
දිනෙන් දින ඉහළ යන ඉන්ධන මිල හමුවේ ඇති එකම විසඳුම වී ඇත්තේ විදුලි බලයෙන් ධාවනය කළ හැකි රථ වාහනය. එහෙත් පවතින ආර්ථික අර්බුදය හමුවේ ඒවා අධික බදු මුදලක් ගෙවා මෙරටට ආනයනය කිරීම අපහසු කාර්යයක් වී තිබේ. එවන් පසුබිමක අපේම කියල විදුලියෙන් දුවන ත්‍රිරෝද රථයක්, යතුරුපැදියක්, පා පැදියක් තමන් සතු කරගන්න තියෙනව නම් කොයි තරම් දෙයක්ද? ඇත්තෙන්ම එවන් අනගි අවස්ථාවක් දැන් ශ්‍රී ලංකිකයන්ට උදා වී තිබේ. ඒ මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ හිටපු කථිකාචාර්යවරයකු වන සසිරංග ද සිල්වාගේ මැදිහත් වීම නිසාය. අප මේ කියන්නට යන්නේ ඒ කතාවය.
කුඩා කල පටන් කුඩා මෝටර් රථ එකතු කිරීමට පුංචි හසරංග දැක් වූයේ මහත් උනන්දුවකි. ඒවා ගලවා නැවත එකලස් කිරීමටත් ඊට විවිධ දෑ එක්කර වෙනස් කිරීමටත් ඔහු දැක්වූ උනන්දුව දෙස මවුපිය දෙපළ බලා සිටියේ මහත් ආසාවෙනි. පියා විවිධ වාහන ආකෘති තම දරුවාට ගෙනැවිත් දීමට උනන්දු විය. සසිරංගගේ පියා වූ නිහාල් ද සිල්වා වෘත්තියෙන් හිටපු මහ අධිකරණ විනිසුරුවරයෙකි. මව තිලකා ද සිල්වා වෘත්තියෙන් ගුරුවරියක වූවාය. එහෙත් ඔවුන් කිසි විටෙකත් දරුවාගේ සහජ දක්ෂතා වළකා අධ්‍යාපනයට නැඹුරු කිරීමට උත්සාහ නොකළේය. එනිසාම සසිරංග අධ්‍යාපනයට ද එකසේ දක්ෂ දරුවකු විය.
ශ්‍රී ජයවර්ධනපුර පිටකෝට්ටේදී උපන් සසිරංග ද සිල්වා මූලික අධ්‍යාපනය ලැබූයේ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයෙනි. සාමාන්‍ය පෙළ හොඳින් සමත් වූ සසිරංග උසස් පෙළ සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය. ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දෙන සසිරංග 2006 වසරේදී විශ්වවිද්‍යාල වරම් හිමි කර ගත්තේය. කුඩා කල පටන් තමා තුළ වූ ආශාව නිසාම හෙතෙම වැඩිදුර ස්වයංක්‍රීය මෝටර් ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට ඔස්ට්‍රේලියාව බලා පිටත් ව ගියේය. හෙතෙම එහිදී ඔස්ට්‍රේලියාවේ රෝයල් මෙල්බර්න් තාක්ෂණ අධ්‍යාපන අයතනය (Royal Melbourne Institute of Technology) ඇතුළත්ව ස්වයංක්‍රීය මෝටර් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය හිමි කර ගත්තේය. 2010 වසරේ නැවත මෙරටට පැමිණි සසිරංග 2012 වසරේ මොරටුව විශ්වවිද්‍යාලයට බැඳී යාන්ත්‍රික ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන්නට විය. එහි වසර දහයක සේවා කාලයක් සම්පූර්ණ කරමින් සිටින අතරතුර සසිරංග ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් කෙරෙහි අවධානය යොමු කළේය. ඒ අනුව 2018 වසරේ ටර්මල්ආර් ඉන්ඩ්‍රස්ට්‍රීස් ප්‍රයිවට් ලිමිටඩ් (ThermalR Industries Pvt Ltd) නමින් තමන්ගේම වූ නිෂ්පාදන ආයතනයක් ආරම්භ කළේය. ඔහු 2022 වසරේ මාර්තු මාසයේ විශ්වවිද්‍යාලය ජීවිතයට සමු දුන්නේය.
