ඔන්ලයින් ක්‍රමයෙන් විස්කම් පා සා/පෙළ ඉහළින් ප්‍රතිඵල පෙන්වූ මිනුවන්ගොඩ ජනාධිපති විදුහල | සිළුමිණ

ඔන්ලයින් ක්‍රමයෙන් විස්කම් පා සා/පෙළ ඉහළින් ප්‍රතිඵල පෙන්වූ මිනුවන්ගොඩ ජනාධිපති විදුහල

සාමාන්‍ය පෙළ ඉහ­ළින්ම සමත් වූවෝ

- වසර ගණනාවක්ම එක දිගට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 100%ක්
- A 9 සාමාර්ථ 34 ක්, A 8 සාමාර්ථ 36ක්, A 7 සාමාර්ථ 21ක්
- බස්නාහිර පාසල් අතර විශිෂ්ටතම ප්‍රතිඵල

දා මිනුවන්ගොඩ නාලන්දා පිරිමි මධ්‍ය විදුහලේ ජාපලවත්ත ශාඛාව නමින් ඇරඹි පසුව මිනුවන්ගොඩ ජනාධිපති විදුහල නමින් ස්වාධීන වූ අධ්‍යාපනයේ මුදුන් මල් කඩක් වූ මේ තෝතැන්නට ආරම්භයක් සපයන්නේ 1979 පෙබරවාරි 9 වැනිදාය. එදා පමණක් නොව වර්තමානයේ ද සිසුන් 2,465 දෙනකුගේ අධ්‍යාපන පිපාසය නිවන මේ අධ්‍යාපන තෝතැන්නෙන් රටට බිහිවූ වියතුන්, උගතුන් බොහෝය. එදා සිසුන් 225කගෙන් ඇරඹි මේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළුව ගුරුවරු 6 දෙනෙක් කැප වූයේ සිසු අධ්‍යාපනයට මුල පුරන්නටය. 

අක්කර 26ක භූමි භාගයක ඉදිවූ මේ පාසලේ ඉඩම වෙන් කිරීමේ කටයුතු සිදු කර ඇත්තේ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ බෙනට් ගුණසේකරය. කොළඹ ජාතික පාසල් මෙන් සුපිරි පහසුකම් සපිරි පාසලක් මේ මිනුවන්ගොඩ කලාපයට ලබා දීම, මේ පාසල ආරම්භ කිරීමේ අරමුණ වූ අතර එදා ගොඩනැගිලි දෙකකින් සිසු අධ්‍යාපනය ලබා දීමේ කර්තව්‍යය සිදුවිය. ආරම්භක වසරේදීම මේ පාසල 1A මිශ්‍ර පාසලක් ලෙසට උසස් වූ අතර, ප්‍රථමයෙන් සාමාන්‍ය පෙළට සිසුහු ඉදිරිපත් වූයේ 1983 දීය.

මිනුවන්ගොඩ ජනාධිපති විදුහලේ මුල්ම විදුහල්පති වූයේ ආර්.එල්. පී.පී රාජපක්ෂය. වර්තමානයේ විදුහල්පති ධූරය හොබවන්නේ මිනුවන්ගොඩ ජනාධිපති විදුහලේ 8 වැනි විදුහල්පතිවරයා වූ ඒ. විපුලසේනය. ගුරුවරු 82ක් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය 8 දෙනෙකුගෙන් සමන්විත වූ මේ පාසලට සිසුන් ඇතුළත් කරන්නේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙනි. එදා මෙදාතුර පාසල ආ ගමන් මඟේ පාසල විසින් අත්කරගත් ජයග්‍රහණ බොහෝය. මිනුවන්ගොඩ පළාත් අධ්‍යාපන කාර්යාලයේ වූ පළාත් පාසලක් වශයෙන් පාලනය වන මෙහි අද වන විට පළාතේ ඉහළ සාධනීය ප්‍රතිඵල පෙන්නුම් කරන පාසලක් බවට පත්වී හමාරය. සාමාන්‍ය ප්‍රතිඵල පිළිබඳ විභාග දෙපාර්තමේන්තු විශ්ලේෂණයේදී ඉහළ සාධන මට්ටමක් පෙන්නුම් කරන පාසලක් බවට මිනුවන්ගොඩ ජනාධිපති විදුහල පත්ව ඇත. ඒ පසුගිය වසරේ පමණක් නොව වසර ගණනාවක් පුරාවටම ඉහළම සාමාන්‍ය ප්‍රතිඵල වාර්තා කරන්නට මේ පාසලට හැකි වීමෙනි. ඒ සාමාන්‍ය පෙළ 100% ක සාධනීයත්වයක් පෙන්වමිනි.

