පැල්මඬුල්ලේ සුරූපී නීතිඥවරියගේ අභිරහස් මරණයේ සැඟවුණු තැන් | සිළුමිණ

පැල්මඬුල්ලේ සුරූපී නීතිඥවරියගේ අභිරහස් මරණයේ සැඟවුණු තැන්

- පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇගේ සිරුරේ කිසිදු ස්ථානයකින් පහර දීමේ සලකුණක් හමු වී නෑ
- සැමියා අසංක කියන්නේ ඇය තදබල ලෙස කේන්ති ගන්නා බවක් 
- රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට ලබා ගන්නා ඖෂධ අධි මාත්‍රාවක් ලබා ගැනීමෙන් මෙම මරණය සිදු වී ඇත්දැයි සැකයක්
- දුෂ්මන්ති සිය සහෝදරියගේ දුරකතනයට “අසංක මට ගැහුවා“ යැයි කියැවෙන කෙටි පණිවුඩය යොමු කර ඇත්තේ 31 වෙනිදා අලුයම 1.20ට පමණ

පැල්මඬුල්ල සහ රත්නපුර අධිකරණවල සේවය කළ සුරූපී නීතිඥවරියක් වූ දුෂ්මන්ති අබේරත්නගේ මරණය තවමත් ඇත්තේ අභිරහස් මරණයක් ලෙසිනි. ඒ නිසාම මෙම මරණය ගැන පැල්මඬුල්ල සහ රත්නපුර පැත්තේ ජනතාවට පමණක් නොව, මුළු රටේම ජනතාවට ඇත්තේ කුතුහලයකි. ඒ ඇයව කිසියම් අයෙක් විසින් ඝාතනය කළේද? නැතිනම් ඇය සියදිවි හානිකර ගත්තේ ද? එසේත් නැතිනම් වෙනත් සංසිද්ධියකින් මෙම මරණය සිදුවීද? යන්න ගැනය.

මුලින්ම මෙම මරණය ගැන තොරතුරු එළියට ආවේ සැමියා විසින් ඇයට පහරදී මරා දමන්නට ඇතැයි කියාය. ඊට මුල් වන්නේ ඇය විසින් සිය නැඟණියගේ ජංගම දුරකතනයට යැවූ කෙටි පණිවුඩයක සැමියා විසින් කළ පහරදීමක් ගැන වූ සටනකි. කහවත්ත මූලික රෝහලේ අධිකරණ හා විශේෂඥ වෛද්‍ය සිසිර කුමාර දිසානායක ඇගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවා සිදුකරනුයේ ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරමිනි. එහිදී පැහැදිලිවම පෙනී ගොස් ඇත්තේ පහරදීමක් තබා පහරදීමක සලකුණක්වත් ඇගේ සිරුරේ නොමැති බවය.

ඒ අනුව නීතිඥ දුෂ්මන්ති අබේරත්න මහත්මියගේ මරණය පහරදීමකින් සිදුනොවූ මරණයක් බව තහවුරු වී ඇතත් ඇගේ මරණය සිඳු වූයේ කෙසේ දැයි ඇත්තේ අදටත් නොවිසිඳුණු ගැටලුවක් ලෙසිනි. ඒ ගැටලුව ලිහා ගැනීමට අධිකරණ වෛද්‍යව සිසිර කුමාර දිසානායක විසින් රජයේ රස පරීක්ෂකවරයා වෙත ඇගේ සිරුරේ කොටස් කිහිපයක් යොමු කර ඇත්තේ තහවුරු කරගත යුතු කරුණු කිහිපයක් රසායනාගාර පරීක්ෂාවකින් තහවුරු කර ගැනීමටය. ඒ ඇගේ මරණය සිදු වී ඇති ආකාරය ගැන යම් නිගමනයකට ඔහු එළඹි ඇතත්, එය වඩාත් නිවැරදි ලෙස තහවුරු කර ගැනීමටය. එම රසායනාගාර පරීක්ෂාව රස පරීක්ෂකවරයා විසින් සිදු කර එහි වාර්තාව ලබාදෙන තුරු දුෂ්මන්ති අබේරත්නගේ මරණය ඇත්තේ අභිරහස් මරණයක් ලෙසිණි.