විදුලි බැටරියෙන් ධාවනය වන ත්‍රිරෝද රථය නිර්මාණය කිරීමේ පසුබිම පිළිබඳව සිළුමිණ සසිරංගගෙන් විමසීමක් කළෙමු.
“ මගේ අධ්‍යයන පසුබිම එක්ක මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ලැබුණා. එහි යාන්ත්‍රික ඉංජිනේරු පර්යේෂණාගාරයේ ප්‍රධානියා ලෙස කටයුතු කළෙත් මම. ඒ නිසා මගේ අධ්‍යයන මූලික කරගෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ විවිධ පර්යේෂණ සිදු කළා. විශේෂයෙන් විදුලි මෝටර් රථ යාන්ත්‍රික විද්‍යාව පිළිබඳව. ඒ වෙනකොට විදුලි බලයෙන් දුවන වාහන පිළිබඳව ලොකු උනන්දුවක් ලෝකය පුරා ඇති වී තිබුණා. අපි ඒ වනවිට කරමින් සිටිය පර්යේෂණත් උපයෝගී කරගෙන පළමු වසරේ විද්‍යාර්ථීන් එක්ක එකතු වෙලා පරණ මිනීමයිනර් එකක් විදුලි බලයෙන් ධාවනය වන රථයක් බවට පරිවර්තනය කළා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයේ තිබුණු පරණ ත්‍රීවීල් චැසියක් අරගෙන විදුලි බලයෙන් ධාවනය වන ත්‍රිරෝද රථයක් බවට පරිවර්තනය කළා. ඒ පර්යේෂණාත්මක අත්හදා බැලීම් සෑහෙන සාර්ථක වුණා.
මේ ත්‍රිරෝද රථයේ තිබුණු එන්ජිම, ගියර් පද්ධතිය, ඉන්ධන සපයන ටැංකිය වගේ දේවල් ඉවත් කරලා ඒ වෙනුවට මෝටරයක්; ලිතියම් අයන් බැටරියක්; පරිපථ සහ බැටරිය ආරෝපණය කරන ආරෝපකය සවි කර තිබෙනවා. මේ නිසා රථයේ ඉන්ධන දහනයක් සිදු වන්නේ නැහැ. ඉන්ධන වෙනුවට දහනය වෙන්නේ ලිතියම් අයන් බැටරියේ විද්‍ය ුත් ශක්තියයි.
කෙනෙක් සෝලා පද්ධතියක් මඟින් බැටරිය ආරෝපණය කරනවා නම් සියයට සියයක්ම පරිසර හිතකාමී ත්‍රිරෝද රථයක් විදිහට හඳුන්වන්න පුළුවන්. බැටරිය සම්පූර්ණයෙන්ම ආරෝපණය කරලා ධාවනයට යොදා ගත්තොත් කිලෝමීටර් සියයක් හෝ එකසිය දහයක පමණ දුරක් ධාවනය කළ හැකියි. මේ නිසා පෙට්‍රල් රථයක් ධාවනය කරනවාට වඩා ඉලෙක්ට්‍රික් රථයක් ධාවනය කරන එක රියදුරන්ට ලාභයි. මේ මඟින් ඉන්ධනවලින් ධාවනය කරනවාට වඩා සියයට හැටක පමණ ලාභයක් තිබෙනවා. සාමාන්‍යයෙන් රාත්‍රී එකොළහෙන් පසුව බැටරිය ආරෝපණය කළහොත් පසුදින දවසෙම ත්‍රිරෝද රථ රියදුරන්ට ධාවනය කළ හැකියි. මේ බැටරිය ආරෝපණය කිරීමට ගත වන්නේ පැය හතරක විතර ඉතාම කෙටි කාලයක් නිසා ලොකු විදුලිය ප්‍රමාණයක් වැය වන්නේ නැහැ.
