කුඩාවැල්ලේ මාළු බෝට්ටුවේ කුඩු ලෝඩ් එකට අයිතිකාරයන් තිදෙනෙක් | සිළුමිණ

කුඩාවැල්ලේ මාළු බෝට්ටුවේ කුඩු ලෝඩ් එකට අයිතිකාරයන් තිදෙනෙක්

මෑත ඉතිහාසයේ මහා මුහුදේදී වැඩිම මත්කුඩු තොගයක් අල්ලාගෙන ඇත්නම් ඒ කුඩා වැල්ල ධිවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා තුළ තිබියදීය. කුඩා වැල්ල වරාය කේන්ද්‍රකරගෙන සිදුවන ඒ මත්කුඩු ජාලය මුළුමනින්ම පාහේ මෙහෙයවනු ලැබුවේ හරක් කටා විසිනි. මැඩගස්කරයේදී හරක් කටා එරට ආරක්ෂක අංශවලට හසුවී මෙරටට රැගෙන ආ පසු බොහෝ අය සිතුවේ හරක් කටාගේ මත්කුඩු ජාලය බිඳ වැටේවි යැයි කියාය. ඒ හරියට මාකඳුරේ මධුෂ් ඩුබායි පොලිසියට හසුවී මෙරටට රැගෙන ආ පසු ඔහුගේ හැම මත්කුඩු ජාලයක්ම බිඳ වැටේවි යැයි සිතු විදිහටය.

එදා මාකඳුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවෙන් කොළඹ අපරාධ කොට්ඨාස භාරයට ගෙන ටික දිනකට පසු අබිරහස් ලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනයවීමෙන් පසු ඔහුගේ තැන ගත්තේ හරක් කටාය. මධුෂ්ගේ අඩුව පුරවමින් හරක් කටා පකිස්ථානයෙන් මෙරටට රැගෙන එන මත්කුඩු මහා මුහුදේදී භාරගෙන බෙදා හැරීමේ ඒකාධිකාරය සියතට ගත් හරක් කටා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියේ යැයි කියා ඒ ජාලය බිඳවැටී නැත. ඒ ඔහුගේ මත්කුඩු ජාලය බිඳ දැමීමට අවශ්‍ය තොරතුරු දැන ගැනීමට හරක් කටාගෙන් ප්‍රශ්න කරන්නට තබා ඔහුට කිට්ටු කරන්නටවත් තාමත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට අවස්ථාවක් ලැබී නැති බැවිනි. 

හරක් කටාගේ ජාලයට සම්බන්ධ පිරිසකගේ මෙහෙයැවීමෙන් මෙරටට රැගෙන එමින් තිබුණේ යැයි කියනු ලබන හොරොයින් කිලෝ 176 කට අධික ප්‍රමාණයක් පසුගිය 15 වෙනිදා ගැඹුර මුහුදේ කළ මෙහෙයුමකින් අල්ලා ගන්නේ ද මෙවන් වටාපිටාවක් තුළදීය. ඒ කුඩා වැල්ල ධීවර වරායෙන් පසුගිය මාර්තු 20 වෙනිදා පිටත් වූ IMUL-A1472 MTR සලීම් 02 බහුදින යාත්‍රාව තුළ තිබියදීය.

මෙම බහුදින යාත්‍රාවේ උර 08ක පාර්සල් 160ක් ලෙස මෙහි තිබෙන්නේ හොරොයින් කිලෝ 179යි ග්‍රෑම් 654කි. ගොඩබිමට ආ පසු මෙම හොරොයින් තොගයේ වීථි වටිනාකම සැලකෙන්නේ රුපියල් මිලියන 3593 ක් ලෙසිනි.

