමට සිදු වේ. එමෙන්ම සාමාන්‍යයෙන් නිවාස නැකතක් පිළියෙල කිරීමේදී කෝණ මාස ඉවත් කිරීමට සිදු වේ. වසරකට කෝණ මාස 4ක් ඇති නිසා වසර තුළ පවතින දින 365න් දින 120ක්ම ඉවත් කිරීමට සිදු වේ.
එමෙන්ම සාමාන්‍යයෙන් කිසියම් උප්පත්ති කේන්ද්‍ර සටහනක චන්ද්‍රයා 8 වැන්නේ ගමන් කරන දිනවලද නැකැත් ලබා දීම සිදු නොකළ යුතුය. ඒ අනුව ද මසකට දින 2ක් හෝ 3ක් නැකැත් දවස් ලෙස තීරණය නොකර ඉවත් කිරීමට සිදුවේ. එමෙන්ම චන්ද්‍ර ග්‍රහණ, සූර්ය ග්‍රහණ ආශ්‍රිත දිනවල ද සාමාන්‍යයෙන් නැකැත් ලබා දීම සිදු නොකරන අතර, ඒ අනුවද දින කිහිපයක් අතහැරීමට සිදුවෙයි.
ඉහත ආකාරයට දැඩි අභියෝග මධ්‍යයේ අදාළ සුබ කටයුත්ත වෙනුවෙන් සුදුසු දිනයක් තෝරා ගත් පසු ඊළඟ අභියෝගය වන්නේ තෝරා ගත් දිනය තුළ සුදුසු නැකැත් වේලාවක් ලබා දීමය. මෙහිදී බොහෝවිට අප ඉර බැස යන්නට පෙර නොහොත් ප.ව. 12.00ට පෙර සුබ නැකැත ලබාදීමට උත්සාහ කළ යුතුය. ඒ අනුව පෙ.ව. 6.00 සිට ප.ව. 12.00 දක්වා කාල සීමාව තුළ සාමාන්‍යයෙන් නැකැත් පිළියෙල කිරීම සිදු කරන නිසා දවසේ පැය 24න් පැය 18ක්ම අත හැරීමට සිදුවේ. තවද සඳුදා, සිකුරාදා යන දිනවල ඉහත කී කාල පරාසය තුළ රාහු කාලය පවතින බැවින් රාහු කාලය වෙනුවෙන් ද පැය එකහමාරක් පමණ ඉවත් කිරීමට සිදුවේ. සාමාන්‍යයෙන් නැකැත් පිළියෙල කිරීම සිදු කරන්නේ ගුරු, සිකුරු, බුධ, චන්ද්‍ර වැනි හෝරාවන් තුළ වන අතර, කුජ, ශනි වැනි හෝරාවන් තුළ නැකැත් ලබා දීම සිදු නොකරයි. ඒ අනුව සඳුදා දින පැය 2ක් ද, බදාදා දිනයේ පැය 2ක් ද, බ්‍රහස්පතින්දා දිනයේ පැය 1ක් ද, සිකුරාදා දිනයේ පැය 2ක් ද පෙ.ව. 6.00ත් ප.ව. 12.00ත් අතර කාල සීමාව තුළ කුජ, ශනි වැනි අසුබ හෝරාවන් පවතින නිසා එම කාල සීමා අනිවාර්යයෙන්ම ඉවත් කිරීට සිදු වෙයි.
මීට අමතර ලෙස නිවාස නැකැතක් ලබා දීම උදාහරණයක් ලෙස ගත් විට, අදාළ නැකැතට අදාළ තත් කාල ලග්නය වෘෂභ, මිථුන, සිංහ, කන්‍යා, වෘශ්චික, ධනු, කුම්භ, මීන වැනි තිර හෝ උභය ලග්නයක් විය යුතුය. ඒ අනුව නිවාස නැකැතක් පිළියෙල කිරීමේදී නැකැතට අදාළ තත්කාල ලග්නය ලෙස ලැබෙන ලග්නවලින් ලග්න 4කට අදාළ තත්කාල වේලාවන් ඉවත් කිරීමට සිදු වෙයි. එනේම කිසියම් නැකැතක් පිළියෙල කිරීමේදී තත්කාල ලග්නයෙහි චන්ද්‍රයා 8 වැන්නෙහි ගමන් කරන පැය 2 1/2ක පමණ කාල සීමාව ඉවත් කළ යුතුය. මීට අමතර ලෙස කිසියම් සුබ නැකැතක් පිළියෙල කිරීමේදී මහාහත දර්ශනය යෙදෙන පැය කිහිපය අනිවාර්යයෙන්ම ඉවත් කිරීමට සිදුවේ. නිවාස නැකැතක් පිළියෙල කිරීම උදාහරණයක් ලෙස ගත් විට නූල් ඇදීම, අත්තිවාරම් කැපීම, මුල්ගල තැබීම ආදී ලෙස නැකැත් 3ක් පිළියෙල කිරීමට සිදු වන නිසා මෙම අභියෝගය තවදුරටත් වැඩි වෙයි. අප විසින් සඳහන් කළේ නැකැත් පිළියෙල කිරීමේදී මුහුණ දීමට සිදු වන අභියෝගවලින් කිහිපයක් පමණි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පාරින්ද්‍ර සුගතදාස