මහැදුරු සරච්චන්ද්‍රයන්ට ජාතික ගුවන් විදුලියෙන් හරසර | සිළුමිණ

මහැදුරු සරච්චන්ද්‍රයන්ට ජාතික ගුවන් විදුලියෙන් හරසර

සරච්චන්ද්‍රයන් බොහෝ නාට්‍ය සඳහා වස්තු විෂය කරගත්තේ ගැමි කතා, ජනප්‍රවාද හා ජාතක කතාය. නාට්‍ය නිර්මාණකරණයේදී හෙතෙම පෙර අපර දෙදිගම නාට්‍ය සම්ප්‍රදායන්ගේ ආභාසය ලබා ගත්තේය

 

හාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මැදිරිය නම් කිරීම හා ශ්‍රවණ කලාප සීමා අතික්‍රමණය කරමින් ජාතික ගුවන් විදුලියේ නිල වෙබ් අඩවිය www.slbc.lk සහ මොබයිල් යෙදවුම (Mobil App) ජනගත කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හා ආචාර්ය ලලිතා සරච්චන්ද්‍රගේ සහභාගීත්වයෙන් ගුවන් විදුලි සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී සිදු කෙරිණ. ‍මෙම මහඟු කර්තව්‍ය නිමිති කොටගෙන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් ජාතික ගුවන් විදුලියට දැක්වූ දායකත්වයත් සමස්ත සාහිත්‍ය කලා ක්ෂේත්‍රයට ඉටු කළ සේවයත් ඇගයීමේ අරමුණින් තබන සටහනකි මේ.

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී එනම්, 1914 ජුනි මාසයේ 03 වැනිදා ගාල්ල රජ්ගමදී වැදිතන්තිරිගේ යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා මෙලොව එළිය දුටුවේය. අධිරාජ්‍යවාදී යකඩ සපත්තුවට යටවී නොඉඳ ස්වකීය නිදහස දිනා ගැනීමේ අපේක්ෂාවන් හැම හදවතකම ගැහෙමින් තිබිණ. ජාතියක් ලෙස නිදහස් වීමේදී අපටම අනන්‍ය වූ කලා සංස්කෘතික භාවිතාවන් පිළිබඳ වටිනාකම් නිර්මාණය කර ගැනීමේ අභියෝගය ද ඒ අතර විය. එහෙත් ඒ කලා සංස්කෘතික විප්ලවයේ පීතෘවරයා තමන් වේවි යැයි හෙතෙම සිහිනයකුදු නොසිතුවේය. බාල සහෝදරියන් දෙදෙනකු සිටි පවුලේ එකම පිරිමි දරුවා වූයේ ඔහුය. ඔහුගේ පියා වෘත්තියෙන් තැපැල් ස්ථානාධිපතිවරයකු වූ අතර, මව පාසල් ගුරුවරියක විය. පියාගේ රැකියාවේ ස්වභාවය මත ඔහුට පාසල් ගණනාවකට ඇතුළත් වීමට සිදු විය. විද්‍යා විෂයන්ට අමතරව ඉංග්‍රීසි, ලතින් හා ග්‍රීක භාෂා ද හෙතෙම අධ්‍යයනය කළේය. ලන්ඩන් විශ්වවිද්‍යාල වරම් හිමිව තිබියදී 1933දී ඔහු කොළඹ යුනිවසිටි කොලීජියට බැඳී පාලි, සංස්කෘත සහ සිංහල භාෂා හැදෑරූ ඔහු උපාධිය සමත් වූයේ ප්‍රථම පන්ති සාමර්ථ්‍යයක් ද සහිතවය. මවුපියන්ගේ පෙරැත්ත කිරීම මත ලංකා සිවිල් සේවා විභාගයට පෙනී හෙතෙම ඉන් සමත් වුයේ දිවයිනේ පළමු වැන්නා බවට පත් වෙමිනි. ටික කාලයක් කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ගුරුවරයකු ලෙස කටයුතු කළ සරච්චන්ද්‍රයන් 1939දී ලේක්හවුස් ආයතනයට බැඳී ආයතන පරිපාලන තනතුරෙහි කටයුතු කළේය.

