මනුසත් උයනක මල් පුබුදා අකාලයේ මිලින වූ රන්දිය | සිළුමිණ

මනුසත් උයනක මල් පුබුදා අකාලයේ මිලින වූ රන්දිය

මේ දුර්ග නියං සමයකි. මිනිස්සු වියළී ගොස්ය. එවන් නොකලක මනුසත් උයනේ මල් පූදින්නේ නැත. එහෙත් එවන් මල් යායක් පීදී තිබිණි. ඉන් පැතිරී ගිය මනුස්සකමේ සුවඳ ඔස්සේ අපි ඒ කෙම්බිම සොයා පැමිණියෙමු. දැන් අප ඉන්නේ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අසලය. මේ කෙම්බිම මනුසත් බව බාගයට මිය ගිය සමාජයකට මානුෂීය සහකම්පනය යනු කුමක් දැයි මෑත කාලයේ දී කියා දුන් බව විශ්වාස කරමි.

බිහිසුණු පිළිකා රෝගයකින් ජීවිතයෙන් සමුගත් දරුවෙක් ජීවිතයට මුහුණ දුන් අයුරු, ඒ දරුවා වෙනුවෙන් කොන්දේසි විරහිතව පාසල් සමාජයක් ඉදිරිපත් වූ අයුරු මේ පාසල අලුතින් ලියා තබා ඇත. විරල ලියුකේමියා රෝගයකින් පීඩිතව මහරගම අපේක්ෂා රෝහලේ වාට්ටු අංක 16 ප්‍රතිකාර ලබමින් සිට පසුගිය පෙබරවාරි 05 වැනිදා අපෙන් වෙන්ව ගිය 14 හැවිරිදි අමරතුංග ආරච්චිගේ තෙසත් රන්දිය පුතුගේ කතාව පටන් ගන්නේ එතැනිනි.

ඒ දරුවා වෙනුවෙන් මහරගම පිළිකා රෝහල් වාට්ටුව තවමත් හඬා වැටෙන්නේය. මුළු තර්ස්ටන් විද්‍යාලයම ඔහුගේ මතකයෙන් කඳුළු සලන්නේය. මරණය දකිමින් මරණය අත් විඳිමින් තමන්ට දැනෙන මහා ශාරීරික වේදනා දරාගෙන මේ දරුවා සිය අවසන් කෙටි ජීවිත කාලයට ධනාත්මකව මුහුණ දුන් අයුරු විදුහල පුරාම ඇසෙමින් ඇත. ඒ ජීවිතය අර්ථවත් කිරීමට විදුහල්පතිවරයා, ගුරුදෙගුරුන්, දරුවන්, පාසල් සංවර්ධන සමිතිය, පාසල් සගයින් එක මිටට ගොනුවූ ආකාරය පිළිබඳ කතන්දරය මෙසේ පෙළ ගැසෙන්නේය.

තමන් ජීවිතයෙන් සමුගන්නා බව දැනගෙනම රන්දිය පුතු විදුහලෙන් කළ අවසන් ඉල්ලීම වූයේ තමන් වෙනුවෙන් ගමේ පාසලේ ඉගෙනුම ලබන සිය සොයුරා තර්ස්ටන් විද්‍යාලයට ඇතුළත් කර දෙන ලෙසය. විදුහල්පතිවරයා ඒ දුෂ්කර කටයුත්ත ඉටු කළේය. රන්දිය ජීවතුන් අතර සිටියදීම පුංචි උත්සවයක් ද සංවිධානය කර ඔහු සමඟ ඔහුගේ සොයුරා පාසලට ඇතුළත් කළ මතකය ඇසෙන විට, රන්දිය එදා යළි ඉපදුණ බව සිතමි. ඒ පාසලේ හිටියේ ගුරු අම්මලා සහ ගුරු තාත්තලාය. ඒ මනුස්සකමේ කතාව රන්දියගේ මවගෙන් මා ඉදිරියේ දිග හැරුණේ මගේ නෙත් බොඳ කරවමිනි.

ඇය කීවේ පාසලේ ගුරු මවුවරු පියවරු සහෝදර මවුපියන් පාසලට අවුරුදු තුනකට පෙර පැමිණි සිය දරුවා වෙනුවෙන් කළ ඒ මහා කැපකිරීමය. රන්දියලා පදිංචිව උන්නේ පිළියන්දල කැස්බෑවේය. අම්මා දිලිනි උදානිය. පියා චරිත් ශානිකය. රන්දිය පුතු පවුලේ වැඩිමහලු දරුවාය.

