
කටුපොත කුඹල් ගමෙන් ඇහෙන කුඹල්කරුවන්ගේ කතාව
මැටි ගොඩ අනා සකපෝරුවෙ තියන්නේ
අතකින් කරකවා ගෙන ඉදි කරන්නේ
කැලයෙන් දර සොයාගෙන ගිනි පිඹින්නේ
කවුරුද මහතුනේ මගෙ දුක දකින්නේ
අපි මේ කියන්නට යන්නේ වසර දහස් ගණනක් තිස්සේ කටුපොත පරම්පරිකව පවත්වා ගෙන එන කුඹල් කර්මාන්තය පිළිබඳ ඔබ මෙතෙක් නොඇසූ කතාවක සුල මුලය.
ඒ නයින් මාර්ගයේ මිහින්තලාව දක්වා පැමිණ හතරමං හන්දියෙන් හොරොව්පතාන මාර්ගයට පිවිස කිලෝමීටර් තුනක් පමණ ගමන් කර අනතුරුව වේලන්කුලම හන්දියෙන් දකුණට හැරී කිලෝමීටර් හතරක් පමණ ගිය තැන කටුපොත ග්‍රාමය හමු වේ. වියළි කාලගුණය නිසා ගහකොළ දූවිල්ලෙන් පඬු පැහැ ගැන්වී තිබුණ ද එය එක වැස්සකින් හරිතවර්ණ පැහැගත් මනස්කාන්ත පරිසරයක සිරියාව චිත්රණය කළ හැකි සුන්දර පරිසරයක් බව අපට හැඟුණි. ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මරදංකල්ල තැපැල් බල ප්‍රදේශයේ මුහුදු මට්ටමින් දළ වශයෙන් අඩි 580 ක් තරම් උසකින් කටුපොත ග්‍රාමය පිහිටා තිබේ.
කටුපොත ගම් පියස ඉපැරැණි අතීතයට නෑකම් කියන අදටත් සාම්ප්‍රදායික මැටි කර්මාන්තයේ නියැළෙන්නන් වාසය කරන ග්‍රාමයකි. මුලාශ්‍රගත තොරතුරු හා ජනශ්රැති තුළින් කුඹල් කර්මාන්තය පිළිබඳ බොහෝ තොරතුරු ඇතත් මෙම ග්‍රාමයට අවධානය යොමු නොවූවද කටුපොත කන්ද පාමුල පිහිටි සෙල්ලිපිය නිසා ඒ නම පුරාවිද්‍යාඥයන්ට කිසිදා අමතක නොවේ. අවාසනාවකට නිදන් හොරුන් විසින් පසුගිය කාලයේ මෙම සෙල්ලිපිය විනාශ කර තිබේ. මෙම ගම් පියසෙහි අතීතය, අනුරාධපුර යුගය දක්වා ඈතට විහිදී යන්නකි.
කුඹල් කර්මාන්තය කවදා කෙසේ ආරම්භ වීද යන්න මතභේදාත්මක කරුණකි. එය මානව පරිණාමයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සලකුණු කරයි.
ශ්‍රී ලංකාවේ මැටි කර්මාන්තයේ ප්රභවය පුරාවිද්‍යාත්මක සාධක අනුව අදින් වසර 12,000ක අතීතයට දිව යයි. දේවානම්පියතිස්ස රජු නගර සීමා ලකුණු කිරීමේ දී කුඹල් ජනතාවට මැටි ලබා ගැනීම සඳහා ස්ථානයක් වෙන්කර තිබූ බවද සාහිත්‍ය මූලාශ්රයවල දැක්වේ.