දකුණේ බහුදින යාත්‍රා හිමිකරුවකුට අයත් මෙම බහුදින යාත්‍රාව පසුගිය මාර්තු 20 වෙනිදා තංගල්ල කුඩාවැල්ල ධීවර වරායෙන් පිටත්ව යන්නේ මාසයකට දෙකකට සෑහෙන ඉන්ධන ලීටර් 5000ක්ද ජලය ලීටර් 3000ක්ද අල්ලා ගන්නා මාළු ගබඩා කර ගන්නා කුටිය පිරෙන්න අයිස් කුට්ටි 300ක්ද මාස කිහිපයකට කන්න බොන්න හාල් එළවළු ඇතුළු බඩු ගොන්නක් ද රැගෙනය. මෙහි නියමුවා වූයේ නාකුළුගමුවේ පදිංචිකරුවෙක් වූ උදයංගය. වයස අවුරුදු 32ක් වූ ඔහු මහා මුහුද කා සිටියෙකි. ඔහුට මුහුද ගොඩබිමට වඩා හුරු අයෙකි. ඔහුගේ සහයට මේ බහුදින යාත්‍රාවේ තවත් කිහිපදෙනෙකුම රැඳී සිටියේය. ඒ අය අතර ත්‍රිකුණාමයේ සමීර ද, නාකුළුගමුවේ තේෂාන් සහ ශිරාල් ද, නෙටොල්පිටියේ තිළිණ ද, කුඩා වැල්ලේ පියුම් ද සිටියේය. බෝට්ටු හිමිකරු මේ අයව මහා මුහුදට පිටත් කර යවන්නේ මාළු අල්ලන්නට වූවත් සැබෑ ලෙසම මේ කණ්ඩායම මෙදා මුහුදු යන්නේ මාළු අල්ලනවා වෙනුවට මත්කුඩු තොගයක් ගොඩබිමට ආරක්ෂිතව රැගෙන ඒම අරමුණු කරගෙනය. මේ බව යාත්‍රාවේ හිමිකරු දැන සිටියේ දැයි මෙතෙක් තොරතුරු කිසිවක් අනාවරණය වී නැතත් යාත්‍රාවේ නියමුවා නම් මුහුදට එදා යන්නේම මේ මත්කුඩු තොගය ගොඩබිමට ගෙන ඒමේ සූදානමක් ඇතිවය.

මෙම මත්කුඩු ජාවාරම මුළුමනින්ම ක්‍රියාත්මක වන්නේ ඩුබායි කේන්ද්‍ර කර ගනිමිනි. මහ මොළකරුවන් ලෙස දැනට හඳුනාගෙන සිටින්නේ හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙක් වන රන් මල්ලී සහ මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධාන ගෝලයෙක් වන කැවුමාය. පසුගිය 2021 වසරේ ජූලි 17 වෙනිදා දකුණේ පොලිස් කණ්ඩායමක් විසින් කළ වැටලීමකදී පන්නිපිටිය පැත්තේ නිවෙසක මිදුලේ වළ දමා තිබී හමුවන මිලියන 13.9ක් වූ මුදල පවා රන් මල්ලීගේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ වූවකි. එම නිවසේ එකල පදිංචිව සිටියේ රන් මල්ලීගේ බිරියගේ සහෝදරයාය. කැවුමා එදා සිටම මාකඳුරේ මධුෂ්ගේ මත්කුඩු ජාලය මෙරට මෙහෙයවන ලද මහ මොළයකි. 2019 වසරේ මාර්තු 05 වෙනිදා පානදුර ප්‍ර ‍ෙද්ශ -යේදී කැවුමාව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පන්නිපිටියේ සිදුවූ රුපියල් කෝටි 500ක් වටිනා බව කී දියමන්ති කොල්ලයක් සම්බන්ධයෙනි. මාකඳුරේ මධුෂ් විසින් ඩුබායි සිට එම කොල්ලය එදා මෙහෙයවා තිබුණේ කැවුමා මඟින් විදේශිකයෙකුද යොදාගෙනය. දියමන්තිය රටින් පිටකිරීමට පෙර පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කැවුමා අත්අඩංගුවට ගන්නේ දියමන්තියද සමඟිනි. අනතුරුව රුපියල් කෝටි ගාණක මුදලක් කැවුමා සතුව තිබී සොයා ගත්තේය. ඒ හැරුණු කොට පොලිස් විශේෂ කාර්ය බළකාය කැවුමා නවාතැන්ගෙන සිටි මොරටුවේ බෝඩිම් කාමරයක සඟවා තිබුණු හොරොයින් කිලෝ 177ක්ද එකල සොයා ගත්තේය. අවසානයේදී සිදු වන්නේ අධිකරණයෙන් ඇප ලැබුණු පසු කැවුමා හොර රහසේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පලා යෑමය. දැන් මාකඳුරේ මධුෂ් සහ හරක් කටා නොමැති අඩුව පුරවමින් සිටින්නේ කැවුමා සහ රන් කැටියාය.

