පැරණි සංවේගය | සිළුමිණ

පැරණි සංවේගය

රන්ජන් ගාමිණී ජයවර්ධන

“හරි සර්.. ඔක්කොමලා ලෑස්තියි" පරිගණක තිරයෙන් දෑස ඉවතට ගත් මා කාර්යාල කාමරයේ දොර අසල සිටින වේටර් ප්‍රියන්ත දෙසට හැරුණා.

කළමණාකරු විසින්ම සම්පූර්ණ කොට ප්‍රධාන කාර්යාලය වෙත ඊ මේල් කළ යුතු තානායමේ මාසික ආදායම් වියදම් ලේඛන වගුව හිස් කොටු බහුතරයක් විහිදා මා දෙස දත් විලිස්සා සිටියදී ප්‍රියන්තගේ හඬට අවනත වූ මා පරිගණකය ෂට් ඩවුන් කළා.

වේලාව රාත්‍රී එකොළහට ආසන්නය. ප්‍රියන්ත මට ආරාධනා කරන්නේ තානායම් කාර්ය මණ්ඩලය විසින් තානායමේ ජ්‍යේෂ්ඨ සේවකයකු වන සුපවයිසර් වේටර් රත්නසිරි අයියා විශ්‍රාම යෑම වෙනුවෙන් තානායම් භෝජනාගාරයේ පැවැත්වීමට සූදානම් කොට තිබෙනා සමුදීමේ සාදය ආරම්භ කිරීමටයි.

"රූම් ගෙස්ට්ලා රෑ කෑම කාලා කාමරවලට ගියාද ප්‍රියන්ත..."

"ඔව් සර්..."

භෝජනාගාරයේ ප්‍රධාන පීඨිකාවේ රවුමට සකස් කළ ප්‍රධාන මේසය වටා අසුන්ගත් තානායම් කාර්ය මණ්ඩලය මගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටියා.

බීර බෝතල කීපයක්, සුළු කටගැස්මක් මුල් අදියර ලෙස තබා තිබූ ප්‍රධාන මේසය මත සේවයෙන් සමු ගන්නා සුපවයිසර් වේටර් රත්නසිරි වෙනුවෙන් පිදෙනා සේවක තිළිණය වෛවර්ණ රැපින් කඩදාසියක දැවටී විරාජමානව සිටියා.

මාගේ සේවා කාලය තුළ තානායම් කීපයකදීම විටින් විට මුණගැසී ඇති වේටර් රත්නසිරි පිළිබඳ මතකය මගේ රාජකාරි අතීතයේ දෙවතාවකදීම ඉතා තදින් සනිටුහන්ව තිබෙනවා.

ඉන් එක් අවස්ථාවක් වන්නේ මීට වසර තිස් පහකට පමණ ඉහත එක්දහස් නමසිය අසූ අට අසූ නමය කාලයේදීයි.

එම කාලයේ ඉතා දරුණු ලෙස පැතිරුණු දකුණේ රුදුරු භීෂණ සමයේ රත්නසිරිගේ බාල සහෝදරයා උසස් පෙළ නිමාවී පාසලෙන් සමුගෙන තිබුණා. මා එකල කොලු වයසේ තරුණ පිළිගැනීමේ නිලධාරියකු ලෙස තානායම් සේවයේ යෙදී සිටියා. මට වඩා වසර කීපයක් වැඩිමල් රත්නසිරි ආධුනික වේටර්වරයකුව සිටියා.

දුරකතන පහසුකම් අද මෙන් සුලබ නොවූ ඒ කටුක සමයේ එක්තරා හැන්දෑවක තානායමේ දුරකතනය නාද වුණා. එම අඳුරු පුවතින් කියැවුණේ අපගේ සහෘද වේටර් රත්නසිරිගේ පවුලේ බඩපිස්සා වන බාල මල්ලිගේ වෙඩි වැදුණු මළසිරුර ගමේම ඈත කෙළවර වනරොදක තිබී සොයාගෙන පසුව සීල් තැබූ පෙට්ටියක නිවෙසට රැගෙන ආ බවයි.

