එස්.බී. වෙඩි තියන්න හිටියේ කාටද? | සිළුමිණ

එස්.බී. වෙඩි තියන්න හිටියේ කාටද?

දේශපාලන ක්ෂේත්‍රයේ පසුගිය සතියේ වැඩිම අවධානය යොමු වී තිබුණේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) මෙරටට ණය ලබාදීමට එකඟවීම සම්බන්ධයෙනි.

මෙම එකඟතාවය පිළිබඳව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුව දැනුම්වත් කිරීමට කටයුතු කළ අතර ඒ පිළිබඳ පැවති පාර්ලිමේන්තු විවාදය කෙරෙහි ද බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය.

IMF පණිවිඩය ලැබෙනතුරු ජනපති රනිල් කාර්යාලයේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථායිකරණ ණය පහසුකම අනුමත කෙරුණේ ඉකුත් සදුදා රාත්‍රීයේ එහි අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වීමෙන් පසුවය. ජනපති රනිල් එම තීන්දුව ලැබෙන තෙක් මුදල් රාජ්‍ය ඇමතිවරුන් දෙපළ ඇතුළු මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ද සමඟ ජනාධිපති කාර්යාලයේ රැඳී සිටියේය. ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල මෙන්ම ජනපති ලේකම් සමන් ඒකනායක ද එහි රැඳී හුන්නේ පිරිසට සහාය වීමටය.

ශ්‍රී ලංකාව ස්ථායිකරණය කිරීම වෙනුවෙන් පිරිනැමෙන ඩොලර් බිලියන 2.9ක ණය පහසුකම අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කරන බවත් අධ්‍යක්ෂ මණ්ඩලය එය අනුමත කිරීමේ ඉඩ පහසුකම ඉහළ මට්ටමක තිබෙන බවත් එහි කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිෂ්ටිනා ජෝර්ජිවා කාර්ය මණ්ඩල ප්‍රධානි වෙත පණිවිඩයක් ඊට පෙරම එවා තිබුනි.

ජනපති රනිල් 20 සදුදා සිටියේ ඉතාම සතුටිනි. කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ලේකම් සමන් ඒකනායක හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න සමඟ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක සිය කාර්යාලය වෙත කැදවූ ජනපති තමන් බදාදා පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් කරන බව දන්වා සිටියේය.

අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනපතිට ප්‍රසාදය

එහිදි දිනිත් හා ධනුෂ්ක ජනපතිගෙන් ඉල්ලා සිටියේ ණය පහසුකම අනුමත වීමෙන් පසු පාර්ලිමේන්තු ප්‍රකාශයට කලින් කෙටි ප්‍රකාශයක් අගහරුවාදා දිනයේ ජනතාව වෙනුවෙන් කරන ලෙසටය. ඒ අනුව කෙටි ප්‍රකාශය අගහරුවාදා කරන බව ජනපති ඔවුන්ට දැනුම් දුන්නේය. එදින සවස පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද අයි.එම්.එෆ් ණය පහසුකම අනුමතවීමේ පණිවිඩය ජනපති විසින් ඉදිරිපත් කළේය.

එහිදි ඇමතිවරුන් සිය සතුට පළ කළේ මේස මතට තට්ටු කරමිනි. “අපි 16 වතාවක් අයි.එම්.එෆ් ගිහිල්ලා තියෙනවා. මේ 17 වෙනි වතාව. නැවත ණය ගන්නේ නැති රාජ්‍යයක් බිහි කිරීමේ 25 වසරක සැලසුම අනුව අපට ඉදිරියට යන්න වෙනවා.” ජනපති ඔවුනට කීවේ එවැන්නකි.

පාර්ලිමේන්තු කණ්ඩායම මුණ ගැසුණු ජනපතිවරයා ඔවුන්ට දැනුම් දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ගැන ධනාත්මක තොරතුරු ජනතාව වෙත ලබා දෙන ලෙසයි. එසේම තමන් පාර්ලිමේන්තුවේදි මේ ගැන ප්‍රකාශයක් කිරීමෙන් පසුව විපක්ෂය විවාදයක් ඉල්ලා සිටිය හැකි බැවින් විවාදයට සුදානම් වන ලෙස ද ඔහු මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන්නේය.