කැවුමා සහ රන් කැටියා එක්ව කරන්නේ මත්කුඩු ජාවාරමේ නිරතව සිටිනවාට වඩා මත්කුඩු ප්‍රවාහනය කිරීමේ කොන්ත්‍රාත් භාර ගැනීමය. ඒ මහා මුහුදේ සිට ගොඩබිමට ආරක්ෂාකාරීව රැගෙන විත් අවශ්‍ය තැන්වලට රැගෙන ගොස් භාරදීමය. මෙවරත් සිදුවෙමින් තිබුණේ එවන් කටයුත්තකි. ඒ සඳහා මෙම යාත්‍රාවේ නියමුවාව ඔවුන් දෙදෙනා විසින් අල්ලා ගන්නේ දකුණේ යම් පුද්ගලයෙක් මඟිනි. එම පුද්ගලයා කවුරුන්දැයි දැන් පැහැදිලිවම හෙළිවී හමාරය. ඒ යාත්‍රාවේ නියමුවා දැන් සිටින්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ බැවින් හැම දෙයක්ම ඔහු වමාරමින් සිටින බැවිනි. හැබැයි තාමත් ඒ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන නැත. එහෙත් වැඩි දිනක් යන්නට මත්තෙන් ඔහුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කොටු කර ගනු ඇත.

මේ කියන පුද්ගලයා සිදු කරනු ලබන්නේ යාත්‍රාවේ නියමුවාව ඩුබායි ජාවාරම්කරුවන්ට මුණගැස්සවීමය. ඒ දුරකතන ඔස්සේය. මත්කුඩු තොගය ගොඩබිමට රැගෙන එනවා වෙනුවට ඩුබායි ජාවාරම්කරුවන් නියමුවාට පොරොන්දු වන්නේ රුපියල් කෝටි 02ක මුදලකි. ඒ මුදල ලැබෙන්නේ කණ්ඩායම අතර බෙදා ගැනීමටය. ඒ හැරුණු කොට නියමුවාට නිවෙසක් තනා දීමට ද ඩුබායි ජාවාරම්කරුවන් පොරොන්දුවක් දෙන්නේ ඉදිරියටත් ඔහුගේ සේවය ලබා ගැනීම වෙනුවෙන් විය හැකිය.

එදා මාර්තු 20 වෙනිදා මාළු අල්ලන්නට ගැඹුරු මුහුදට යාත්‍රා කරන සලීන් 02 යාත්‍රාව දින අටක් නමයක් ගිය තැන මාළු අල්ලමින් ගමන් කරන්නට වූයේ ජාත්‍යන්තර මුහුදු සීමාව වෙතය. ඒ චන්ද්‍රිකා දුරකතන ඔස්සේ ඩුබායි ජාවාරම්කරුවන් සමඟ සිදු කෙරන සන්නිවේදන ඔස්සේ මත්කුඩු තොගය ජාත්‍යන්තර මුහුදේදී භාර ගැනීමටය.

ඒ වන විටත් පකිස්ථානු මත්කුඩු ජාවාරම්කරුවන් විසින් බෝට්ටුවක පැටවූ හෙරොයින් තිබී ඇත්තේ රැගෙන එමිනි. පාකිස්තානයේ සිටින හැම ජාවාරම්කරුවකුගේම මත්කුඩු රටවල් අතර ප්‍රවාහනය කෙරෙන්නේ හාජි සාලිම් ය. රටවල් රැසකටම අවශ්‍ය පුද්ගලයෙක් ලෙස නම් කර ඇති හාජි සාලිම්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදන පවා නිකුත් කර තිබේ. හාජි සාලිම්ට මත්කුඩු ප්‍රවාහනය කිරීමේ කොන්ත්‍රාත් ලැබෙන්නේ ඩුබායි හරහාය. ඒ ඔහුගේ ගෝල බාලයින් රැසක්ම සිටින්නේ ඩුබායිවල බැවිනි. ඕනෑම රටක මත්කුඩු ජාවාරම්කරුවෙක් පකිස්තානයෙන් හෙරොයින් හෝ අයිස් ඇණවුම් කරන්නේ නම් ඒ හැම මත්කුඩක්ම මහා මුහුදෙන් ප්‍රවාහනය කරගන්නට අවශ්‍ය නම් සම්බන්ධ විය යුත්තේ හාජි සාලිම්ගේ නියෝජිතයන් සමඟිනි. මෙම මත්කුඩු තොගය පවා ප්‍රවාහනය වන්නේ ඒ ඔස්සේ බව ඒ අනුව පැහැදිලිය.

පාකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ හාජි සාලිම් විසින් වැඩි වශයෙන් මත්කුඩු ප්‍රවාහනය කරනු ලබන්නේ කුලියට ගත් ඉරාන් ධිවරයන් සහ යාත්‍රා යොදාගෙනය. ඒ හැරුණු කොට පාකිස්තානු ධීවරයන්ද කුලියට ගත් අවස්ථා ද නැත්තේම නැත. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කර ඇති වැටලීම්වලින් ද පාකිස්ථානු සහ ඉරාන් ධීවර යාත්‍රා මඟින් රැගෙන ආ මත්කුඩු තොග කෙතෙකුත් අත්අඩංගුවට ගෙන ඇත. නමුත් වැඩි වශයෙන් මේ කටයුත්තට කුළියට ගන්නේ නම් ඉරාන් ධීවරයන්වය. පාකිස්තානයට යාබද ඉරාන් දේශ සීමාවේ සිටින ධීවර කාර්මිකයන් ඒ සඳහා ඔවුන් කුලියට ගන්නේ එක් ගමන් වාරයක් සඳහා ඉරාන් මුදල් මිලියන 03 කට වැඩි මුදලක් ගෙවමිනි. මෙවරද පකිස්ථාන් ජාවාරම්කරුවන් මෙම හෙරොයින් තොගය රැගෙන ආවේ යැයි කියැවෙන්නේ එසේ කුලියට ගත් යාත්‍රාවකිනි. ඉරානයේ සිට එන මෙවන් යාත්‍රා නැංගුරම් ලා තැබෙන්නේ ඉරානයේ konarak ධීවර වරායේය.

එම ධිවර වරාය පිහිටා ඇත්තේ ඉරාන් පකිස්තාන් දේශසීමාවට යාබදවය.

මත්ද්‍රව්‍ය තොග ප්‍රවාහනය කරන යාත්‍රා පකිස්ථානයේ සිට මත්ද්‍රව්‍ය තොග රැගෙන යාත්‍රා කරනු ලබන්නේ ද අනපේක්ෂිත කාලගුණික හෝ ආරක්ෂක තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවුවහොත් වැඩි කාලයක් මුහුදේ රැඳී සිටීමේ සූදානමක් ද ඇතිවය. ඒ දැන් පෙරට වඩා ඉන්දියන් සාගරයේ ඉන්දියානු වෙරළ ආරක්ෂක බළකාය පාකිස්තානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දැල එළා ඇති බැවිනි. ඒ මේ වන විට ඉන්දියානු ජාතික ආරක්ෂාවට පවා පාකිස්තානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලොකු තර්ජනයක් බවට පත්ව ඇති බැවිනි. ඉන්දියාවේ රැඳී සිටිමින් පාකිස්තානය සමඟ මත්කුඩු ජාවාරමේ නිරතව සිටි කිඹුලා ඇළ ගුණා, බුම්මා, කොටගාමිණි, සුරේෂ්, පූකුඩිකන්නා වැනි මෙරට මත්කුඩු ජාවාරම්කරුවන් රැසක්ම බුරුතු පිටින් අල්ලා ඉන්දියානු ආරක්ෂක අංශ විසින් කොටු කරගෙන සිටින්නේද එබැවිනි. ඒ මත්කුඩු සමඟ පාකිස්තානයේ සිට අවි ආයුධ පවා දැන් හුවමාරු වෙමින් ඇති බැවිනි. මෙරට පාතාලයට පසුගිය කාලයේ වැඩි වශයෙන් ආයුධ ගලා ආවේද පාකිස්තානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මඟිනි. ඒ මත්කුඩු රැගෙන ආ බෝට්ටුවල සඟවාය.