වර්තමානයේ ද කටුපොත ජනතාව තම ප්‍රධාන ජීවනෝපාය මාර්ගය ලෙස වළන් තැනීමට අමතරව කෘෂි කර්මාන්තයේ ද නියැළී සිටිති. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙම කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීමට තිබෙන අපහසුතාව හා ඒවා නිමැවූ පසු විකුණා ගැනීමට ඇති දුෂ්කරතාවයි. මෙම ප්‍රදේශය ආශ්‍රිතව කෘෂිභෝග වගා කටයුතු සිදු කරන අතර වී ගොවිතැන ද යල හා මහා කන්නය වශයෙන් සිදු කරනු ලබයි. මෙනිසා මේ වනවිට මෙහි වාසය කරන්නන් කෘෂිකර්මාන්තය මත යැපෙන පිරිසක් බව පෙනී යයි. ඔවුන් කෘෂිකර්මාන්තයේ නියැළෙනවා සේම තමන්ට පාරම්පරිකව හිමි වූ කුඹල් කර්මාන්තය ද ජීවනෝපාය මාර්ගයක් වශයෙන් සිදු කරති. එසේම නව පරපුර අධ්‍යාපනය ලබා නගරයට සේන්දු වීමත් සමඟ කුඹල් කර්මාන්තය අද වන විට පවුල් කිහිපයක් දක්වා ශේෂ වී ඇත.
කුඹල් කර්මාන්තයේ නියුතු පී. එන්. ඒ. දසනායක (42) තමන් වර්තමානේ මුහුණදී සිටින දුෂ්කරතා පිළිබඳව සිළුමිණට පවසා සිටියේ ෙමසේය. “පුංචි සන්දියේ ඉඳන් ආපු ආසාවෙන්ම තමයි මේ කර්මාන්තයට යොමු වුණේ. මේකෙන් අපට හොඳ ආදායමක් ලැබුණා. අපි නාච්චියාදූව වැවෙන්තමයි මැටි කපා ගන්නේ. මේ ගමේ පවුල් පනහක් විතර මැටි කර්මාන්තයේ යෙදී සිටියා. නමුත් මැටි කර්මාන්තයට එල්ල වූ විවිධ දුෂ්කරතා හේතුවෙන් මේ වනවිට මැටි කර්මාන්තයේ යෙදෙන පවුල් ගණන පහළොවක් දක්වා අඩු වුණා. බොහෝදෙනා කෘෂිකර්මාන්තයට සහ වෙනත් රැකියා සඳහා යොමු වුණා. අනික ගෑස් ලිප් ආවට පස්සේ ඇලුමීනියම් භාජන පාවිච්චි කරන්න ගොඩක් දෙනා පෙලඹුණ නිසා අපේ කර්මාන්තය ගොඩක් වැටුණා. නමුත් විවිධ රෝගවලට ඇලුමීනියම් බඳුන්වල උයන ආහාරවල බලපෑමක් තියෙනව කියලා මිනිස්සු දැනුම්වත් වුණාම ආයිත් මැටි වළන්වලට ලොකු ආකර්ෂණයක් ලැබුණා. ඒත් ගොඩක් අයට ගැටලුවක් වුණේ ඒ සඳහා අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු වළං නිර්මාණය නොවීමයි. පස්සේ මේ කර්මාන්තයේ ඉන්න පිරිස එකතු වෙලා ඉක්මනින් රත්වන විදියට හා ගෑස්වලට ඔරොත්තු දෙන විදියට වළං නිර්මාණය කළා. ඒවට දැන් හොඳ ඉල්ලුමක් තියෙනවා. නමුත් අපිට මේවා අලෙවි කරගන්න වෙළෙඳ සැලක් නැහැ. අලුත් අවුරුද්දට හදපු බඩු ටික වෙළඳන් කරගන්න බැරිව දහ අතේ කල්පනා කරමින් ඉන්න වෙලාවක තමයි දෙවියො එව්වා වගේ Lady J ආයතනය අපට පිහිටට ආවේ. එහෙම නොවෙන්න අපිට අවුරුදුත් නැහැ”.