එදින රාත්‍රියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විස්තීර්ණ ණය පහසුකම අනුමත කළ අතර ජනපති වහාම භාණ්ඩගාර ලේකම් මහින්ද සිරිවර්ධනට හා මහ බැංකු අධිපතිවරයාට දැනුම් දුන්නේ අදාළ ලේඛනවලට අත්සන් තබා මුල්‍ය අරමුදල වෙත එදින රාත්‍රියේම යොමු කරන ලෙසය.

මෙරටට රාත්‍රිය වුව ද ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට එය උදෑසන වූ බැවින් එම ලිපි ලේඛන යොමු කිරීමත් සමඟ පළමු වාරිකය පසුදාම ලබාදීමට හැකිවන පරිදි ලේඛන සකස් කෙරිනි. පසුදින ජනපතිවරයා සැමට ස්තූති කරමින් තවදුරටත් ලංකාව බංකොළොත් රාජ්‍යයක් නොවන බව කියා සිටියේය.

මල් වට්ටියට අත ගැසීම

ජනපති රනිල් ඉන් පසුව වෙහෙසුණේ පසුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රකාශය සකස් කිරීමටය. අදාළ ප්‍රකාශය ජනාධිපති උපදේශක සමන් ආතාවුදහෙට්ටි විසින් සකස් කොට ජනපති වෙත එවා තිබුණි. ඔහු එය පරික්ෂා කොට සංශෝධන එකතු කළ අතර ජනපති ලේකම් සමන් ඒකනායක වෙත එය ඉදිරිපත් කළේ තවදුරටත් සංශෝධන එකතු කිරීමටය. ඊට සංශෝධනයක් එක් කළ සමන් ඒකනායක එය නැවත ප්‍රතිශෝධනයට යැවීමට පෙර ජනපතිට පෙන්වූවේ ඒ කුමක් දැයි ජනපති රනිල් විමසූ බැවිනි.

“ආ මේක හොඳයි. හැමෝටම මල් වට්ටියට අත ගහන්න කියලානේ කියන්නේ.” ජනපති කීවේය.

“ඔව් සර් අපි හොඳ දෙයක් කරද්දී හැමෝම එකතු කර ගන්නවානේ. ඒක ලංකාවේ සංස්කෘතියේ අංගයක්නේ.” ජනපති ලේකම් ද ඊට පිළිතුරු සැපයූවේ එලෙසිනි.

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ මණ්ඩලය රැස්වූවේ ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙනි. එහි පැමිණි සැවොම ජනපතිට තුති පිදුවේ ඉතා ඉක්මණින් අයි.එම්.එෆ් ණය පහසුකම ලබා ගැනීමට කටයුතු කළ බැවිනි.

විවාදය කඩිනමින් දෙන්න ජනපතිගෙන් උපදෙස්

ජනපති පසුදා පාර්ලිමේන්තුවට ගියේ සිය කතාව කිරීමටය. ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න රණතුංග පැමිණි පසු ජනපති ඔහුට යම් කරුණක් සිහිපත් කළේය. “ අද විපක්ෂය මගේ ප්‍රකාශයට විවාදයක් ඉල්ලනවා. ඒක අද ම දෙන්න. මොනවද අද ආණ්ඩුවෙන් සම්මත කර ගන්න තියෙන්නේ.” ජනපති විමසුවේ ප්‍රසන්නගෙනි.

“සර් ලොකු දෙයක් නෑ රෙගුලාසි කිහිපයකුයි පනතකුයි තමයි තියෙන්නේ.” ඇමති ප්‍රසන්න පිළිතුරු සැපයුවේය.

