දරුවන්ගේ හිත් නොරිදා මන සුව රකින හැටි | සිළුමිණ

දරුවන්ගේ හිත් නොරිදා මන සුව රකින හැටි

ය කොල්ලන්ට කෙල්ලන්ට බැනලා හදන්න බෑ දැන් කාලෙ. උන්ට හැදෙන්න අරින්න. උන් තේරුම් ගනී හොඳ නරක මොකක්ද කියලා."

" ඒක හරි යන වැඩක් නෙවෙයි. උන්ට බණින එක නම් පලක් නෑ නිස්කාරණේ. ඒත් උන් ගැන ඇහැ ගහගෙන ඉන්න ඕනෑ, මඟ පෙන්වීමක් තියෙන්න ඕනෑ. මොකද ඔය මොන මොන දේවල් කළත් වැඩක් නෑ දරුවො වෙනුවෙන් එයාලගෙ හිත් තේරුම් ගන්න උත්සාහ නොකර."

" කොහොමද ඉතින් අපි දරුවන්ගෙ හිත් කියවන්නෙ ? "

" ඒක එක්තරා විදිහක කලාවක් ; දක්ෂකමක්. නූලට මිම්මට උත්සාහ කරන්න ඕනෑ වැඩක්."

දරුවන්ගේ මනසුව හා හැසිරීම් රටා පිළිබඳව ඇස ගසා ගෙන සිටීම පහසු කටයුත්තක් නොවේ. ඇතැම්විට කේන්තියකින්, කලකිරීමකින් හෝ ගැටුමකින් හෝ කෙළවර වන්නට ඉඩ තිබෙන මුත් දරුවන් සමඟ නියමාකාර මානසික ගනුදෙනුවකට වැටුණහොත් එය මුළු පවුලේම මන සුව රැකෙනු පිණිස හේතු වෙයි.

මේ ගනුදෙනුව පහසු නැතත් එය ඉවසිලිවන්තව අත්හදා බැලීම වරදක් නොවේ. විශේෂයෙන්ම මේ 

" ඉවසිලිවන්ත" යන පදය අප දරුවන් සමඟ කටයුතු කරද්දී කිසිසේත්ම අමතක කළ යුතු නොවේ. එහෙත් එයින් කියවෙන්නේ අපට කේන්ති නොයන බව හෝ සැර වැර දැමීම මුළුමනින්ම අමතක කළ යුතු බව නොවේ. කෝපය සාමාන්‍ය මිනිස් ගතියක් බව මෙහිදී අප පිළි ගත යුතුය. එහෙත් මේ කාරණයේදී අංක එක වන්නේ කෝප සහගත හැඟීම් කළමනාකරණය කර ගන්නට අප සූදානම් වී සිටීමය.

කලකට පෙර අප අසා තිබුණේ මොළයේ වර්ධනය ආශ්‍රිත ක්‍රියාකාරකම් ළමා වියෙන් අවසන් වන බවය. එහෙත් දැන් ඒ අදහස මුළුමනින්ම වාගේ වෙනස් වී තිබෙන බවක් දකින්නට ලැබේ. නව ලොව දැනුමට අනුව මිනිස් මොළයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කෙරෙද්දී හඳුනා ගනු ලැබ තිබෙන්නේ ජීවිත කාලය මුළුල්ලේ මිනිස් මොළය විවිධාකාර වෙනස්කම්වලට බඳුන් වන බවය. නව යොවුන් විය හා පූර්ව වැඩිහිටි විය දක්වාම පාහේ වර්ධනයක් සිදු වන බවය.

නව යොවුන් විය වශයෙන් සැලකෙන්නේ වයස අවුරුදු දහයත් විසි හතරත් අතර කාලයයි. එය බැලූ බැල්මට අසාමාන්‍ය හැඳින්වීමක් වශයෙන් පෙනුණද මේ අලුත් නිර්වචනයට පාදක වී ඇත්තේ මොළයේ වර්ධනය සම්බන්ධයෙන් හෙළිදරව් කර ගත් නව දැනුමය. මොළයේ ඇතිවන වෙනස්කම් එහි ක්‍රියාකාරීත්වය එනම් තීන්දු තීරණ ගැනීම, සැලසුම් කිරීම, අනෙක් තැනැත්තන් ගැන කල්පනා කිරීම, , චිත්තවේග ක්‍රියාත්මක වීම මෙන්ම ව්‍යූහය අනුව ද සිදු වෙයි. ඉතා බාල වයසකදී මොළයේ ප්‍රමාණාත්මක වැඩීම අවසන් වන නමුදු නව යොවුන් විය දක්වාම එහි අභ්‍යන්තර සංයුතියේ වෙනස්කම් සිදු වේ.

