
ශ්‍රී ලංකාවේ ණය බර අධික විමට හේතුව මෙරට ලාභ ලැබිය හැකි ආයතන 5ක් අධික පාඩු ලැබීම බව මීට වසර 10කට පමණ පෙර පත් කළ විමර්ශන කොමිසමක් මඟින් එවකට පෙන්වා දෙන ලදී. ඒ අතුරින් මුල් තැනක් ගත් ආයතනයක් වූයේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවයි.
ඛනිජ තෙල් සංස්ථාව දිනෙන් දිනම පාඩු ලබද්දී එම කර්මාන්තයම සිදු කරන ලංකා ඉන්දියන් ඔයිල් හෙවත් ‘අයිඕසී‘ සමාගම ලාභ ලබන්නේ කෙසේද?
මේ පැනයට විසඳුම ඉතා සරල බව ආර්ථික විශ්ලේෂකයෝ පැහැදිලිව පැවසූහ. විශේෂයෙන්ම සිංගප්පූරුව වැනි රටවල රාජ්‍ය ආයතන සියල්ල අධික ලාභ ලබන්නේය. සිංගප්පූරුවේ ‘තමාසෙක්‘ සංකල්පමය සිද්ධාන්තය ඔස්සේ ව්‍යාපාර හැසිරවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වන්නේය. එහෙයින් යම් රාජ්‍ය ආයතනයක් ව්‍යාපාර කටයුත්තකට සම්බන්ධ වන්නේ ද එය ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් වේ. එහෙත් මෙරට රාජ්‍ය ආයතනවලින් කිහිපයක් හැරෙන්නට සෙසු සියල්ල රටට ණය කන්දක් උරුම කර දුන් ආයතන වේ.
එම නිසා එසේ අධික පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතු බවට වසර ගණනාවක් තිස්සේම කථිකාවට ලක් වූ මාතෘකාවකි. එහෙත් එය කතාබස්වලට පමණක් සීමා වූ නිසා මේ ණය කන්ද එන්න එන්නම වැඩි විය. මේ ණය කන්දට හේතුව රජය විසින් බදු අය කිරීම හෝ අදාළ ආයතනවලට පහසුකම් නොලැබීම හෝ පාඩු ලබමින් කර්මාන්තය පවත්වා ගෙන යාමට සිදුවීම හෝ නොවේ.
ප්‍රධාන වශයෙන්ම හේතු සාධක වන්නේ නාස්තිය, දූෂණය හොරකම හා ව්‍යාජ ලෙසින් උත්පාදනය කර ගන්නා සේවක ආදායම්ය.
ඒ අතුරින් පාලන අධිකාරිය විසින් කාලාන්තරයක් තිස්සේ තම මඩිය තර කර ගැනීමට කරන ලද කාර්යයන් ද විය. ඒ සඳහා මහා පරිමාණ කොමිස් ගැහිලි, විටෝල් වැනි විදේශීය සමාගම්වලින් ප්‍රමිතියෙන් තොර ඉන්ධන ආනයනය වැනි කරුණු ද බලපෑවේය. ඊටත් වඩා බරපතළ වන්නේ අතිකාල, බටා ලබමින් සේවකයන් විසින් සිදු කරන්නා වූ ව්‍යාජ උපයා ගැනීම්ය. ඇතැම් රියදුරන්ගේ අතිකාල වැටුප් එකතුව එක්ලක්ෂ පනස් දහස ඉක්මවා ගොසිනි. එමෙන්ම අතිරික්ත සේවක සංඛ්‍යාවද ආයතනයට මහත් බරක් වන්නේය. ඇතැම් දේශපාලකයන් විසින් රැකියා උත්පාදන ආයතනයක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව පත් කර ගැනීම නිසා පින් පඩි ගෙවන්නට ආයතනයට සිදු විය. මේ සියල්ලේ වන්දිය අවසන් වශයෙන් ගෙවන්නට සිදු වන්නේ රටේ සමස්ත ජනතාවටය. කිසිදා වාහනයකින් නොගිය ගමේ අප්පුහාමිටත්, රෝගීව ඇඳ මත සිටින රෝගියාටත් මේ අයථා උපයා ගැනීම්හි වන්දි ගෙවන්නට සිදු විය.
මේ තත්ත්වය තව දුරටත් පවත්වාගෙන ගියහොත් සමස්ත රටම තවත් වළපල්ලට යන්නේය. එයට කඩිනමින් විසඳුමක් ලෙස එවන් ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුමය.