රජයෙන් පැනවූ නිල ඇඳිරි නීතියත්, අවිගත් පිරිස් පැනවූ නිල නොවනා ඇඳිරි නීතියත් පසුදා හිමිදිරියේම අවසන් වූවා.

"අපගේ සාතිශය සංවේගය..." සඳහන් පොප්ලින් රෙද්දෙන් මැසූ ශෝක ප්‍රකාශ බැනරය තුන හතරට නවා බ්‍රවුන් පේපර් බෑග් එකක දමා ගත් ගැටවර මමත් තානායමේ තවත් වේටර් සගයෙකුත් රත්නසිරිගේ ගෙදර අවමඟුලට සහභාගී වීමට ඌව වෙල්ලස්ස බලා ලංගම බසයක නැඟී පිටව ගියේ තානායමට පමණක් දැනුම් දී ගෙවල්වලට හොර රහසේ ගිය ත්‍රාසජනක ගමනක් ලෙසයි.

බසයේ රියැදුරු අසුන සමීපයේම අසුන්ගෙන සිටි මා අතරමගදී දුටු භීෂණයේ කුරිරු සලකුණු මා හට තවමත් මතකය.

ඊට වසර දහයකට පමණ පසුව රත්නසිරිගේ නිවෙසට මා නැවතත් ගියේ එබඳුම අතිශය කනගාටුදායක තවත් සිදුවීමක් අවස්ථාවේදීය.

එක්දහස් නමසිය අනූ නමය හෝ දෙදහස වසරේ අගනුවර ආසන්නයේදී බස්රථයක පිපිරුණ එල්.ටී.ටී.ඊ. කාල බෝම්බයකට හසුවී රත්නසිරිගේ පියා මෙලොව අතහැර ගොස් තිබුණේ අංගසම්පූර්ණ මළසිරුරක් සහිතව මිය යෑමේ වරය පමණක් ඔහු සතු වාසනාව ලෙස ගෙනය.

ඩිජිටල් ෆ්ලැක්ස් බැනර් කලාව එදා මෙතරම්ම ප්‍රචලිත නැත. එම මළගෙදරට සහභාගී වීම සඳහා ද පැරණි සංවේගයම සඳහන් රෙදි බැනරයක් අතැතිව නැවතත් ඌව වෙල්ලස්ස බලා යන මිට්සුබිෂි රෝසා වර්ගයේ වායු සමීකරණ බසයකට ගොඩවූ මා රත්නසිරිගේ පියාණන්ගේ අභාවය වෙනුවෙන් අවමංගල සභාවේ කතාවක් ද පැවැත් වූ අයුරු මට තවමත් මතකය.

කාලය වේගයෙන් ගලා ගොස් තිබේ.

නිල විශ්‍රාම වයස ඉක්මවා අවුරුදු පහක සේවා දිගුවක් ද ගතකොට අද දින විශ්‍රාමය ලබනා සුපවයිසර් වේටර් රත්නසිරි වෙනුවෙන් මා දැන් පවත්වන කතාව කෙබන්දක් විය යුතුද?

අතීතය මා හට හොඳින් මතක තිබූ පමණින් සහ එම කියවීම මා හට ඉතා අනුවේදනීය රසයක් ඉස්මතු කරන්නාවූ පමණින්, දෙදහස් විසිතුනේ වත්මන් පරම්පරාවේ තානායම් සංස්කෘතියට මාගේ එම අතීත සිහිවටන කතාවේ මෙලොව රසයක් තිබිය හැකිද?

එබැවින් එම කටුක අතීතය මගහැර යන්නට අකමැත්තෙන් වුවද මා තීරණය කළා.

''සභාවෙන් අවසරයි.. ආදරණීය මගේ සේවක මහත්වරුණි...අද දින විශ්‍රාම..."

"...ට්‍රීක්.. ට්‍රීක්.. ට්‍රීක්..."