“ආ එහෙනම් ඒක කලින් සම්මත කරලා විවාදය ඔවුන්ට දෙන්න.” ජනපති ප්‍රසන්නට කීවේය. අයි.එම්.එෆ් යෝජනා ගැන ප්‍රකාශය කිරීමෙන් පසු ජනපති පෙර කී ලෙසම විපක්ෂය විවාදය ඉල්ලා සිටියේය. ආණ්ඩුවේ එකඟතාවය මත එදිනම විවාදය ආරම්භ වූ අතර දින තුනක් පුරා විවාදය පැවැවිණි. ජනපති සිය ප්‍රකාශ කොට ආණ්ඩු පක්ෂ ලොබිය වෙත පිය නගද්දී මන්ත්‍රීවරු ඔහු වට කර ගත්හ. වටකර ගත් සැවොම කී පොදු කතාව වූවේ හොඳ කතාවක් කළ බවය.

ඉල්ලපු විදියට ගිවිසුමත් දෙයි

“ඔන්න මම ඉල්ලපු විදියටම ගිවිසුමත් දුන්නා. විවාදයත් දුන්නා.” ජනපති කීවේ සිනාසෙමිනි. මෙහිදි විපක්ෂ මන්ත්‍රීවරයෙක් ගිවිසුමේ පිටපතක් ඉල්ලා සිටි අතර ජනපති ඔහු අසල සිටි සිය පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහට කීවේ පිටපත් මුද්‍රණය කොට මන්ත්‍රීවරුන්ට ලබා දෙන ලෙසටය.

“ගිවිසුම කලින්ම දුන්නා නම් මේ ප්‍රශ්න ගොඩක් විසඳෙනවා.” විපක්ෂ මන්ත්‍රීවරයෙකු කී විට ජනපති කීවේ ණය අනුමත වනතුරු ගිවිසුම පිටතට නොදෙන්නැයි අයි.එම්.එෆ් සංවිධානය ඉල්ලා සිටි බවයි.

“දැන් ඉතින් ඔක්කොම හරිනේ. දැන් ඔයාලට තියෙන්නේ මට සහාය දෙන්න. මෙතන විපක්ෂ නායකතුමාත් ඉන්නවානේ.” ජනපති කීවේ සජිත් ප්‍රේමදාස දෙස බලමිනි.

“මාර්තු මාසයේදීත් ලැබෙන එකක් නෑ කියලා තමයි විපක්ෂයේ අය බලාගෙන හිටියේ.” වජිර ඔලොක්කුවට කියද්දී ඇමති ප්‍රසන්න කීවේ විදුලිබිල සම්බන්ධව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිගේ හැසිරීමත් අයි.එම්.එෆ් ණය ලැබීම මාර්තු මාසය තෙක් ප්‍රමාදවීමට හේතුවූ බවය.

ජනපති රනිල් විපක්ෂයේ මන්ත්‍රී ආලින්දයට

මෙරටට අදාළව විස්තීර්ණ ණය පහසුකම ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව පසුගිය සඳුදා අනුමැතිය දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය මේ ගැන බොහෝ බළාපොරොත්තු තබාගෙන සිටි බව නොරහසකි. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද ජනාධිපතිවරයාට කතා කර ඒ ගැන තම සුභ පැතුම් එක් කළහ.

ඒ අනුව ජනාධිපතිවරයා පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී මේ ගැන විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එයට ද පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගෙන් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි.

තම කතාව අවසන් කර ආණ්ඩු පක්ෂයේ දොරෙන් එළියට ආ ජනපතිවරයා කෙළින්ම ගියේ විපක්ෂය දෙසටය. ජනාධිපතිවරයා එනවිට විපක්ෂනායක සජිත් සිටියේ තම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ කිසියම් කතාබහකය.

“ආ.. කොහොමද?” ජනාධිපතිවරයා සුපුරුදු ස්වරයෙන්ම ඇසීය.

විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිස ඉන් පුදුමයට පත්විය.

“ඔබතුමා මේ පැත්තට එන්නෙවත් නෑනේ” විපක්ෂ මන්ත්‍රීවරයකු කීය.

“මම එනව ඔයාලනේ මාව මඟ හරින්නෙ” ජනාධිපතිවරයා යළි කීවේය.

