අපේ ආදරේ ඇතුළේ දුක, කඳුළු, සතුට වගේම ප්‍රශ්නත් තිබුණා | සිළුමිණ

අපේ ආදරේ ඇතුළේ දුක, කඳුළු, සතුට වගේම ප්‍රශ්නත් තිබුණා

* මම රටින් පිට ජිවත් වෙන්න හුඟක් අකමැති වුණු කෙනෙක්. එයා තමයි කිව්වේ දරුවෝ ගැන හිතලා අපි ඕස්ට්‍රේලියා යමු කියලා
* අපිට කොච්චර හීන තිබ්බත් දැන් ඒවා යටපත් කරන්නේ දරුවෝ ගැන හිතලා
* පවුලෙන් ඈත් වෙලා මෙහේ ඇවිත් ජීවත් වෙන්න මට අමාරු වුණා
* දුවගේ කකුලක හා උකුල් ඇටයේ ප්‍රශ්නයක් කියලා පරීක්ෂණ කරන්න කිව්වා, ළහිරු ක්‍රීඩා කරන එක පැත්තකින් තියලා ඕස්ට්‍රේලියා ආවා
- ළහිරු තිරිමාන්න රටින් ගිය හේතුව බිරිය රුක්ෂාණි කියයි

ළහිරු තිරිමාන්න කියූ සැණින් කවුරුත් දන්නවා ඒ කවුද මොනවද කරන්නේ කියලා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට පන්දු වාර විස්සයි විස්ස , ටෙස්ට් හා එක් දින පිටිය මේ තුන් කුලයම නියෝජනය කරමින් පිත්තෙන් කඩුලු දඩයම් කළ ඔහු බොහෝ ක්‍රීඩා ලෝලීන් පිරිසකගේ ආදරේ දිනු ක්‍රිකට් තරුවක්. ළහිරු ජාතික ක්‍රිකට් කණ්ඩායම තුළ සිටිය යුතුම ක්‍රීඩකයෙක් වුවත් ඔහු දැන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට පමණක් නොව රටටද සමු දී අවසන්. ඔහු සිය පවුල සමඟ දැන් ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. පුතෙකුගේ හා දියණියකගේ ආදරණීය තාත්තා වූ ළහිරු ගැන මේ විදිහට රසඳුන එක්ක කතා කළේ ඔහුගේ ආදරණීය බිරිය රුක්ෂාණි තිරිමාන්නයි. වසර ගණනක ප්‍රේමණීය හැඟීම් විවාහයකින් කෙළවර කර ගත් ඇය මෙලෙසින් කතාවට මුල පිරුවා.

“ළහිරු ක්‍රිකට් ගහන එක පැත්තකින් තියලා අපි පිටරටකට ගිහින් ජීවත් වෙමු කියන අදහස මං කොහෙත්ම දුන්නේ නැහැ එයාට. ලංකාවේ කොරෝනා රෝගය උත්සන්න වෙද්දී අපේ ගෙදර හැමෝටමත් කොරෝනා හැදුණා. එයා බය වුණා. දුව ඉපදෙන්න ඉන්නකොට මම හිටියේ ඕස්ට්‍රේලියාවේ. ළහිරු ලංකාවට ගියා තරග තිබ්බ නිසා. මම රටින් පිට ජිවත් වෙන්න හුඟක් අකමැති වුණු කෙනෙක්. එයා තමයි කිව්වේ දරුවෝ ගැන හිතලා අපි ඕස්ට්‍රේලියා යමු කියලා. අකමැත්තෙන් නමුත් මම එයාගේ අදහසට එකඟ වුණා. එහෙම නැතුව මගේ කැමැත්ත නිසා ආපු ගමනක් නෙමෙයි මේක. දුව ඉපදිලා මාස තුනෙන් ලංකාවට යන්න ආව ගමන් එක එක හේතු මත අන්තිමට මෙහෙම නතර වුණා. මම පවුලේ එකම දරුවා. පවුලෙන් ඈත් වෙලා මෙහේ ඇවිත් ජීවත් වෙන්න මට අමාරු වුණා .

