“ඉස්කෝලෙ තියෙන බක්මහ උලෙළට ආරාධනාවක් ලැබිලා තියෙනවා..." දන්නා හඳුනන ත්‍රිරෝද රථයට ගොඩවූ මා අසුනේ හරිබරි ගැසුණෙමි.
"සර්ලාට නම් ඉතින් තාමත් අවුරුදු නේද?"
ත්‍රිරෝද රථ රියැදුරා ආරම්භයේදීම එව්වේ දඟ පන්දුවකි.
යමකු හට ඉඳගැනීමට ලැබෙන්නේ ඔහු සිටගෙන සිටිනා තැන අනුවය. ත්‍රිරෝද රථයේ මගී අසුනට ආවේණික සංවාදයන්ට අදාළ විෂයය රාමුවක් තිබේ. හිතවත් රියැදුරු මේ වලිකන්නේ කෙසේ හෝ මා එම රාමුවට ඇතුළු කර ගැනීමටය.
පාසල් වත්තේ අඹ ගසක ගැටගැසූ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් නික්මෙන්නේ ඝෝෂාකාරී ගීතයකි.
"ඔව්.. මේ අවස්ථාවේ අපගේ අවුරුදු උත්සවයට තවත් සුවිශේෂී අමුත්තකු ළඟා වන අයුරු ඈතින් දිස් වෙනවා... අපි බලමු ඒ කවුද කියා..."
"...ම්.. මොකද නිම්මි ඔයා කියන්නේ... ඒ වැදගත් අමුත්තා කවුද කියලා ඔයා මේ සභාවට කියනවද?... නැත්නම් මම ම කියන්නද?..."
නිවේදක යුවළ එකිනෙකා පරයා මුඛරිය.
"අපගේ දැක්ම , අපගේ මෙහෙවර"
දුෂ්කර පාසලේ ප්‍රධාන ශාලාවේ පැති බිත්තියක ලියා ඇති වගන්තිවල සායම පිච්චී ගොසිණි.
තණකොළ ගසකුදු නොපෙනෙනා මැට්ට පෑදුණු කාෂ්ටක පාසල් පිට්ටනියේ සිට දෝංකාර නැංවෙන්නේ නූතන නිවේදන ශෛලියේ තරුණ කාන්තා සහ පිරිමි යුගල හඬවල් දෙකකි.
මම අවුරුදු උත්සව භූමිය මැදින් ගමන්කර වේදිකාවට අවතීර්ණ වීමි.
"ආයුබෝවන් මැනේජර් මහත්තයා... එන්න.. එන්න.. අපිට මේ තරග විනිශ්චය කරගන්න විනිශ්චයට කට්ටිය නැතිවයි ඉන්නේ...
මොකද මෙතන අයිටම් හැටහුටහමාරක් නේ... අනික රෑ හත වෙද්දි සංගීතෙට ස්ටේජ් එක බාර දෙන්නත් තියෙනවා."
මා වේදිකාවට පය තැබූ සැණින් අවුරුදු උත්සවයේ තරුණ ප්‍රධාන සංවිධායකවරයා පැවසුවේ ඔහු පෙළනා පීඩනයේ තරමය.
"රායිට්.. එහෙනම් අපි ඉස්සරවෙලාම විකට ඇඳුම් තරගය ඉවරයක් කරලා ඉමුද?... මොකද පට්ට රස්නෙයි නේ... ඒ නිසා නැටුම්වලට මේකප් දාපු පොඩි එවුන්ගේ මුහුණුවල දාඩියට මේකප් හේදෙනවය කියලා මේකප් කරන නංගිලාගෙන් බරබරේ."
තරුණ සංවිධායකවරයා එහාටත් මෙහාටත් දුව පනිමින් අවුරුදු උත්සවය මෙහෙය වන්නේ දළ කඳු බෑවුමේ අවම පහසුකම් යටතේ නල්ලතන්නිය ශ්‍රී පාද උඩමළුව පාරේ ජනාකීර්ණ පෙට්ටි තේ කඩයක හිමිකරුවකුගේ ආතතියෙනි.
"එහෙනම් මෙන්න මහත්තයා නිර්ණායක ෆයිල් කවරේ.. අන්න අර දුනු ඊතල තියාගෙන වැද්දාට ඉන්න පොඩි එකා ඉන්නවා නේද?..කෝ.. කෝ.. අර.. අර.. නර්ස් නෝනට අැඳලා ඉන්න දරුවට පිටිපස්සෙන් ඉන්නේ.."