ජනපති රනිල් සජබයෙන් පාටියක් ඉල්ලුවේ ඇයි?

“දැන් කවද්ද ඔබතුමා අපිට පාටියක් දෙන්නේ” ජනාධිපතිවරයා ඇසුවේ මරික්කාර්ගෙනි.

“මොන පාටියක්ද සර්” මන්ද වූ මරික්කාර් ඇසීය.

“ඇයි මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවෙන් අයින් කරපු එකේ පාටිය” ජනාධිපතිවරයා කී දෙයට විපක්ෂ නායකවරයා ඇතුළු සියල්ලෝම කොක්හඬ ලෑහ.

“අයි.එම්.එෆ් එකේ වැඩපිළිවෙළට ඔබතුමන්ලත් සහය දෙන්න. මේකෙ වටිනාකම ඔයාල දන්නවනේ.” ජනාධිපතිවරයා විපක්ෂයෙන් ඉල්ලීමක් කළේය.

විපක්ෂ නායක සජිත් සිනා සුණා මිස මේ කතාවට හවුල් නොවීය. මෙම අවස්ථාවට වජිර අබේවර්ධන,නිමල් ලාන්සා ඇතුළු පිරිසක් ද සහභාගි වුහ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වීය. සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය පිළිබඳ සාකච්ඡාවීමෙන් පසුව ඇමති නිමල් සිරිපාල ද සිල්වා තමන්ගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් කතා කළේය. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු කමිටුවක් ද පත් කරනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය. මේ වනවිට එහි වාර්තාව නිකුත්ව තිබෙන අතර පසුගියදා මේ ගැන පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ලක්විය.

“විපක්ෂය මේ ගැන විවාදයක් ඉල්ලයි. සමහරවිට ඡන්දයකුත් ඉල්ලාවි. ඒ නිසා පාර්ලිමේන්තුව අවසන් වෙනතුරු ඔක්කොම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ රැඳිල ඉන්න.” ජනාධිපතිවරයා කීය.

අනතුරුව තෙල් ගවේෂණ රෙගුලාසි වෙනස්වීම ගැන කතා කළේය.

“තෙල් ගවේෂණය ගැන තොරතුරු අයිති ආණ්ඩුවට ද, නැත්නම් ඒ කටයුතුවලට සහභාගීවෙන අයට ද?” පත්කළ මන්ත්‍රී යදාමිණී ගුණවරධන ප්‍රශ්න කළේය.

“නෑ ඒ තොරතුරු අයිති රජයටයි.” බලශක්ති අමාත්‍යංශයෙන් පැමිණි නිළධාරීන් කීය.

“ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න හැදුවොත් මොකද වෙන්නේ” යදාමිණි යළි ඇසීය.

සාමාන්‍යයෙන් විපක්ෂනායක සජිත් දිනපතාම පාර්ලිමේන්තුවේදී විවිධාකාර ප්‍රශ්න නඟයි. මෙවර ද ඔහු අමාත්‍යාංශ කිහිපයක්ම පටලවා ගනිමින් තරමක් දීර්ඝ ‍ප්‍රශන්යක් අසා තිබුණි.

මේ ගැන මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැති ඇමතිවරුන්‍ගේ අවධානයට යොමු කළහ.

“මම මේ ප්‍රශන්ය ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කරල තියෙන්නේ” ඔහු කීය.

“ඒක මමත් කියෙව්වා. මේක පුදුම ප්‍රශ්නයක්. ඒ නිසා ස්ථාවර නියෝග අත්හිටුවල 27/2 යටතේ සතියකට එක ප්‍රශ්නයක් අහන්න පක්ෂ නායකයන්ට අවස්ථාව දෙන්න තීරණය කරන්න. එතකොට හැම පක්ෂ නායකයකුටම ප්‍රශ්නය අහන්න පුළුවන්. නැත්නම් හැමදාම එකම ප්‍රශන්ය අහනවා.” ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ජනපතිගේ කතාවට මන්ත්‍රීවරුන්ගේ අත්පොළසන්

අනතුරුව අයි.එම්.එෆ් එකෙන් ලැබුණු ණය පහසුකම ගැන සාකච්ඡා කළේය.