ඉන්දියානු සාගර කලාපය ඔස්සේ පාකිස්තානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කරනු ලබන ජාවාරම් මැඬලීමට සීරුවෙන් සිටින ඉන්දියානු වෙරළ ආරක්ෂක බළකාය මඟ හැර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම මත්කුඩු ජාවාරම්කරුවන්ට ඇත්තේ දැන් ලොකු අභියෝගයකි. පසුගිය 15 වෙනිදා මෙරටදී අල්ලා ගන්නේ එසේ ඉන්දියානු වෙරළ ආරක්ෂක බලකාය මඟහැර පාකිස්තානයේ සිට රැගෙන ආ හෙරොයින් තොගයකි. හැබැයි මෙහිදී කවුරුත් නොදන්නා රහසක් වන්නේ පාකිස්තානු වෙරළාරක්ෂක බළකායේ මුර යාත්‍රා මඟහැර ඉන්දියානු සීමාව පැන ගත්තත් එම බෝට්ටුව දෙස ඉන්දියානු මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිටියේ නිරතරයෙන් ඇස ගසාගෙනය. ඒ සඳහා ඔවුන් චන්ද්‍රිකා තාක්ෂණයේ සහය පවා උපරිමය ගෙන තිබුණේය. සිය සීමාව පසුකරගෙන පාකිස්තානයේ සිට එන මෙම මත්කුඩු පැටවූ බෝට්ටුවේ ගමන් මඟ නිරීක්ෂණය කිරීමේදී ඉන්දියානු මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සහ එරට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ එය ගමන් කරන්නේ ශ්‍රී ලංකාව දෙසට බවය. ඒ අනුව ඔවුන් අනුමාන කරනු ලබන්නේ එහි ඇති මත්ද්‍රව්‍ය තොගය රැගෙන එන්නේ ශ්‍රී ලංකාවට ගොඩබෑමට බවය. ඒ ගැන තොරතුර ඉන්දියානු මත්ද්‍රව්‍ය කාර්යාංශය දැනුම් දීමක් කරනුයේ මෙරට මත්ද්‍රව්‍ය කාර්යාංශයටය. ඒ දෙපාර්ශ්වය අතර සහයෝගයෙන් බොහෝ කාර්යයන් කාලයක් තිස්සේ කරගෙන යන බැවිනි.

ඉන්දියානු ඔත්තුවෙන් කියැවුණු මේ යාත්‍රාව කිසිවිටකත් අපේ රටේ මුහුදු තීරයට හෝ ගොඩබිම් තීරයකට නොඑන බව පැහැදිලිවම මෙරට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය දැන සිටියේය. සිදුවන්නේ මෙරටින් ගැඹුරු මුහුදට යන ධීවර යාත්‍රාවක් මඟින් එම මත්ද්‍රව්‍ය තොගය බාරගෙන ගොඩබිමට රැගෙන ඒමය. මේ නිසා කළ යුතුව ඇත්තේ එසේ ගැඹුරු මුහුදට ගොස් මෙම මත්ද්‍රව්‍ය තොගය බාර ගන්නා මෙරට ධීවර යාත්‍රාව හඳුනා ගැනීමය. ඒත් එක්කම පකිස්තානයේ සිට මත්ද්‍රව්‍ය තොගය රැගෙන එන යාත්‍රාවේ ගමන් මඟ ද නිරන්තරයෙන් නිරීක්ෂණය කළ යුතුය. මත්ද්‍රව්‍ය තොගය බාර ගන්නා මෙරට යාත්‍රාව හඳුනා ගැනීමට හැකියාව ලැබෙන්නේ ඒ ඔස්සේ කෙරෙන තාක්ෂණික මෙහෙයුමකිනි. එම මෙහෙයුම සිදුවූයේ රාජ්‍ය බුද්ධි සේවය ඔස්සේය. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවූවත් රාජ්‍ය බුද්ධි සේවය ලොකු සේවයක් මෙහිදී සිදු කළේය.