ඒ කියන්නේ විදෙස්ගත වෙන්නේ ළහිරුට ලංකාවේ තිබ්බ කලකිරිමක් එක්ක..? 

ඒක එහෙම කියන්න බැහැ. දරුවෝ ගැන හිතලා එයා ගත්ත තීරණයක්. කලකිරිමක් තිබ්බේ නැහැ එයාට. එයා හොඳට සෙල්ලම් කරමින් ඉන්නකොට තමයි මේ තීරණය ගත්තේ.

බොහෝදෙනෙක් හිතන්නේ ළහිරුව ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කළා කියලා ..?

බොහෝදෙනෙක් එහෙම හිතනවා. නමුත් ඒක නෙමෙයි ඇත්ත. දුව ඉපදෙන්න ඉන්නකොට මගේ ළඟ ඉන්න එයා ආවා. ඊට පස්සේ එයා ලංකාවට ගියා ප්‍රොවින්ශියල් මැච්වලට. එතන හොඳට ලකුණු අරන් ඉන්දියාවත් එක්ක තරගාවලියකට සම්බන්ධ වුණා. ඒ ඉන්නකොට මෙහේ බබාගේ වැඩකට එන්න වුණා. බබාලව මාසෙන් මාසෙට පරීක්ෂා කරනවා. මෙහේ මිඩ්වයිෆ් කිව්වා දුවගේ කකුලක හා උකුලෙන් පොඩි සද්දයක් එනවා, ඒක පරික්ෂණ කරලා බලන්න ඕන කියලා. මගෙ තනියට ළහිරුගේ අම්මයි මගේ යාළුවයි හිටියා. ළහිරු වගේම මමත් දුකෙන් හිටියේ බබාගේ ප්‍රශ්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරිව. ඉන්දියා සීරියස් එකේ ඉන්න අතරතුර ළහිරු තීරණය කළා ලකුණු ගැහුවත් නැතත් ජාතික කණ්ඩායම තුළ රැඳුණත් එයා මෙහේ එනවා කියලා. ඒ ඇවිත් අපිත් එක්ක එයා යන්න ආවේ. නමුත් ලංකාවෙන් එයාට හරි ස්ථිර උත්තරයක් තිබ්බේ නැහැ. ඊට පස්සේ එයා තීරණය කළා මෙහේ ඉන්න. දුවගේ පරීක්ෂණත් සාමාන්‍යයි. ප්‍රශ්නයක් වුණේ නැහැ. නමුත් ආයෙමත් ගිහින් ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න එයාට අවස්ථාව ලැබෙයිද කියන අවිනිශ්චිත තීරණය එක්ක මේ ආ ගමන නැවත හැරෙන්න ඕන වුණේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. කවුරුත් දන්නේ නැහැ දුවගේ ප්‍රශ්නයක් නිසා ළහිරු ගත්ත මේ තීරණය ගැන. මුල් වතාවට තමයි කිව්වේ.

ජාතික කණ්ඩායමට නැවත අවස්ථාවක් ලැබුණොත්..?

එයා පීක් එකේ හිටපු කාලේ මෙහේ ආවේ පවුල නිසා. එයාට අවස්ථාවක් ලැබුණොත් මම එයාව යවනවා. මොකද අපි නිසා එයාගේ හීන එයා යටපත් කර ගත්තේ. බලමු අවස්ථාවක් ලැබුණොත්.

ඉපදුණු හැදුනු වැඩුණු රට වගේ නෙමෙයි විදෙස්ගත වෙලා ඉන්නවා කියන එක. හැල්මේ දුවන ජීවිතේ එක්ක සෑහෙන්න කාර්‍යබහුල වෙලා ඇති..?

