
වනයට, පරිසරයට පෙම් බඳින්නෝ මෙන්ම සර්පයන්ට පෙම් බඳින්නෝ ද අප අතර ඇතත් ඒ ඉතා සුළු පිරිසක් විනා බොහෝ දෙනා සර්පයන් දැකීමටවත් කැමැත්තක් නොදක්වන්නේ ඉන් ජීවිතයට එල්ල විය හැකි තර්ජන නිසාවෙනි. මේ හේතුවෙන් අද සර්පයන් දැඩි හිංසනයට ලක්වී ඇති බවත්, දුටු තැන මරා දැමීමට පෙලඹී ඇති බවත් පරිසරවේදීහු චෝදනා නඟති. මේ නිසාවෙන් පරිසරයට පෙම් බඳින්නෝ සමහරක් ජීවිත තර්ජන ද නොතකමින් ස්වේච්ඡාවෙන් සර්පයන්ගේ දිවි සුරුකුමට එක් වන්නේ තමන්ගේ ජිවිතය දෙවැනි කොට සලකමිනි. මෙය ද එවැනිම කඳුළකින් නිමා වූ රටක් වටින පරිසරවේදියකු පිළිබඳ ඛේදනීය කතා පුවතකි.
වසරක් පාසා සර්ප දෂ්ටන මෙන්ම සර්ප දෂ්ටන නිසා අසන්නට සිදු වූ මරණ ද නිමක් නැත. බොහෝමයක් වාර්තා නොවන්නේ ගමේ සර්ප විෂ වෙද මහතා සොයා ගොස් ප්‍රතිකාර ලබන්නවුන් ගැන කිසිදු තැනක වාර්තා නොවන නිසාය. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්. එම්. ඒ. කුලරත්න පවසන්නේ වර්ෂයකට සිදු වන සර්ප දෂ්ට මරණ 50 ඉක්මවන බවකි. එසේම වසරකට සර්ප දෂ්ටනයට ලක් වන පිරිස 40,000 ඉක්මවන බවකි. ඒ සියල්ල වාර්තා වූ ඒවා වන අතර, වාර්තා නොවූ ඒවා ද තව බොහෝය.
අම්බලන්ගොඩ නම්බිමුල්ල පදිංචි අනුරාධ මිසේන්ද්‍ර නමැති 29 හැවිරිදි තරුණයාගේ මරණයද පසුගියදා වාර්තා වූ තවත් එවැනිම මරණයකි. අනුරාධ මියයන්නේ ජීවිත තර්ජනයට ලක් වූ සර්පයකුගේ ජීවිතය සුරැකීමට ගිය ගමනේදීය. තවමත් අවිවාහක තරුණයකු වූ අනුරාධ ස්වේච්ඡාවෙන් සර්පයන් අල්ලන්නකු වූ අතර පරිසරයට සහ සතා සිවුපාවට තම පණ මෙන් ආදරය කරන්ෙනකි. සරලව පැවැසුවොත් ලංකාවේ සර්ප සම්පත රැක ගැනීමේ අරමුණ පෙරදැරිව එම කටයුත්තට ස්වේච්ඡාවෙන් කැපවූ සර්ප ආරක්ෂකයෙකි. අනුරාධ ජීවිතය හැර යන්නේ බලපිටිය මහලදුව ප්‍රදේශයේ වත්තකට පැමිණි නාගයකු ඇල්ලීමට යෑමේදීය.
පසුගිය මාර්තු 7 වැනිදා අනුරාධ සිටියේ තවත් සර්පයන් ඇල්ලීමේ ගුරුවරයකු හා තම හිතවතතු වූ බළපිටිය හීනටියේ පදිංචි වීරකෝන් ජැක්සන් කරුණාරත්නගේ නිවෙසේය.