සංවිධායකවරයා එවර මගේ කනට කොඳුරන්නේ රහසකි.
"පුළුවන් නම් බොස් අන්න ඒ වැදි දරුවට පොඩි ගැම්මක් දෙන්න.. මොකද ඔය පොඩිඑකාගේ අම්මා ළඟ තමයි අපේ වයිෆ්කාරයා මේ සැරේ අවුරුද්දට වළල්ල උකසට තිබ්බේ... ඉතින් පොඩි එකාට ගැම්මක් දීලා එපායැ අපි මහ එකාලාගෙන් මතු ගැම්මක් ගන්න... නැද්ද බොස්.."
සංවිධායකවරයාගේ එම ප්‍රකාශයෙන් ආතක් පාතක් නොමැතිව අන්දමන්දව ගිය මා කිසිත් සිතාගත නොහැකිව කල්පනාවට වැටුණෙමි.
ජයග්‍රාහකයන් තෝරන්නේ හිතවත්කම මත නම් නිර්ණායක ෆයිල් කවරයක් කුමටද?
"ඒක ඔච්චර ලොකුවට ගන්න එපා මැනේජර් මහත්තයා... ස්ථාන තුනයි නේ.. ඒ දරුවට අංක තුන දෙමු.. ඉල්ලුමට සැපයුම දීලා අපි ෂේප් වෙමු... එච්චරයි."
යාබද අසුනේ සිටිනා අනෙක් විනිශ්චයකරු වන හිටපු සමුපකාර අධ්යක්ෂවරයකු යැයි නිවේදක යුවළ හැඳින්වූ තැනැත්තා මා හට යෝජනා කළේ උගුරටත් හොරාය.
"ඒක නෙමෙයි මැනේජර් මහත්තයා.. බලන්න මේ අවුරුදු උත්සවේ නිවේදක ජෝඩුව... ඔබතුමාගෙ නම කීවේ මුල කොටස වරද්දලා.. මගේ නම කීවේ අග කෑල්ල වරද්දලා.. මං අහන්නේ මේ තරම් පල් හෑලි දොඩවන මුන්ට බැරිද අපේ නමට තියෙන වචන දෙක තුන හරියට කට ඇරලා කියන්න...? නෙදකින් මේ වගේ..."
"හරි, හරි, අධ්යක්ෂතුමා.. මට පේන්නේ මෙතැන වැඩේ යන විදියට හරි නම නොකීව එක වඩා හොඳයි වගේ.." "ඔව්.. අපිට මේ දැන් ලැබුණු තොරතුරු අනුව සැඟවුණු අමුත්තා මේ මොහොතේ අපේ වේදිකාව දෙසින් උත්සව භූමියට අවතීර්ණ වී සිටිනවා. ඉතින් ඔබ කළ යුතුව ඇත්තේ සැඟවුනු අමුත්තාගේ පිටට තට්ටු කර ඔබ සැඟවුණු අමුත්තා දැයි විමසා සිටීම පමණයි... අමුත්තාගෙන් ඔබට ලැබෙන පිළිතුර ඔව් නම්... සල්ලි තමයි..."
නැවතත් නිවේදක යුවළගේ හඬ හිස් වාතලයට ඇදී යනු ඇසුණි.
වේදිකාව ඉදිරිපසින් ගමන් ගන්නේ විවිධ ඉරියව්වලින් සැරසුණු විකට ඇඳුම් ළමුන් සමූහයකි.
දැන් මා ඉදිරියෙන් ඇවිද යන වයස දහයක දොළහක තරමේ විකට ඇඳුම් එළවළු වෙළෙන්දාගේ මුහුණ මට හොඳින් හුරු පුරුදුය.
තවත් හොඳින් බැලූ විට පෙනෙන්නේ ඒ පොඩි දරුවා නිතරම පාහේ සවස් යාමයේ පාසල ඇරී ගෙදර පැමිණ තානායමට මුදලට විකිණීමට ගස්ලබු, පලා කොළ ආදිය රැගෙන එන කොලු පැටවා බවය.
සිය පියා අනතුරකිත් ඔත්පළව සිටිනා එම කුඩා වෙළෙන්දා ඇත්ත වශයෙන්ම මෙහිදී කරන්නේ විකට රංගනයක් නොව තමාගේ ජීවිතයේ සත්‍ය ප්රතිරූපණයක් නොවේද?