ඒ සඳහා ජනාධිපතිවරයා මෙන්ම විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා විසින් ගනු ලබන කඩිනම් ක්‍රියාවලිය ගැන අප අවධානය යොමු කළ යුතුය. ඊට පෙර ඛනිජ තෙල් සංස්ථාවේ පසුගිය වසරවල ලාභ අලාභ වූයේ ද යන්න ගැන විමර්ශනය කළ යුතුය.
ඛනිජ තෙල් සංස්ථාවේ 2011 වසරේ පාඩුව රුපියල් බිලියන 95කි. 2012 වසරේ එය බිලියන 130ක් දක්වා ඉහළ ගියේය. 2013 වසරේ එය දැක්වුණේ බිලියන 11ක් ලෙසිනි. 2014 වසරේ එම පාඩුව මඟ හැර ගනිමින් රුපියල් බිලියනයක ලාභයක් උපයා ගැන්මට සමත්විය. එහෙත් ඊළඟ වසරේ එනම් 2015 වසරේ එය යළිත් රුපියල් බිලියන 16ක අලාභයක් වාර්තා කෙළේය. 2016 වසරේ යළිත් රුපියල් බිලියන 61ක අතිවිශාල ලාභයක් වාර්තා කළේය. එහෙත් 2017 වසරේ යළිත් බිලියන 3ක පාඩුවක් වාර්තා කළ අතර 2018 වසරේ රුපියල් බිලියන 106ක අතිවිශාල පාඩුවක් වාර්තා කර තිබුණි. එය යළිත් රුපියල් බිලියන 13ක අලාභයක් 2019 වසරේ වාර්තා කර තිබුණු අතර කොවිඩ් වාර්තා වූ 2020 වසරේ රුපියල් බිලියනයක ලාභයක් වාර්තා කර තිබුණි.
දැන් අප අවධානය යොමු කළ යුත්තේ ලංකා අයි ඕසී සමාගම වෙතය. එය 2013 වසරේ රුපියල් බිලියන 2.9ක් ලාභ ලැබූ අතර එම ලාභය 2014 වසරේ රුපියල් බිලියන 4.8ක් දක්වා ඉහළ ගියේය. 2015 වසරේ ලාභය රුපියල් බිලියන 1.8කි. 2016 වසරේ එය රුපියල් බිලියන 2.2ක් දක්වා ඉහළ ගියේය.
2017 වසරේ රුපියල් බිලියන 3.0ක් දක්වා අයිඕසී ලාභය ඉහළ ගිය අතර 2018 වසරේ පමණක් එහි පාඩුවක් පෙන්නුම් කර ඇත. ඒ රුපියල් බිලියන 0.7ක් ලෙසිනි. එසේ වුවත් යළිත් 2019 වසරේ එය රුපියල් බිලියන 0.4ක් දක්වා ලාභයකට පත් කර ගන්නට කළමණාකාරීත්වය පියවර ගත්තේය. 2020 වසරේ ද ආයතනික ලාභය රුපියල් බිලියන 0.42ක් දක්වා ඉහළට ගැන්මට ඔවුහු සමත් වූහ.
එයින් අපට පැහැදිලි වන්නේ ලංකා අයිඕසී මෙන්ම ඛනිජ තෙල් සංස්ථාවට ද ඉතා හොඳින් ලාභ ලැබිය හැකි බවයි. විශේෂයෙන්ම 2016 වසරේ ලැබූ අතිවිශාල ලාභය දිගින් දිගටම පවත්වා ගැන්මට නොහැකි වූයේ ඇයි? ඒ ලාභදායි තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යන්නට සේවක කැපවීම් මෙන්ම වෘත්තීය සමිති සහාය ද අවශ්‍ය වන්නේය. එහෙත් තම මඩිය තර කර ගන්නවා හැරෙන්නට ආයතනය දියුණු කර ගැන්මට ඔවුන්ට අවශ්‍ය නැත.
ලංකා අයිඕසී සමාගමේ ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව 254කි. ලංකා අයිඕසී සේවක සංඛ්‍යාව 153කි. එහෙත් 1200කට ආසන්න පිරවුම්හල් සංඛ්‍යාවක් ඇති ඛනිජ තෙල් සංස්ථාවේ සේවක සංඛ්‍යාව 4100ක් වැනි ඉහළ පිරිසකි.