“පුතා ඉපදෙන්නේ 2008.09.25. එයා ඉපදෙනකොට හරිම ලස්සනයි. ඇස් දෙක නිල් පාටයි. පොඩි දවස්වල ඉඳන් එයාට හරිම ආදරෙන් හිටියෙ හැමෝම. කාටවත් වදයක් නොවී පුළුවන් හැම දේම පුංචිම කාලේ ඉඳල එයාම කර ගත්තා. මම අසනීප වුණු වෙලාවලදි පවා ගෙදර කෑම උයලා අපිට කන්න දුන්නේ රන්දිය පුතා.

පුතා හරිම නිර්මාණශීලි දරුවෙක්. අත්කම් වැඩවලට හොඳ හැකියාවක් තිබුණා. නැටුම්වලට හරිම ආසයි. ඉගෙන ගන්න ඉතාම දක්ෂයි. පුංචි කාලේ ඉඳන් එයාට ලෙඩක් තිබුණේ නැහැ. මුලින්ම ඉස්කෝලෙට ගියේ අංකෙත කනිෂ්ඨ විද්‍යාලයට. ශිෂ්‍යත්වය සමත් වෙලා ලකුණු 178ක් අරන් තමයි තර්ස්ටන් විද්‍යාලයට ගියේ. ගුරුවරු ගොඩාක් එයාට ආදරය කළා.

රන්දිය පුතු අසනීප වන්නේ වර්ෂ 2022 පෙබරවාරි මාසයේ දී ය. නොනවත්වා වමනය, හතිය සහ බෙහෙත්වලට සුව නොවීම හේතුවෙන් විටෙන් විට වෛද්‍යවරු හමුවී, රෝහල් ගත වී සිදුවන පූර්ණ පරීක්ෂණවලින් අනතුරුව 2022 අප්‍රේල් මා‍ෙස් 17 වැනිදා රන්දිය බිහිසුණු පිළිකා රෝගයකින් පෙළෙන බව තහවුරු කරන්නේය.

“ මහරගමට ගිහින් කරපු බෝන් මැරෝ ටෙස්ට් එකෙන් තමයි දැනගත්තේ පුතාට AML කියන ලියුකේමියා ප්‍රභේදය හැදිලා කියලා. අනේ මම මුලින් හිතුවේ ටෙස්ට් එක වැරදිලා කියලා. ඒත් පස්සේ ඩොක්ටර්ස්ලා තහවුරු කළා මේ ලියුකේමියා රෝග තත්ත්වයට බෙහෙතක් තවම නෑ; එක බෙහෙත් කෝස් එකක් කරලා ආන්සර් කරනවා නම් ටික දවසක් ඉඳී කියන එක. ඒ වෙනකොට ශරීරයේ පිළිකා සෛල සියයට 21 පැතිරිලා.

බෙහෙත් කෝස් එක කරලා ගෙදර මාස දෙකයි හිටියෙ. ඒ බෙහෙත් ආන්සර් කළේ නෑ. දෙවැනි පාර බලනකොට සියයට 61ක් පැතිරිලා. බෙහෙත්වලට කිසිම ප්‍රතිචාරයක් නෑ කියලා වෛද්‍යවරු කිව්වා. එතැන ඉන්නෙ මහා මනුස්සකම් පිරුණු වෛද්‍යවරු ටිකක්. කාර්ය මණ්ඩලයක්.

පුතා දැනගෙන හිටියා එයාගේ රෝගී තත්ත්වය. ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ගෙන් ඔහු විස්තර සහ රිපෝට්ස් ගැන අහනවා. ඔවුන් ගිය ගමන් ඉන්ටර්නෙට් ගිහින් සියලුම තොරතුරු හොයනවා. පුතා කිව්වෙ “අම්මෙ... දුක් වෙන්න එපා. මේ හැම දෙයක්ම ජීවිත අත්දැකීම් කියලා.”