සමාජයේ විශේෂ අවධානයකට මෙන්ම කතාබහට ද ලක් වූ මෙම සුරූපී නීතිඥවරිය මිය යන විට පසු වූයේ 40 හැවිරිදි වියේය. සිය වෘත්තියේ දිගු ගමණකට මුල පුරමින් සිටියදී මෙසේ ඇය අකාලයේ මිය යන්නේ පැල්මඬුල්ල බුලත්වැල්ගොඩ පිහිටි සිය නිවෙසේ නිදි යහනේදීය. ඇගේ මළ සිරුර මුලින්ම දකින්නේ නි‌ෙවසේ මෙහෙකාරිය වන අනෝමා උදය කුමාරිය. ඇය ඉහළ බෝපිටියේ පදිංචිකාරියකි. ඇය මෙම නිවෙසේ රැඳී සිටිමින් සේවය කරන්නියක් නොවූවාය. දෛනිකව උදෑසන 6.00ට පමණ නි‍ෙවසට එන ඇය ගේ දොර වැඩ සියල්ලක්ම කරදී සවස නැවත ඇය සිය නිවෙසට යන්නීය. ඒ වෙනුවෙන් ඇයට මාසිකව අතට ලැබෙනවා යැයි කියැවෙන්නේ රුපියල් 25,000ක මුදලකි.

එදා 27 වෙනිදා ද ඇය සුපුරුදු ලෙස මෙහි එන්නේ උදෑසන 6.15ට පමණය. ඒ එන විට තිබෙන්නේ නි‌ෙවසේ ප්‍රධාන දොර අඩවල් කරය. ඇය උදෑසන නි‌ෙවසට පැමිණෙන බොහෝ අවස්ථාවන්වලදී එසේ දොර අඩවල්කර තිබීම සාමාන්‍ය දෙයක් වූ බැවින් ඇයට එය අරුමයක් නොවූවාය. එහෙමත් දවසක් හැරුණු කොට ඇය නි‌ෙවසට එන විට නීතිඥවරිය සිටින්නේ නිදි ඇදේ වූවත් ඒ ඇහැරීය. කාමරයට එබිකම් කර බලන ඇයට නීතිඥවරියගෙන් “ගුඩ් මෝනිං “ යැයි කියා සුබ පැතීමක් වරදින්නේ නැති තරම්ය. එදා උදෑසන ඇය නි‌ෙවසට ආ හැටියේම සුපුරුදු ලෙස ඔළුව දමන්නේ නීතිඥවරියගේ නිදන කාමරය වෙතය. ඒ වන විටත් ඇය සිටින්නේ සැප නින්දක බව මෙහෙකාරිය වූ අනෝමා සිතුවාය. ඇයට ඇහැරවන්නට ලෝබකමක් හිතුණු බැවින් ඇය කෙළින්ම යන්නේ මුළුතැන්ගෙටය. ඒ තේ වතුර ටිකත් හදාගෙනම නීතිඥවරියට ඇහැරවීමට සිතාගෙනය. තේ කෝප්පයක්ද සකස් කරගෙන අනෝමා නැවතත් එන්නේ නීතිඥවරියගේ කාමරය වෙතය.

“ නෝනා, නෝනා.“ යැයි ඇය කිහිප විටක්ම නීතීඥවරියට ඇමතුවාය.

වෙනදා නම් අනෝමාගේ කටහඬ ඇසුණු සැණින් “ගුඩ් මෝනිං“ යැයි කියාගෙන ඇහැඅරින දුෂ්මන්ති එදා කොතරම් කතා කළත් ඇහැක් ඇර අනෝමා දෙස බැලුවේ නැත. ඒ නිසාම අනෝමා ඇගේ පාදයක් අල්ලා හොලවන්නට වූයේ “නෝනා නැගිටින්න. එළිවෙලා“ යැයි කියමිනි.