පසුගිය ප්‍රතිඵල නිකුත් වූ 2022 සාමාන්‍ය පෙළ විභාගයේදී සිසුන් 179 දෙනෙක් විභාගයට පෙනී සිටි අතර, එම සියලු දෙනාම උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූහ. ඒ අනුව පසුගිය සාමාන්‍ය පෙළ විභාගයෙන් 100% ක සාමාර්ථයක් වාර්තා කිරීමට මිනුවන්ගොඩ ජනාධිපති විදුහල සමත් වී ඇත. එපමණක් නොව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන පාසල් අතර විශිෂ්ටතම ප්‍රතිඵල පෙන්වූ පාසල බවට පත්වීමට ද මේ ලබා ගත් ජයග්‍රහණය හේතුවක් විය. 2020 වසරේදී ද සාමාන්‍ය පෙළ විශිෂ්ට පාසල් අතර 11 වැනි ස්ථානයත්, 2019 වසරේදි සාමාන්‍ය පෙළ විශිෂ්ට පාසල් අතර 7 වැනි ස්ථානයත් වාර්තා කිරීමට හැකි වී ඇත්තේ මිනුවන්ගොඩ ජනාධිපති විදුහලටය.

කොවිඩ් අභියෝග හමුවේ වුවද සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ සාමාර්ථ වාර්තා කළ මිනුවන්ගොඩ ජනාධිපති විදුහලේ ඒ ඒ විෂයයන්ටද ඉහළ සාමාර්ථ වාර්තා කළහ. 2022 (2021) සාමාන්‍ය පෙළ විභාගයේදී විභාගයට පෙනි සිටි 179 ක් වූ අපේක්ෂකයන් අතරින් A 9 සාමාර්ථ 34ක්, A 8 සාමාර්ථ 36ක් හා A 7 සාමාර්ථ 21 ක් ලබා ගත්තේ පාසල් ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමිනි. ඒ ඒ විෂයයට ලබාගත් A සාමාර්ථ සැලකු විට ගණිතයට 148ක්, විද්‍යාවට 111ක්, බුද්ධාගමට 152ක්, සිංහල 127ක්, ඉතිහාසය 98ක් හා ඉංග්‍රීසි 94 ක් වශයෙනි. එසේම තොරතුරු තාක්ෂණ විෂයයට පෙනී සිටි සිසුන් 59 න් 54 කටම A සාමාර්ථ විය.

දැඩි කොවිඩ් අභියෝග මධ්‍යයේ සාමාන්‍ය පෙළට සිසුන් ඉදිරිපත් කිරීමට පාසල ගත් වෙහෙස අපමණය. Online School හෙවත් මාර්ගගත පාසලක් ආරම්භ කිරීම මේ ගමනේ මුල්ම පියවර විය. කොවිඩ් අභියෝග පැවති කාලයේ පාසල් අධ්‍යාපනයේ කටයුතු ඉදිරියට ගෙන යෑමට මේ මාර්ගගත පාසල ඉවහල් වූ අතර, මේ සඳහා පාසල් පන්ති කාමර, පුස්තකාල මෙන්ම විද්‍යාගාර ද ඊට සරිලන පරිදි මාර්ගගත ක්‍රමයකට සකස් කරවීය. මාර්ගගත පාසලේ ඉදිරි කටයුතු සූදානම් වූයේ වසර දෙක තුනක් ඉදිරියට පවතින පරිදීය. මෙම මාර්ගගත පාසලටම වෙබ් අඩවියක් නිර්මාණය වූයේ දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු ප්‍රවේශයට මාර්ගයක් විවර කරමිනි. සිසුන් සඳහා ප්‍රශ්න පත්‍ර, විෂය මාලාවේ පාඩම් මෙන්ම ඇගැයීම් සියල්ලටම පහසුවෙන් මේ වෙබ් අඩවිය හරහා සම්බන්ධ වීමට අවස්ථාව උදා විය. මේ සඳහා ගුරු පුහුණු වීම් සිදු කළේ දැඩි කොවිඩ් අභියෝග මධ්‍යයේය. උදැසන 7.30 සිට දහවල් 1.30 දක්වා මාර්ගගත අධ්‍යාපන කාලසටහන් අනුව අධ්‍යාපන කටයුතු හැඩ ගැසුණේ 'කොවිඩ් ජයගමු' යන තේමාව පෙරදැරි කරගෙනය. පාසල් දින පැවැත්වෙන උදෑසන රැස්විම් සඳහා වෙනමම පන්ති කාමරයක් සැකසුණේ මාර්ගගත ක්‍රමයටම ඒ කටයුතු නිසි පරිදි ඉටු කිරීමටය. සිසුන් 3,000ක් වැනි විශාල ප්‍රමාණයක් එක්වර මාර්ගගත ක්‍රමය හරහා සම්බන්ධ කර ගැනීමට මයික්‍රොසොෆ්ට් ටීම් භාවිත විය. පාසල් කාලයේ මාර්ගගත පන්ති පවත්වා සවස් කාලයේ සිට රාත්‍රිය දක්වා විශේෂ පන්ති පැවැත්වූයේ විභාගයට සුදානම් වන විශේෂ අවධානයක් යොමු කළ යුතු සිසුන් වෙනුවෙන් හා අමාරු විෂයය කරුණු ධාරණය කරවනු පිණිසය.