ආයතන ලාභ පාඩු ලබන ආකාරය මෙයින් ඉතා පැහැදිලිය. මේ ලාභ අලාභ දෙස බැලූවිට අපට මැනවින් පැහැදිලි වන්නේ කුමක්ද? අනවශ්‍ය පරිදි සේවකයන් ගොඩ ගසා ගැනීමත්. අනවශ්‍ය අතිකාල, බටා ඇතුළු දීමනා ඔස්සේ තම බඩවියත රැක ගන්නට ඇතැම් සේවක සමිති විසින් සිදු කර ඇති ක්‍රමවේදයන්ය.
‘ඛනිජ තෙල් සංස්ථාව රැක ගනිමු‘ යැයි මහ හඬින් කෑ ගසන වෘත්තීය සමිති නායකයන්ගේ වැටුප් හා අතිකාල පෙන්වන්නැයි අපි අභියෝග කර සිටිමු. රාජ්‍ය සම්පත් රැක ගත යුතුය. එහෙත් එහි මුල් තැන ගත යුත්තේ එහි සේවකයන්ය. සේවක අයිතීන් සුරකින බව පවසන වෘත්තීය සමිතිය. එසේ වුවත් එම වෘත්තීය සමිති විසින්ම ආයතනය විනාශය කරා ගෙනයාමට අවශ්‍ය පිඹුරුපත් වැටුප් දීමනා හා අතිකාල ඔස්සේ සකස් කරන්නේ නම් ‘වැටත් නියරත් ගොයම් කෑ විට‘ කියන්නේ කාට ද යන ප්‍රශ්නය අප ඉදිරියේ මතුවේ.
පසුගිය මාර්තු 28 වෙනිදා තෙල් සංස්ථා සේවකයන් සත්‍යග්‍රහයක් කරා ගෙන යන්නට හේතුව වූයේ කැබිනට් මණ්ඩලය කැල්ටෙක්ස්, එසෝ, යුනයිටඩ් පෙට්‍රෝලියම් සයිනොපෙක්, සහ RM පාක්ස්+ෂෙල් සමාගම් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ අලෙවිය සඳහා ලංකාවේ වෙළඳ පොළට පිවිසීමට සුදුසු බවට නිර්දේශ කිරීමය. ඒ අනුව අදාළ සමාගම් 3ට ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 1200 යෙන් 450 ක් බදු දීමට නියමිතය. ඒ එක් සමාගමකට ඉන්ධන පිරවුම්හල් 150ක් බැගින් ලබා දෙමිනි. එමෙන්ම තවත් ඉන්ධන හල් 150ක් අදාළ සමාගම්වලට ඉදිරියේදී ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ද සැලසෙනු ඇත.
මෙයට විරෝධය පා ඇරැඹි සත්‍යග්‍රහය පසුව 29 වෙනිදා වන විට වර්ජනයක් දක්වා ගෙන යාමට වෘත්තීය සමිති විසින් තීරණය කර තිබුණි. එහෙත් ඇමැතිවරයා පවසා සිටියේ කැබිනට් මණ්ඩලය අනුමත තීරණය ක්‍රියාත්මක කරනු ලබන බවත් ඉන්ධන බෙදා හැරීමට බාධා කරන අයට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවයි.
එහෙත් ඇමැතිවරයාගේ අවවාදය පිළිනොගත් වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනකු සේවකයන් රැසක් ද සමඟ වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ විය.
ඒ අනුව ඇමැතිවරයා විසින් දැනුම් දුන් පරිදි අදාළ වෘත්තීය සමිති හා ඉන්ධන බෙදාහැරීමට බාධා කළ අයට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්නා ලදී. ඒ අනුව අදාළ සේවකයන් 20 දෙනකු අනිවාර්ය නිවාඩු යැවීමට තීරණය කරන ලදී. ඒ මානව සම්පත් කළමනාකාර කාර්යාංශය විසින් අභ්‍යන්තරව යොමු කළ අංක 086 යටතේ වූ නිවේදනයක් මඟිනි. එය අභ්‍යන්තර චක්‍රලේඛ අංක 794 යනුවෙන් නම් කර තිබුණි.
එම ලැයිස්තුව ප්‍රසිද්ධ කරන ලදි. ඒ අනුව කොළොන්නාව නිමාව, මුතුරාජවෙල පර්යන්තය හා තොග තෙල් ගබඩා ඇතුළු ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත ඇතුළු ආයතනය සතු සියලු පරිශ්‍රවලට සහ දේපළවලට ඇතුළු වීම තහනම් වන පරිදි අදාළ සේවක ලැයිස්තුව නිකුත් කර තිබුණි.