දුෂ්මන්තිගේ පාදය අල්ලා සොලවන විට අනෝමාගේ අතට දැනුනේ දැඩි සීතලකි. ඒ ගැන ඇයට ඇතිවන්නේ සැකයකි. ඒ නිසාම ඇය නිසොල්මනේ සිටි දුෂ්මන්ති දෙස මඳ වේලාවක් බලා සිට නිවෙසින් පිටතට දිව යන්නේ අසල නිවෙසේ සිටින සීලවතී අක්කාට මේ ගැන කියන්නටය. 1990 සුවසැරිය ගිලන් රථ සේවයෙන් එහි පැමිණෙන්නෙත් සීලවතී අක්කා විසින් ලබා දුන් දුරකතන ඇමතුමකට අනුවය. ඒ පැමිණි 1990 කාර්ය මණ්ඩලය දුෂ්මන්තිව පරීක්ෂා කර බලා පවසන්නේ ඇය මිය ගොස් ඇති බවය. දූෂ්මන්තිගේ මරණය ගැන පැල්මඬුල්ල පොලිසියට තොරතුරු දැන ගන්නට ලැබෙන්නේ ඒත් එක්කමය.

දුෂ්මන්ති අබේරත්න රත්නපුර සහ පැල්මඬුල්ල අධිකරණවල කොයි කා අතරත් ජනප්‍රිය චරිතයක් වූවාය. ඒ නිසාම ඇගේ මරණය ගැන වැඩියෙන් උනන්දු වූවන් අතර නීතීඥ ප්‍රජාව ද සිටියහ. නීතිඥවරියක් ලෙස ලොකු ගමනක් යාමට පෙරනිමිති පෙන්වූ ඇය සමාගම් ලේකම්වරියක් මෙන්ම දිවුරුම් කොමසාරිස්වරියක් ලෙසද කටයුතු කළාය.

දුෂ්මන්ති ගැන තොරතුරු හාර අවුස්සා බැලීමේදී පෙනී යන්නේ ඇය පාතකඩ ප්‍රදේශයේ පාසලකින් අකුරු කර නීතිඥවරියක් ලෙස ඉදිරියට ආ තැනැත්තියක් ලෙසිණි. ඇගේ මාපියන් ගුරුවරුන්ය. ඇයට සිටින්නේ නැඟණියක් පමණි. ඇය ඖෂධවේදිනියක් ලෙස කටයුතු කරමින් සිටින්නීය. දුෂ්මන්තිගේ මුහුණු පොතේ ඇති ගිණුම් කිහිපය පරිශීලනය කිරීමේදී පෙනී යන්නේ ඇය රත්නපුරයේ ප්‍රධාන බාලිකා පාසලක ද අධ්‍යාපනය ලැබූ තැනැත්තියක් බවය. මුහුණු පොතේ ඇති සටහන්වලට අනුව ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපනය ලැබූ තැනැත්තියක් ද වූවාය.

නීතිඥවරියක් ලෙස ඇය සිය වෘත්තීය ජීවිතය අරඹා වැඩි කල් යන්නට මත්තෙන් විවාහයක් ද කරගත්තාය. ඒ නිසි වයස පනින්නට පෙරය. පැවසෙන ආකාරයට අනුව ඔහු පැල්මඬුල්ලේ බටලන්ද පැත්තේ පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකි. මෙම විවාහය වසර හය හතකට වඩා පැවතුණු එකක් නොවීය. දෙදෙනා අතර වූ මත ගැටුම් මුල්කරගෙන විව­ාහය දෙදරා යන්නේ දෙදෙනා නීතියෙන් දෙපැත්තට වෙමිනි. අනතුරුව ඇය තමාව හොඳින් වටාහා ගත් බව කියැවෙන පුද්ගලයෙක් සමඟ ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ ද එම සම්බන්ධය ද දෙදරා යන්නේ එම පුද්ගලයා විවාහකයෙක් වූ බැවිනි.

