ජීවත්වීම උගන්වන භාවනාවක් | සිළුමිණ

ජීවත්වීම උගන්වන භාවනාවක්

විභාවනාවට හදිසියක් නැත. නිවී සැනසිල්ලේ කටයුතු කරන්න. මෙට්ටය මත පහසුවෙන් වාඩි වී, ඔබට භාවනාව සඳහා මුළු දවසම ඇතුවාක් මෙන් සලකන්න. වටිනාකමක් තිබෙන මොනයම් දෙයක් හෝ ගොඩනැඟීමට දිගු කාලයක් වැය වෙයි. ඉවසන්න; ඉවසන්න; ඉවසන්න.

පස්සනා භාවනාව යනු යථාර්ථයේ ස්වභාවය නව ආකාරයකට දැක ගැනීමට අප ක්‍රමයෙන් පුරුදු කරන අභ්‍යාස මාලාවකි. මෙහිදී යථාර්ථයේ කේන්ද්‍රය වන "මම" පිළිබඳ නව දැක්ම ද අපට හෙළි කරයි. අනෙක් සියලු සිතුවිලි ක්‍රියාවලින් තුළදී කළ දේ ම අප "මම" යන්නට ද කර ඇති බව ඉතා සමීප පරීක්ෂාවකදී අපට දකින්නට ලැබේ. එනම්, ගලා යන සිතිවිලි හා හැඟීම් සංවේදන නමැති දිය සුළියක් ගෙන එය මනෝමය වස්තුවක් ලෙස කැටි කොට ගනිමු. පසුව අප එයට "මම" කියා ලේබලයක් අලවමු. ඒ මොහොතේ පටන් සදහටම අප එය සලකන්නේ වෙනස් නොවන කල් පවත්නා දෙයක් ලෙසටය. "මම" යන්න අනෙක් සියල්ලෙන් වෙන්ව පිහිටි දෙයක් ලෙස දැකීමට අප පුරුදු වී ඇත. අප, අප සදාකාලික විශ්වීය වෙනස්වීමේ ක්‍රියාවලියෙන් වෙන් කර තබා, පසුව කොතරම් පාළුවක්, තනිකමක් දැනෙනවා දැයි දුක් වෙමු. අනෙක් ජීවීන් සමඟ පවතින සහජ බැඳීම නොසලකා හරින අපි, මා වෙනුවෙන් මා වැඩිපුර ලබාගත යුතු බව තීරණය කරමු. එසේ කරන අපි මිනිසුන් කෙතරම් අසංවේදී හා ගිජු බවින් යුතු ද කියා විශ්මයට පත්වෙමු. සෑම දුෂ්ට හා සිත්පිත් නැති ක්‍රියාවක්ම පැන නඟින්නේ, පවතින සියල්ලෙන් වෙන්කර ගන්නා "මම" යන ව්‍යාජ හැඟීම තුළිනි.

මෙම තනි සංකල්පයේ මායාව පුපුරවා හැරිය විට ඔබගේ මුළු විශ්වයම වෙනස්වීමකට බඳුන් වෙයි. කෙසේ වෙතත්, එය එක රැයකින් කිරීමට බලාපොරොත්තු නොවන්න. ඔබගේ සෑම සිතිවිල්ලකින්ම, ක්‍රියාවකින් හා වදනකින්ම "මම" සංකල්පය ගොඩ නැඟීම සඳහා මුළු ජීවිත කාලයම වැය කර ඇත. එවන් දෙයක් ක්ෂණයකින් වාෂ්ප වී නොයයි. ප්‍රමාණවත් කාලයක් හා අවධානයක් ලබා දුන් කල එය ඉවත්ව යනු ඇත. විපස්සනා භාවනාව මෙම සංකල්පය දියකර හරින උපක්‍රමයකි. එය දෙස බලා සිටීම තුළින්ම ඔබට එය ටිකෙන් ටික විනාශ කර දැමීමට පුළුවන.