අත්‍යවශ්‍යම කරුණකට හැර නිකරුණේ ඇමතුම් නොදෙනා මගේ මිතුරු අතළොස්සෙන් එකෙකුගේ කෙටි නම දුරකතන තිරයේ දිලිසුණා.

"මචං සීරියස් කේස් එකක්.. මමයි අපේ වයිෆ් කාරයයි දැන් රෑ හතට විතර බණ ගෙදරකට ගියා... ගෙදර හිටියේ අපේ බබයි සර්වන්ට්නුයි විතරයි... ඇවිත් බලනකොට සර්වන්ට් කෙල්ල ගෙදර නෑ.. පැනලා ගිහිල්ලා..."

අන්දමන්දව ගිය මා ආරම්භ කළ කථාව වහා නතර කර සේවක පිරිසගෙන් තත්පරයක් සමාව ඉල්ලුවා.

"නෑ.. නෑ.. කොල්ලෙක් සෙට් වෙන්න තරම් වයසක් නෑ... ඇටෙන්ඩ් වෙලත් නැති පොඩි ටැමිල් කෙල්ලක්.. බබා කොට් එකේ නිදි අතරේ පැනලා ගිහිල්ලා... ලබන සතියෙ වෙඩින් එකකට යන්න අපේ වයිෆ් කාරයාගේ රත්‍රන් මාලෙයි වළලු දෙකයි පෙරේදා බැංකුවෙන් ගෙදර ගෙනාවේ. ඒ කිසිම දෙයක් අරගෙන ගිහිල්ලත් නෑ."

මිතුරාගේ කටහඬට යටින් ඇසෙනා සිහින් ගැහැනු ඉකි බිඳුම් හඬ මිතුරාගේ බිරියගේය.

"පොලිසියට පැමිණිලි කරලා ඉමුද?." මම යෝජනා කළා.

"තේරෙන්නැද්ද බන්.. කෙල්ලට වයස එකොළහයි. පාසල් යා යුතු වයසේ දරුවෙක් නිසා මෙහෙකාර සේවයේ යෙදවීම සපුරා වරදක්.. අපේ අල්ලපු ගෙදර වැඩ කරපු මඩකළපුව පැත්තේ මේසන් බාස් කෙනෙක් ඔය කෙල්ල අපිට ගෙනැත් දුන්නේ..දැන් ඒ බාසා ඇවිත් ඉල්ලුවම මං මගේ දරුවද බන් දෙන්නේ... ෂැහ්... අපේ ලේන් එකේ එකම ගෙදරකවත් සී.සී.ටී.වී. නෑනේ.."

"තියන්න.. මම ගන්නම්.."

මා නැවතත් විශ්‍රාම දේශනයට යොමු වුණා.

කොහේදී හෝ ජීවිතය වැරැදී, පාසල් යා යුතු වයසේදීම මෙහෙකාර සේවයට පැමිණි බාල වයස්කාර දමිළ දැරියක් හාම්පුතුන්ගේ කිසිවකුත් සොරකම් නොකොට වැටුප පවා නොගෙන හිස් අතින්ම පලා ගොසිනි.

දැන් මා සැරසෙන්නේ එකම තනතුරක් විවිධ හැල හැපිලි සහිත යුග පරාසයන් කීපයක් පසුකරමින් වසර හතළිහකට ආසන්න කාලයක් තිස්සේ දරා සිටිමින් මෙරට ජනගහනයෙන් කිසියම් අංශුමාත්‍ර ප්‍රතිශතයකට එක තේ කෝප්පයක් හෝ ළඟට සැපයූ පරිණත වේටර් සේවකයකුගේ සේවා විශ්‍රාමය වෙනුවෙන් සමු දීමේ කතාව පවත්වන්නටය.

එහෙත් මිතුරාගේ ඇමතුමෙන් අනපේක්ෂිතව වියමන ලිහී ගිය මගේ කතාව නැවත ගළපා ගන්නට අසීරු වූ මා, යළි යළිත් හිස කැසුවා.

Comments