එහි දැක්වෙන්නේ, අදාළ නම් සඳහන් CPSTL සහ CPC ආයතනවල සේවයේ නියුතු මෙන් ම විශ්‍රාමික හා අනෙකුත් නම් සඳහන් පුද්ගලයන් සඳහා ආයතනික පරිශ්‍ර සහ දේපළ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කලාප සේ සලකා ඉදිරි කටයුතු කරන බව ය. අදාළ සේවකයන්ට එරෙහිව තනි තනිව චෝදනා පත්‍ර ලබා දීමට නියමිත බව ද ඇමැතිවරයා විසින් සඳහක් කර තිබේ.
අනිවාර්යය නිවාඩු යැවූ සේවකයන් අතර කොළොන්නාව නිමාවේ සේවකයන් 15 දෙනකු හා මුතුරාජවෙල එක් සේවකයකු ද සංස්ථාවේ සේවකයන් තිදෙනෙක් හා සංස්ථාවේ විශ්‍රාමික එක් සේවකයකු ද වන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. එමෙන්ම මේ සේවකයන් අතර පළාත් පාලන ඡන්දයට ඉදිරිපත්වීමට නිවාඩු ලබාගත් අය ද සිටින අතර ඔවුන් සංස්ථා භූමීන්ට ඇතුළු වූයේ කෙසේ ද යන්න ගැන විමර්ශනය කෙරේ.
කෙතරම් බාධා එල්ල කළ ද ඉන්ධන බෙදා හැරීමේ කටයුතු යථා තත්ත්වයට පත් කරන්නට සංස්ථාවට හැකි විය. 28 වෙනිදා රාත්‍රියේ සහ 29 වැනිදා පෙරවරුවේ පමණක් යම් තාක් දුරට පෝලිම් තිබූ අතර 29 වැනිදා පස්වරුව වන විට එම ඉන්ධන පෝලිම් ක්‍රමයෙන් අඩු වී ගියේය.
එයට හේතුව වූයේ ත්‍රිවිධ හමුදාවේ ද සහාය ඇතිව ඉන්ධන බෙදා හැරීමට අවශ්‍ය පියවර ගැනීමය.
ඒ අනුව 29 වෙනිදා පෙරවරු 6 සිට සවස 4 දක්වා කාලය තුළ ඔටෝ ඩීසල් ලීටර් 6,600ක බවුසර් 574 ක් සහ පෙට්‍රල් 92 ලීටර් 6,600ක ඉන්ධන තොග 512 ක් බෙදාහරින ලදී. කෙසේ වෙතත් සංස්ථාව පවසන්නේ එදින සිදු කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා පෙට්‍රල් බවුසර 69ක් හා ඩීසල් බවුසර 118ක් යැවීමට නොහැකි වූ බවයි. කෙසේ වුවත් පසු දින වන විට ඉන්ධන බෙදා හැරීම් යථා තත්ත්වයට පත් කර ගැන්මට සංස්ථාවට හැකි විය.
එයින් මේ වර්ජන ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම පුස්ස බින්දාක් මෙන් විය. සේවක අයිතීන් රැක දීමට රජය මෙන්ම වෘත්තීය සමිති විසින් ද පියවර ගත යුතුය. එහෙත් ගැටලුව වන්නේ එම සේවක අයිතීන් රැක දිය යුත්තේ පළමුව තමන්ගේ ආයතනය රැක ගෙන බව වෘත්තීය සමිති නායකයන් තේරුම් නොගැනීමය. අප ඉහත දැක්වූ පරිදි ආයතන රැක ගැන්මට යැයි කෑගසන අයට තම මාසික වැටුප් හා දීමනා පෙන්වා දෙන ලෙසත් අදාළ මාසය තුළදී ඔවුන් විසින් සිදු කළ කාර්යය මොනවාදැයි පෙන්වා දෙන ලෙසත් අභියෝග කළ හැකිය. මේ සම්බන්ධයෙන් අප කළ විමර්ශනයේදී හෙළි වූයේ බහුතර සේවකයන් විසින් තම ආදායම නංවා ගැත හැකි පරිදි අතිකාල දීමනා මෙන්ම ‘බටා ටර්න්‘ යනුවෙන් වෙනම සේවක වාර සකසා ගෙන ඇති බවයි. මේ බටා ටර්න් ගැන වෘත්තීය සමිති නොදන්නේ ද? ආයතනයක යම් දූෂණ වංචා සිදුවනු ඇත. ඒවා පෙන්වා දී අදාළ පියවර ගැනීමට කටයුතු කිරීම කළ යුතුය.