මහේෂ් අසංකව ඇයට මුණගැසෙන්නේ මේ සියල්ල අවසානයේදී නැවත විවාහයක් ගැන ඇය නොසිතා සිටින මොහොතකය. ඒ මුහුණු පොත හරහාය. පැල්මඬුලේම පදිංචිකරුවෙක් වූ මහේෂ් අසංක ඒ වන විට රැඳී සිටියේ දකුණු කොරියාවේ රැකියාවක නිරත වෙමිනි. වසර ගණනාවක් කොරියාවේ රැකියාවක නිරතව පැමිණි ඔහු දුෂ්මන්තිව විවාහ කර ගන්නේ වසර දෙක තුනකට පෙරය. ඒ දෙදෙනා අතර මුහුණු පොත හරහා ගොඩනැඟුණු ප්‍රේමයේ ප්‍රතිඵලයක් ලෙසිනි. අසංක මෙම විවාහය කර ගන්නේද ඇය අසාර්ථක විවාහයකින් වෙන්වී සිටින්නියක් බව හොඳාකාරවම දැනගෙනමය. ඔහුට එය තරම් ගැටලුවක් නම් ගෙන දුන්නේ නැත.

බැඳපු අලුත නම් මේ දෙදෙනා සිටියේ කුරුල්ලයි කිරිල්ලියි වගේය. එහෙත් කල් යත්ම දෙදෙනා අතර මතගැටුම් ඇතිවෙමින් එම විවාහය දෙදරා යන තරමට දුරදිග ගොස් තිබුණු බව පෙනී යන්නේ ඇගේ මරණයත් සමඟ ඒ ගැන පැල්මඬුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික නවරත්නගේ ප්‍රධානත්වයෙන් කෙ‍රෙන්නට වූ විමර්ශන වලිනි. ඒ නිසාම දුෂ්මන්තිගේ පවුලේ සාමාජිකයන් සැක කරන්නට වූයේ ඇගේ මරණයට වගකිව යුතු වූයේ අසංක බවය. පෙරදින රාත්‍රියේ දුෂ්මන්ති සිය නැඟණියට යොමු කළ කෙටි පණිවුඩයක ලියැවී තිබුණේ අසංක තමාට පහර දුන් බවකි. එබැවින් දුෂ්මන්තිගේ මරණය පහරදීමකින් සිදු වූ මරණයක් බවට සැකයක් ඇගේ පවුලේ සාමාජිකයන් දැඩිව විශ්වාස කරන්නට විය. එහෙත් එවැනි පහරදීමක් ගැන අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී මෙතෙක් එළියට ඇවිත් නැති බැවින් අසංක සිටින්නේ තාමත් නිදැල්ලේය. ඒ අසංක ඇයට පහරදී මරා දැමූ බවට විද්‍යාත්මක හෝ පර්යේෂණාත්මක සාක්ෂි මඟින් කිසිවක් මෙතෙක් හෙළිවී නොමැති බැවිනි.

මේ දෙදෙනා අතර පවුල් ආරවුල්වලට මුල කුමක්දැයි කියාද පොලිසිය සිය විමර්ශනයේදී සොයා බැලීමට අමතක නොකළේය. ඒ මෙම මරණය හා ඒ හැමදෙයක්ම බැඳී ඇති බැවිනි. එහිදී පොලිස් නිලධාරීන්ට පෙනී යන්නට වූයේ දෙදෙනා වෘත්තියන් දෙකක නිරත වීම හේතුවෙන් එකිනෙකාට සිය වෘත්තියන් පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකම හේතුවෙන් නිකරුණේ ආරවුල් හටගෙන ඇති බවය.