මේ විදියට ත්‍රිරෝද රථයක් විදුලි බලයට පරිවර්තනය කිරීමට අප මෙය ආරම්භ කළ අවධියේ 2014 - 15 ව කාලයේ ලක්ෂ හතරකට පහකට වගේ කරගන්න පුළුවන් වුණා. මොකද ඒ වෙද්දී ඩොලරයක මිල සටහන් වුණේ රුපියල් 150ක් 155ක් විතර; නමුත් මේ වේද්දී ඒ මුදල දෙගුණයකටත් වඩා වැඩියි. ඒ නිසා ලක්ෂ දහයකට වැඩි මුදලක් දැන් මේ සඳහා වැය වෙනවා. ඒකට හේතුව අප මේ සඳහා යොදා ගන්නා ලිතියම් අයන් බැටරිය සහ ඊට අවශ්‍ය කරන අනෙකුත් විදුලි උපාංග ගෙන්වද්දී විශාල බදු මුදලක් ගෙවීමට සිදු වීමයි.
ඕනෑම අයෙක් එන්ජිම නැතිව චැසියයි ජියර් බොක්ස් එකයි බොඩියයි ගෙනාවත් අපට මෙය විද්‍ය ුත් ත්‍රිරෝද රථයක් බවට පරිවර්තනය කර දිය හැකියි. මේ සඳහා දරන්න වෙන මූලික වියදම වැඩි වුණාට; ඒ වියදම ත්‍රිරෝද රථ රියදුරන්ට මාසිකව පෙට්‍රල් සඳහා ගෙවන මුදල ඉතිරි කර ගැනීමෙන් ඉතා කෙටි කාලයකදී පියවා ගත හැකියි.
මේ සඳහා ගෙන්වන අමුද්‍රව්‍ය සඳහා රජයෙන් අය කරන විශාල බදු මුදල අඩු කර සහනයක් ලබා දිය හැකි නම් එහි වාසිය සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයාට දෙන්න අපට පුළුවන්. මේ වැඩෙන් රජයටත් විශාල වාසියක් අත් වෙනවා. ඉන්ධන සඳහා රජය වැය කරන අධික වියදම අවම කර ගන්න ලැබෙනවා වගේම කාබන් විමෝචනය ශූන්‍ය අගයකට ගෙන ඒමට රජය ගෙන යන වැඩ පිළිවෙළට මෙමඟින් දායකත්වය ලැබෙනවා. මොකද මේ වාහනවලින් දුම පිට වෙන්නේ නැහැ. ඉන්ධන දහනය අවමයි. සාමාන්‍ය වාහනයක් සහ විදුලි බලයෙන් ක්‍රියා කරන රථයක් සංසන්දනය කළ විට ඉන් පිටවන විමෝචනය අඩුයි. එය මෙහි තිබෙන ප්‍රධානම වාසියක්. 2015දී ලංකා රජය පැරිස් සම්මුතීන්ට අත්සන් කරලා තියෙන නිසා ණය ගැනීමේදී වුණත් මෙවැනි කර්මාන්ත දියුණු කිරීමේන් ඊට ඉඩ ප්‍රස්තාව සැලසෙනවා. අනෙක් අතට කර්මාන්තයක් විදිහට කරගෙන යද්දි ඒකෙන් අපේ රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා විවර වෙනවා.
අපේ රටේ මේ වනවිට ත්‍රිරෝද රථ ලක්ෂ දාහතරකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. ඒ අතරින් සාමාන්‍ය ප්‍රමාණයක් තිබෙනවා Two stroke වර්ගයේ ත්‍රිරෝද රථ. ඒවා බොහෝවිට අවුරුදු දහයකට වඩා පැරණියි. සමහරවිට ඒවායේ චැසිය දිරලා. ඒවට අලුත් ඉලෙක්ට්‍රික් පවර්ට්‍රේන් එකක් සම්බන්ධ කරද්දි ගැටලු මතුවෙන්න පුළුවන්. ඒත් මින් ත්‍රිරෝද රථ ලක්ෂ දහයකට අධික ප්‍රමාණයක් හොඳ තත්ත්වයේ පවතිනවා. ෆොස්ටොක් (Four stroke) වර්ගයේ ත්‍රිරෝද රථ නම් කිසිම ගැටලුවක් නොමැතිව විදුලි බලයෙන් ධාවනය කළ හැකි ලෙස පරිවර්තනය කළ හැකියි.