ඇත්තටම මගේ වගේම ළහිරුගේ ජීවිතෙත් සෑහෙන්න වෙනස් වෙලා. ලංකාවේ ඉන්නේ නැතුව ඇයි ආවේ කියලා හිතෙන අවස්ථා නැතුව නෙමෙයි . ලංකාවේ පොඩි හරි විවේකයක් තිබ්බා. ඒත් මේ රටවල්වල ජීවත් වෙද්දි හැල්මේ දුවන්න වෙනවා. වෙලාවකට සුන්දරයි. දැනට මෙහේ ඉන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉදිරියේ දි කියන්න බැහැ. සමහර විට ලංකාවට යන්නත් පුළුවන්.

මොන දේ කිව්වත් රුක්ෂාණි ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජන ගන්න වෙන රටකටම ගියා නේද ..?

එහෙම ම කියන්න බැහැ ඉතිං. ලංකාවේ මගේ මොන්ටිසෝරී යේ වැඩත් කරනවා. මට හොද ස්ටාෆ් එකක් ඉන්නවා. මගේ අම්මා තාත්තගේ උදව්වත් ලැබෙනවා. දැනට මෙහේ චයිල්ඩ් කෙයාර් සෙන්ටර් එකක වැඩ කරනවා. මෙහෙට හැඩගැහෙන්න මට කාලයක් ගියා. පේන අහන ප්‍රතිරූප නෙමෙයි ආවම තියෙන්නේ. සෑහෙන වෙනස්. ඒ වගේම මම ලංකාවට ගිය වෙලාවේ කොළඹ ප්‍රධාන පෙළේ පාසලකින් ආරාධනාවක් ආවා ඒ පාසලේ විදුහල්පතිනිය විදිහට වැඩ කරන්න. මම ඒකට අයැදුම් කළේ මට ඒකේ ප්‍රසිද්ධියක් තියෙනවා ද බලන්න. නමුත් ඒ මොහොතේදිත් අධ්‍යක්ෂ මණ්ඩලය දන්නේ නැහැ මම කාගේ කවුද කියලා. නමුත් මගේ ඕස්ට්‍රේලියා ගමන ගැන ඔවුන්ට කිව්වම ඔවුන් කිව්වේ විදෙස්ගත වීම තමයි ඔයාට සුදුසු දේ කියලා. රටේ තත්ත්වය එක්ක ඒ අවස්ථාව මිස් කර ගන්න එපා කියලා. මෙහේ ඇවිත් ජොබ් එකක් කරනවා. ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් අරන්. ළහිරු ඒවට නීතී දාන්නේත් නැහැ. අනිත් එක මෙහේ ජීවත් වෙන්න අමාරුයි රැකියාවක් නොකර

කොහොමද පොඩ්ඩෝ දෙන්නා..?

පුතාගේ වයස දැන් අවුරුදු හයයි. මේ අවුරුද්දේ තමයි එයා මෙහේ ඉස්කෝලේ යන්න පටන් ගත්තේ. දුවගේ වයස දැන් අවුරුද්දයි මාස පහයි. දුවවත් අපි පැය පහකට child care එකට දාලා තියෙනවා. මොකද මෙහි ජීවන රටාවත් එක්ක පවුලේ හැමෝටම ලොකු කාලයක් එකට ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. මමත් රැකියාවක් කරනවා ළහිරුත් එයාගේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ නිසා දුවට පැය පහක් අපෙන් ඈත් වෙලා ජීවත් වෙන්න සිදු වෙනවා. පැය පහකට පස්සේ දුවව ළහිරු ගන්නවා. ඔය දේවල් අස්සේ ජීවිතේ ගලාගෙන යනවා.

පොඩ්ඩෝ දෙන්නා ක්‍රිකට්වලට වැඩි කැමැත්තක් නැද්ද..?