පකිස්තානයේ සිට ජාත්‍යන්තර මුහුදු සීමාවට බහුදින යාත්‍රාවකින් රැගෙන ආ හෙරොයින් තොගය බාරගෙන ගොඩබිමට රැගෙන එමින් ඇති සලීන් 02 බහුදින යාත්‍රාව එසේ රාජ්‍ය බුද්ධි සේවයේ තාක්ෂණික මෙහෙයුමකින් හඳුනා ගැනීමකින් අනතුරුව එම යාත්‍රාව කොටුකර ගැනීමේ ඊළඟ මෙහෙයුම දියත් වෙන්නේ නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයැවීමෙනි.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සමුද්‍රාරක්ෂක නෞකාව මෙම මෙහෙයුමේදී විශාල කාර්ය භාරයක් ඉටු කරනු ලබන්නේ ශ්‍රී ලංකාවට දකුණින් හම්බන්තොට කුඩා රාවණා ප්‍රදේශයේ සිට නාවුක සැතපුම් 132ක් දුරින් ගැඹුරු මුහුදේදී සලීන් 02 බහුදින යාත්‍රාව කොටු කර ගනිමිනි. ඒ පසුගිය 15 වෙනිදාය. නාවික හමුදාව විසින් සලීන් 02 යාත්‍රාව මත්කුඩු තොගය සමඟ ගාල්ල වරයාට රැගෙන එන්නේ 17 වෙනිදාය. එහි ඇති හොරොයින් ප්‍රමාණය කිරා මැන බැලෙන්නේ එහිදීය. එදා මේ හෙරොයින් තොගය ගොඩබිමට රැගෙන ආ විට එය නිරීක්ෂණය කිරීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ද එහි ආවේය. එහිදී වැටලීම කළ නිලධාරීන්ව ඔහු දිරිමත් කළේ තවදුරටත් ඒ අයව මෙවැනි වැටලීම් සඳහා දිරිමත් කරමිනි.

මත්කුඩු කිලෝ 179යි ග්‍රෑම් 654ක් සමඟ සලීන් 02 බහුදින යාත්‍රාව කොටුකර ගැනීමත් සමඟ සියල්ල අවසන් වූයේ නැත. සැබෑ විමර්ශන සිදුවන්නේ දැන්ය. ඒ මෙම මත්කුඩු ජාලයේ සැඟවුණු චරිත හඳුනා ගැනීමටය. කැවුමා සහ රන් මල්ලී ගැන පවා තොරතුරු එළියට එන්නේ එහිදීය. කැවුමා සහ රන් මල්ලී මෙම මත්කුඩු තොගයේ මෙරට ප්‍රවාහන ඒජන්තවරුන් වූවත් මෙහි සැබෑ හිමිකරුවන් කවුරුන් දැයි මෙතෙක් නිශ්චිත ලෙස හඳුනාගෙන නැත. සැකයට ලක්ව සිටින්නේ බටුවත්තේ චාමර, මාකිලංගමුවේ සංජීව සහ විදුරගේ ඇණවුම්වලට අනුව මෙම මත්කුඩු තොගය මෙරටට රැගෙන විත් ඇති බවකි. මේ තිදෙනා ද සිටින්නේ රටවල් තුනකය. චාමර ඉන්නේ ඩුබායිවලය. සංජීව රැඳී සිටින්නේ යැයි කියැවෙන්නේ ඉන්දියාවේය. ඔහු මෑතකදී එංගලන්තයට පැනගත් බවට වූ තහවුරු නොවූ තොරතුරුද නැත්තේම නැත. විදුර සිටින්නේ ඉතාලියේය. මේ අය හැරුණු කොට තවත් පැත්තකින් සැකයක් මතු වන්නේ මෙම මත්කුඩු තොගය පිටුපස රූබන් සිටින බවය. ප්‍රංශයේත් එංගලන්තයේන් විටෙන් විට දැකිය හැකි චරිතයක් වන රූබන් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකි. බටුවත්තේ සංජීව පසුගිය කාලයේ මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් ක්‍රියාකාරී මට්ටමේ නොසිටි බැවින් විමර්ශන කණ්ඩායම්වලට යම් සැකයක් මතුව ඇත්තේ රූබන් මේ පිටුපස සිටින බවකි.