“ඉතාම කෙටි කාලයකින් අයි.එම්.එෆ් එකෙන් ණය පහසුකම ගත්ත එකම රට අපියි. මම මේ ගැන පාර්ලිමේන්තුවෙ කතා කරල ගිවිසුම සභාගත කරල අනුමැතිය ඉල්ලනවා. එතනදි ඕන කෙනෙක්ට තමන්ගේ කැමැත්ත අකමැත්ත පළ කරන්න පුළුවන් . හැබැයි විරුද්ධ වෙන අය විකල්පය කියන්නත් ඕන. ”

ජනාධිපතිවරයා කී කතාවට රැස්ව සිටි මැති ඇමතිවරුන් අත්පොළසන් දෙමින් සතුට පළ කළේය.

“රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අයි.එම්.එෆ් වාර්තාව ගැන පොඩි සාරාංශයක් හදල තියෙනව. ඒක ඔයාලත් කියවන්න. මම මේක සභාගත කළාම තමයි තොරතුරු එළියට එන්නේ. ඒ තොරතුරු ගවේෂණය කරන්න කාලයක් යාවි. ඒ නිසා සාරංශය කියවල ඔයාල දැනුම්වත් වෙන්න විපක්ෂයේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සවිස්තරාත්මක වාර්තාවක් වට්ස් ඇප් කරල තියෙනවා. ඒ වාර්තා දෙකම කියවන්න. තව විස්තර ඕනනම් මගේ කාර්යාලයෙන් ලබාගන්න.” ජනාධිපතිවරයා යළි කීය.

පොලිස්පතිට විරෝධය

“පොලිස්පතිතුමාගේ සේවා කාලය දීර්ඝ කරන්න යනව කියල කතාවක් යනවා. මැයි 9 වැනිදා ‍අපේ ගෙවල් ගිනි තියද්දි හිටියේ මේ පොලිස්පතිතුමා. කරන්නාගොඩ වාර්තාවෙන් එදා මෙතුමාගේ ක්‍රියා කලාපය ගැන ප්‍රශ්න කරනවා. මොනම හේතුවක් නිසාවත් මෙතුමගෙ කාලය දික් කිරීමට අපි විරුද්ධයි. ඔබතුමා වෙනුවට සුදුසු කෙනෙක් පත් කරන්න.” චින්තක මායාදුන්න ජනාධිපතිවරයාට කෙළින්ම කීය.

කොහොම හරි කමක් නැහැ. පිරිමියෙක් විදියට වැඩකරන්න පුළුවන්. බය නැති කෙනෙක් පොලිස්පති විදියට පත් කරන්න” යනුවෙන් බහුතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

පොලිස්පති ‍ගෝරියට ප්‍රසන්න මැදි වෙයි

“ජනාධිපතිතුමනි, වත්මන් පොලිස්පතිතුමාගේ ක්‍රියාකලාපය ගැන වගේම ආණ්ඩුකාරවරු ගැනත් අපේ මැති ඇමතිවරුන් විරෝධයක් තියෙනවා. ඒ ගැන සලකා බලන්න.” ඇමති ප්‍රසන්න ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

“ශවේන්ද්‍ර ගැනත් වාර්තාවක් ඇවිල්ලා තියෙනවා. පොලිස්පතිවරයා ගැනත් ඒ වාර්තාවේ කියවෙනවා. මේව හරිම සංකීර්ණ ප්‍රශ්න. විපක්ෂයට මාතෘකාවක් හැදෙන විදියට වැඩ කරන්න බැහැ. අයි.එම්.එෆ් එකෙන් ලැබෙන ණය නවත්වන්න විපක්ෂය කරන්න පුළුවන් හැමදේම කළා. ඒ නිසා අපි හරිම සීරුවෙන් මේ ප්‍රශ්න හැඬල් කරන්න ඕන.” ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

“මම තව මාස තුනකින් අලුත් වැඩපිළිවෙළක් හදනවා. ඒ ගැන මම ඔබතුමන්ලව දැනුම්වත් කරන්නම්.” ජනාධිපතිවරයා යළි කීවේය.