තෙල් සංස්ථාව පාඩු ලබන තත්ත්වයට පත්වීමට බල පෑ අනෙක් හේතු ලෙස මහා පරිමාණ ප්‍රසම්පාදන දූෂණ, රජයේ වෙනත් ආයතන නොගෙවා පැහැර හැර ඇති විශාල ණය, හෙජින් ගනුදෙනුව මහා පරිමාණ වංචා දූෂණ යනාදිය යි. එහි අවසාන ප්‍රතිඵලය තෙල් සංස්ථාව වාර්ෂිකව විශාල පාඩුවක් ලබන තත්ත්වයට පත්වී එය රටට මහා බරක් ලෙසට පත්වීමයි. එයට සේවකයන් විසින් එකතු කරනු ලබන බරත් එකතු වූ විට උසුලා ගැනීමට නොහැකි වන අතර එකම විසඳුම මෙවන් ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පමණි.
සේයාරූ - රුක්මල් ගමගේ
ඉන්ධන මිල පහළ යාමෙන් ප්‍රවාහන ගාස්තු අඩුවෙයි
ඉන්ධන මිල දැනෙන ලෙසින් පසුගිය 29 වෙනිදා සිට අඩු කරන්නට රජය තීරණය කරන ලදී
ඒ අනුව, පෙට්‍රල් 92 ලීටරයක් රු.60කින්, පෙට්‍රල් 95 ලීටරයක් රු.135කින්, ඔටෝ ඩීසල් ලීටරයක් රු.80කින්, සුපර් ඩීසල් ලීටරයක් රු.45කින් හා භූමිතෙල් ලීටරයක් රු.10කින් අඩු කරන ලදී. ඒ රජය විසින් හඳුන්වා දී ඇති මිල සූත්‍රයට අනුවය.
ඒ අනුව ඉන්ධනවල නව මිල ගණන් ලෙස දැක්වුණේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3ක් හා ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල 375ක් ලෙසිනි. එමෙන්ම ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල 325ක් ලෙස හා සුපර් ඩීසල් ලීටරයක මිල 465ක් ලෙස ද භූමිතෙල් ලීටරයක මිල රුපයල් 295ක් ද ලෙද දැක්වුණි.
ඒ හා සමගම බස් ගාස්තු ද අඩු කළ යුතු බවට වූ නිර්දේශය නිසා බස් ගාස්තුව 12.9%කින් අඩු කළ යුතු බවට ජාතික ගමනා ගමන කොමිසම විසින් නිර්දේශ කරන ලදී. ඒ සමඟම බස් ගාස්තුව ද එම ප්‍රතිශයතට අදාළව අඩු කෙරිණි.
රුපියල් 34ක් වූ අවම ගාස්තුව රුපියල් 30ක් ලෙස හා රුපියල් 42ක් වූ දෙවන ගාස්තුව රුපියල් 37ක් ලෙසින් අඩු කෙරිණි.
එසේම අධිවේග බස් රථ හා වායු සමනය කළ බස් රථ සේවා ගාස්තුව ද මේ සමඟම අඩු කර තිබේ.
ත්‍රි රෝද රථ හිමිකරුවන්ගේ සංගම් විසින් පවසා ඇත්තේ ද දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 80ක් වන පරිදි ගාස්තුව අඩු කරනු ලබන බවයි. එහෙත් එහි කැපී පෙනෙන වෙනසක් තවමත් දක්නට නැත.
කෙසේ වෙතත් බහාලුම් ප්‍රවාහන සේවා ගාස්තුත් 8%කින් අඩු කරන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. ඉන්ධන ගාස්තු පහළ දැමීමත් සමඟ මෙලෙස සිය සේවා ගාස්තු අඩු කිරීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති සනත් මංජුල පවසයි.
එසේම ‘සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමයේ‘ සභාපති මල්ශ්‍රී ද සිල්වා සිළුමිණට පැවසුවේ මේ අවස්ථාවේ පාසල් වෑන් රථ ගාස්තුව යම් ප්‍රමාණයකින් අඩු කළ යුතු බවත් එම ගාස්තු අඩු කිරීම දෙමාපියන් හා වාහන හිමිකරුවන් එක්ව කතා කර විසඳුමකට එළැඹිය යුතු බවයි. එසේ නොමැතිව ප්‍රතිශතයක් ලෙස දැක්වීම අපහසු බවත් ඔහු පෙන්වා දෙයි.