"මම" යන සංකල්පය ක්‍රියාවලියකි. එය ක්‍රියා කරවන්නේ අප විසින්ය. විපස්සනාවේදී අප එය කරන බවත්, එය කරන්නේ කෙසේ ද, කුමන වේලාවකදී ද යන්නත් දැකීමට අපි ඉගෙන ගනිමු. එවිට එය පැහැදිලි ආකාශය තුළින් ඉවත්ව යන වලාකුළක් සේ මැකී පලා යනවා ඇත. එවිට එම අවස්ථාවට උචිත පරිදි එය කරනවා ද, නොකරනවා ද යන විකල්පයක් අපට තිබෙයි. බලකිරීමක් නැත. අපට තෝරා ගැනීමක් කළ හැකිය.

මේ සියල්ල, ගැඹුරු දැනුම් කොටස්ය. ඒ සෑම කොටසක්ම මිනිස් පැවැත්ම පිළිබඳ ගැටලුවක් ගැඹුරින් වටහා ගැනීමක් වෙයි. වෙර දැරීමකින් තොරව කඩිනමින් මේවා සිදු නොවෙයි. නමුත් වෙහෙස වී හෝ ලබාගන්නා ප්‍රතිඵලය අතිමහත්ය. එමඟින් ඔබගේ ජීවිතය පූර්ණ පරිවර්තනයකට යොමු කරවයි. මින්පසු, ඔබගේ ජීවිතයේ ගෙවෙන සෑම තත්පරයක්ම වෙනස්ය. මෙම මාර්ගයේ දැඩි අධිෂ්ඨානයකින් ඉදිරියට ගමන් කරන භාවනානුයෝගියා පරිපූර්ණ මානසික සෞඛ්‍යයක් අත්කර ගනියි. ජීවත්වන සැමට මෛත්‍රීය දක්වයි. තමාගේ දුක මුළුමනින්ම අවසන් කර ගනියි. මෙය සුළු පටු ඉලක්කයක් නොවෙයි. එහෙත් ඵල නෙළා ගැනීම සඳහා ඔබට මුළු දුරම ගමන් කිරීම අවශ්‍ය නැත. ප්‍රතිඵල මුලපටන්ම ආරම්භ වී කාලයත් සමඟ එකතු වනු ඇත. එය සමුච්චිත කාර්යයකි. භාවනා පුහුණුව වැඩි වන තරමට ඔබ ඔබගේ පැවැත්මේ සත්‍ය ස්වභාවය පිළිබඳ වඩාත් යහපත් අවබෝධයක් ලබා ගනියි. භාවනාවේ යෙදෙන පැය ගණන වැඩිවන විට, සිතේ ඇතිවන සෑම සිතිවිල්ලක්, චේතනාවක් හා චිත්ත ආවේගයක් දෙසම නිසලව හා සන්සුන්ව බලා හිඳීමේ හැකියාව ද දියුණු වෙයි. විමුක්ති මාර්ගයෙහි ඔබ ලබන දියුණුව භාවනා මෙට්ටය මත ගත කරන පැය ගණන අනුව මිනිය හැකිය. මේ ක්‍රියාවලිය තුළදී ප්‍රමාණවත් යැයි ඔබට හැඟෙන ඕනෑම විටක නැවැත්විය හැක. ජීවිතය පිළිබඳ සත්‍ය තත්ත්වය දැන ගැනීමේ කැමැත්ත සහ තමාගේ සහ අන් අයගේ ජීවන පැවැත්ම වඩා හරවත් කර ගැනීමේ ආශාව හැරුණු විට ඔබට වෙනත් බලකිරීමක් නැත.

භාවනා පුහුණුව සඳහා අවශ්‍ය ආකල්ප මොනවාදැයි විමසා බලමු.