පුතාගේ නම් එච්චර ලොකු කැමැත්තක් නැහැ. දුව නම් බෝලෙයි බැට් එකයි අරන් තාත්තා දැක්ක ගමන් පස්සෙන් දුවනවා. ලොකු වෙනකල් කියන්න අමාරුයි මොන පැත්තට යොමු වෙයිද කියලා

ඒ දෙන්නා වැඩිපුර ආදරේ ළහිරුටලු..?

දෙන්නගේ ආදරේ බර වැඩි වෙන්නෙ ළහිරුගේ පැත්තට කියලා මමත් හිතනවා. මට වඩා එයාට ආදරෙයි. ඒක ඇත්ත

ළහිරු කියන්නේ ඔහුව සමාජ මාධ්‍ය ඔස්සේ මාකට් කරන චරිතයක් ද..?

බොහෝ දෙනෙකුට සමාජ මාධ්‍ය මේන්ටේන් කරන්න ටීම් එකක් ඉන්නවා. නමුත් ළහිරුගේ ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් පේජ් බලන්නේ අපි දෙන්නමයි. සල්ලී දීලා ඒවා අපි මේන්ටේන් කරන්නේ නැහැ. එයාට එහෙම අමුතුවෙන් කැපී පේන්න අවශ්‍ය නැහැ. ඒකට හේතුව එයාට ආදරේ කරන සෑහෙන ක්‍රීඩා ලෝලින් පිරිසක් ඉන්න නිසා. ඒ හැමෝම ප්‍රතිචාර දක්වනවා. ඇත්තටම කිව්වොත් බොහෝ පිරිසකගේ ආදරේ ලබන්නත් වාසනාවක් පිනක් තියෙන්න ඕන. ඒ පින එයාට තියෙනවා. ඒ පැත්තෙන් එයා හරි වාසනාවන්තයි. ඇත්තටම එයා එයාව මාකට් කරන්නේ නැහැ කිව්වොත් මම හරි. එයා ෆේස්බුක් හෝ ඉන්ස්ටර්ග්‍රෑම් ෆොටෝ එකක් අප්ලෝඩ් කරනවා හැරෙන්න කිසි දෙයක් කරන්නේ නැහැ , එන මැසෙජ්වලට මම තමයි උත්තර යවන්නේ. මට රිප්ලයි කරන්න දන්නේ නැති මැසේජ්වලට එයාට කියනවා මැසේජ් කරන්න කියලා. ඒ වෙලාවට එයා ඒක කරනවා.

ලෝකයම දන්න ජාත්‍යන්තරය ජයගත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිසා ඕස්ට්‍රේලියාවේත් ඔහුට ප්‍රතිචාර ඇති, බිරිය විදිහට ඔහුට ලැබෙන ප්‍රතිචාර ගැන සතුටක් ඇති ..?

ලංකාව වගේම ඉන්දියාව පාකිස්ථානය වගේ රටවල්වල මිනිස්සුන්ට ක්‍රිකට් උණ තියෙනවා. මෙහේදි වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ ඉන්දියානු හා පාකිස්ථාන ජනතාවගෙන්. සමහර වෙලාවට සීතලට ජැකට් තොප්පි දාලා ඉද්දි අඳුර ගන්නේ නැහැ . නමුත් සමහර අයට සැකයි මේ ක්‍රිකට් ගහන ළහිරු ද කියලා. ඔවුන් ළඟට ඇවිත් අහනවා ඔයා අහවලා නේද කියලා. එයාව දැක්කම හරිම ආසාවෙන් ආදරෙන් කතා කරනවා. ඒක ඇත්තටම අමුතුම හැඟීමක්. ක්‍රිකට් ගහන්නේ නැහැ කියලා දැනගෙනත් ඇවිත් කතා කරනවා. ඒ ක්‍රීඩා ලෝලින් ඇත්තටම ක්‍රිකට් පිස්සෝ. මොකද ළහිරුගේ ඉනිම් ගැන පවා කතා කරනවා. මෙහේ ඉන්න ලංකාවේ අයත් ප්‍රතිචාර දක්වන අවස්ථා තියෙනවා. ළහිරුත් ප්‍රතිචාර ගැන නිහතමානීව සතුටු වෙනවා. එයාලා එක්ක කතාබහ කරනවා. මටත් හරිම සතුටුයි.

