දශක තුනක් නොදැක්කත් නොමැරුණු පෙමක අසිරියක් | සිළුමිණ

දශක තුනක් නොදැක්කත් නොමැරුණු පෙමක අසිරියක්

රැකියාවේ තමන්ට හිමි සේවයට වඩා එහා ගිය සේවාවක ඔවුහු නිරත වන්නෝය. තම රෝහලේ වාට්ටුවට ඇතුළු කරන මවකට පියකුට ඔවුහු සලකන්නේ සේවයෙන් එහා ගිය ලැබැඳියාවෙනි. දරුවන් පවා තම මවුපියන් මහමඟ අතරමං කරනා යුගයක, ඔවුහු සිය රෝහලේ වාට්ටුවට පැමිණෙන අසරණ යාචකාදීන්ට පවා සලකන්නේ සිය මවට පියකුට සලකන උතුම් මානුෂික හැඟීමෙනි. රෝහල් බලධාරීහු, වෛද්‍යවරු, හෙද නිලධාරීහු, හෙද සොහොයුරියෝ මෙන්ම සාත්තු සේවිකාවන්, කම්කරුවෝ යන ලොකු පොඩි තනතුරු භේදයක් මේ සත්කාරයේදී ඇවැසි නැත. ඇතැම් විට සිය සේවයෙන් එහා ගිය පරිත්‍යාගයන් පවා සිදු කරන්නට සිත් ඉඩ දෙන්නේ මේ මානුෂික හැඟීම නිසාය. මේ ඊට හොඳම උදාහරණයකි.

ඇය නමින් කුමාරස්වාමි යෝගේෂ්වරීය. ඔහු කොවල් සෙල්වරත්නම්ය. යෝගේෂ්වරීට අදට වයස අවුරුදු 70 කි. සෙල්වරත්නම් අවුරුදු 78 කි. මොවුන් පදිංචිව සිටියේ ත්‍රිකුණාමලය නිලාවෙලි, පෙරියකුලම්හි කන්‍යා පාරේය. ඒ තිස් අවුරුදු යුද්ධය පැවැති වකවානුවේය. දමිළ ගම්මානයක් වූ මෙහි නිරන්තරයෙන් අත්දුටුවේ යුද්ධයේ දරුණුතම අත්දැකීම්ය. සෙල්වරානි, කවීදා, ලදා නමින් වූ දියණියන් තිදෙනකු හා සෙල්වකුමාර, සෙල්වමලර්, සෙල්වරාජන් නමින් වූ පුතණුවන් තිදෙනකු ඇතුළු දරුවන් සය දෙනකු සිටි මේ පවුලට අලුත්ම සාමාජිකයකු එක් වීමට ද සිටියේය. ඒ වන විට යෝගේෂ්වරී සිවු මස් ගැබිනියකි. මීට වසර 33 කට පෙර එනම් යුද්ධයේ දරුණුතම වකවානුව මොවුන්ට සතුටින් නිවසේ වසන්නට අවස්ථාව උදා වූයේ නැත. දරුණු මෝටාර් ප්‍රහාර එල්ලවෙද්දී මේ ගම්මානයේ වැසියෝ දිවි රැක ගන්නට සීසීකඩ විසිරෙන්නට විය. ඒ වන විට වැඩිමහල් දියණිය වූ සෙල්වරානිට වයස අවුරුදු 15 කි. සිය පොල් අතු පැල දමා මේ මව පියා දරුවෝද සමඟින් පුල්මුඩේ පැත්තට පලා ගියේ ජීවිතය රැක ගන්නටය. සෙල්වරානි වැඩිමහල් අක්කා අත අවුරුදු එකහාමාර බාල සොහොයුරු වූ සෙල්වරාජන්ය. තරමක හිතුවක්කාරී ගති පෙන්නුම් කළ යෝගේෂ්වරීට මේ පලා යෑම සිත් දුන්නේ නැත. ඇය සිය විරුද්ධත්වය ප්‍රකාශ කරමින් සිය ස්වාමියාගේ අත ද විකන්නට විය. ජිවිතය රැක ගැන්මට සිසිකඩ විසිර පලා යන සෙනඟ අතරින් මුලතිව් ආරක්ෂිත ස්ථාන කරා යාමට සිටි පිරිස් සමඟින් පියා දරුවෝද බෝට්ටුවලට නැඟ ගත්ත ද ඒ ගමනට යෝගේෂ්වරී එක්ව සිටියේ නැත. ඇය පිරිස අතර අතරමං විය. මුලතිව් බලා ආරක්ෂිත කඳවුරක සිටි සෙල්වරත්නම් එදා සිට සිය ගැබිනි බිරිය සොයන්නට විය. ඇය ගැන අස්සක් මුල්ලක් පීරමින් සෙවුවේය.

