මැයි මස 20-30 දක්වා උන්වහන්සේ මෙරට ගත කිරීමට නියමිත අතර, උන්වහන්සේ විසින් දින 9ක භාවනා වැඩසටහනක් සහ 30 වැනිදා පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දහම් දෙසුමක් පැවැත් වීමට නියමිතය
තායි භාෂාවෙන් ආජාන් කියන්නේ ගුරුවරයා යන්නයි. ස්වාමීන් වහන්සේ ආජාන් ලෙස අමතන්නේ ඒ අරුතෙනි. මෙවකට ලොව වැඩිම දෙනා හඳුනන ථේරවාද ස්වාමීන් වහන්සේ, ආජාන් බ්‍රහ්මවන්ස මහ තෙරුන් වහන්සේය. එහෙත් උන්වහන්සේ ආමන්ත්‍රණය කරනු ලබන්නේත් ආදරයෙන් සහ ගෞරවයෙන් හඳුන්වන්නේත්, ආජන් බ්‍රහම් කියා ය. 'සිනාසෙන සුදු හාමුදුරුවෝ'යන අන්වර්ත නාමයෙන් ලාංකික සැදැහතුන් හඳුන්වන ආජාන් බ්‍රහම්, ලබන වෙසක් මාසයේ 20-30 දක්වා මෙරට ගත කිරීමට නියමිතය. ඒ අතරතුර උන්වහන්සේ ස්වාමීන්වහන්සේලා ප්රමුඛ ගිහි පිරිසකට දින නවයක භාවනා වැඩසටහනක් මෙහෙයවන අතර, 30 වැනිදා පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දහම් දෙසුමක් පැවැත් වීමට නියමිතය. ඉංග්‍රීසි බසින් පවත්වන දෙසුමේ සරල සිංහල පරිවර්තනයක් සිදු කෙරෙනු ඇත.
බෞද්ධ භාවනාවේ අතිශය සුන්දර ප්‍රවේශය වන හිත තැන්පත් කර ගැනීමේ වැදගත්කම අවධාරණය කරන ආජන් බ්‍රහම් හෙවත් සිනාසෙන සුදු හාමුදුරුවෝ, භාවනා කළ යුත්තේ යමක් ලබා ගැනීමේ අදිටනින් නොව සියල්ල අත හැරීම සඳහා බව නිරන්තර ව සිහිපත් කරති. විදර්ශනාව සහ සමාධිය යනු එකම කාසියක් දෙපැත්තක් බව උගන්වන උන්වහන්සේ සිතේ ගැඹුරු තැන්පත් වීම, විනිවිද දැකීම තමන්ගේම අත්දැකීමක් වන බව පහදා දෙන්නාහ. බොදු භාවනා ක්‍රමය ලොව ප්‍රචලිත කිරීමට උන්වහන්සේ ගෙන් ලැබෙන්නේ අනුපමය දායකත්වයකි. එමෙන්ම බුදු දහමේ හරය වර්තමාන ලෝකයේ ජීවත් වන අපට සමීප කරවීම උන්වහන්සේගේ අනෙකුත් විශිෂ්ටතම සේවයයි.
ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් උන්වහන්සේ වෙත ඇදී ඇත්තේ උන්වහන්සේගේ සරල, සුගම, දේශනා ශෛලියත්, කරුණාවත් නිරන්තරව දැකිය හැකි සොම්නස් බවත් නිසාය. එමෙන්ම එතුමන් ළඟින් ඇසුරු කරන්නෝ උන්වහන්සේගේ අතිශය සරල අපිස් දිවියට සාක්ශි දරති. මෙතරම් ලෝක ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක් වුව ද උන්වහන්සේ ඉතාම පහසුවෙන් පෝෂණය කළ හැකි දිවි පෙවෙතක් ගත කරති. නැතිකමේ පොහොසත්කමින් උපරිමයෙන් සතුටු වන තෙර නමකි බ්රහ්මවංස හිමිපාණෝ.
සෑම සිකුරාදා දිනෙකම පාහේ යූ ටියුබ් මාර්ගයෙන් උන්වහන්සේ පවත්වන දේශනාවලට දස දහස් ගණනක් සහභාගි වෙති. එමෙන්ම ඒ මාර්ගයෙන්ම ඔවුහු උන්වහන්සේගෙන් ප්‍රශ්න අසති. ඉන් වැඩි දෙනෙක් සම්ප්‍රදායික බෞද්ධයෝ නොවෙති.
බ්රහ්මවංස හිමියන්ගේ දේශනාවන්ගේ ප්‍රධාන උපාය මාර්ගය වන්නේ කතාන්තර ඔස්සේ දහම් කරුණු සමාජ ගත කිරීමයි. මෙය බුදු හිමියන් ද නොමඳව භාවිත කළ ක්රමයකි. උන්වහන්සේ ඉතා සජීවීව, නොමඳව හාස්‍ය මුසුකරමින් කරුණු ඉදිරිපත් කරන්නේ වර්තමාන ලෝකයේ අප්‍රමාණ ලෙස ආතතියට පත්ව සිටින මිනිසුන් සුවපත් කිරීමටමය.