1939 ඉන්දියානු දර්ශනය හා සංගීතය හැදෑරීමට ශාන්ති නිකේතනය ‍බලා ගිය ඔහු නැවත ලංකාවට පැමිණියේ 1940 දීය. නැවතත් ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතුවල නිරත වූ හෙතෙම සිංහල ශබ්ද කෝෂයේ උප සංස්කාරකවරයකු ලෙස කටයුතු කළේය.1942 සිට 1944 දක්වා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර ශිෂ්‍යයකු ලෙස ඉන්දියානු දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හැදෑරූ ඔහු නැවත කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණ එහි පාලි කථිකාචාර්යවරයකු ලෙස 1947 සිට 1949 දක්වා සේවය කළේය. දර්ශන විෂය කෙරෙහි ළැදිව සිටි සරච්චන්ද්‍රයන් 1949දී බටහිර දර්ශනය පිළිබඳ පශ්චාද් උපාධියක් හැදෑරීමට ලන්ඩන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශය ලබා ගත්තේය.

ශාන්ති නිකේතනයේදී හෙතෙම මෙරටට ආවේණික කලා සංස්කෘතියක් උත්පාදනය කරනු පිරිස ගවේෂණශීලි විය. ඒ බව ස්ථීර කරන සටහනක් 'පින් ඇති සරසවි වරමක් දෙන්නේ' කෘතියෙහි පෙනේ. ලංකාවේ ජාතික භාෂා අතපසු කොට ඉංග්‍රීසි පමණක් ඉගෙනීමට, සිංහලයන් තුළ තිබෙන මූඪ ලබ්ධිය හෙළා දුටු හෙතෙම මීට හේතුව ජාතියේ අතීතය ගැන අඥානතයත් අනාගතය ගැන නොතැකීමත් බව පැවසීය. යටත් විජිතවාදී ආකල්පයක් දරන පාලක පක්ෂයේ ඇගයීම් පද්ධතියෙහි ඉංග්‍රීසිය ඉහළ තැනක් ගනී. කිසියම් වියවුලක් හටගත් විගසම ඊට හේතුව අධ්‍යාපනයේද, රජයේ ද මාධ්‍ය සිංහල වීම යැයි ඔවුහු කියති. දැන් හොර රහසේ ඉංග්‍රීසි යළිත් සිංහාසනාරූඪ කර ඇති බව පෙනේ” මින් ඔහු තුළ පැවති අධිරාජ්‍ය විරෝධී ආකල්පය මතුව පෙනේ. හෙතෙම ඉංග්‍රීසින් අනුව යමින් යොදා තිබූ සිය නම එදිරිවීර රංජිත සරච්චන්ද්‍ර ලෙස වෙනස් කර ගන්නේද මේ හෙයිනි. එහෙත් ඒ නම සිය සමකාලීනයන් අතින් එදිරිවීර සරච්චන්ද්‍ර ලෙස ව්‍යවහාරයට පැමිණියේය.

ඔහු එකල මෙරට පැවති ගැමි නාට්‍ය, අභිචාර විධි, තොවිල් පවිල්, කංකාරි, ගම්මඩු, පුනාමඩු, දෙවොල්මඩු ආදිය නරඹමින් ඒ කෙරෙහි බැඳෙමින් ඇලෙමින් ඒවා අධ්‍යයනය කළේය. හෙතෙම ඒ තුළ මෙරට කලාවෙහි මූල බීජ සාර සංග්‍රාහ වී ඇති ආකාරය දුටුවේය. 1968දී මුද්‍රණ ද්වාරයෙන් පිට වූ ‘සිංහල ගැමි නාටකය (Sinhalese Folk Play)’, ‘නාට්‍ය ගවේෂණ’ හා ‘වෙස් මුහුණු ද සැබෑ මුහුණු ද’ නම් මහඟු කෘති ත්‍රිත්වය මේ පර්යේෂණවල සාර සංග්‍රහයන් විය. ඔහු එක් ශෛලියකට නොඇලී විවිධ සම්ප්‍රදායන් අධ්‍යයනය කරමින් නව මානයන් දේශීය සම්ප්‍රදායට එක් කළ නිර්මාණවේදියකු, පර්යේෂකයකු සහ ශාස්ත්‍රීය දැනුම් ගවේෂකයකු විය.