යුද්ධය නිසාවෙන් සිවිල් පුරවැසියන්ද මැරෙද්දී වසර ගණනවක්ම කිසිදු තොරතුරක් නොවූ තම බිරිය ගැන තිබූ බලාපොරොත්තු අත්හැර ගන්නට වූයේ ඇය මියගොස් ඇති බවට සිතුවිලි ඇති කර ගැනීමෙනි. තිස් වසරක යුද්ධය ද අහවර වී වසර 14 කි. සෙල්වරත්නම් යළිත් වසර 10 කට පෙර සිය ගම්බිම් බලා පැමිණ බ්ලොක් ගඩොලින් ගෙයක් ද තැනුවේය. දැන් සෙල්වරත්නම් ළඟ වූ දරුවන් හෙදියන්, මේසන්, පවුල් සෞඛ්‍ය නිලධාරීන්, ගාමන්ට් සුපර්වයිසර්වරුන් ආදි රැකියාවලය. මුනුපුරු මිනිපිරියෝ කරඳඩු උස් මහත්ව අධ්‍යාපන කටයුතු වල නියැළෙති. සිය ආච්චි අම්මා ගැන ඔවුන් දන්නේ ද නැත.

ඒ සෙල්වරත්නම්ලාගේ අතීත කතාවය. අලුත්ම කතාවේ වෙනස්ම පිටුවක් පෙරළෙන්නේ කොළඹ මහ රෝහලෙනි. කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ 4 වැනි දොරටුව අසල මාර්ගයේ දින කිහිපයක්ම සිඟන කාන්තාවක් සිඟමනේ යැදුණේ එදා වේල කන්නට යමක් ඉල්ලමිනි. දමිළ ජාතික කාන්තාවක් වූ ඇය දින කිහිපයක සිට විවිධ අසනීප තත්ත්වයන් පෙන්නුම් කරන අයුරු ඒ මාර්ගයේ නිරන්තරයෙන් ගැවසෙන බව වෛද්‍යවරුන්ට තේරුම් ගිය කරුණක් විය. කොළඹ මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලනට ද ඇයගේ අසනීප තත්වය සම්බන්ධව විමසිලිමත් වූයෙන් ඔහු උපදෙස් දුන්නේ 1990 හරහා මේ කාත්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලෙසය.

ඇය කොළඹ මහ රෝහලේ 56 B වාට්ටුවට ඇතුළත් වූයේ ඒ ආකාරයෙනි. රෝහලට ඇතුළත් කරන විටත් ඇය දැඩි ලෙස ප්‍රචණ්ඩකාරී විය. ඇය ඉතා අපිරිසුදු තත්තවයෙන් පසු වූ අතර, ඇස් පෙනීමේ දුර්වලතාවක් මෙන්ම කකුලේ වේදනාවකින් ද යුතු විය. රෝහලට ඇතුළත් කළ මේ කාන්තාව කිසිදු පැකිළීමකින් තොරව පිරිසිදු කිරීමේ කාර්ය සිදු වූයේ සාත්තු සේවිකාවන් අතිනි. ඇයට ඇඳීමට ඇඳුම් පමණක් නොව ආහාරපාන පවා මේ අයගේ නිවෙස්වලින් ගෙන දෙන්නට තරම් හිත් කාරුණික විය. ප්‍රචණ්ඩකාරී හැසිරීමෙන් රෝහලට පැමිණි ඇය දිනක් දෙකක් යද්දි සන්සුන් වන්නට විය. එහෙත් වාට්ටුව භාර හෙද සොහොයුරිය වූ ජී. කේ. අජන්ති පෙරේරා ඇතුළු හෙද සොහොයුරියන් නිරන්තරයෙන් ඇය ගැන විමසිලිමත් වූ අතර, ඇයව මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලට ද යොමු කරන්නට මේ අය කැප වුණාහ.