සමහර කතා අටුවාවලින් සහ සූත්‍ර නිධාන කතා එලෙසින්ම හෝ යම් ආකාරයකට අදට ගැළපෙන ලෙසට වෙනස් කර ඉදිරිපත් කරන අතර, ඇතැම් කතා තමා ජීවිත අත්දැකීම් ඇසුරෙන් ගොඩනඟා ගත් කතා වන අතර, තවත් කතා විවිධ සමාජයන්හි කාලාන්තරයක් පුරා විවිධ මාධ්‍යයන් ඔස්සේ සහ මුඛ පරම්පරාගතව පවතින කතාන්තර වේ.
සම්ප්‍රදායිකව ගාථාවක් මාතෘකාවක් ලෙස තබාගෙන දහම් කරුණු ඉදිරිපත් කිරීම වෙනුවට, උන් වහන්සේ බොහෝ විට තම දේශනවලට උදෘත ලෙස යොදා ගන්නේ එදිනෙදා මිනිසුන්ගේ ප්‍රශ්න ගැටලු සහ සංකල්පයන්ය. “ සත්‍යය සොයා ගන්නේ කෙසේද?”, “ අප හිතන ආකාරය වෙනස් කළ විට සිදුවන්නේ කුමක්ද?”, “ සතුටින් සිටින්නේ කෙසේද?” “ අමාරුකම්වලට මුහුණ දෙන්නේ කෙසේද?”, “ බුදු දහම සහ භූතයන්”, “ තීරණ ගන්නේ කෙසේ ද”, “ ඔබේ අනාගතය නිර්මාණය වෙන්නේ කොයි වෙලාවේද?” “ ජීවිතයේ අසම්පූර්ණකම් බාරගත යුත්තේ ඇයි?” “ ජීවිතයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?,” “ අවිනිශ්චිතාව සමඟ ජීවත් වන්නේ කෙසේද?, “ තමන් සමඟ සංහිඳියාවක් ඇති කරගන්නේ කෙසේද?” “ ඉහිල් වන්න, සියල්ල ඔබේ පාලනයෙන් ගිලිහී ඇත”, ආතතිය අඩු කරගන්නේ කෙසේද”, “ මරණයෙන් පසු සිදු වන්නේ කුමක්ද?”, “ දිනුම පැරදුම” එවැනි මාතෘකා කිහිපයකි.
මාතෘකාව කුමක් වුවත් ශ්රාවකයා තුළ පරිවර්තනයක් ඇති කරගැන්මට සමත් උත්තේජනයක් සැපයීමට උන්වහන්සේ තුළ ඇත්තේ නිසග හැකියාවකි. උන්වහන්සේගේ දේශනා විමසන විට එතරම් පැහැදිලි ගතියක්, විශ්වාසයක් ඇති වන්නේ එම ප්‍රකාශන පිටුපස චින්තාමය ප්‍රඥාවෙන් ඔබ්බට ගිය, භාවනාමය සාක්ෂාත් කර ගැනීමක් ඇති නිසා යයි සිතිය හැකිය. නමුත් කිසිම දිනක උන්වහන්සේ තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවක් ගැන කිසිම ප්‍රකාශයක් නොකිරීමට වග බලාගන්නේ විනය නීතිවලට අනුවමය.
කරත්තය තල්ලු කිරීම නොවෙයි අපහසු, එය ගැන සිතීමයි.
