
මෙරට පශු පාලනයේ දී සතුන්ට අසීමිතව ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ පාලනය නොකළහොත් අනාගතයේ දී අප රටේ ජනතාවට ප්‍රතිජීවක ඖෂධ ප්රතිරෝදතාවට මුහුණ දීමට සිදුවනු ඇතැයි පශු ඖෂධ නියාමන අධිකාරිය අනතුරු අඟවයි.
පශු පාලනයේ දී සතුන්ට අසීමිතව ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ පාලනය නොකළහොත් අනාගතයේ දී අප රටේ ජනතාවට ප්‍රතිජීවක ඖෂධ ලබා දීමේන් ප්‍රතිපලයක් නොලැබෙනු ඇත.
ගව, කුකුළු, ඌරන් ඇතුළු සතුන්ට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රමාණය ඉතාමත් ඉහළ මට්ටමක පවතී. බොහෝවිට මිනිසුන්ට ලබා දෙන්නේ ද එම ප්‍රතිජීවක ඖෂධයි. මෙම සතුන්ගේ කිරි හා මස් අනුභව කිරීම මගින් ඔවුන්ට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ නිතැතින්ම මිනිස් සිරුරට ඇතුල්වීමට ඉඩකඩ පවතී. මේ නිසා ප්‍රතිජීවක ඖෂධ ප්රතිරෝධතාව හෙවත් Antibiotic Resistance තත්ත්වය හේතුවෙන් එම ප්‍රතිජීවක ඖෂධවල පවතින රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව අහිමි වී මිනිසුන් රෝගවලට ගොදුරුවීමට ඇති ඉඩකඩ ඉහළ යා හැකි යැයි පශු ඖෂධ නියාමණ අධිකාරිය අවධාරණය කළේය.
මෙම කාරණය සම්බන්ධව ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් සකස් කර තමන්ට ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා පශු ඖෂධ පාලන අධිකාරියට උපදෙස් දුන්නේය.
එමෙන්ම ඇතැම් පශු ඖෂධ හා සනීපාරක්ෂක ද්‍රව්‍ය අප රට තුළ ම නිපදවා ගත හැකි පහසුකම් තිබියදීත් ඒවා ආනයනය කිරීම මගින් විශාල මුදලක් විදේශවලට ඇදී යාම වළක්වා ගැනීමට පියවර ගත යුතු බවත් දැනට අප රටේ තිබෙන එම කර්මාන්ත 30ක් පමණ තිබෙන අතර එමගින් එම ද්‍රව්‍ය නිපදවීමට පියවර ගැනීම සඳහා එම කර්මාන්තශාලා හිමියන් සමග සාකච්ඡා කිරීමට ද තීරණය කළේය.
දැනට වෙළෙඳ පොළේ තිබෙන සත්ව සනීපාරක්ෂක ද්‍රව්‍යවල ප්‍රමිතිය සොයා බැලීම සඳහා වැඩ පිළිවෙළක් සැකසීමටත්, ඇතැම් නිෂ්පාදනවල මිල ගණන් ඉහළ මට්ටමක පවතින නිසා එම මිල ගණන් සාධාරණ ද යන්න සොයා බලන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පශු ඖෂධ නියාමණ අධිකාරියට උපදෙස් දුන්නේය.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පවතින පශු ඖෂධ නියාමණ අධිකාරිය හා එම පනත බලාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (24) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
එම සාකච්ඡාවට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලී කොතලාවල මහත්මිය ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගි වුහ.
මෙරට සතුන් සඳහා භාවිතා කරන ඖෂධ හා සනීපාරක්ෂක ද්‍රව්‍යවලින් සියයට 05ක් මෙරට නිපදවන අතර ඉතිරි සියයට 95 විදේශ රටවලින් ආනයනය කරන බවත් 2022 වර්ෂයේ දී සතුන්ට ලබා දෙන ඖෂධ හා වෙනත් සනීපාරක්ෂක ද්‍රව්‍ය ආනයනය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 4039ක් බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.