කිසිදු කෙනෙකුගේ හවුහරණක් නොමැති මේ කාන්තාව ගැන හෙද සොහොයුරියන් නිරන්තරයෙන් විමසිලිමත් වූයේ ප්‍රතිකාරවලින් පසුව ඇයව යොමු කරන්නේ කාටද යන බරපතළ ගැටලුවට අනතුරුව ඔවුහු මුහුණ දෙන නිසාය. සාමාන්‍යයෙන් මෙවැනි අය රෝහල් ගත වූ විට නැවත මහමඟට යාමට අදාළ වාට්ටුව ඉඩ සලසන්නේ නැත. බොහෝවිට ඔවුන් නැවත යැවෙන්නේ රෝහල සමඟ සම්බන්ධ වන සාත්තු සේවා නිවාසයන්ටය. එහෙත් ඒ වන විට අදාළ සාත්තු නිවාස පිරී ගොස්ය.

ඇයගේ වගකීම කරට ගත් වාට්ටුව භාර හෙද සොහොයුරිය වූ ජී. කේ. අජන්ති පෙරේරා ඊට ප්‍රතිකාර සොයන්නට විය. මේ කාන්තාව කාගේ කවුරුද? එතැන් සිට ටෙලි රූප රාමුවක් බඳු මේ කතාව ඇගේ හඬින්ම විමසමු.

“පසුගිය 16 වැනිදා කොළඹ මහ රෝහලේ 56B වාට්ටුවට ඇතුළත් වුණ යෝගේෂ්වරීට සිංහල කතා කරන්න බැහැ. දෙමළ විතරයි දන්නේ. ඇයගේ නම කියන්න දන්නවා. ඒ වගේම නිතරම සෙල්වරානි, කවීදා කියන නම් දෙක කිව්වා. ඒ තමන්ගේ ඥාතීන්ගේ නම් දෙකක් වෙන්න ඇති කියලා අපි අනුමාන කළා. ඒ හැර අපිට ඇය ගැන කිසිම තොරතුරක් දැන ගන්න ඉඟියක් ලැබුණේ නැහැ. මේ නිසා දවසින් දවස ඇගේ මතකය අලුත් කරන්න අපි උත්සාහ කළා. වෛද්‍ය උමා ශංකර් මේ අම්මත් එක්ක දෙමළ භාෂාවෙන් නිතර කතා කළා. මේ කතා කිරීම නිසා ඇයගේ පදිංචිය ගැන ගැන පුංචි හෝඩුවාවක් මේ අම්මා කරන්න පටන් ගත්තා. සංමුග විද්‍යාලම්, සාම්පල්තිව් කියන මේ නම් දෙක විතරයි මේ අම්මා අපිට දුන්නු හෝඩුවාව. මම මේ නම් දෙක අතේ තියාගෙන සියදහස් වාරයක් කල්පනා කළා, මේ නම් දෙකින් දින දෙක තුනක් ඇතුළත ඈත දුරක පිහිටි මේ අම්මගේ ගේ හොයා ගන්නේ කොහොමද කියලා. මම දැන ගත්තා සංමුග විද්‍යාලම් කියන්නේ පාසලක් බව. ඒ ළඟ ගේ තියෙන්න ඕන කියලා අනුමාන කළා.

සාම්පල්තිව් ගැන මම අහලා තිබුණේ නැහැ. නමුත් සාම්පූර් ගැන අහලා තිබුණ නිසා මම සාම්පූර් පොලිසියේ ඕ.අයි.සීගේ නොම්මරය හොයලා එයාට මේ විස්තරය දීලා මෙහෙම පාසලක් ළඟ සෙල්වරානි, කවීදා කියලා කවුරු හරි ඉන්නවද කියලා හොයලා බලන්න කිව්වා. සිස්ටර් දින දෙකක් දෙන්න හොයලා බලලා කියන්නම් කිව්වා. නැවත දින දෙකකින් ඔහු මට කෝල් කරල කිව්වා සිස්ටර් මේක මට අයිති පැත්තක් නෙමෙයි; නිලාවේලි පොලිසියටයි අයිති කියලා ඒ අයගේ නොම්මරයක් දුන්නා. මම ඒ පොලිසියට මගේ ඉල්ලීම කළා. අපේ ඉල්ලීමට ඔවුන් හරිම කාරුණික වුණා. ඩී. සී. ඩී. ලක්මාල් කියලා පොලිස් නිලධාරී මහත්තයෙක් කතා කළා. ඔහු බලලා කිව්වා, ඔය කියන කෙනෙක් නැහැ. අපි හැම තැනම හෙව්වා. ග්‍රාම සේවකටත් කතා කරලා බැලුවා. ඒත් එහෙම කෙනෙක් නැහැ කියලා. මේ පිළිතුරින් මම ගොඩාක් අසරණ වුණා.......” ඇයට නිතර දෙවේලේ මේ සිදුවීම සිතට වදයක් දෙන්නට විය.