ඔබත් ළහිරුත් බොහෝ කාලයක් ආදරේ කරලා විවාහ වුණු දෙන්නෙක්. ගැහැනු වැඩිපුර ආදරේ හොයන කොටසක්නේ, ඒ ආදරේ තවම එහෙමමද..?

අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගන්නේ 2008 අවුරුද්දේ. 2014 විවාහ වුණා. විවාහ වෙන්න කලින් ජීවිතේ හරි සැහැල්ලුයි. ඒ කාලේ ආදරේ එක විදිහක්. විවාහ වුණාට පස්සේ ජීවිතේ තවත් විදිහකට ආදරේ ලැබෙන්නේ. වගකිම් හා ආරක්ෂාව එක්ක. ඒ වගේම හීන බලාපොරොත්තු පස්සේ දුවනවා. ඊට පස්සේ දරුවෝ ලැබුණම ජීවිතේ වෙනස්ම වුණා , දැන් අපි දෙන්නම කාලේ කැප කරන්නේ දරුවන්ට. හැම අම්මා තාත්තා කෙනෙක්ම එහෙමයි. අපිට කොච්චර හීන තිබ්බත් දැන් ඒවා යටපත් කරන්නේ දරුවෝ ගැන හිතලා. අපි දෙන්නම එහෙමයි. ආදරේ එහෙමමයි. මට වෙනසක් දැනිලා නැහැ. එයා මෙහේ තනි ගමනක් යන්නේ. ක්‍රිකට් පුහුණුකරුවෙක් විදිහට වැඩ කරන එක. මම ෆ්‍රී බර්ඩ් කෙනෙක් වගේ. අපි දෙන්නා උදේ වරුවේ කොහේ හරි ගිහිං කතා කර කර ඉඳලා කාලා බීලා එන දවස් තියෙනවා. ඒ නිසා වෙනස දැනෙන්නේ නැහැ. වෙනසක් වෙන්නෙත් නැහැ. ඒ ආදරේ ඇතුළේ සතුට, දුක, පසුතැවිම් කඳුළු බලාපොරොත්තු කැපකිරිම් ඔක්කොම තිබ්බා. කොහොම හරි ජීවීතේ දින්නා.

කොහොමද ඔහුගෙන් කුටුම්බයට ලැබෙන සහය..?

ලංකාවේ ඉන්නකොට මට හා පවුලට ලැබුණු සහය මෙහෙදීත් ලැබෙනවා. අපි දෙන්නම මෙහේ ජීවිතේට හුරු වෙමින් ඉන්න නිසා ගෙදර වැඩත් බලලා අපිම කර ගන්නවා. උදේට බබාලව ගෙනියන්නේ ගේන්නේ එයා. මම ගෙදර වැඩත් කරනවා. එයත් අස්පස් කරන දේවල්වලට උදව් කරනවා මොන දේ කළත් එයාගේ සහය ලැබෙනවා. සතියේ දවස් පහ කාර්‍යබහුල නිසා සති අන්තයේ තමයි අපි හතර දෙනා වැඩිපුර එකට ඉන්නේ.

ඔබේ පෙනුම දඟකාර කටකාර වුණාට ළහිරුව බොහෝ දෙනෙක් දකින්නෙ අහිංසක චරිතයක් විදිහට. ඒ ගැනත් කියලම කතාබහට සමු දෙමු..?

ඒ හැමෝම හිතාගෙන ඉන්න විදිහ තමයි. එයා කාට හරි ෆිට් වුණොත් මටත් වඩා එයා හිතවත්. විහිළු කරලා විනෝදෙන් ඉන්නවා. දකින තරම් අහිංසක නැහැ

Comments