පසුගිය ශතවර්ෂය තුළ බටහිර විද්‍යාව සහ භෞතික විද්‍යාව විශ්මය ජනක සොයා ගැනීමක් කළේය. ඒ, අපි අප දකින ලෝකයේ ම කොටසක් බවයි. අපගේ නිරීක්ෂණ ක්‍රියාවලිය අතරතුරම අප නිරීක්ෂණය කරන වස්තුව වෙනස් වෙයි. උදාහරණයක් ගත් කල ඉලක්ට්‍රෝනය අතිශයින්ම කුඩා වස්තුවකි. එය උපකරණයක් නැතිව දැකගත නොහැකිවාක් මෙන්ම, නිරීක්ෂකයා දකින දෙය තීරණය කරන්නේ උපකරණය විසිනි. ඉලක්ට්‍රෝනයක් දෙස එක ආකාරයකින් බලන විට තම මාර්ගයෙහි ඍජු රේඛා දිගේ වීසිවෙමින් යන කුඩා බෝලයක් ලෙස පෙනෙයි. තවත් ආකාරයකට බලන කල තද ගතියක් නැති තරංගයක් මෙන් වෙයි. එය දිලිසෙමින් සෑම දිශාවටම දඟලන බව දැකීමට පිළිවන. ඉලක්ට්‍රෝනයක් ද්‍රව්‍යයකට වඩා සිදුවීමකට සමාන කළ හැකිය. නිරීක්ෂණය කරන්නා තමාගේ නිරීක්ෂණය තුළින්ම එම සිදුවීමට සහභාගි වෙයි. මෙම අන්තර් ක්‍රියාව කිසිසේත් මගහැරීමට බැරිය.

බොහෝ කලකට පෙර මෙම මූල ධර්මය පෙරදිග විද්‍යාව විසින් හඳුනාගෙන තිබුණි. මනස යනු සිදුවීම් සමූහයක් වන අතර, තමාගේ ඇතුළාන්තය දෙස බලන සෑම අවස්ථාවකදීම නිරීක්ෂකයා එම සිදුවීම්වලට සහභාගී වෙයි. භාවනාව සහභාගිත්ව නිරීක්ෂණයකි. ඔබ නිරීක්ෂණය කරන දෙය එම ක්‍රියාවලියට ප්‍රතික්‍රියා දක්වයි. මේ අවස්ථාවේදී ඔබ බලන්නේ ඔබ දෙස මෙන් ම වන අතර, ඔබට පෙනෙන දේ තීරණය වන්නේ ඔබ බලන ආකාරය මතයි. එම නිසා භාවනාවට ඉතාමත් පරෙස්සමෙන් මැදිහත් විය යුතුවාක් මෙන්ම එහි ප්‍රතිඵල මුළුමනින්ම භාවනානුයෝගියාගේ මානසික තත්ත්වය මත රඳා පවතියි. සාර්ථක පුහුණුවක් සඳහා පහත දැක්වෙන ආකල්ප ඉතා වැදගත් වනු ඇත. එයින් බොහොමයක් මීට පෙර ද සඳහන් වුණි. නමුත් නැවතත් ඒවා භාවිතය සඳහා නීති රෙගුලාසි මාලාවක් ලෙස හඳුන්වා දීම වඩාත් උචිතය.

 

1. කිසිවක් බලාපොරොත්තු නොවන්න.

වාඩි වී, සිදු වන්නේ කුමක් ද යන්න බලන්න. මුළු සිදුවීමම අත්හදා බැලීමක් ලෙස සලකන්න. පරීක්ෂණය කෙරෙහි ක්‍රියාකාරී උනන්දුවක් දක්වන්න. නමුත් ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඔබගේ අවධානය පරීක්ෂණයෙන් ඉවතට නොගන්න. අනෙකක් තබා කිසිදු ප්‍රතිඵලයක් ගැන සිතා ඔබගේ සිත කරදරයට පත් කරගත යුතු නැත. රිසි පරිදි වේගය හා දිසාව හසුරුවා ගැනීමට භාවනාවටම ඉඩ දෙන්න. ඔබට ඉගැන්වීමට භාවනාවට ඉඩ සලසන්න. භාවනාත්මක දැනීමට අවශ්‍ය වන්නේ යථාර්ථය පවතින ආකාරයෙන් දැක ගැනීමටයි. එය අපගේ අපේක්ෂාවන් හා ගැළපෙනවා ද නැද්ද නොසලකා, අපගේ පූර්ව නිගමන හා අදහස් මඳ වේලාවකට නවතා තැබීමටත් මෙහිදී අවශ්‍ය කරයි. මෙම කාලය තුළදී අපගේ මානසික ප්‍රතිරූප, අදහස් හා මතවාද පසෙක තැබීම නොකළොත් අප ඒවා සමඟ පටලැවීමට ඉඩ තිබේ.