මොළයේ අඩංගු වන ධූසර ද්‍රව්‍ය හා ශ්වේත ද්‍රව්‍ය දැඩි වෙනසකට ලක් වන්නේ නව යොවුන් වියේදීය.

යොවුන් වියේ මොළය වර්ධනය වීම පිළිබඳ පර්‍යේෂණ තවමත් මුළුමනින් අවසන් නැත. එබැවින් ඔවුන් සමඟ සිදු කරන ගනුදෙනුවලදී අප මේ ගැන හොඳින් සිහි තබා ගත යුතුය. මන්ද යත් එය ඔවුන්ගේ මානසික සෞඛ්‍යය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරන්නට හේතු විය හැකි බැවිනි.

දරුවන්ගේ මනසුව ගැන කතා බහ කෙරෙද්දී වඩාත්ම වැදගත් සාධකය වන්නේ නින්දයි. නින්ද කවර වයසක පසුවන්නකුට වුව වැදගත් නමුත් මොළය වර්ධනය වන අවදියේ පසුවන්නන්ට එය බෙහෙවින් වැදගත්ය. විශේෂයෙන් පාසල් වියේ පසුවන දරුවන්ට නින්ද බොහෝ වැදගත් ය. පාසල් දිනවල අඩුවන නින්ද සති අන්තයේ අල්ලා ගන්නට ඔවුන් උත්සාහ කරන්නේ එබැවිනි. බොහෝ මවුපියන් අද දවසේ තරගකාරී හා වෙහෙසකර අධ්‍යාපන ක්‍රමය හමුවේ දරුවන්ගේ නින්ද අලසකම ලෙස දකින්නට හුරුවී ඇතත් ඔවුන්ගේ නින්ද ගැන මධ්‍යස්ථව සිතීම බෙහෙවින් වැදගත් ය. ඊට හේතුව වන්නේ මුළු අනාගතයම තීන්දු වන මන සුව සඳහා මේ නින්ද අත්‍යවශ්‍ය සාධකයක් වන බැවිනි.

දරුවන්ගේ මන සුව සම්බන්ධයෙන් වැඩිහිටියන්ගේ අවධානය යොමු විය යුතු ඊළඟ කාරණාව වන්නේ ඔහු හෝ ඇය ඩිජිටල් තිරයක් දෙස බලා ඉන්නා කාලයත් සමාජ ජාලා ඇබ්බැහියත්ය. මෙය දෙයාකාරයකින් ඔවුන්ගේ යහ ගුණ හෑල්ලු කරන්නට හේතු විය හැකිය. එකක් මහ රෑ දෙගොඩහරියක් වන තුරු යම් තිරයකට එබී ගෙන ඉන්නට හුරු වීමෙන් ඇති වන ශාරීරික ගැටලුය. අනෙක සමාජ ජාලා ඇබ්බැහිය නිසා හට ගන්නට ඉඩ තිබෙන මානසික අසමබරතාය. ඇතමකු මෙහිදී කියන්නට ඉඩ ඇති කාරණාවක් වන්නේ දරුවන්ට කොතෙක් තරවටු කළද මේ ඇබ්බැහියෙන් ඔවුන් මුදා ගන්නට නොහැකි බවය. එය ඇත්තකි. තරවටුවකින්ම එය කළ නොහැකිය. මේවායේ සීමාව පැනවීම් දරුවා කුඩා අවදියේ සිටම ක්‍රමානුකූලව සිදු විය යුතුය.

සමාජ ජාලා ශිෂ්‍ය මනස වෙනස් කරලීමේ ලා බලපාන්නාවූ ආකාරය ගැන අපට වුවමනාවටත් වඩා අසන්නට ලැබෙයි. සංසන්දනය හරහා ඇති වන්නාවූ මානසික පීඩාවේ සිට සෘණාත්මක ආකල්ප හා සිතිවිලි රටා, ඔන්ලයින් භීතිකා මෙන්ම සයිබර් හිංසා දක්වා පුළුල් පරාසයක විහිදුණු ගැටලුවලට මුහුණ දෙන්නට දරුවන්ට සිදු වෙයි. එය ඔවුන්ගේ සමස්ත අනාගතය කෙරේ ම වුව තීරණාත්මක ලෙස බලපාන්නට ඉඩ තිබේ. එබැවින් දරුවන් ඩිජිටල් තිර හා සමාජ ජාලා සමග ගත කරන කාලය ගැන විමසිල්ලෙන් ඉන්නට වැඩිහිටියන්ට සිදු වෙයි.