කොරියාවේ රැකියාවට යාමට පෙර සිටම අසංක සමාජශීලී පුද්ගලයෙකි. කමින් බොමින් මිතුරන් සමඟ විනෝදකාමී ජීවිතයකට හුරුවී සිටි ඔහු කොරියාවේ සිට පැමිණියද නීතිඥවරියක් සමඟ විවාහ වූව ද ඒ පුරුදු චර්යාව අතහැර දැමුවේ නැත. එය දුෂ්මන්තිට නම් එතරම් රිස්සුවේ නැත. ඒ මහ රෑ මළ ගෙවල්, දාන ගෙවල්වල නිදි මරන්නට පවා අසංක පෙලඹී සිටි බැවිනි. රාත්‍රි කාලයට නිවසේ ප්‍රධාන දොර අගුල් නොදා තැබෙන්නේ අසංක එන යන වෙලාව ගැන කියන්නට බැරිකම නිසාය. අසංක සමඟ ඇය වැඩි හරියක් ගැටුණේ ඔහු මිතුරන් සමඟ සීමාව ඉක්මවා මත්පැන් පානයට හුරුවී සිටි බැවිනි. ඒ යැයි කියා කෙළින් කටින් ඉන්නට බැරිවන තරමට මත්පැන් පානය කර අසංක පිස්සු කෙළින අයෙක් ද නොවීය. එහෙත් දුෂ්මන්ති සිතන්නේ සිය සැමියා අතන මෙතන කරක් ගසමින් කන බොන එක තමාට මදිපුංචිකමක් ලෙසිනි.

කාලයක් තිස්සේ දෙදෙනා අතර පැවති මෙම මත ගැටුම මුල්කරගත් ආරවුල දුරදිග යන්නේ පසුගිය 30වෙනිදාය. මෙදින සවස 6.30ට පමණ දුෂ්මන්තිව ද කැටුව අසංක තමාට අයත් යතුරුපැදියේ නැඟී යන්නේ නවසීලන්තයේ සිට පැමිණි සිය ඥාතියකුගේ නි‌ෙවසකටය. ඒ ඔවුන්ගේ ආරාධනාවකට අනුව රාත්‍රී කෑමකටය. වසර පහක පමණ කාලයකින් මෙරටට පැමිණි එම ඥාතීන් මේ යුවළට රාත්‍රි ආහාරයකට ආරාධනා කරනුයේ නවසීලන්තයේ සිටි බැවින් විවාහයට ද ඒ අයට සහභාගිවීමට නොහැකි වූ බැවිනි.

අසංකගේ එම ඥාතීන් පදිංචිව සිටියේ ද බුලත්වැල්ගොඩමය. දුෂ්මන්තිට අයත් මෝටර් රථයක් පවා නි‍ෙවසේ තිබියදී මේ දෙදෙනා යතුරු පැදියේ නැඟී එහි යන්නේ බොහෝ අවස්ථාවන්වලදී ඔවුන් ළඟපාත ගමන් බිමන් යන්නේ යතුරු පැදියෙන් වූ බැවිනි. සිය ඥාතියාගේ නි‍ෙවසට ගොස් ඒ අය සමඟ සතුටු සාමීචියේ නිරතව සිටි අසංකත් දුෂ්මන්තින් නැවත සිය නිවස බලා ගමන් අරඹන්නේ රාත්‍රී 9.00ට පමණය. ඒ එන අතර තුර දුෂ්මන්ති විසින් අසංකට දොස් නඟන්නට වූයේ සිය ඥතියාගේ නිවෙසට ගොස් මත්පැන් පානය කිරීම සම්බන්ධයෙනි. ඇය දොස් නඟන්නට වූයේ “බේබද්දා “ යැයිද කියමිනි.

ඥාති නිවසින් පිටත් වූ මොහොතේ සිට නිවෙසට එනතුරුම ඇගේ අදෝනාවේ නිමක් නොවීය. එය වඩාත් උච්චතම තැනකට පත්වන්නේ නිවෙසට පැමිණීමෙන් අනතුරුවය. දෙදෙනා අතර මෙහිදී ඇතිවන බහින්බස් වීම දුරදිග යන්නේ නිවෙසේ බඩු මුට්ටු කිහිපයක් ද බිම පෙරළමිනි.