වාට්ටුව භාර හෙද සොහොයුරි අජන්තිට දින දෙකකට පසු එනම් 24 වැනි සිකුරාදා නැවත වරක් නිලාවේලි පොලීසියේ ඩී. සී. ඩී ලක්මාල්ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණි. ඔවුන් මේ හෙද සොහොයුරියගේ අවංක ඉල්ලීම කෙසේ හෝ ඉටු කර ගැනීමට වෙහෙසී ඇත. එහෙත් මේ වෑයම සිතන තරමට ලෙසෙහි පහසු දෙයක් වූයේ නැත. හෝඩුවාව අනුමානයක් පමණක් විය.

“නිලාවේලි පොලිසියේ ලක්මාල් මහතාගේ දෙවැනි දුරකතන ඇමැතුම එන විට මම සේවය නිමකර නිවසට පැමිණයි සිටියේ. ඔහු මට කිව්වා පුංචි සැකයක් තියෙනවා. නමුත් වැරදි වෙන්නත් පුළුවන්. කවිදා, සෙල්වරානි කියන නම් දෙකට දෙන්නෙක් ඉන්නවා. නමුත් මේ අයගේ අම්මා මැරිලා. අපි පොලිසියට එන්න කිව්වා. දැන් මෙතන ඉන්නවා. කොහොමද දැන ගන්නේ කියලා. මම ඒ වෙලාවෙම රෝහලේ හෙදි සොහායුරියකට කතා කර මේ අයට වට්ස් ඇප් කෝල් එකක් අරගෙන මේ අම්මටයි ඒ අයටයි කතා කරන්න දුන්නා. අම්මට ඇස් පේන්නේ නැති වුණත් ඇය ඒ තමන්ගේ දරුවෝ හඳුනා ගත්තා.

ඉතාම සංවේදි ලෙස අම්මා මැරිලා කියලා හිතපු දරුවෝ අවු 33 කට පස්සේ තමන්ගේ අම්මා ජීවත්ව සිටින බව හඳුනා ගත්තා. ඒ හමුවීම හරිම සංවේදීයි. ඒ අය කිව්වා අපි පහුවෙනිදාම කොළඹ එනවා. අම්මා බලන්න කියලා. ඒ අය රෑම එහෙන් පිටත් වෙලා පාන්දර වෙද්දි රෝහලේ. අපිට හරිම පුදුමයි. පාන්දර වෙද්දි දරුවෝ මහත්තයා ඇඳ වටේම. කවිදා දියණිය, මිනිබිරියන්, අම්මා ආච්චි බලන්න අවුරුදු 33 කට පස්සේ ඇවිත්. සමහර දරුවන්ට අම්මා හරියට මතක නැහැ. මිනිබිරියෝ ආච්චි දැකලා නැහැ. මේ හැම දේම හීනයක් වගේ. දෙමළ භාෂාවෙන් විවිධ දේ කියමින් අපිට පින් දෙන්න ගත්තා. අවුරුදු 33 ක් මේ අය අම්මා දැකලා නැහැ. අවුරුදු 33 ම මේ අය තමන්ගේ අම්මා මැරිලා කියලා තහවුරු කරගෙන ඉඳලා තියෙන්නේ. මහත්තයාගෙන් නෝනා වෙන්වෙලා ගිහින් අවුරුදු 33ක්. පස්සේ අපේ සංග්‍රහයකුත් භුක්ති විඳලා ඔක්කෝම සතුටින් ත්‍රිකුණාමලය බලා පිටත් වුණා. “

ප්‍රධාන හෙද සොහොයුරි අජන්ති පවසන්නීය. ඇයට සිය හැඟීම් වචනයට පෙරළෙන්නේ නැත. තවමත් දෙනෙතට කඳුළු උණන තරමට මේ සිදුවීම ඇය සංවේදී කර ඇත්තේය.