ජීවත් වෙන මොහොත ධනාත්මකව ගත් මේ පුතා ජීවත්වීමට නියමව තිබූ සුළු මොහොත වින්දනය කළේය. ඖෂධ විදි පිරි කැනියුලාවෙන් රිදුම් දුන් පුංචි අත්වලින් අත්කම් නිර්මාණ කරමින් වාට්ටුවම සැරසුවේය. සිය ගුරුවරුන්ට, වැඩිහිටියන්ට සමරු තිළිණ නිර්මාණය කළේය. පාසලේ ගුරුවරු විදුහල්පතිවරයා රන්දියව හැකි සෑම අවස්ථාවකම දැකීමට පැමිණ ගියහ. අනාගතය ගැන සුබවාදීව හිතමින් රන්දිය පිළිකා රෝහලේ සිට සිය අධ්‍යාපන අනාගතය සැලසුම් කළේය.

“අන්තිමට දවසකට රුපියල් ලක්ෂයකට වඩා බෙහෙත්වලට වියදම් වුණා. බෙහෙත් ලංකාවෙ තිබුණෙ නෑ. අපට වත්කමක් තිබ්බෙ නෑ බෙහෙත් ගෙන්ව ගන්න. ඒත් ආදි ශිෂ්‍ය සංගමය, විදුහල්පති තුමා, මවුපියවරු, ගුරුවරු වගේම සමහර අය දෙවිවරු වගේ මුදලින් හා ඖෂධවලින් පුතාට උදව් කළා.

එයා හරිම ආදරෙයි එයාගෙ පන්ති භාර ටීචර්ට. ටීචර් රන්දිය ළඟ දවසක් නැවතුණා. එයා හැමතිස්සේම ටීචර්ට කතා කරනවා. එක දවසක් විදුහල්පති තුමා පුතාව බලන්න එනකොට “රන්දියට මෙන්න මගෙන් තෑග්ගක් කියලා තමයි මල්ලිගෙ ඇඩ්මිෂන් එක ගෙනත් දුන්නේ. “මට යන්න බැරි එකේ මල්ලිට යන්න ලැබෙන එක සතුටුයි” කියලා පුතා ඇඬුවා. එයාම තමයි මල්ලිව ඉස්කෝලෙට ගිහින් බාර දුන්නේ. රන්දියගේ අම්මා මොහොතකට ඉකි ගසන්නීය.

“අන්තිම දවස... එදා පෙබරවාරි 05... උදේ ඉඳන් පුතාගේ උණ බහින්නෙ නෑ. ඩොක්ටර්ස්ලා කිව්වා අම්මෙ... දැන් ටිකක් හොඳ මදියි අම්මලා කැමති නම් පිරිත් කියලා පුතා කැමති අයට ඇවිත් බලන්න දෙමු” කියලා. අපි එහෙම කළා. එදා හවස හතහමාරට විතර අන්තිමට පුතා මට කතා කරලා “අම්මෙ...මගෙ පපුව රිදෙනවා. ඔයාට බැරිද මාව ටිකක් තුරුලු කරගන්න ඇහුවා. පුතා යන්න ගියේ මම තුරුලු කරන් ඉද්දි” අම්මා ඉකි ගසා හඬා වැටුණාය... මා දෙනෙතින් අනායාසයෙන් ගලා හැ‍ෙළන කඳුළු සඟවා ගන්නට වෑයම් නොකළෙමි.

මහරගම අපේක්ෂා රෝහල වාට්ටු අංක 16 රන්දිය ගැන පිරුණු මතක ඇති තැනකි. ඔහු සැරසූ බිත්ති සැරසිලිවලින් තවමත් වාට්ටුව විචිත්‍රවත්ය. රන්දියගේ වාට්ටුවේ නවක හෙදියක රන්දිය ගැන අපූරු කතාවක් කීවාය. “රන්දිය ගොඩාක් හොඳ ගති ගුණ තිබුණු පුතෙක්. අපි ගිය අලුතම නිසා දරුවන්ගෙන් ලේ ගන්න බයයි. රන්දිය පුතා මගෙ ළඟට ඇවිත් කියනවා “මිස්ලට පුරුදු වෙන්න ඕන නෙ. ඕන තැනකට ගහලා ලේ ගන්න” කියලා.