“මේවත් අරගෙන හෙට උදේම පලයන්. මට කනක් ඇහිල්ලේ ඉන්න දීල පලයන්“ යැයි අවසානයේදී අසංක කෑ මොර දෙන්නට වූයේ ඇයට අයත් බව කියන පුටු කිහිපයක් ද විසි කරමිනි.

පැයක් හමාරක් පමණ දෙදෙනා අතර පැවති ඒ බහින්බස් වීම නිමාවකට පත්වන්නේ රාත්‍රී 11.00ට පමණය. ඒ අසංක නිවෙසින් එළියට බැස ඔළුව හැරුණු අතේ යනවා යැයි කියා පිටත්ව යාමෙන් අනතුරුවය. ඊට විනාඩි තිහකට පමණ පසු ඇය අසංකට දුරකතත ඇමතුම් තුනක්ම ගත්තාය. අසංක අවස්ථා දෙකකදීම දුරකතනයට ප්‍රතිචාරයක් නොදැක්වූවත් තෙවැනි අවස්ථාවේදී ඊට ප්‍රතිචාරයක් දක්වන්නේ දුරකතනය විසන්ධි කරමිනි.

පැල්මඬුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික නවරත්න ඇතුළු නිලධාරීන් විසින් කළ විමර්ශනවලදී හෙළිවී ඇති ආකාරයට අනුව දුෂ්මන්ති සිය සහෝදරියගේ දුරකතනයට “අසංක මට ගැහුවා“ යැයි කියැවෙන කෙටි පණිවුඩය යොමු කර ඇත්තේ 31 වෙනිදා අලුයම 1.20ට පමණය. ඒ අනුව පැහැදිලි වන්නේ 31 වෙනිදා අලුයම 1.20 පමණ වන විටත් දුෂ්මන්ති ජීවතුන් අතර සිට ඇති බවය. ඇය සිය නැඟණියට යොමු කරනුයේ එම පණිවුඩය පමණක් නොව, “ සේරම දේපොළ ඔයා ගන්න“ යනුවෙන් හැඟවෙන ආකාරයේ පණිවුඩයක් ද ඇය සිය සහෝදරියට යොමු කර තිබුණාය. ඒ හැරුණු කොට ඇය සිය නැඟණියට යොමු කර ඇති කෙටි පණිවුඩයේ තවත් යමක් සඳහන් කර තිබුණාය. ඒ ඇයට අයත් මෝටර් රථය ලීසිං කර ඇත්තේ කුමන බැංකුවකදැයි කියාය.

මෙවන් පණිවුඩයක් සිය සහෝදරියට ඇය යොමු කර ඇත්තේ ජීවිතය ගැන හොඳටෝම කලකිරීමකින් බව බැලූබැල්මටම පොලිසියට පෙනී ගියේය. මේ පණිවුඩය ඇය සිය නැඟණියට යැව්වද ඇය එය දකින්නේ දුෂ්මන්තිගේ මරණය ඇගේ කන වැකීමෙන් පසුවය. කිරි දරුවකුගේ මවක් වන නැඟණිය දරු පැටියා සමඟ රෑට ඔට්ටුවන විට දුරකතනයට එන පණිවුඩ බැලීමට තරම්වත් කාලයක් ඉතිරි වන්නේ නැත. සිය සහෝදරිය විසින් එවූ පණිවුඩය බැලීමට පවා ඇයට මඟ හැරෙන්නේ එබැවිනි.

දුෂ්මන්ති විසින් සිය සහෝදරියට යොමුකළ කෙටි පණිවුඩය ගැටලු බොහෝමයක්ම මතු කර තිබුණාය. ඇගේ මරණය සැමියා විසින් කළ පහරදීමකින් සිදු වූ ඝාතනයක් බවට මුල් අවස්ථාවේදී සැකයට පවා තුඩු දෙන්නේ එබැවිනි. දුෂ්මන්තිගේ සැමියා වූ අසංක හිරේ විලංගුවේ නොවැටී මේ වන විටත් බේරී සිටින්නේ කහවත්ත රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය සිසිර කුමාර දිසානායක විසින් කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇගේ සිරුරේ කිසිදු ස්ථානයකින් පහර දීමේ සලකුණක් හමු නොවූ බැවිනි.