මේ මාර්ගගත පාසලේ තවත් විශේෂත්වයක් වූයේ සාමාන්‍ය පෙළ සිසුන් ඒ ඒ අවශ්‍යතා සඳහා මාර්ගගත පන්ති කාමරවලට වෙන් කිරීමට හැකි වීමය. මෙම මාර්ගගත පංතිකාමරවලට සිසුන් වෙන් කර නාට්‍ය පුහුණුවීම් පැවැත්වීම, සමිති සමාගම් පැවැත් වීම, සිසුන්ට වෙහෙසකාරී අධ්‍යාපන රටාවෙන් මිදෙනු වස් විශේෂාංග පැවැත්වීම වෙනුවෙනි. එහිදී සිසුන් විසින් සිදු කරන නිර්මාණ සඳහා තෑගි ලබා දීම් ඇතුළු සියලු දේ සිදු වූයේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය හරහාය.

කොවිඩ්වලින් අනතුරුව පාසල් ආරම්භයත් සමඟ මාර්ගගත අධ්‍යාපනයෙන් ගිලිහුණු සිසුන්ගේ ගිලිහී ගිය අධ්‍යාපන කොටස් ආවරණය කිරීමට ගුරුවරු කටයුතු කළහ. අඩු ලකුණු ගත් සිසුන් කොටස් කරමින් උදෑසන 6 සිට 7.30 දක්වාත් අනතුරව අමතර පන්ති සඳහා පාසල් වෙලාවෙන් අනතුරුවත් පන්ති පැවැත් වූයේ ගුරුවරු සිය කාලය කැප කරමිනි. ඉංග්‍රිසි කඳවුරු මෙන්ම අනිකුත් විෂයන් සඳහා විෂය කඳවුරු පැවැත් වූයේ අඩු ලකුණු ගත් සිසුන් ඉලක්ක කර ගනිමිනි. මේ කඳවුරුවලදි දැනුම, විනෝදාස්වාදය මෙන්ම ප්‍රායෝගික විෂය කොටස් ද අරමුණු විය.

මාර්ගගත අධ්‍යාපනය හරහා සාමාන්‍ය පෙළ අධ්‍යාපන කටයුතු සිදුවුවද සෑම සිසුවකුටම ඉලක්කයක් ලබා දීමට ගුරුවරු කටයුතු කළහ. 6- 9 ශ්‍රේණි දක්වා වූ සිසුන් වාර විභාගයෙන් ලකුණු 1,000 ට වඩා ගත යුතු අතර, 10-11 ශ්‍රේණි සිසුහු වාර විභාග ලකුණු 700 ක් ගත යුතු විය. එසේ ලබාගත් සිසුන්ට පදක්කම් හා සහතික ලබා දුන් අතර, විෂයයන් සඳහා ලකුණු 90 ට වඩා ගත් සිසුන්ට තරු වැඩසටහන් හරහා ඇගැයීමට ලක් කෙරිණි.