මෙහිදී පාරම්පරික කුඹල්කරුවකු වූ ටී. පුංචිනයිදේ (65) සිළුමිණට ප්‍රකාශ කර සිටියේ “ දැන් අපිට නාච්චියාදූව වැවෙන් මැටි ගන්න හරිම අමාරුයි. ඒකට බලපත්‍රයක් ලබා ගන්න ඕන. ඒකට කමක් නැහැ. නමුත් ඒ බලපත්‍රය ගන්න දවස් ගණන්, සුමාන ගණන් රස්තියාදු වෙන්න ඕන. ඒ රස්තියාදුවෙලා බලපත්‍රය ලැබෙනකොට රුපියල් පනස්දාහක් විතර වියදම් වෙලා. එහෙම කොහොමද මේ කර්මාන්තය ඉදිරියට අරන් යන්නේ. වැව් හාරලා පස්ගන්න එපා කියලා රජයෙන් නීතියක් ගෙනත් තියෙනවා. නමුත් අපට තරම් අමාරුවක් නැතිව බලපත්‍ර අරන් මැටි ගෙනත් දෙන අය ඉන්නවා. ඒ අය මන්ත්‍රීලා මාර්ගයෙන් බලපත්‍ර ලබාගෙන මැටි කපාගෙන ඇවිත් අපට දෙනවා. මැටි කියුබ් තුනකට රුපියල් 20,000ක් අය කරනවා. නමුත් ඉස්සර අපි තිරප්පනේ ප්‍රාදේශීය සභාවට ගිහින් රුපියල් 150ක් වියදම් කරලා බලපත්‍රය හදාගෙන අපි හය හත්දෙනෙක් එකතු වෙලා මැටි ටික කපාගෙන මහ ට්‍රැක්ටරෙන් ගෙදරටම ගෙනාවා. දැන් එහෙම ගෙන්න බෑ පොලිසියෙන් අල්ලනවා.
අපි අල්ලපු ගමේ කෙනෙකුගේ මාර්ගයෙන් තමයි මැටි ගන්නේ. එයා මන්ත්‍රී කෙනෙක් මාර්ගයෙන් ගාණක් වියදම් කරලා අපට වඩා පහසුවෙන් බලපත්‍ර ගන්නවා. අපි කොච්චර ඒ තැන්වලට ගියත් අපිට ඒ වැඩේ කරගන්න බැහැ. ඒ නිසා අපට යම් වෙළෙඳ පොළක් හැදුණත් කලට වෙලාවට ඒ අවශ්‍ය බඩු දෙන්න අමාරුයි. මේ පිළිබඳව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා දැනුම්වත් කර කිසියම් සහනයක් ලබාදීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටියා. නමුත් තවම සතුටුදායක පිළිතුරක් ලැබුණේ නැහැ. පෝරනුවට දාන්න අවශ්‍ය වේළිච්ච දර ටික ගේන්න කැලේට ගියත් අල්ලනවා. එහෙම අල්ල ගත්තාම වාහනෙත් අරන් යනවා. ඉතින් හරිම අමාරුවෙන් මේ රැකියාව කරගෙන යන්නේ. මේකට මොකක් හරි පිළියමක් කරල දෙන්න කියල තමයි අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ”.
“සාමාන්‍යයෙන් දිනකට වළන් පනහක් හෝ සීයක් සෑදිය හැකියි. ඒවා සයිස් එකේ හැටියට වළඳෙන් වළඳට වෙනස් වෙනවා. ලිප් හැදුවොත් ලිප් 25ක් පමණ දවසට හදන්න පුළුවන්. මුට්ටි ඇතිලි වගේ ඒවා එහෙම හදන්න ටිකක් අමාරුයි. දවස් දෙකක් විතර වැඩ කරන්න ඕන. අද හැදුවොත් හෙට තමයි අවසන් කරන්න පුළුවන්. ඩබල් ලිප් හදන්න කලින් ඒක කෑලි තුනකට සකස් කරගන්න ඕන. ඒ හදන කොටස් මඳ පවනේ වේළාගෙන පසුදා තමයි කොටස් තුන බද්ධ කරන්නේ. ඒ කරලා සතියක් විතර මඳ පවනේ වේළනවා. ඉන්පස්සේ පෝරනුවට දානවා. ඒකත් ටික ටික ගින්දර යොදමින් හිමින් සීරුවේ පුච්චගන්න ඕන. ඉතින් මේ දේවල්වලට ලොකු මහන්සියක් ගන්නවා. ඒ කරලත් ඒ ටික විකුණ ගන්න ලැබුණෙ නැතිනම් අපි ලොකු අමාරුවක වැටෙනවා. මැටි ටික ගන්න අමාරු ප්රශ්නය ඇරුණම අපට තියෙන අනෙක් ලොකුම ප්රශ්නය තමයි ලොකු පෝරනුවක් නැතිකම. ගමට ලොකු පෝරනු දෙකක් වගේ හදල දෙන්න පුළුවන් නම් ඒක අපට කරන ලොකු උපකාරයක්. පහුගිය අලුත් අවුරුද්දට අපි අතේ තිබුණු සේසතම වියදම් කරලා වළං හැදුවා. නමුත් විකුණ ගන්න විදියක් නැතුව අපි හරිම අසරණකමින් හිටියේ.