ඒ කතාව ඇසූ මැති ඇමතිවරුන් මුහුණට මුහුණ බලන්නට විය.

“නෑ... මන්ත්‍රීවරුන්ට ගමට ගිහින් කරන්න වැඩ තියෙනවා. ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රශ්න ගැන හොයන්න මම වජිර අබේවර්ධන මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරල තියෙනවා. ඊට අමතරව අගමැතිතුමා ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක් පත්කර තියෙනවා. ඒ කමිටුවෙන් ආණ්ඩුකාරවරු, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළත් වෙනවා. ඒකෙන් ගමට වැඩ කරන්නේ කොහොමද කියල අපි බලනවා. ‍ඔබතුමන්ලගේ යෝජනා ඒ කමිටුවලට කියන්න. මම ඒ දේවල් කරන්නම්” ජනාධිපතිවරයා කීය.

IMF කඩාකප්පල් කිරීමට තිබූ තැතක් ප්‍රසන්න හෙළි කරයි

පසුගිය බ්‍රහස්පතින්දා හිමිදිරි පාන්දරම ඇමති ප්‍රසන්නට දුරකතන ඇමතුමක් ලැබුනේ මෙරට ප්‍රධානතම මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකුගෙනි.

“ඇමතිතුමා ඊයෙ රෑ විපක්ෂනායකතුමයි, විපක්ෂයේ ප්‍රබලයෝ කිහිප දෙනෙකුයි කලම්බු ක්ලබ් එකේදී තානාපතිවරු හම්බවෙලා සාකච්ඡාවක් පවත්වල තියෙනවා.” මාධ්‍යවේදියා කීය.

“මම ඒ ගැන දන්නේ නැහැ. හොයල බලන්නම්. මේ ගැන පාර්ලිමේන්තුවෙදි කතා කරන්නම්” අමැති ප්‍රසන්න කීවේය.

අනතුරුව ඇමති ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවේදී අදාළ කරුණ ගැන විපක්ෂයෙන් ප්‍රශ්න කළේය.

IMF කඩාකප්පල් කරන්න

සජිත්ගේ තානාපතිවරු හමුව ප්‍රසන්න හෙළිකරයී. බූමිතෙල් කාපු ගැරඩියෙක් සේ සජිත් කුලප්පු වෙයි.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ණය ප්‍රදානය කිරීමේදී දැඩි කොන්දේසි පනවන ලෙසට විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විදෙස් තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කරල තියෙනව.”

ඇමති ප්‍රසන්න මේ ප්‍රකාශ කිරීමත් සමඟම ස.ජ.බ ඇතුළු විපක්ෂය ඇවිස්සුණේය. ඇමතිවරයාට කතාකරන්නට ඉඩ නොදී බාධා කළේය.

“මම බොරු කියනවනම් ඇත්ත කතාව මේ සභාවට කියන්න.” ඇමතිවරයා විපක්ෂයට දුස්සාරවක් දැම්මේය.

“අපි විතරක් නෙමෙයි. පොහොට්ටුවෙන් ඡන්ය ඉල්ල දැන් විප්කෂයට ඇවිල්ල ඉන්න අයත් එතන හිටියා. අපි ඡන්දය ගැන කතා කළා විතරයි ” විපක්ෂනායක සජිත් හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල ගොතගසමින් කියන්නට විය.

“ඔබතුමන්ල අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. පළාත් සභා මැතිවරණ කල් දමනකොට ඔය ටික කියන්න තිබුණා. එදා බිල්ලො වගේ හිටියා. එදා ඔබතුමන්ලා මැතිවරණ කල් දැම්මේ පරදින්න බය නිසයි. අද තියෙන්නෙ ආර්ථික අර්බුදයක්.”