දරුවකුගේ මනස ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි දැන සිටීම මවුපියන්ටද, ගුරුවරුන්ටද එක සේ ප්‍රයෝජනවත්ය. එපමණක් නොව එය තම අභිවෘද්ධිය පිණිස ඔවුන්ටද ප්‍රයෝජනවත්ය. එහි ඇති ප්‍රධාන වාසිය වන්නේ දරුවන්ගේ තීන්දුවක් හෝ ක්‍රියාවක් සම්බන්ධයෙන් ගහෙන් ගෙඩි එන්නාක් මෙන් බණින්නට, කෑගසන්නට හෝ දෝෂාරෝපණ කරන්නට මවුපියන් නොපෙලඹීමයි. දරුවකුගේ යම් තීන්දු ගැනීමක්, ක්‍රියාවක් සිදු වන්නට පසුබිම සොයා බලා නිවී සැනසිල්ලේ ස්ථිරසාර විසඳුමක් ලබා දෙන්නට එවිට අපට හැකි වෙයි. විශේෂයෙන්ම අපට දරුවන්ගේ හැසිරීම් රටා හා හුරුපුරුදු පිළිබඳව උපදෙස් දෙන්නට හෝ කටයුතු කරන්නට සිදු වන්නේ ඉතා කල්පනාකාරීවය. ඊට හේතුව වන්නේ ඔවුන් මේ වයස් මට්ටම්වලදී ඇතිකරගන්නා ගැටලු සහ සිදුකරන අත්හදා බැලීම්වල සෑහෙන පමණක අවදානමක් තිබෙන බැවිනි.

උදාහරණයක් වශයෙන් අවුරුදු දහතුනත් දහනමයක් අතර වයස් කාලය තුළ දරුවන් අත් හදා බලන්නට උත්සාහ කරන්නේ බෙහෙවින් අවදානම් සහගත දේ ය. දුම් බීමට හෝ මත්පැනට හෝ හුරු වීම, කලහවලට රණ්ඩුසරුවල්වලට පැටලීම, වේගවත් රිය ධාවනය එබඳු කීපයකි. එය බොහෝ විටම සම වයස් කණ්ඩායම්වල බලපෑම් නිසා ඇති වන්නක් බැවින් දරුවාගේ මිතුරු ඇසුර කෙබඳු එකක්දැයි ඇස ගසා ගෙන සිටින්නට අපට සිදු වෙයි.

නියුරෝන විවිධත්වය ගැන ද මෙහිලා අපේ අවධානය යොමු විය යුතුය. මිනිසා යනු ස්වභාවයෙන්ම නියුරෝන විවිධත්වයෙන් යුතු සත්ව කොට්ඨාසයකි. එසේ වුවද අපේ අධ්‍යාපන ක්‍රමය සැකසී ඇත්තේ සැමට පොදු වූ එක් රාමුවකටය. පාසලේ හෝ වේවා උසස් අධ්‍යාපන ආයතනක හෝ වේවා නියුරෝන විවිධත්වය අපට දැකගත හැකිය. එහෙත් ඔටිසම්, ඩිස්ලෙක්සියා හෝ ඒඩීඑච්ඩී වැනි තත්ත්වවල පසුවන දරුවන් මෙහිදී දැඩි නොසලකා හැරීමකට ලක් වෙයි. මේ වයස් මට්ටම වනාහී හෝර්මෝන, මොළය මෙන්ම සමාජ වටපිටාව යන සියල්ලේම ප්‍රබල වෙනසක් අත්විඳින කාලසීමාවක් බැවින් ඒ ඒ දරුවාට අවශ්‍ය මට්ටමෙන් සහාය ලබා ලබා දීම වැඩිහිටියන්ගේ වගකීමකි.

බොහෝ වැඩිහිටියන් කල්පනා කරන්නේ දරුවන්ට ප්‍රශ්න නැති බවය. "අපි කන්න බොන්න ටික දෙනව නම් උන්ට මොන ප්‍රශ්නද ?" ඇතැම් මවුපියන් පවසනු අප අසා තිබේ. එහෙත් සත්‍යය එය නොවේ. දරුවන් ද යම් යම් ආකාරවල මානසික ගැටලුවලට මුහුණ දෙන්නට ඉඩ තිබේ. ඒවාට අදාළ අවස්ථාවේදී අවධානය හෝ සහාය නොලැබුණ හොත් තත්ත්වය වඩා බරපතළ අතට හැරෙන්නට ද ඉඩ තිබේ. බාගවිට මිතුරන් පිළිබඳ, අධ්‍යාපන කටයුතු පිළිබඳ, සම්බන්ධතා පිළිබඳ යනාදී වශයෙන් බොහෝ පීඩාකාරී තත්ත්වයන් ඔවුන්ගේ මනස තුළ උපදින්නට පුළුවන. අදාල අවස්ථාවේ ඒ පීඩාකාරී තත්ත්වය හෝ මානසික ගැටලුව තෝරා ගන්නට මවුපියන් හෝ වැඩිහිටියන් අසමත් වුවහොත් එය අවාසනාවන්ත ඉරණමක් වන්නට ඉඩ තිබේ. සාමාන්‍යයෙන් අප අසා තිබෙන අන්දමට පුද්ගලයන් තුළ ඇතිවන මානසික රෝගවලින් 75%ම පාහේ ආරම්භ වන්නේ වයස අවුරුදු 18 ට පෙරය.