“තමන්ගේ ජීවිතයේ අන්තිම කාලයේදි තමන්ගේ බිරිය යළිත් තමන්ට මුණ ගැසුණොත්..... ඒ දැනෙන හැඟීම කොහොම වෙයිද? බහ තෝරන වියේදි අම්මා කියන අකුරු තුනෙන් ලැබෙන උණුසුම අවුරුදු තිස් තුනකික් දරුවන්ට ලැබුණොත් එය ඔවුන්ගේ ජිවිතයේ සදාකාලික සැනසුමක් නොවෙයිද? මේ අම්මව අපිට සාත්තු සේවා නිවාසයකට භාර දෙන්න තිබුණා. ඒත් අපිට ඕන වුණේ ඊට එහා දෙයක් කරන්න. වසර ගණනාවක් මහපාර උරුම වූ ඇයට මැරෙන්නට පෙර යළිත් දරුවෝ ස්වාමියා හමු වුණා. ඒ සතුට කියන්න අපිටත් වචන නැහැ....“ ඇය පවසන්නීය. මේ ඇය සිදු කළ මෙවැනි කර්තව්‍යයන්ගෙන් එකක් පමණි. මේ සියල්ලටම වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ උපරිම සහය ලැබී ඇත්තේය.

ප්‍රධාන හෙද සොහොයුරි අජන්තිට මේ කර්තව්‍ය සිදු කරන්නට අවස්ථාව සලසා දුන්නේ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලනය. ඊට අමරතව රෝහලේ 56B වාට්ටුව භාර කායික රෝග විශේෂඥ වෛද්‍ය හරේන්ද්‍ර කරුණාතිලක හා විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයන්ග ඉටු කළේ සුවිශාල කාර්යභාරයකි.

යෝගේෂ්වරීට යළිත් සුව වී වසර 33 කට පසු සිය නිවසටම යාමේ අවස්ථාව සලසා දුන්නෝ බොහෝය. හෙද නිලධාරිනියන් වන පි. කේ සමරතුංග, එස්.එන් තිලකරත්න, ඩබ්ලිව්. පී.ඩී.පී පෙරේරා, ඉමල්ෂා පවනි, ඩී.සී.ඩී ජයසූරිය, බී. පී. ජී. ඩී. ඩී. අමරසිංහ, කේ. ඩබ්ලිව්. කේ. කිරින්ද, එන්. කේ. මැදගෙදර, එන්.එම්. ඒ. වී. බී. නවරත්න මෙන්ම උපස්ථායිකාවන් වන පතිරණ, සුමිත්‍රා ජයතිලක මෙන්ම ලතා යන අය ද බොහෙවින් උපකාර කර ඇත.

යෝගේෂ්වරි යළිත් සිය දරුවන් සමඟ ජීවත් වෙති. එහෙත් ඇයට බොහෝ දේ ගැන මතකයක් නැත. ගැබිනියකව සිටි තමන්ට ලැබුණු දරුවා ගැන කියන්නට ඇයට මතකයක් නැත. විටක මේසන් වැඩක කරන දරුවෙක් සිටිනා බව කිව්වත් ඔහු ගැන නිශ්චිත හෝඩුවාවක් නොවේ. වසර ගණනාවක් මහමඟ දිවි ගෙවූ ඇයට තවමත් පවුල තුළ හැඩ ගැසී නැත. විටක ඇය තරමක් ප්‍රචණ්ඩකාරීය. සිය ස්වාමියා වූ සෙල්වරත්නම් ඒ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටින්නේය. ඒ ඔහු තවමත් යෝගේෂ්වරීට ඇති ආදරේ නිසාවෙනි. දරුවන්ට යළි මව ලැබීමේ සතුට ඔහුට මුළු ජීවිත කාලයටම ප්‍රමාණවත්ය. ඒ නිසාවෙන් ඔහු හදවතින්ම මේ මානුෂික මෙහෙවර වෙනුවෙන් පින් දෙන්නේය.

ඡායාරූප - චින්තක කුමාරසිංහ

පසුබිම් වාර්තා සහ ඡායාරූප

සුමිත්‍රා කුමාරිහාමි,

කන්තලේ සමුහ

Comments