ඇමති ප්‍රසන්න එක දිගටම දුස්රා පන්දු යොමුකරමින් විපක්ෂයට පිළිතුරු දුන්නේය.

ජනපති රනිල්ට පළමුවෙනි සුබ පැතුම මහින්දගෙන්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ 74 වැනි ඡන්ම දිනය පසුගිය 24 වැනිදාට යෙදී තිබුණි.

සුපුරුදු පරිදි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට උදේ පාන්දරම දුරකතනයෙන් සුබ පැතුවේ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාය.

“කොහොමද? ඔබතුමාට සුබ උපන්දිනයක් වේවා” මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා සුබ පැතුම් පණිවිඩය එක් කළේ එසේය.

“ඔබතුමාට බොහොම ස්තූතියි” යනුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රතිචාර දැක්විය.

දෙදෙනා අතර ඉතා කෙටි පිළිසඳරක් සිදු විය.

ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා පාර්ලිමේන්තු‍ සංකීර්ණයට පැමිණි අතර ඔහුව පිළිගැනීමට සම්පත් අතුකෝරාළ, සංජීව එදිරිමාන්න, මහාචාර්ය රංජිත් බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් පැමිණ සිටියහ.

“සර් අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ උපන්දිනේ නේද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විමසීය.

“ඔව්. ඔව්. මං උදෙන්ම සුබ පැතුවා” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා කියා සිටියේය.

“රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුණාට පස්සේ සර් සුබ පැතූ පළවෙනි අවස්ථාව මේක වෙන්න ඇති නේද? යනුවෙන් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විමසීය.

“ඔව්. මං වැඩිපුරම රනිල්ට සුබ පතලා තියෙන්නේ එයා විපක්ෂ නායකවෙලා ඉන්නකොට” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා කියා සිටියේය.

සජිත් තානාපතිවරුන් කැඳවයි

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු කණ්ඩායම් මන්ත්‍රී රැස්වීම පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

"ආණ්ඩුව ගෙන යන මේ මර්දනකාරී වැඩ පිළිවෙල නතර කරන්න ඕන. මැතිවරණ තියන්නේ නැහැ. අධිකරණයට ස්වාධීනව කටයුතු කරන්න ඉඩදෙන්නෙ නැහැ.මේක බරපතළ මර්දනයක්."

මහ ලේකම් රංජිත් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කීවේය.

"අපි මේක ජාත්‍යන්තර වශයෙන් දැනුම්වත් කරමු.තානාපතිවරු කැඳවලා මේ තත්ත්වය පැහැදිලි කරමු"

කාවින්ද ජයවර්ධන එහෙම කියන විට ඊට අදාල පහසුකම් සැපයීම භාර වූයේ ලක්ෂ්මන් ෆොන්සේකාටය. හෙතෙම එක පයින් ඊට කැමැති වූ අතර, ඒ මොහොතේම කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක් ඒ සඳහා වෙන් කර ගත්තේය.

රටවල් 12 ක් නියෝජනය කරමින් සහභාගි වූ තානාපතිවරුන් ඇතුළු නියෝජිතයන් එම අවස්ථාවට එක් වූ අතර, සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.

සජිත් තානාපතිවරුන් සියලු දෙනා ළඟටම ගොස් ඔවුන් සමග සුහද පිළිසඳරක යෙදුණාහ. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ මූලික අරමුණින් සාකච්ඡාව ආරම්භ විය.

විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, ව්‍යවස්ථාව ආරක්ෂා කර ගැනීම, සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැනි කරුණු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි.

එස්.බී.ගේ වෙඩි වගේ කතාව

පසුගිය 22 වැනිදා රාත්‍රී 10.00ට ජාතික රූපවාහිනියෙන් විකාශය වු "මහජන දිනය” වැඩසටහනට එක්වෙමින් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් කතාබස් කරන්නට වුහ.

“මැයි 09 වැනිදා මගේ ගෙදර ගිනි තියන්න ආව නම් අනිවාර්යෙන්ම මම වෙඩි තියනවා” යනුවෙන් එස්.බී. දිසානායක ප්‍රකාශ කළේය.