එයා අපි හැමෝටම මල් හදලා දුන්නා. ජනවාරි පළවෙනිදා හැම මිස් කෙනකුටම කොළේකින් හදපු ගවුමකට අමුණලා පෑන් තුනක් දුන්නා. සර්ටත් ලස්සන මල් බොකේ එකක් හදලා දුන්නා. පුතා නැතිවෙච්චි දවසේ අඬපු නැති කෙනෙක් නැති තරම්. වෝඩ් එකේ අනික් දරුවො දැන් අහනව මල් හදන අයියා කෝ කියලා. ඩොක්ටර් කියනවා “එයා පිටරකට ගියා බෙහෙත් ගන්න කියලා....”

රන්දියගේ පිළිකා රෝගයේ මරණීය ස්වරූපය පාසල දැනගන්නේ 2022 මාර්තුවේය. දරුවා 8 පන්තියෙන් 09 පන්තියට මාරු වූ පසුය. රන්දියගේ අට ශ්‍රේණියෙ ගුරුතුමිය සුගන්දි පියුමගේ ය. ඇය සිය පන්තියේ සිටි රන්දිය පුතු ගැන මතකය සිහි කළාය.

“එයා දරුවන් ගණනාවක් අතරෙ කැපී පෙනුණු දරුවෙක්. පුතා හැමදේටම දක්ෂයි. සෞන්දර්යාත්මක දේවල්, නර්තනය, නිර්මාණශීලී හැකියා පිරුණු ආදරණීය දරුවෙක්. මට එහෙම හැමදේටම දක්ෂ නිර්මාණශීලී දරුවෙක් හමුවෙලා නෑ. කොවිඩ් කාලෙදී තමයි මගෙ පන්තියට ආවේ. පුතාගේ අසනීප තත්ත්වය මුලින්ම දැන ගත්තේ මගෙ පන්තියෙ දී.

අපි පන්තියේ දරුවෝ එක්ක ආශීර්වාද බෝධි පූජාවක්, ඖෂධ පූජාවක් කළා. විදුහල්පතිතුමා පූර්ණ සහයෝගය දුන්නා. ඒ පූජාවට රන්දිය පුතත් ඒ වෙලාවෙ ඉස්පිරිතාලේ ඉඳන් ඔන්ලයින් සම්බන්ධ වුණා. මේ දරුවා ජීවිත අවදානම දැකලා වැටුණේ නෑ... අපට මෙහෙම තත්ත්වයක් ඇතුළෙ නිර්මාණයක් ගැන හිතන්නවත් බෑ. පුතා හරිම උත්සාහවන්තයි. හැමවෙලේම අනිත් අයව සතුටු කරලා ඒ සතුට තමන්ගේ කරගෙන ජීවිතය ගැන නිතරම ධනාත්මකව හිතපු දරුවෙක්. හැමෝම බලන් හිටියෙ ආශ්චර්යයකින් දරුවා හොඳ වෙලා එනකම්....”

රන්දිය පුතා ගැන තවමත් අපි ඉන්නේ හරිම කම්පනයකින්. මගෙ ගුරු ජීවිතයෙ දැකපු මහා සංවේදී සිද්ධිය කියන්නම්... නිල් පාට කොට කලිසම ඇඳලා පාසල් නිල ඇඳුමෙන් රන්දිය ගෙ දේහය කරගහගෙන ආවේ එයාගෙම පන්තියෙ යාළුවො. පොඩ්ඩක් ඒ දැකුම මවා ගන්න....” සුගන්ධි ගුරුතුමිය ආයාසයෙන් කතාව නිමා කළාය.

රන්දිය තර්ස්ටන් විද්‍යාලයේ 6වන ශ්‍රේණියට ඇතුළු වන්නේ 2019 වසරේදීය. විද්‍යාලයේ ඔහුගේ මුල්ම පන්තිය වන 6 ඩී භාර ගුරුතුමිය වින්ද්‍යා දිල්රුක්ෂි ජයසූරිය ය.