Lady J ආයතනය අපිව හොයාගෙන ආවේ ඒ වෙලාවේ තමයි. ඒ් අය ගමේ තිබුණු සේරම බඩු ටික සල්ලි දීල අරන් ගියා. එහෙම නොවෙන්න අපිට අලුත් අවුරුද්ක් නෑ. ළමයින්ට මුනුපුරු මිනිබිරියන්ට අලුත් ඇඳුම් අරන් දීලා අවුරුදු සමරන්නට ලැබුණේ ඔවුන් නිසා බව යූ. ප්‍රේමාවතී (63) සිළුමිණට පවසා සිටියාය.
කේ. වී. චන්ද්‍රරත්න (40) පවසා සිටියේ “සාමාන්‍යයෙන් මැටි පොයින්ට් දෙකක් (කියුබ් කාලකට අඩු ප්‍රමාණයක්) පමණ අඹරා ගත්තාම ඒක වෙළලා කුඩු කර ගන්නවා. ඊට පස්සේ සවස් කාලයේ වතුර එකතු කරලා පහුවදා අව්ව වැටෙන්න කලියෙන් මැටි ටික පදම් කරලා අව්ව නොවැටෙන තැනකට ගොඩගහ ගන්නවා.
ඒ පදම් කරගත්ත මැටි ටිකෙන් සතියක් දෙකක් වැඩ කරන්න පුළුවන්. මේ මැටි අඹර ගන්න පවුල් පහළොවටම මැටි ඇඹරුම් යන්ත්‍රයක් ලබාදී තිබෙනවා. ඒ මීට අවුරුදු දහයකට පහළොවකට විතර කලියෙන්. ඒ යන්ත්‍රයත් දැන් බොහෝම අබලං තත්ත්වයේ පවතින්නේ. ඒක අලුත්වැඩියා කරල දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. සාමාන්‍යයෙන් ඩබල් ලිපක් දෙන්නේ රුපියල් 500කට. කොරෝනා කාලේ රුපියල් 1000ටත් විකුණුවා. වළන් රුපියල් 70 ඉඳල රුපියල් 100, 150, 200, 250 දක්වා වළඳේ ප්‍රමාණය අනුව මිල කරනවා. ගෑස් වළන් සයිස් කිහිපයකට හඳනවා. ඒවා රුපියල් 80 සිට 100, 150, 200, 300 දක්වා මිල කෙරෙනවා.
මේ මිල ගණන් වුණත් ඉල්ලන විදිය අනුව තමයි මිල කරන්නේ. මෙය කර්මාන්තයක් විදියට තවදුරටත් පවත්වා ගෙන යෑමට නම් වැඩ කරන පස්දෙනකුට මාසෙකට ලක්ෂ දෙකක්වත් ආදායම් ලැබිය යුතු බවයි. එසේ නොවුණොත් අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම හා ඊට අදාළ කටයුතු කිරීම ඉතාම දුෂ්කර වන බවයි. ඒ තත්ත්වයට වෙළෙඳපොළක් නිර්මාණය වෙනව නම් ඉතා ආශාවෙන් හා උනන්දුවෙන් මේ කර්මාන්තයේ නියැළිය හැකි බව එන්. කරුණාපාල (67) පෙන්වා දෙයි.
මහන්සියේ තරමට මෙහි ආදායමක් නොමැති බැවින් වත්මන් පරම්පරාව මේ කටයුතුවලින් ඈත් වීමට පටන් ගෙන ඇති බව කේ. සෝමාවතී (59) පෙන්වා දෙයි. අන්ධ දරුවන් දෙදෙනකු සමඟ කුඹල් කර්මාන්තයෙන් සිය ජීවිකාව ගැටගසා ගන්නා ඇය තම දරුවන්ට අවුරුද්දට ඇඳුමක් කැවිල්ලක් කන්න ලැබුණේ Lady J ආයතනයෙන් තම භාණ්ඩ සියල්ල මිලදී ගත් නිසා බව පවසන්නීය.