එහෙත් අවුරුදු උත්සව සංවිධායකවරයාගේ ඉල්ලීමට අනුව ඔහුගේ බිරියගේ රන් වළල්ල උකසට ගත් කාන්තාවගේ දරුවාට අනිවාර්යයෙන් ජයග්‍රාහී ස්ථාන තුනෙන් එකක් දිය යුතුය.
එළවළු වෙළෙන්දා හට ද ස්ථානයක් හිමිවිය යුතු තරමට මගේ සිත් ගෙන ඇත්තේ ඔහුගේ රංගනය නිසා නොව ඔහුගේ සැබෑ අාධ්‍යාත්මය මා අවංකවම දන්නා නිසාය.
ඒ අනුව ඔහුට මවිසින් ජයග්‍රාහී ස්ථානයක් ලබා දුනහොත් එම දරුවා තානායම සමඟ ඇති සම්බන්ධතාව අනුව මගේ විනිශ්චය මෙහි රැස්ව සිටිනා පරාජිත උදවිය කුමන අයුරින් විග්රහ කරනු ඇතිද?
"අධ්යක්ෂතුමා.. අර එළවළු වෙළෙන්දා කොහොමද?..."
කිසිවක් සිතාගත නොහැකි මා අනෙක් විනිශ්චය සගයාගේ මතය විමසුවෙමි.
" මගෙන් මොනවා අහනවද මැනේජර් මහත්තයා.. දන්න කියන දරුවෙක් නම් ඔන්න ඔහෙ දීලා දාන්න"
ඔහු පවසන්නේ ඉතා සැහැල්ලුවෙනි.
"ඔව්.. දැන් නැවත වරක් විකට ඇඳුම් කණ්ඩායම විනිශ්චය මණ්ඩලය ඉදිරියෙන් ගමන් ගන්නවා ඇති"
කුඩා එළවළු වෙළෙන්දා එළවළු කූඩ දෙකක් දෑතින් ඔසවාගෙන නැමි නැමී අප ඉදිරියෙන් ඇවිද යන්නේ තානායම් මිදුල දිගේ බයාදු ලෙසින් ඒ කෙසඟ දෙපයින් පියවර තබා ගස්ලබු ගෝණිය ඔසවාගෙන එන විදියටමය.
ඒ ඇල කරගත් දාඩිය පිපුණු බෙල්ලේ කාස්ටක අව්වේ ඉලිප්පුනු බල නහර තානායමේදී දකින විදියමය. මගේ දෑසට කඳුළු උනනවා විනා මගේ විනිශ්චය යටතේ එකම අකුරක්වත් කඩදාසියට පෑනෙන් වෑහෙන්නේ නැත.
මට මෙතැන විනිශ්චය කරන්නට තරගයක් නැත. එසේනම් තරගය නිමා වන්නට පෙර මා වහ වහා විනිශ්චයෙන් ඉවත් විය යුතුය.
එසැණින් උඩ සාක්කුවෙන් ජංගම දුරකතනය අතට ගත් මා විනිශ්චය මණ්ඩල පුටුවෙන් නැඟී සිටියෙමි.
"ඇයි.. ඔබතුමා මේක විනිශ්චය කරන් නැතෙයි?"
මා සමඟ සිටි අනෙක් විනිශ්චය සගයා විමතිය රැඳි දෑසින් මගෙන් විමසුවේය.
"සොරි.. මට හදිසි පිටරට වට්ස්ඇප් කෝල් එකක්."
ජංගම දුරකතනය බොරුවට කනට තබාගත් මා වහ වහා වේදිකාවෙන් මහ පොළවට සැපත් වීමි.
"...එස්කියුස්මී... ඔයා සැඟවුණු අමුත්තාද?"
"..ඔ..ඔව් පුතා..."
මට අවිඥානිකවම කියවිණි.
" ෂුවර්...?.. අඩේ..ඔයා සැඟවුණු අමුත්තා...?..නියමයි..." තරුණියන් රොත්තක් දිවවිත් මා වටකර ගත්හ. "..සො.. සොරි පුතා.. මං වෙන කල්පනාවක හිටියේ... මම නෙමෙයි සැඟවුණු අමුත්තා... ඇත්තමයි.. අනේ වෙරි සොරි..."
රන්ජන් ගාමිණී ජයවර්ධන