“ රන්දිය කිසිම සබකෝලයක් නැති කැපී පෙනෙන දරුවෙක්. ශිෂ්‍යත්වයෙන් ආපු දරුවකුට එක පාරටම අලුත් පාසල් පරිසරයකට අනුගත වෙන්න බෑ. ඒ අය මුළුගැන්වෙනවා. රන්දිය එහෙම නෑ. හොඳ නායකත්ව ලක්ෂණ තිබුණා. උඩරට නැටුම් කලාව ඇඟේම තිබුණා. වෙස් බඳින්න බොහොම ආසාවෙන් හිටියේ. හැමෝටම උදව් කරලා, පොඩි වයසට ගොඩාක් දේවල් උගන්වලා ලොකු මතකයක් ඉතිරි කරලා ගියා.“

ජීවිතයේ අවසාන වකවානුවේ රන්දියට ඔහුගේ අම්මා තරමටම ළං වෙන්නේ ඔහුගේ 9 පන්තියේ පන්ති භාර ගුරුතුමිය වූ නවෝද්‍යා පෙරේරා ගුරු මවය. මේ තරුණ ගුරු මව මේ දරුවාගෙන් ගුරු භූමිකාවේ මහා බරසාර මානුෂීය ගැඹුර ගැන අත්දැකීමක් ලද බව සිතමි.

“ඒ දවස්වල අපි ඔන්ලයින් කළේ. මම සෞඛ්‍ය පාඩම ඉවර වෙලා නෝට්ස් පී. ඩී.එෆ් එවන්න කියනවා. එක දරුවෙක් එදා දෙන නෝට් එක පැයක් යන්නත් කලින් එවනවා. මේ විශේෂ දරුවා මට හොඳට මතක හිටියා. ඒ තමයි රන්දිය.

ඒ පුතා ඉස්කොලෙ ආවේ නෑ දිගටම. එතකොට මගේ පන්තියේ හිටපු දරුවෙක් තමයි කිව්වේ රන්දියගේ කතාව.. “අපි එයා වෙනුවෙන් පුළුවන් දේවල් කරමු“ කියලා විදුහල්පතිතුමාට මම ගිහින් කිව්වා මේ ගැන. විදුහල්තිතුමා මට කිව්වෙ වෙන්න ඕන දේ කියන්න කියලා. හැමෝම දරුවා වෙනුවෙන් එකතු වුණා. ඔන්ලයින් ඔහුට උගන්වන්න වැඩපිළිවෙළක් හැදුවා.

“මම රන්දිය එක්ක හැම තිස්සේම කතා කළා. පුතා මට යාළුවෙක් වගේ ළං වුණා. පුතා මට කිව්වා එයාට තියන වේදනාව. එයා මගෙන් එක ඉල්ලීමක් කළා. ටීචර්ට පුළුවන්ද මං ළඟ දවසක් හොස්පිටල් එකේ ඉන්න කියලා. මම විදුහල්පතිතුමාගේ අවසරය ඇතිව අම්මලටත් කතා කරලා හොස්පිටල් ගියා. එදා තමයි මම රන්දියව දැක්කේ හොඳටම.

මම ඇහුවා පුතා මොනවද ලෙඩේ ගැන දන්නේ කියලා. රන්දිය කිව්වා ගොඩාක් දේවල් කියලා. එදා රන්දිය මාත් එක්ක එක අත්කම් සැරසිලි කළා. අම්මයි තාත්තයි කෑම ගෙනාවට පස්සේ මගෙන් ඇහුවා ටීචර්... මට කවන්න පුළුවන් ද කියලා. මම පුතාට කවන්න හදනකොට මට කියනවා “ටීචර් බඩගින්නෙ ඉන්නෙ. ඉස්සර වෙලා ටීචර් කාලා පස්සෙ මට කවන්න” කියලා. මම බත් කවන කොට මගෙන් අහලා පුතාම ෆොටෝ එකක් ගත්තා.

“පුතාට අනුරාධපුරේ යන්න ඕන කිව්වා. අපි පාසල් සංවර්ධන සමිතියෙන් ගමන් වියදම් දුන්නා. ඩිලානි මැඩම් ඉස්කෝලෙ සීලවිමල හාමුදුරුවොත් ගමනට එකතු වුණා. හාමුදුරුවො සියලු දේ සකස් කරලා තිබුණා. එදා ගමනෙදී පුතාට ගොඩක් අමාරු වුණා. එයා වෑන් එකේ දෙවැනි සීට් එකේ හිටියෙ. මම පිටිපස්සෙ. පුතා මට කියනවා ටීචර් පිටිපස්සෙ ඉන්න අමාරුයි. ඉස්සරහ එයාගෙ සීට් එකට එන්න කියලා.”එන ගමන් අනුරාධපුරයෙන් බුදු පිළිමයක් වඩම්මගෙන ඇවිත් පුතා ගමේ පන්සලට පූජා කළා.