 

2. අධික ලෙස වෙහෙස නොවන්න.

කිසිම බලකිරීමක් නොකරනවා මෙන්ම අනවශ්‍ය වීර්යයක් නොගන්න. භාවනාව ආක්‍රමණශීලි නැත. දැඩි ආයාසයක් ගැනීමට ඉඩක් හෝ වුවමනාවක් මෙහි නැත. ඔබගේ උත්සාහය ලිහිල්ව නොසැලී පවත්වා ගන්න.

 

3. ඉක්මන් නොවන්න.

හදිසියක් නැත. නිවී සැනසිල්ලේ කටයුතු කරන්න. මෙට්ටය මත පහසුවෙන් වාඩි වී, ඔබට භාවනාව සඳහා මුළු දවසම ඇතුවාක් මෙන් සලකන්න. වටිනාකමක් තිබෙන මොනයම් දෙයක් හෝ ගොඩ නැඟීමට දිගු කාලයක් වැයවෙයි. ඉවසන්න; ඉවසන්න; ඉවසන්න.

 

4. කිසිවක් කෙරෙහි නොඑල්ලෙන්න. කිසිවක් ප්‍රතික්ෂේප නොකරන්න.

එය කුමක් වුවත් පැමිණෙන සියල්ලක්ම, ඒමට ඉඩ හරින්න. යහපත් චිත්තරූප නැඟුණහොත් එය යහපත්ය. අයහපත් චිත්තරූප ඇති වුවහොත් එහි ද වරදක් නැත. සියල්ල දෙස සමානාත්මකව බලන්න. සිදු වන හැම දෙයක් ගැනම සැහැල්ලුවෙන් හිතන්න. ඒවා සමඟ සටන් නොකර සෑම අත්දැකීමක්ම එළැඹි සිහියෙන් දකින්න.

 

5. යන්නට හරින්න.

මතුවන සියලු වෙනස්කම් සමඟ ගලා යන්න ඉගෙන ගන්න. ලිහිල් වී සන්සුන් වෙන්න.

 

6. පැමිණෙන සෑම දෙයක්ම බාර ගන්න.

නොතිබුණා නම් හොඳ යැයි සිතෙන හැඟීම් ද ඇතුළුව ඔබගේ සියලුම හැඟීම් පිළිගන්න. ඉතාමත් අප්‍රියජනක අත්දැකීම් ද සමඟ සියලු අත්දැකීම් බාර ගන්න. ඔබගේ මිනිස් දුර්වලකම් සහ අඩුපාඩු පිළිබඳ ඔබව හෙළා නොදකින්න. මනසේ සිදුවන සෑම සිද්ධියක්ම ස්වාභාවික හා තේරුම්ගත හැකි දේ ලෙස දැකීමට ඉගෙන ගන්න. සෑම වෙලාවකදී ම ඔබ අත්දකින සියල්ල මධ්‍යස්ථව පිළිගැනීමට උත්සාහ දරන්න.

 

7. තමා කෙරෙහි මුදු මොළොක් වන්න.

තමාටම කරුණාවන්ත වන්න. ඔබ අංග සම්පූර්ණ නොවන්න පුළුවන. නමුත් මෙහිදී ඔබ ඇති සැටියෙන් පිළිගැනීමට ඔබට සිදුවේ. ඔබ කවරෙක් වේවි ද යන ක්‍රියාවලිය පටන් ගන්නේ වර්තමානයේ සිටින්නා වූ ඔබ කවරෙක් ද යන්න මුළුමනින්ම පිළිගැනීම තුළින්ය.

තවත් විශේෂිත කරුණු 4ක් මීළඟ කලාපයෙන් සාකච්ඡා කරමු

 

මීළඟ කලාපයෙන් සියලු ජීවීන් සමඟ සමාදානයෙන් සිටින්නේ කෙසේද?

Comments