නව තාක්ෂණය මොවුන්ට හඳුන්වා දී මෙම නිමැවුම්වල නිමාව සහ උසස් ප්‍රමිතිය පවත්වා ගත හැකි ආකාරය පිළිබඳ දැනුම මොවුන්ට ලබාදීමට කටයුතු කරන්නේ නම් ඉතාම උසස් මට්ටමේ මැටි භාණ්ඩ සපයා දීමට මොවුන්ට හැකියාව ලැබෙන අතර මෙරට පමණක් නොව ජාත්‍යන්තරව ද ඒවා අලෙවි කර හොඳ විදේශ විනිමයක්ද උපයා ගැනීමට අපට හැකියාව ලැබේ.
මෙවැනි පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට නම් සුපිරි වෙළෛඳ සැල් වෙත මෙම භාණ්ඩ හඳුන්වා දීම කළ යුතුය. එකී කාර්යයට මේ වන විට සුපිරි වෙළෙඳ ආයතනයක් වන Lady J ආයතනය පෙරට විත් තිබේ.
එහි කළමනාකරණ අධ්යක්ෂ අනුරුද්ධ විජේරත්න පවසන්නේ පසුගිය කොවිඩ් සමයේ සැපයුම් ජාල බිඳවැටීමත් සමඟ දේශීයව සපයා ගත හැකි භාණ්ඩ කෙරෙහි සිය අවධානය යොමු කළ බවයි. ඒ අනුව මැටි භාණ්ඩ, වේවැල්, පන්, ලාක්ෂා, බීරලු, ලී කැටයම් ආදී දේශීය නිර්මාණ සඳහා තම ආයතනය තුළ විශාල ඉඩක් වෙන් කළ බවත්, එමඟින් තමනට විශාල ලාභයක් නොමැති වුවත් පිටරටවලට ඇදීයන විදේශ විනිමය රට තුළ යම් පමණකට හෝ ඉතිරි කර ගැනීමට හැකියාව ලැබුණු බවයි.
මෙම නිර්මාණවල ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමට ඔවුන් සමඟ නිරන්තරයෙන් කටයුතු කරන බවත්, එමඟින් දේශීය ගැනුම්කරුවන්ට අමතරව විදේශීය ගැනුම්කරුවන්ද මේ භාණ්ඩ කෙරෙහි ආකර්ෂණය කර ගැනීම මඟින් රටට විදේශ විනිමය උපයාදීම කෙරෙහිත් තම අවධානය යොමුව ඇති බව හෙතෙම පැවසීය.
මේ සඳහා විශේෂ කාර්යභාරයක් සිදු කරන Lady J ආයතනයේ සැපයුම් ජාල සම්බන්ධීකරණ කළමනාකාරවරයා ලෙස කටයුතු කරන සුරන්ජිත් හේමරත්න පවසන්නේ “මේ අයට නිසි පුහුණුවක් හා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මඟින් උසස් ප්‍රමිතියෙන් යුතු ජාත්‍යන්තර තත්ත්වයේ භාණ්ඩ නිෂ්පාදනය කළ හැකි බවයි.” අප ඇල්පෙනිත්තක තරම් දෙයක් නිෂ්පාදනය කරන්නේ නැතැයි බොහෝදෙනා පවසන කාලයක මේ මහා පොළවේ වසර ගණනාවක් තිස්සේ පැවත එන මෙවැනි දේශීය කර්මාන්ත කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු වීමට කාලය පැමිණ තිබේ. අද ලෝකය වෙළෙඳ පොළ ඉතා විවෘතව තිබෙන බැවින් අපේ භාණ්ඩ එකී වෙළෙඳ පොළට ඉතාම පහසුවෙන් හඳුන්වා දිය හැකිය.
එහිදී නියමිත ප්‍රමිතියෙන් හා උසස් නිමාවෙන් එම නිපැයුම් සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණය හා දැනුම ලබාදීම අදාළ බලධාරීන් කටයුතු කළ යුතුය. එවිට මේ වැටී තිබෙන ආර්ථිකය පණ ගන්වන්නට මෙරට ජනයා දහස් ගණනින් පෙළ ගැසෙනු නියතය.
ඡායාරූප රුක්මාල් ගමගේ