“මම අවුරුදු දොළහක් දහ තුනක් තිස්සේ අනුරාධව ඇසුරු කරනවා. මේ සිද්ධිය වූ දින අනුරාධ හිටියේ අපේ ගෙදර. එයා ඉනිමඟ තියල කුරුම්බා කඩමින් ඉන්න කොට මගේ ටෙලිෆෝන් එකට කෝල් එකක් ආවා, මහලදූවේ පාලම ළඟ නයෙක් ඉන්නවා අල්ලා දෙන්න කියල. මම දැන්ම එනවා කියල කියනකොටත් අනුරාධ ඉනිමඟෙන් බැහැල බයිසිකලය අරගෙන ඇවිත් මාවත් නංවා ගෙන නයා ඉන්න තැනට ගියා. ඒ යන කොටත් එක් අයෙක් ඉදලකින් නයා තද කරගෙන හිටියා. මම දැක්ක ගමන් කිවුවා නයා ඉන්නේ කැලේ, ඌට යන්න දෙන්න කියල. අපේ දරුවෝ මෙතැනින් යන නිසා අල්ලා දෙන්න කියලා ඒ අය අපෙන් ඉල්ලීමක් කළා. මම නයා අල්ලන්න සූදානම් වෙද්දී මම එයාට එපා කියද්දි අනුරාධ නයා ඇල්ලුවා. ඒ වෙලාවේ නයා සිටියේ කිපිලා. එක්වරම අනුරාධගේ අතට නයා දෂ්ට කළා. මම ඒ මොහොතෙම විස ඉරුවා. අනුරාධ පණ නැතිව වැටෙන්න ගියා. අපි ඒ සැණින්ම එයාව ඉස්පිරිතාලෙට අරගෙන ගියා. විස උරල මගේ කටත් වණ වුණා. රෝහල ආසන්නයේදී මගේ අත අනුරාධ හැපුවා. "පුතේ මගේ අත" කියද්දි කට ඇරියා. කෙසේ වෙතත් අනුරාධ අපි හැර ගියා. අනුරාධ මේ කටයුතු අනාරක්ෂිතව කරනවා. මීට දින කිහිපයකට ඉහතදිත් බඹර වදයක් කඩන්න ගියේ අනාරක්ෂිතවයි. ඒත් එදා අනතුරක් වුණේ නැහැ. ඒ වෙලාවෙදිත් මම අනුරාධට කිවුවා "උඹ නම් මල්ලියේ අකීකරුයි. උඹ ඔය විදියට වැඩ කළොත් පාඩමක් ඉගෙන ගන්නවා"කියල. එහෙම කියල වැඩි දවසක් ගත වුණේ නෑ"ඒ, ජැක්සන් කරුණාරත්නය.
සර්ප ආරක්ෂකයන් වුවද බොහෝ දෙනෙක් සර්ප දෂ්ටනයට ලක්වන්නේ නිසි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකිරීමෙනි. ඇතැම් විට සුළු අතපසුවීම්වලදී දෂ්ටනයට ලක්වන අවස්ථා ද ඇත. නමුත් මේ පිළිබඳ විශේෂඥයන් පවසන්නේ සර්ප ආරක්ෂකයන් අදාළ ස්ථානයට පමිණෙන විට අවට සිටින්නවුන්ගේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් නයා කෝපයට පත්වී සිටින අවස්ථාවේ මෙවැනි බිහිසුණු අනතුරු සිදුවිය හැකි බවයි. කෙසේ වෙතත් ලංකාවේ මේ කටයුතු සිදු කිරීමේ ආරක්ෂක උපකරණ නැත.
“ මේ නැති වුණේ අපිට සිටිය එකම පුතා. පවුල ගෙනියන්න හිටියේ මෙයා විතරයි. මගේ මහත්තයා ජිනේන්ද්‍රවංශ ද සිල්වා. එයා ගුරුවරයෙක් වශයෙන් සේවය කළේ. මහත්තයා මියගිහින් අවුරුදු හතරක් විතර වෙනවා. මම කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉංග්‍රීසි යතුරු ලේඛිකාවක් හැටියට සේවය කරල විශ්‍රාම ලබා ගෙන ඉන්නේ. මේ පුතා අම්බලන්ගොඩ ධර්මාශෝක මහා විද්‍යාලයේ උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. විෂයන් දෙකක් සමත් වුණා. විභාගයෙන් පස්සේ බළපිටිය කාර්මික විද්‍යාලයේ අවුරුදු එක හමාරක පාඨමාලාවක් හැදෑරුවා. ඉන් පස්සේ යුද හමුදාවේ විදුලි ඉංජිනේරු අංශයේ බැඳී සේවය කළා. අවුරුදු හතර හමාරක් විතර සේවය කරද්දී ආච්චිගේ මරණින් පස්සේ පුතා රක්ෂාවට ගියේ නැහැ. ඉන් පස්සේ හෝටල් කිහිපයක රැකියාව කළා. තාත්තා මියගියාට පසු පුතාට ගෙදරදොරේ බරපතළක් තේරුණේ නැහැ. කුඩා කාලයේ ඉඳලම සතුන්ට හරිම ආදරෙයි. බළපිටිය හීනටියේ පදිංචි නයි වැනි විෂ ඝෝර සතුන් ඇල්ලීමට හැකියාවක් තිබෙන ජැක්සන්ව අය ඉතා කිට්ටුවෙන් ඇසුරු කළා. පුතා නයි අල්ලන කතාවක් අපි දැනගෙන හිටියේ නැහැ. එක දවසක් රූපවාහිනියේ ප්‍රවෘත්තිවලට පුතා නයෙක් අල්ලනවා පෙන්නුවා. එදා තමයි අපි දැනගත්තේ. දරුවගෙ වටිනාකම තේරුම් ගත්තේ මිය ගිය පසුවයි. පුතා මට පණ වගේ ආදරෙයි. යතුරු පැදියෙත් ගහල තිබෙන්නේ ‘තාත්තා දුන්නෙ නම, අම්මා දුන්නේ පණ‘ කියලයි.