මේ දේවල් මෙතෙක් නිශ්චිත ලෙස තහවුරු වී නැතත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය දැඩි වෙහෙසක නිරතව සිටින්නේ මෙම මත්කුඩු ජාවාරම පිටුපස සිටින සෙසු ජාවාරම්කරුවන් හඳුනා ගන්නටය. ඒ අතරම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුත්තේ මෙරට ඉතිහාසයේ ලියැවී ඇති සිවු වසරකට පෙර මහ මුහුදෙන් අල්ලා ගත් කිලෝ 263ක් වූ හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් මෑතකදී නිදහස් වූ ආකාරයට අනුව තවදුරටත් මත්කුඩු ජාවාරම්කරුවන්ට නිදහස නොලැබෙන ආකාරයට වැඩ කිරීමය. එසේ නොමැති වුවහොත් හෙට දිනයේදී මේ අල්ලා ගන්නා හැම මත්කුඩු ජාවාරම්කරුවකුටම නිදහස උරුම වනු ඇත.


ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ ශ්‍රී ලංකාවේ කේන්ද්‍රස්ථාන ඉතිහාසය

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතව සිටින බව මුලින්ම හෙළිවන්නේ වර්ෂ 1960 දීය. ඒ පර්සියාවේ සිට කොළඹ වරායට පැමිණි ජෙහිලා නැමැති නෞකාවේ සඟවා අබිං තොගයක් හමුවීමත් සමඟිනි. එම අබිං තොගය ප්‍රවාහනය කරන්නට සැලසුම් කර තිබෙන්නේ ශ්‍රී ලංකාව හරහා ඕස්ට්‍රේලියාවටය.

නැවතත් ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම වන බවක් හෙළි වන්නේ ඕස්ට්‍රෙලියාවෙනි. ඒ එරට කැන්බරා වරායට ශ්‍රී ලංකාවෙන් පැමිණි නෞකාවක සඟවා තිබූ ගංජා තොගයක් එරට බලධාරීන්ට හමුවීමත් සමඟිනි. එම ගංජා තොගය හසුවන්නේ 1981 වසරේ අප්‍රේල් 20 වෙනිදාය. ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විසින් ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් අනාවරණය වී තිබුනේ ගංජා තොගය නැව් ගත කර ඇත්තේ ලංකාවෙන් බවය. ඒ අනුව එකී ගංජා තොගය නැව්ගත කළ ප්‍රධාන ජාවාරම්කරු කොස්ලන්දේදී අත්අඩංගුවට ගන්නේ අපේ රටේ පොලිසියයි.

ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙන ජාත්‍යන්තර වශයෙන් හෙරොයින් බෙදාහැරීම් සිදුවන බව මුලින්ම හෙළිවන්නේ 1989 වසරේදීය. ඒ හෙරොයින් කිලෝ 37 ක් සමඟ නයිජීරියාවේදී එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා නයිජීරියානුවන් තිදෙනෙකුගෙනි. ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ හොර රහසේ ප්‍රවාහනය කර තිබුණු එම හොරොයින් තොගය ඔවුන් නයිජීරියාවට රැගෙන ගොස් තිබුණේ යුරෝපීය රටවලට බෙදා හරින්නටය.

මේ වකවානුවේදීම කොළඹ වරායට සේන්දු වූ හෙන්රිච් නැමැති විදේශීය නෞකාවකින් කොකේන් කිලෝ 04කුත්, හසීස් කිලෝ 11 කුත්, හෙරොයින් කිලෝ 01 කුත් හමුවන්නේ ශ්‍රී ලංකා කේන්ද්‍ර කර ගනිමින් සිදුවන තවත් එක් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක් අනාවරණය වෙමිනි. එම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබෙන්නේ නෞකාවේ පිටත බඳෙහි සවිකර තිබුණු අඩි 10 ක් පමණ වන සිලින්ඩරයකය.

නැවතත් 1990 වසරේදී නයිජීරියානු කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනෙන්නේ හෙරොයින් කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සමඟිනි. ඉන්දියාවේ සිට ඇය එම හෙරොයින් තොගය මෙරටට රැගෙනවිත් තිබුණාය. එම හෙරොයින් තොගය ඔහු රැගෙන යන්නට සූදානම් වූයේ යුරෝපයේ රටකටය. එම වකවානුවේදීම ඕස්ට්‍රේලියානු ජාතික යුවළක් අත්අඩංගුවට ගන්නේ රහස් ප්‍රෙද්ශවල සඟවාගෙන ඕස්ට්‍රේලියාවට හෙරොයින් රැගෙන යන්නට සූදානම්ව සිටියදීය. හෙරොයින් ඔවුන් රැගෙනවිත් තිබුණේ බැංකොක් සිටය. මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම හෙළිවන්නේ ඕස්ට්‍රේලියානු කාන්තාව ගුවන්තොටුපොළේදී හදිසියේම රෝගී වී රෝහල් ගත කිරීම හේතුවෙනි. වාර්තාවලට අනුව ඇගේ රහස් තැන්වලින් පිටතට ගත් හෙරොයින් ප්‍රමාණය ග්රෑම් 200 කි.

