මිනිසාට වින කරන ප්‍රේතයන් මෙල්ල කරන්නේ මෙහෙමයි | සිළුමිණ

මිනිසාට වින කරන ප්‍රේතයන් මෙල්ල කරන්නේ මෙහෙමයි

ලෝකයේ වෙසෙන උගතුන් බුද්ධිමතුන් අනිවාර්යයෙන්ම පිළිගන්නා මතයක් තමයි මේ විශ්වය තුළ මනුෂ්‍ය - අමනුෂ්‍ය - ප්‍රේත - තිරිසන්ව ජීවත්වන බව. ඊට නිදර්ශනද නැතිවා නොවේ. ශාසන ඉතිහාසයේ සඳහන් පරිදි කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළේද මේ ප්‍රේතයන් ප්‍රේත කොට්ඨාසයෙන් ආ කරදර හරණය කිරීමට බව හැම දෙනා දන්නා කරුණකි. මෙපමණ කරුණු තිබියදීත් විශ්වය තුළ ප්‍රේතයන් නැති බව බොහෝ මනෝ විද්‍යාඥයන් පවසනවා. එපමණක්ද නොව මේ අය හොල්මන් අවතාර ගැන පවා වැඩි විශ්වාසයක් නැත. එකිනෙකාගේ මත විවිධ බවත් ඒ ඔවුන්ගේ නිදහස බවත් අප දත යුතුය.

ඕනෑම මනුෂ්‍යයෙක්ගේ අවසාන මොහොතේදී 'ප්‍රාණ ඉරියවු' අප්‍රාණි වනවා. සිතුවිලි පමණක් නවතිනවා. මොළේ ක්‍රියාකාරිත්වය පවතින කල් මැරුණා කියන්න බැහැ. නමුත් ජීවිතය භෞතික වශයෙන් මැරුණා වගේ තමයි.

නමුත් තමුන්ට පමණක් සීමාවූ සිතිවිල්ල ක්‍රියාකාරීව පවතිනවා. ඒක කිසිවෙකුට දැනෙන්නෙ නැහැ. මේ තත්ත්වය හොඳින් අවබෝධ කර ගන්න තිබුණා මරණ පරීක්ෂණ නොතියෙන අවධියෙදී සිදුවූ මරණවලින්. ඒ දිනවල පණ හැංගුණ මරණ ගුප්ත ශාස්ත්‍රය උපයෝගී කරගෙන ජීවම් කළා. මොළේ අප්‍රාණික තත්ත්වය ප්‍රාණි තත්ත්වයට ගෙන ඒමට නවීන විද්‍යාවට හැකි වුණත් අභ්‍යන්තර සිතුවිලි ගැන කිසිවක් ප්‍රකාශ කිරීමට හෝ විග්‍රහ කිරීමට ඒ අයට බැහැ.

එහෙම හැකියාවක් තිබුණානම් ඍති චිත්තයක් අපට ඕනෑ විදියට වෙනස් කරන්නට පුළුවන් වන්ට ඕනෑ. මරණාසන්න මොහොතේ බොහෝ අය සංඥාවෙන් යමක් පවසන්නේ ඒ සිතුවිල්ල බලවත් වූ නිසාමයි.

සිතුවිල්ලයි ඍති චිත්තයයි යනු එකක් නොවේ. ජීවත්ව සිටියදී යහපත් සිතිවිල්ල තිබුණත් ඍති චිත්තය අයහපත් වන්ට බැරි නැහැ. දේව සංකල්පය මත වල්ලි අම්මා කඳ සුරිඳුන්ගේ පිහිට පැතුවේ ඔහුට තිබුණ ආදරය නිසාම නොවේ.

ඇති වූ භය නිසා එතැනදි අවශ්‍ය වුණේ භය නැති කරගැනීමට මිස ආදරයක් නිසා නොවේ. ඒ වගේම මරණයෙන් පසු සුදුසු ගැබක් නැතිවූ විට ප්‍රේත ලෝක 16න් එකක් අල්ලා ගන්නවා. එනම් ඒ එකක උපදිනවා. එවැනි අන්දමකින් ඇති වූ සම්බන්ධය පසු අවස්ථාවක අයහපත් වනවා.

එහෙම වූ අවස්ථා එමට තිබෙනවා. සත්ත්වයා ආදරයෙන් වැලඳගත් ස්වාමියා එක්තරා අවස්ථාවක අයහපත ළඟා කරනවා. මේ ආකාරයටම මරණාසන්න මොහොතේ කිසියම් ගැබක් අහිමි වූ සත්ත්වයා අවස්ථානුකූලව කිසියම් ප්‍රාණයක් වැලඳ ගනී.

එසේ වැලඳගත් ප්‍රාණියා කලක් ඔහු හෝ ඇය සමගම ජීවත් වී යහපත් ලෙස කටයුතු කර ක්ෂණයෙන් වෙනස් වී ප්‍රේතාත්මයේ කටයුතු කිරීමට පෙළඹේ. එනම් මනුෂ්‍යයා ලෙඩ කරවයි. අප්‍රාණික කරයි. අවසානයේදී අවශ්‍ය ප්‍රතිකාර නොකිරීමෙන් මරණයද සිදු කරයි.

ඒ ක්ෂණයෙන් ප්‍රේතයා ඔහු හැර යයි. ප්‍රේතයන්ගෙන් ගුප්ත වැඩ කරගත් අය මේ දිවයින තුළ නොසිටියා නොවේ. ඔවුන් මරණාසන්නයේ ශරීරයෙන් හුස්ම පිටවීමට පෙර මිනිය කුණු කරයි. මොකද කියනවානම් ප්‍රේතයා මනුෂ්‍ය ශරීරයක ස්පර්ශව සිටින්නේ කෙටි කාලයක් නිසා.

ප්‍රේතයා ඉතා අහිංසක චරිතයක් වුණත් ඒ මතින් එන කරදර ඉක්මනින් සුවකර ගැනීමෙන් මහත් ප්‍රයෝජන ලැබේ. ප්‍රේතයා වැහුණු කෙනා හැම විටම අලසව වැඩ කරයි. අපිරිසිදු බව අගේ කරයි. ඇඳුමක් හෝ වස්ත්‍රයක් හැම විටම දිගහරියි - නැවත නවයි. එළිමහනට බයයි. කෙළ ගැසීම හැම විටම කරයි. කෑම දුන්නට නොකා පහුරු ගායි. මේවා එකක් හෝ ලක්ෂණ කීපයක් දැකගත හැකිය.

ප්‍රේතයන් මෙල්ල කිරීමට උපදෙස් ලැබි ඇත්තේ සැරියුත් මහ රහතන් වහන්සේගෙන් මුත් මළ ප්‍රේතයාට එය නොසැහේ. එනම් මළ පෙරේතයාට මැතිරිය යුත්තේ "නමඃ ශ්‍රී සණාය. ගෙවල මළ පෙරේතයා වෙසමුනි අනින් මේ අග්‍රභෝජන ආහාරයට දිෂ්ඨි වැටි වරවර ඒස්වාහඃ" යනුවෙනි.

ජ්‍යොතිෂවේදී, ගුප්ත විද්‍යාධර

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

Comments