අනෙක් අතට අප කල්පනා කළ යුතු තවත් කාරණයක් වන්නේ අද දවසේ දරුවන් මුහුණ දෙන සමාජ වටපිටාවයි. එය මීට වසර පහළොවකට විස්සකට පෙර තිබුණු තත්ත්වය හා සංසන්දනය කර බලද්දී බෙහෙවින් පීඩාකාරී හා ආතතිය ඇති කරන වටපිටාවක් බව පැහැදිලිව කිව හැකිය. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ තරගකාරීත්වය වැඩි වීම, මවුපියන් මුහුණ දෙන ආර්ථික හා සමාජයීය ගැටලු ආදිය හේතුවෙන් ඇතැම් විට දරුවන් නිදන්ගත ආතති තත්ත්වයන්ට වුව ගොදුරු විය හැකිය.

දරුවන්ගේ සිත උපදින තවත් හැඟීමක් වන්නේ පරාජය පිළිබඳ උපදින බියයි. තරගකාරී අධ්‍යාපන රටාව, භීතිකාව, අනාගතයේ රැකියාවක් ලැබීම පිළිබඳ ඇති අවිනිශ්චිත බව, පවුලේ අසමගිය හෝ පවුලේ ගැටලු ආදී කාරණා හෝ වක්‍රව හෝ දරුවන්ගේ සිතේ පරාජිත හැඟීම් කරන්නට හේතු වෙයි. හැඟීම සමඟ නිරන්තරව සටන් කිරීම හරහා උපදින බිය දීර්ඝකාලීන හා අනිසි බලපෑමක් ඇති කරන්නට සමත්ය. මවුපිය වැඩිහිටියන්ගේ වගකීම වන්නේ දරුවන් එබඳු පීඩාවකින් පෙළෙන්නේදැයි සූක්ෂමව සොයා දැන ගැනීමත් ඊට අවැසි පියවර ගැනීමත්ය. එහෙත් අද දවස විට වියවුල් සහගත තරගකාරී සමාජයක සිටින බහුතරයක් මවුපියන්ට දරුවන්ගේ මානසිකත්වය තබා ඔවුනොවුන්ගේ මානසිකත්වය ගැන වුවද කල්පනා කරන්නට විවේකයක් නිනව්වක් නොමැති තරම්ය. 

දරුවන්ගේ මනසුව ගැන සිතන කවරකුගේ හෝ මූලික ලක්ෂණය විය යුත්තේ ඔවුනට සවන් දීමය. දරුවන්ගේ සිතුම් පැතුම් හා ඔවුන්ගේ හැඟීම් තේරුම් ගැනීම සඳහා ඔවුන්ට සවන් දීම පුරුද්දක් කරගත යුතුය. මවුපියන් තමාට ඇහුම්කන් දෙන්නට සූදානම් බව හා ඇහුම්කන් දෙන බව ඔවුනට වැටහී ගිය පසු මේ සම්බන්ධය පවත්වා ගන්නට ඉතා පහසුය. ඒ හරහා මවුපියන් දූ දරුවන් අතර ඉතා ඉහළ බැඳීමක් ඇති වෙයි. එය දෙපාර්ශ්වයේම මනසුව පිණිස හේතු වෙයි.

අනෙක් අතට යම් බැඳීමක් සාර්ථකව පවතින්නේ දෙපාර්ශ්වය එකිනෙකා අගය කිරීම මතය. මවුපියන්ට අවශ්‍ය ගෞරවය ලැබෙන්නට නම් මවුපියන් තමා අවශ්‍ය තැනදී අගය කරන බව හා සහාය පළ කරන බව දරුවන්ට වැටහිය යුතුය. එසේ නොවී සම්ප්‍රදායික හෝ ආඥාදායක ගෞරවයක් නාමිකව ලබා ගැනීමෙන් පලක් නොවේ. එබැවින් මවක, පියකු හෝ වැඩිහිටියකු පැහැදිලිවම හොඳ සවන් දෙන්නකු වීම අත්‍යවශ්‍යය. එය ඔවුන්ගේ සිත තුළ සහනයක් ඇති කරන්නටත් ඒ හරහා මානසික සෞඛ්‍යය හොඳ මට්ටමක පවත්වා ගන්නටත්, ආත්ම විශ්වාසය ගොඩ නැඟෙන්නටත් තදින්ම බලපාන්නා වූ කාරණයක් බව වටහා ගත යුතුය.

Comments