සාමණේර කෙනෙක් වශයෙන් පුහුණුව ලබන කාලයේ වරෙක ආජාන්චා ගුරු හාමුදුරුවන්ගේ නියෝගය පරිදි බ්රහ්මවංස හිමියන් සහ අනෙක් හිමිවරු හට විශාල පස් තොගයක් සේනාසනයේ එක් පසෙක සිට තවත් පසෙකට ගෙන යෑමට සිදුව ඇත. එය අවසන් කළ විට දෙවැනි නායක හිමියන් එය වෙනත් තැනකට ගෙන යන්න නියෝග කර ඇත්තේ ආජාන් චා නායක හිමියන් පිටතට වැඩ ඇති අතරතුරය. යළි පැමිණි නායක හිමියන් “ මම කිව්ව තැනට නොවෙයිනෙ පස් ටික ගෙනත් තිබෙන්නේ, වහාම මේක එතැනට ගෙන ගොස් දමන්න” උපදෙස් දී ඇත. ගුරු ගෞරවය නිසා තෙවැනි වරටත් පස් වීල් බැරෝව තල්ලු කළද හිතේ ඇතිවුණ අසතුට සාමණේර බ්රහ්මවංස හිමියන්ට සඟවා ගත නොහැකි විය. මෙය දුටු අනෙක් තායි ජාතික හිමි නමක් පවසා ඇත්තේ “බ්‍රහ්මවංසෝ, අමාරු කරත්තය තල්ලු කිරීම නොව, ඒ ගැන සිතීමයි” යන්නයි. මෙම ඉතා වැදගත් පාඩම උන්වහන්සේ නිතර නිතර අපට සිහිපත් කරන්නේ වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකුට ඇතිව තිබෙන ආතතියට සහ අසහනයට හේතු වන්නේ මෙම වමාරා සිතීම හෙයිනි. අප දුකට පත් කරන්නේ මෙම අපරීක්ෂාකාරී, නුපුහුණු සිතුවිලි නිසාය. “ දුක යනු, අපට ලබා දෙන්නට බැරි දේ ලෝකයෙන් ඉල්ලීමය”. ඉතාම ගැඹුරු දහම් කරුණක් ඉතාම සරල ලෙස ඉදිරිපත් කිරීමට මෙය කදිම උදාහරණයකි.
ආජාන් බ්රහම්ගේ තවත් ඉතාම ප්‍රචලිත සංකල්පයක් වන්නේ ‘ විවර කරන්න ඔබේ හදවත” යන්නයි. මෙය විවිධ කතාන්තර ඇසුරෙන් මෙන්ම විවිධ අවස්ථාවන් හිදී උන්වහන්සේ අපට යෝජනා කරයි. භාවනා කිරීමේදී සිතට නැඟෙන ප්‍රසන්න සහ අප්‍රසන්න සියලු සිතුවිලි සහ සංවේදනා මිත්‍රත්වයෙන් බාර ගත යුතු බව පැහැදිලි කරන්නේ මෙම ඉගැන්වීමෙනි. අප අපගේ සමීපතමයන්ට, අප ආදරෙයි කියා කියන අයට පවා අපේ හදවත විවර කර නැති බව උන්වහන්සේ අපට මතක් කර දෙයි. ඒ නිසා නොවෙද අපගේ ආදරය අනෙක් තැනැත්තා අපගේ අපේක්ෂාවන් ට වෙනස් ආකාරයෙන් කටයුතු කළ විට පෙර පළ කළ ආදරය ගිලිහී යන්නේ, වෙනස් වන්නේ, විටෙක වෛරයකට ද පෙරළෙන්නේ? තවත් විටෙක අපගේ ශාරීරික දුබලතා, නැතිනම් නොහැකියාවන් වැනි දේ නිසා අප අසතුටට පත්වන්නේ අපට අප කෙරෙහි මිතුරු බව පළකර ගන්නට නොහැකි වන නිසාය. සැබැවින්ම එය වඩා වර්ධනය කරගත යුතු කුසලතාවකි.
මෙම පැහැදිලි කිරීම් පසුපස ඇත්තේ ඉතා සියුම් සහ මුලික දහම් කරුණුය. නමුත් උන්වහන්සේගේ පැහැදිලි කිරීම් හමුවේ කිසිම බෞද්ධ අධ්‍යාපනයක් හෝ විශ්වාසයක් නොමැති විදෙස් ජාතිකයන් මෙම ඉගැන්වීම් තම ජීවිතයට සම්බන්ධ කරගනිමින් ජීවිත වෙනස් කර ගනිති. සැනසුම සොයා ගනිති. තමන් සාමණේර කාලයේ සියලු සැප පහසුකම් නායක හිමි වරුන් හට ලැබෙන විට එය මොන තරම් අසාධාරණ දැයි තමාට සිතුන බවත්, නමුත් තමන් මහ තෙරනමක් වූ පසු සාමණේර හිමිවරුන් තමාට වඩා වගකීම් සහ වැඩ කටයුතු අඩු ජීවිත ගත කරන බවත් බ්රහ්මවංස හිමියන් විස්තර කරන්නේ චිත්තාකර්ෂණීය විලාසයෙනි. සාමණේර හිමිවරුනට සාමනේර දුක් අදාළ බවත්, මහා තෙරවරුන්ට, මහා තෙර දුක් අදාළ බවත්, විවාහ වීමට නොහැකි ව සිටින්නන් හට අවිවාහකයන්ගේ දුක් උරුම බවත්, විවාහකයන්ට විවාහක දුක් උරුම බවත් පවසන උන්වහන්සේ, බාහිර ස්වභාවයන් තත්වයන් වෙනස් කළ පමණින් ධරණීය සැනසිල්ලක් නොලැබිය හැකි බවත් සැනසිල්ල ලැබෙන්නේ සිතන පතන ආකාරය වෙනස් කිරීමෙන් පමණක් බවත් උගන්වන්නේ අනායාසයෙනි.