සහකම්පනය ඉතාම ඉහළ දරුවෙක්. තරුණ වියට පත්වන දරුවෙක් හිතන විදිහට වඩා ඔහු වෙනස්. මේ පුතා සීට් එක දෙන්න හදපු එක. ටීචර් කාලා ඉන්න මට කවන්න කලින් කියපු එක...මගෙ පළවෙනි පත්වීම තුළ මෙහෙම දරුවෙක් හම්බ වෙයි කියලා මම හිතුවෙ නෑ. “

රන්දියගේ මල්ලි දැන් තර්ස්ටන් විද්‍යාලයේ ය. ඔහු සෙතුල දම්සරය. ඒ පුංචි දරුවා තර්ස්ටන් විද්‍යාලය තුළ මහත් වූ අභිරුචියෙන් අධ්‍යාපනය හදාරන්නේය.“ අයියා හින්දා තමයි මට මේ ඉස්කෝලෙට එන්න ලැබුණෙ. එයා කිව්වා මට හොඳට ඉගෙන ගන්න කියලා. අයියා කියපු දේ මම කරනවා” ඔහුට අයියාගේ මතකය වේදනාත්මකය.“එක වසරේ සිටම මිතුරන් වී ශිෂ්‍යත්වයෙන් සමත්ව තර්ස්ටන් විදුහලට එකටම ඇතුළත්ව රන්දිය සමඟ පාසලේ සිටි මිතුරා වූ ධම්ම කල්පන ද අනෙක් මිතුරා වූ කලන ඉඳුවර යහළුවන්ට අනුව රන්දිය තරම් නිහතමානී ගතිගුණ තිබූ වෙනත් යහළුවෙක් ඔවුන්ගේ වයස් තුළ ඔවුන්ට හමුවී නැත.

මේ අසිරිමත් ගුණ වගාව පාසල තුළ බිහි කළ නියමුවා තර්ස්ටන් විදුහල්පතිවරයා ප්‍රමුදිත වික්‍රමසිංහ ය.

“මේ දරුවා වෙනුවෙන් වෛද්‍යවරු ඉල්ලීම වුණේ දරුවාගේ සතුටයි. ඉතින් අපි කළේ පුළුවන් විදිහට ඒ මානුෂීය දේ.. අපි ගුරුවරු විදිහට දරුවො දිහා බලන කෝණය මීට වඩා වෙනස් විය යුතුමයි. ඒ දරුවා අවසන් ඉල්ලීම විදිහට මගෙන් කළේ මල්ලිව පාසලට ඇතුළත් කරලා දෙන්න කියන දේ. මම ඒ මානුෂික ඉල්ලීම අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කළා. මේ තත්ත්වය පැහැදිලි කළාම දරුවා ඇතුළත් කරගැනීම සම්බන්ධව සියලුම කටයුතු එදාම අධ්‍යාපන බලධාරීන් විසින් සකස් කළා.”

“රන්දිය පුතා තර්ස්ටන් කියන නම, තර්ස්ටන් ලාංඡනය තිබුණත් ඒ දේවලුත් එකතු කරගෙන ඉන්නවා. ඉස්කෝලෙට පුදුම ඇලීමක් ආදරයක් තිබුණා. ඒ ගෞරවය නිසාමයි ඔහු වෙනුවෙන් මල්ලිව ඉස්කෝලෙට ගන්න කියන යෝජනාව කරන්නේ. දරුවන් විෂයෙහි මානුෂීය වෙලා මුළු පාසල් පද්ධතියක්ම එකතු වුණොත් අපට මේ රට හරිම ලස්සන යහපත් තැනක් කරන්න පුළුවන් යැයි විදුහල්පතිවරයා කියන්නේය.

කුඩා රන්දිය පුතු හා තර්ස්ටන් විදුහල සමස්ත සමාජයටම පෙන්වා දෙන්නේ මිනිසත් බවින් වියැ‍ෙළන කලෙක හෙට දවසේ යහපත් ලෝකයක් උදෙසා දරුවන් වෙනුවෙන් සහකම්පනයක් සහිත එක් ප්‍රායෝගික මිනිසකුට බොහෝ දේ වෙනස් කළ හැකි බවය.


ඡායාරූප - ගයාන් පුෂ්පික

Comments