කාර්මීකරණයත් සමඟ කාබන් විමෝචය ඉහළ යෑම හේතුවෙන් පරිසර හිතකාමි තිරසර සංවර්ධයකට යොමුවීමට මුළු මහත් ලෝකයේම අවධානය යොමුව තිබීම නිසා මේ පිළිබඳව උනන්දු වන ලෝකයේ ප්‍රධාන සමාගම් ව්‍යාපාර හා සංවිධාන පරිසර හිතකාමී නව නිර්මාණ කෙරෙහි අවධානය යොමු කර තිබේ. මේ හේතුවෙන් ලෝකය පුරා පරිසර හිතකාමී නව නිර්මාණ ඉදිරියට එමින් තිබෙනු දැකගත හැකිය. එසේම ඔවුන් දිරිමත් කිරීම එම නිර්මාණ ඇගයීමට ලක්කරමින් ඒ සඳහා ආධාර අනුබල ලබාදීමට ද එකී සංවිධාන ඉදිරියට එමින් තිබේ. එවැනි තරගවලට සහඟාගි වී සසිරංග ද ඇගයීමට පාත්රව තිබේ.
“2018 වසරේ දී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP - UN Environment Programme) යටතේ තරගයක් පැවතියා. එහි තේමාව වුණේ low carbon lifestyle challenge යන්නයි. ඒ සඳහා ආසියාවෙන් ව්‍යාපෘති 180කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණා. ඉන් පළමු වටයේ ජයග්‍රහණය සඳහා ව්‍යාපෘති 12ක් තෝරා ගැනුණා. ඒ සඳහා අමෙරිකානු ඩොලර් 10,000ක් බැගින් පරිත්‍යාග කළා. ඔවුන් අපේ නිර්මාණ ඛාණ්ඩ කළා, energy efficiency, low carbon mobility, plastic waste management යනුවෙන්. මගේ නිර්මාණය කාබන් විමෝචනය අඩු කිරීම (low carbon mobility) යන අංශය යටතේ මං කළ ත්‍රිරෝද රථය නියෝජනය කළා. කාණ්ඩයකින් ජයග්‍රාහකයන් තුන්දෙනා දෙනා බැගින් තෝරා ගත්තා. ඒ තිදෙනා අතරට මගේ නිර්මාණයත් තෝරා තිබුණා. ඒ අනුව ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් 10000ක් ලැබුණා. ඒ තෝරාගත් අය අතරින් නැවත තරගයක් තිබුණා. එතනින් පස්දෙනකු තෝරා ගැනුණා. ඒකෙනුත් මගේ ව්‍යාපෘතියට අමරිකන් ඩොලර් 10000ක් ලැබුණා. නැවත 2019 වසරේ ජර්මනියේ පැවති Green Energy Champion A competition තරගයෙන් ජයග්‍රහණය කර යතුරු පැදිය සඳහා අමෙරිකන් ඩොලර් 10000ක් ලැබුණා. ඒ විදියට ලැබුණු මුදලුයි මගේ රැකියාවෙන් ලැබුණ වැටුපයි යොදා ගෙන තමයි මේ වනවිට ව්‍යාපාරය පවත්වගෙන යන්නේ.”