තමා පහර දුන්නේ යැයි දුෂ්මන්ති සිය නැඟණියට කෙටි පණිවුඩයක් යොමු කළ ද තමා ඇයට පහර නොදුන් බව අසංක පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ මුල සිටම පවසා තිබුණේ එකහෙළාමය. බඩු මුට්ටු කිහිපයක් පොළොවේ ගසා එදා අසංක නිවෙසින් පිටව යන්නේ පැල්මඬුල්ලේ පිහිටි සිය මිතුරකුගේ නිවෙසකටය. එදා ඒ නිවෙසේ තිබී ඇත්තේ ධර්ම දේශනා පින්කමකි. ඒ මිතුරාගේ මිය ගිය සහෝදරයා සිහිපත් කරමිනි. එදා අසංක මිතුරන් කිහිප දෙනකු සමඟ පින්කම් ගෙදරට වී කරටි කැඩෙන්නට මත්පැන් පානය කර එම නිවෙසේම නිදා ගත්තේය. දුෂ්මන්ති විසින් එක දිගට දුරකතන ඇමතුම් ගන්නා විට අසංක රැඳී සිටියේ ද පින්කම් ගෙදරය.

දුෂ්මන්තිගේ මරණය සම්බන්ධයෙන් කෙරෙන පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ ඇය දීර්ඝ කාලයක් තිස්සේම රුධිරයේ සීනි මට්ටම වැඩි වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි තැනැත්තියක් බවය. පෙනී ගොස් ඇති ආකාරයට අනුව ඇගේ රුධිරයේ සීනි මට්ටම 300 සීමාව ද පසු කරන අවස්ථා බොහෝය. ඒ බවක් අසංක ඇයව විවාහ කර ගන්නා තුරුම දැන සිට නැත. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අසංක පවසා ඇත්තේ ඇය අධික ලෙස කෝපවන තැනැත්තියක් බවය. ඒ බව පවා තමා දැන ගත්තේ විවාහයෙන් පසුව බව ද ඔහු පවසන්නේය. දෙදෙනා අතර ආරවුල්වලට මුල ඇගේ ඒ හැසිරීම බව ද අසංක පොලිස් නිලධාරීන් හමුවේ පවසා තිබුණේය. ඒ හැරුණු කොට අසංක ඇයට වෙනත් දොසක් නඟන්නේ නැත.

දුෂ්මන්තිට පෙර විවාහයෙන් මෙන්ම පැවති විවාහයෙන් ද දරුවන් සිටියේ නැත. ඇගේ දරදඬු හැසිරීම දරුවන් නොමැතිකම හේතුවෙන් ඇතිවූ මානසික ව්‍යාකූලත්වය පදනම් කරගෙන සිදුවූවක් විය හැකි බවට සැකයක් ද පොලිස් විමර්ශන වලින් මතුවී ඇත. එය විද්‍යාත්මක තහවුරු කිරීමක් නොමැති වූවත් පොලිසිය සැක කරනුයේ ඇය කිසිවකුටත් හොරා මානසික ආතතියට ප්‍රතිකාර ලබාගෙන ඇති බවය. කෙසේ වෙතත් දුෂ්මන්තිගේ මරණය සිදු වූයේ කෙසේදැයි මෙතෙක් නිශ්චිත ලෙස තහවුරු වී නැතත් රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට ලබා ගන්නා ඖෂධ අධි මාත්‍රාවක් ලබා ගැනීමත් මෙම මරණයට හේතුවී තිබේදැයි ඇත්තේ තදබල සැකයකි. ඇගේ සිරුරේ කොටස් රසායනාගාර පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇත්තේ එබැවිනි.


Comments