දැනට දින කිහිපයකට පෙර පුතා මට කිවුවා "මට අම්මගේ වැඩ කරන්න ලැබෙන්නේ නැහැ. මම එතෙක් ඉන්නෙ නැහැ. අම්මට තමයි මගේ අවසන් වැඩ කරන්න වෙන්නේ. මට සර්පයන්ගෙන් අනතුරක් වෙන්නේ නැහැ. සත්තු මට පණ වගේ ආදරෙයි. මම බයික් එකේ වේගයෙන් යන්නේ. එයින් අනතුරක් වෙලා මහ මඟ තමයි මැරෙන්නේ" කියලා කිවුවා. පුතා මැරෙන දවසේ සීනිගම දේවාලයට ගිහින් මල් පොකුරු කිහිපයක් අරගෙන යහළුවන්ට එක මල බැගින් දීල ජැක්සන්ට විතරක් මල් පොකුරක් දී තිබෙනවා. ඒ වෙලාවෙදිත් යහළුවෝ අහල තිබෙනවා. අද මේ විශේෂයක් මොකද කියල. පුතා සත්තු බෝතල්වලට දමාගෙන ගෙදර ගෙනැවිත් ප්‍රතිකාර කරලා යවනවා. සමහර අයට සර්පයෝ දෂ්ට කළ විට විස උරල ජීවිත බේරගෙන තිබෙනවා. ගෙදරින් සල්ලි ඉල්ලගෙන ගිහින් නැති බැරි අයට උදවු කරනවා. ඒ අනුරාධගේ මව වන කහවත්ත ලියනගේ කල්‍යානි ය.
කෙසේ වෙතත් රටට වටිනා පරිසරයට හිතැති තරුණ ජීවිතයක් අකාලයේ සමුගෙන අහවරය. ඔහු කළ කාර්ය දන්නෝ ඔහු ගැන වර්ණනා කරති. පසුගිය කාලයේ සර්ප ආරක්ෂකයන් ඒ සද්කාර්යය වෙනුවෙන් කටයුතු කරද්දී අනතුරට පත්වූ වාර අනන්තය. ඊට බොහෝ විට පසුබිම් වූයේ සර්පයන් ඇල්ලීමේදී සත්ත්වයන් කුපිත කරවන වාතාවරණයක් අවට සිටින්නවුන් විසින් ඇති කිරීමය.
ශ්‍රී ලංකාවේ ජනතාව සර්ප දෂ්ඨනවලින් බේරාගැනීමේ හා සර්ප සම්පත රැකගැනීමේ අරමුණ පෙරදැරිව එම කටයුත්ත සඳහා ස්වේච්ඡාවෙන් කැපවූ සර්ප ආරක්ෂකයන්ගේ නාමාවලියක් සකස් කිරීම සඳහා මුලින්ම අදහස පහළ වන්නේ මීට වසර කිහිපයකට පෙරය. එහි ප්‍රතිඵලයක් ලෙස https://snakeprotectors.com නමින් වෙබ් අඩවියක් ඇත්තේ ඕනෑම හදිසි අවස්ථාවක දිවයින පුරා විසිරී ඇති සර්ප ආරක්ෂකයන්ගේ දුරකතන අංක ලබා ගැනීමටය. තම ජීවිත අවදානම පවා නොතකමින් ස්වේච්ඡාවෙන් මේ වෑයමේ යෙදෙන ප්‍රධාන කොටස් කරුවෝ 137 කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධව ඇත. මෙම වෙබ් අඩවියේ නිර්මාතෘ සුපුන් ලහිරු ප්‍රකාශ් පවසන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව සර්ප දෂ්ටනවලින් ආරක්ෂා කරගැනීම සහ සර්ප සම්පත ආරක්ෂා කරගැනීම යන යහපත් චේතනාවන් පෙර දැරිකරගෙන සිදු කරගෙන යන මෙම කටයුත්ත සඳහා සියලු දෙනා සහභාගි වන්නේ ස්වේච්ඡාවෙන් බවය. කෙසේ වෙතත් සර්පයින්ගේ ජීවිත මෙන්ම අවට සිටින්නවුන්ගේ ජීවිත සුරක්ෂිත කරන මේ කටයුත්තේදී යම් නිහඬ සහායක් දීම බලා සිටින්නවුන්ගේ කාර්ය විය යුතුය.
•පසුබිම් තොරතුරු හා ඡායාරූප
අහුන්ගල්ල සමූහ - අනුර යසමිත්
බළපිටිය සමූහ - ප්‍රියශාන්ත ද සිල්වා