ඉකුත් වසරේදී මෙන්ම පසුගිය වසරවලදීද සාමාන්‍ය පෙළ 100% ක සාමාර්ථ වාර්තා කිරීම මිනුවන්ගොඩ ජනාධිපති විදුහල ලද විශිෂ්ට ජයග්‍රණයකි. 2022 සාමාන්‍ය පෙළ කිසිදු සිසුවකු අසමත් වී නැත. මේ සියලු ජයග්‍රහණ පාසල විසින් අත්පත් කර ගත්තේ අමතර විෂය හා බාහිර වැඩවලට ද සිසුන් යොමු කරවමිනි. පාසලේ ක්‍රීඩා 15ක් මෙන්ම සංගම් 25 ක්ද අතර සමස්ත ලංකා මලල ක්‍රීඩා, කලාප ක්‍රීඩා මෙන්ම කරාතේ තරගවලින්ද ජයග්‍රහණ හිමිකර ගත් බොහෝ දරුවෝ සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වූවෝ වෙති. 2022 ජාතික ඵලදායිතා ලේකම් කර්යාලය මඟින් පැවැත්වූ ජාතික ඵලදායිතා තරගාවලියේ කුසලතා සම්මානය හිමිකර ගත්තේ මිනුවන්ගොඩ ජනාධිපති විදුහලයි. 2021 වසරේදී සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සංවර්ධනය වෙනුවෙන් මිනුවන්ගොඩ කලාපය විසින් පිරිනමන ප්‍රශංසා සහතිකය හිමි වූයේ ද මේ පාසලටය. ලංකාවේ පාසලක් විසින් රෝවරි ස්කවුට් අංශයේ ඉහළම ජාත්‍යන්තර සම්මානය වන බේඩ්න් පවර් සම්මානය දිනා ගත්තේද මිනුවන්ගොඩ ජනාධිපති විදුහලයි. ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය වෙනුවෙන් බංග්ලාදේශයේ පැවැති පද්‍ය රචනා තරගයෙන් ලෝකඩ සම්මානය දිනා ගත්තේ පාසලේ සාමාන්‍ය පෙළට මුහුණ දුන් සිසුවෙකි. මේ සියලු විෂයය සමගාමි ක්‍රියාකාරකම් පිටුපස සිටින්නේ සහකාර විදුහල්පතිවරයකු වන එම්. පී. එස් චිත්‍රානන්ද මෙන්ම ක්‍රීඩා පුහුණුකරු ඊ.එම්. එල් මධුෂංකය. පාසලේ සියලු සංවර්ධන කටයුතු පිටුපස ආදි සිසු සංගම් ප්‍රබල ශක්තියක් වී ඇත්තේය. කොවිඩ් කාලයේ සිසුන්ගේ අඩුපාඩු සම්පූර්ණ කරමින් පාසලට අදත් ඔවුහු ශක්තියක් වී ඇත්තෝය.

විශිෂ්ට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් පාසල ලැබූ මේ ජයග්‍රහණයේදී වත්මන් විදුහල්පති සේම හිටපු විදුහල්පතිවරයකු වු පී.ටී.පී. ප්‍රනාන්දු ලබා දුන් සේවය විශිෂ්ටය. විදුහල්පති ඒ. විපුලසේන ඇතුළු නියෝජ්‍ය විදුහල්පතිනි ( අධ්‍යාපන පරිපාලන) චන්දිමා ජයසූරිය, අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති සම්පත් නිලගරත්න , සහකාර විදුහල්පතිවරු වන නිශාමි වාද්දුවගේ (අධ්‍යාපන සංවර්ධන), උපුල් ගුණසේකර, (අධ්‍යාපන පරිපාලන), සුදත් චිත්‍රානන්ද, (විෂය සමගාමි), අජිත් නිලන්ත (6-9 කණිෂ්ඨ අංශ ප්‍රධාන) මෙන්ම 10-11 අංශ ප්‍රධාන ඩී. රණවීර, 11 ශ්‍රේණි ප්‍රධාන කේ.එච් චම්පික, 10 ශ්‍රේණි ප්‍රධාන සුමිත් රාජපක්ෂ ඇතුළු සාමාන්‍ය පෙළ ඇතුළු සියලු ගුරු භවතුන්ගෙන් ලැබුණු සහාය අපමණය.

මේ ආ ගමන ශක්තිමක් කිරීමට ඉදිරියේදී සපුරාගත යුතු ඉලක්ක කිහිපයකි. 2018 වසරේදී සමාන්තර පංති සංඛ්‍යාව දෙකකින් වැඩි කිරීම මත මේ වන විට පාසලේ ඉඩකඩ ප්‍රමාණවත් නොමැත. පාසලේ තෙමහල් ගොඩනැඟිල්ල අබලන්ය. සිසුන් සඳහා වෙන්වූ ආපන ශාලාවේ සිට මේ දරුවෝ අකුරු කරති. මේ ගැටලු දෙස බලධාරින්ගේ අවධානය යොමු වන තෙක් පාසල බලා සිටියි. මිනුවන්ගොඩ ජනාධිපති විදුහලේ අභිමානය සුරැකෙමින් යන ගමනේදී හෙට දිනයේදි ද මේ ආකාරයෙන් ජය පිට ජය ලබන්නට ඔවුන්ට ශක්තියක් වන්නට ඒ උපකාරය මහෝපකාරී වනු ඇත.



ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Comments