පසුව ලංකාවේ විවිධ අය ත්‍රිරෝද රථ විදුලියට හැරවුවද එහි ආකෘතිය එක හා සමාන නොවේ. සසිරංග මෙහිදි සිදු කරන්නේ ඔහුගේම ක්‍රමයකට නව පරිපතයක් නිර්මාණය කර ධාවනයට අවකාශ සැලසීමය. එහිදී සියයට හැටක පමණ කොටස් ඔහු විසින්ම නිර්මාණය කළ ඒවාය. ඔහු මීට අදාළ මෝටරය සහ බැටරිය පමණක් පිටතින් ගෙන්වීම සිදු කරයි.
සසිරංගගේ අලුත්ම නිෂ්පාදනය වන්නේ
විද්‍ය ුත් යතුරුපැදියයි. එය 2018 වසරේ පටන් සිදු කරන ලද පර්යේෂණයක ප්රතිඵලයකි. එය පෙනුමින් හා තාක්ෂණයෙන් ලොව අන් කිසිදු යතුරුපැදියකට සම නොවේ. මෙම විදුලි යතුරුපැදියේ බාහිර පෙනුම මෙන්ම අභ්‍යන්තර සැකැස්ම ද මුළුමනින්ම ශ්‍රී ලාංකික නිර්මාණයකි. සසිරංග ඒ පිළිබඳව පවසන්නේ මෙවන් අදහසකි.
“මෙම විද්‍ය ුත් යතුරුපැදිය මුළුමනින්ම දේශීය නිෂ්පාදනයක්. මෝටරය සහ බැටරිය හැරෙන්නට අනෙක් සෑම අංගෝපාංගයක්ම එනම්; මෙහි කොටස්වලින් සියයට 60ක්ම දේශීයව නිෂ්පාදනය කර තිබෙනවා. මෙරට නිෂ්පාදනය කළ නොහැකි මෝටරය සහ බැටරි පැක් එක පමණයි ආනයනය කර ඇත්තේ. ඒ අනුව විද්‍ය ුත් යතුරුපැදි වර්ග දෙකක් අපි නිෂ්පාදනය කළා. ඉන් එකක් ‘ද බාබරි’ (The Barbery) නමින් හැඳින්වෙනවා. මෙහි වේගය පැයට කි.මී. 80ක්. මෙහි බැටරිය පැය හතරක් ආරෝපණය කිරීමෙන් පසු කි.මී. 120ක දුරක් ගමන් කළ හැකියි. මෙහි කිලෝවොට් හතරක මෝටරයකින් බල ගැන්වෙනවා. දෙවන වර්ගය වන්නේ ‘ද පෙරග්රීන්’ (The Peregrine) එහි වේගය පැයට කි.මී.110ක්. මෙහි බැයරිය පැය හතරක් ආරෝපණය කිරීමෙන් කි.මී. 120 ක දුරක් ගමන් කළ හැකියි. මෙම යතුරු පැදියෙහි කිලෝවොට් අටක මෝටරයකින් බලගැන්වී තිබෙනවා. මෙම යතුරුපැදියේ ඉකෝ මෝඩ් (eco mode) තත්ත්වය සක්‍රිය කළ විට විදුලි සැපයුම පිරිමැසීමෙන් කි.මී. 120ට වැඩි දුරක් ධාවනයේ කළ හැකියි. ඒ වගේම මෙම ඕනෑම නිෂ්පාදනයක් නිෙවසේ තිබෙන සාමාන්‍ය විදුලි සැපයුම මඟින් ආරෝපණය කර ගත හැකියි. ඒ වගේම රට පුරා ස්ථාපනය කර ඇති විදුලි ආරෝපණ ස්ථාපන මඟින්ද මෙම නිෂ්පාදන ආරෝපණය කර ගත හැකියි.”