ශ්‍රී ලංකා මුහුදු තීරය ඔස්සේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම සිදුවන බව මුලින්ම හෙළිවන්නේ 1996 වසරේ දෙසැම්බර් 22 දාය. ඒ හසීස් ප්‍රවාහනය කළ කුඩා නෞකාවක් හලාවත මුහුදු තීරයෙන් අත්අඩංගුවට ගැනීමත් සමඟිනි. හසීස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ දස දහස් හත්සිය හතළිහක් 10740 ක් එකී නෞකාවේ තිබී සොයා ගත්තේය. එය මෙරට ඉතිහාසයේ එතෙක් මෙතෙක් කළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස ඉතිහාසගතවීද හමාරය.

ශ්‍රී ලංකාව පසුගිය කාලය පුරා පත්ව තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් බවටය. අපේ කලාපයේ රටක් වන ඇෆ්ගනිස්තානයේ නිෂ්පාදනය කරනු ලබන හෙරොයින් පාකිස්තානය හරහා ශ්‍රී ලංකාවට රැගෙනවිත් ලොව පුරා බෙදා හරින බව ඉන්දියානු මත්ද්‍රව්‍ය කාර්යාංශය පවා මෙරටට නිල වශයෙන් මේ වන විටත් දැනුම් දී හමාරය. ඒ 2017 වසරේ අග භාගයේදී මෙරටට රැගෙන එන්නට සූදානම් කර තිබුණු හෙරොයින් කිලෝ 1500 ක් පුරවන ලද බෝට්ටුවක් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේදී වෙරළාරක්ෂකයන්ට හසුවීමත් සමඟිනි.

අපේ රටේ තේ දල්ලට ඇති කීර්ති නාමය ද මත්ද්‍රව්‍ය ජාවාරමට යොදා ගනිමින් සිලෝ ටී නමින් හෙරොයින් අසුරා යුරෝපීය රටවල්වලට බෙදා හරින ජාවාරමක්ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හෙළි කර ගත්තේය. මැදපෙරදිග රටවලට හෙරොයින් රැගෙන යන්නේ එම රටවවල ගෘහ සේවයට යන කාන්තාවන් යොදා ගනිමිනි.

මාලදිවයිනටත් , ඕස්ට්‍රේලියාවටත්, අප්‍රිකානු රටවල් රැසකටත්, යුරෝපීය රටවල් කිහිපයකටත්, මැදපෙරදිග රටවලටත් මත්ද්‍රව්‍ය බෙදාහරින කේන්ද්‍රස්ථානය බවට ඒත් එක්කම පත්ව තිබිණි. සීනි කන්ටේනර්වල සඟවා මෙරටට කොකේන් කිලෝ සිය ගණනින් රැගෙන ආවේද ඕස්ට්‍රේලියාවට සහ යුරෝපීය රටවල් රැසකට බෙදා හරින්නටය. එම මත්ද්‍රව්‍ය ජාලයන්ට සම්බන්ධ වූ ශ්‍රී ලංකිකයන් ගොන්නක්ම මේ වන විට ඉන්දියාව, ප්‍රංශය, ඉතාලිය, ඩෙන්මාර්කය, කැනඩාව, ජර්මනිය, සවුදි ආරාබිය, දෝහා කටාර්, අමරිකාව, ඕස්ට්‍රේලියාව, පකිස්තානය, සිංගප්පූරුව, ස්විඩනය, එක්සත් අරාබි එමීර් එමීර් රාජ්‍ය, නෙදර්ලන්තය, ලෙබනනය, සහ මාලදිවයින යන රටවල සිරබත් කමින්ද සිටිති. කෙසේ වෙතත් මේ වන විට එම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය බිඳ දැමීමට අපේ රටේ ආරක්ෂක අංශය මේ වන විටත් දැවැන්ත කාර්ය භාරයක් ඉටුකරමින් සිටිති.

Comments