මේ ගැන ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයෝ කිහිපදෙනෙක්ම පාර්ලිමේන්තු සංකීර්ණයේදී එස්.බී. දිසානායක‍ගෙන් විමසන්නට වුහ.

“එදා මාගේ ගෙදර ගිනි තියන්න ආවනම් අනිවාර්යෙන්ම මම වෙඩි තියනවා. ගෙදර ළඟට කට්ටිය ආවත් වත්තට ඇතුළු වුණේ නැහැ.

වත්තට ඇතුළු වෙලා ගෙට අලාභ හානි කරන්න ආවනම් වෙඩි තියන්න ලයිසන් තුවක්කු ලෑස්ති කරලා තිබුණේ. එහෙම නීතිය අතට ගන්න දෙන්න පුළුවන්ද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වගේ මම නම් බලාගෙන ඉන්නේ නැහැ.” යනුවෙන් එස්.බී. කියපු කතාව එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අනුමත කළහ.

හොරොව්පතානේ පළමුවෙනි ඩීආර්ඕ ගෙන් අජිත් රාජපක්ෂට ඇමතුමක්

පසුගිය 11 සහ 12 යන දිනවලදී කළුතර පැවති වැඩමුළුකට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සහභාගී විය.

මෙම වැඩමුළුවට සහභාගී වී සිටින අතරතුර අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබිණ. 

“මං මේ කතා කරන්නේ හොරොව්පතානේ පළමුවෙනි ඩීඅාර්ඕ” යනුවෙන් කතා කළේ දැනට විශ්‍රාම ගොස් සිටින කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු වන ඒ.පී.ඒ. ගුණසේකරය.

“හොරොව්පතානේ පළවෙනි ඩීඅාර්ඕ” පොත ගැන නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පුවත්පතකට ලිපියක් ලියා තිබුණි.

"හොරොව්පතානේ පළවෙනි ඩීයාරෝ සහ රාජ්‍ය සේවය” යනුවෙන් එම ලිපිය මඟින් සඳහන් කොට තිබුණේ දැඩි දුෂ්කරතා රැසක් මධ්‍යයේ එදා රාජ්‍ය සේවය කැපවීමෙන් සිදු කිරීමට එදා සිටි රාජ්‍ය ‍නිලධාරින් ගත් වෙහෙසයි.

ඒ සඳහා ඒ.පී.ඒ. ගුණසේකර වැනි නිලධාරීන් දැඩි දුෂ්කරතා රැසක් මධ්‍යයේ ගත් වෙහෙස නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විසින් අගය කොට තිබුණි.

“ඔබතුමා මං ගැන සහ අපි කරපු සේවය ගැන අගය කරලා ලියපු ලිපියට බොහොම ස්තූතියි” යනුවෙන් ඒ.පී.ඒ. ගුණසේකර ප්‍රකාශ කළේය.

“අපි අගය කළ යුතු පිරිස් අගය කරන්න ඕන ඔබතුමා මුණගැසිලා කතා කරන්න කැමතියි. ඔබතුමාගේ අත්දැකීම් රාජ්‍ය සේවකයින්ට ඉතාම වැදගත්. මේ සමාජයට එය හොඳ ආදර්ශයක්" යනුවෙන් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කළේය.

ප්‍රශ්න රැසකට වජිරගෙන් උත්තර

එක්සත් ජාතික පක්ෂයේ කොට්ඨාස නිලධාරින් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගිය ඉරිදා දින උදෑසන එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ජාතික සේවක සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, හිටපු අමාත්‍ය ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ කොට්ඨාස නිලධාරීහු විශාල පිරිසක් මේ සඳහා සහභාගීවී සිටියහ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට ගොඩගැනීම වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළත්, පක්ෂයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳවත් ග්‍රාමීය මට්ටමින් ජනතාව දැනුම්වත් කිරීමට කථිකයින් පුහුණු කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන විශේෂයෙන් සංවිධානය කර තිබිණි.

Comments