මම මේ සඳහා අපටම අනන්‍ය වූ නව පෙනුමක් ලබා දීමට උත්සාහ කළා. ඒ අනුව උකුස්සකුගේ (Falcon) වැනි පෙනුමකින් යුත් යතුරුපැදිය නිර්මාණය කළා. මෙහි බාහිර පෙනුම මොරටු විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයකු වූ ලකල් පියරත්න විසින් නිර්මාණය කළා. එය තව දුරටත් ඔපමට්ටම් කරමින් මා මෙම යතුරුපැදියේ අවසන් හැඩය හා පෙනුම නිර්මාණය කළා. මෙහි තිබෙන සුවිශේෂී අංගයක් වන්නේ ඩිජිටල් තිරයයි. සුපුරුදු හැඬලය මැද වෙනුවට එය ඩිජිටල් ඩිස්ප්ලේ තිරයක් ලෙස හැඬලය සහ ආසනය අතර සවිකර තිබෙනවා. මෙහි සුවිශේෂීත්වය වන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාත්මක වීම සහ ජංගම දුරකතනය ඒ හා සම්බන්ධ කිරීමට ඇති හැකියාවයි. අඟල් 7ක තිරය, වේග මීටරය, බැටරි ධාරිතාව, ඔඩෝ මීටරය, ජී.පී. එස්. නැවිගේෂන් සහ ඇන්ඩ්‍රොයිඩ් වැඩසටහන් ස්ථාපනය කළ හැකි වීම මෙම අංගයේ තවත් විශේෂිතා ලෙස දැක්විය හැකියි.
විද්‍ය ුත් යතුරුපැදියක් නිසාවෙන් ලෝකයේ ප්‍රමිතිගත ආකාරයට යතුරුපැදිකරුගේ සහ යතුරුපැදියේ ආරක්ෂාව සහතික කිරීමට පියවර ගෙන තියෙනවා. මෙහි පරිපථය එස්.ඒ. ඊ. (Society of Automotive Engineers) කියන අන්තර්ජාතික ප්‍රමිතියට අනුව නිර්මාණය කර තිබෙනවා. එනිසා විදුලි කාන්දුවීමක් ඇති වුවත් විදුලිය කාන්දු වීම් යතුරු පැදිය පුරා පැතිර යාමක් හෝ ධාවකයාට අනතුරක් සිදු වන්නේ නැහැ. මෙම යතුරු පැදියේ චැසිය පවා නිමවා තිබෙන්නේ අන්තර්ජාතික ප්‍රමිතිය අනුවයි. මෙම යතුරුපැදිය වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය නීතිමය අවසර මේ වනවිට ලැබී තියෙනවා. යතුරුපැදි සඳහා මේ වනවිටත් ඇණවුම් 30කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබෙනවා. ඒ අනුව ලබන අප්‍රේල් මැයි වෙද්දී පළමු නිෂ්පාදන තොගය වෙළෙඳපොළට මුදා හැරීමට කටයුතු කරමින් තිබෙනවා. මෙම නිෂ්පාදන දේශීයව මෙන්ම විදේශීය වෙළෙඳපොළට ද විවෘත කිරීමට සැලසුම් කරමින් තිබෙනවා. ඒ වගේම මෙහි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඉවත් කර ඒ සඳහා යන වියදම අඩුකර එහි වාසිය දේශීය පාරිභෝගිකයන්ට ලබා දීමට ද මේ වන විට සැලසුම් සකස් කරමින් තිබෙනවා.
මීට අමතර ලංකාවේ නිෂ්පාදිත විද්‍ය ුත් පාපැදි හා ත්‍රිමාණ ආකෘති මුද්‍රණ කළ හැකි මුද්‍රණ යන්ත්‍ර මෙම ආයතනය මඟින් ලබාගත හැකිය.
ටර්මල්ආර් ඉන්ඩ්‍රස්ට්‍රීස් ප්‍රයිවට් ලිමිටඩ් අයතනයේ මේ වනවිට ඉංජිනේරුවන්, මෝටර් රථ කාර්මිකයන් සහ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් ඇතුළු විසිහය දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙම කාර්යයට උරදී සිටිති. මෙම නිෂ්පාදන කෙනකුට ඇණවුම් කිරීමට හා එහි මිල ගණන් දැන ගැනීමට අවැසි නම් www.thermalr.com වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩි විස්තර හා තොරතුරු ලබාගත හැකිය.