වරක් මහාචාර්ය කේ.එන්.ඕ ධර්මදාසයන් සඳහන් කර තිබුණේ 1950 දශකය වන විට සරච්චන්ද්‍රයන් සිංහල ගැමි නාට්‍ය සම්ප්‍රදාය ගැන ඉතා විචක්ෂණ අධ්‍යයනයක් කර තිබුණා පමණක් නොව එය භාරතයේත් ඈත පෙරදිග චීනයේ හා ජපානයේත් පැතිරී ඇති මහා සම්ප්‍රදායක අවශිෂ්ටයන් බවත් පසක් කොට තිබුණු බවයි. තමා දන්නා තරමින් එබඳු පුළුල් ශාස්ත්‍රීය අධ්‍යයනයක් සමස්ත දකුණු ආසියාවේම පළමු වරට සිදු කළේ සරච්චන්ද්‍ර බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබිණ.

මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි ආගමනය පිළිබඳ සොයා බැලීමේදී ශ්‍රී ලාංකේය ගුවන් විදුලි නාට්‍ය කලාවට ආධුනික යෞවනයන් සම්බන්ධ කර ගැනීමේ ගෞරවය එතුමන්ට හිමි වේ. ඊට හොඳම නිදර්ශනය වන්නේ 1950 දී ආරම්භ කරන ලද ‘යෞවන සමාජය’ නම් වැඩ සටහනයි. හේ ‘පින් ඇති සරසවි වරමක් දෙන්නේ’ කෘතියෙහි මෙලෙස සටහන් කරයි. “එංගලන්තයේදී ඇති කරගත් පුරුද්ද අනුව, මම කොළඹ රේඩියෝවට කන් දෙන්ට පටන් ගතිමි. එංගලන්තයෙහිදී බී.බී.සී. ආයතනයෙන් විකාශනය කළ රේඩියෝ නාට්‍යවලට කන්දී, ඉන් මහත් ආස්වාදයක් ලද්දෙමි. ඒවා හා සසඳන කළ සිංහල රේඩියෝ නාට්‍ය නම් පරිහාසයටත් අවමානයටත් ලක් විය යුතු තත්ත්වයක තිබුණු බව මට පෙනුණි. මෙය දරාගත නොහැකිව මම සිංහල රේඩියෝ නාට්‍ය‍ය විවේචනයට භාජනය කරමින් 'සිලෝන් ඔබ්සර්වර්' නම් පුවත්පතට ලිපි පෙළක් යැවීමි. නොබෝ දවසකින් මට ගුවන් විදුලි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් ලියුමක් ලැබිණි. එහි ‘යෞවන සමාජය’ නම් අලුත් වැඩසටහනක් ආරම්භ කරන මෙන් මට ආරාධනා කොට තිබුණේය... ‘යෞවන සමාජය’ නම් වැඩසටහන මඟින් මට තරුණ කලාකරුවන් හා කලාකාරියන් කීප දෙනකු සොයාගත හැකි විය. ඔවුන් පසු කලෙක රේඩියෝ ගායකයෝ ගායිකාවෝ, එසේ නැත හොත්, රේඩියෝ රචකයෝ වූහ. සමහරු රේඩියෝ නළුවෝ - නිළියෝ වූහ. රේඩියෝ නාට්‍ය රචකයකු හා නිෂ්පාදකයකු වශයෙන් ප්‍රසිද්ධියට පත් වූ ප්‍රේමසිංහ වැලිකල මහතා මොවුන්ගෙන් කෙනෙකි.”

මෙයින් ගුවන් විදුලි නාට්‍යයේ නව ප්‍රබෝධයක් ඇති වූ අතර, සොබාවික දෙබස්, නාට්‍යයට හඳුන්වා දෙනු ලැබුවේ එදිරිවීර සරච්චන්ද්‍රයන් විසිනි. මින් පෙර නාට්‍යවල තිබී ඇත්තේ මිනර්වා නාට්‍යවල (පැරණි චිත්‍රපටවලට ද මෙය බලපෑවේය) මෙන් දෙබස් උච්චාරණයකි. ලංකා ගුවන් විදුලියේ ප්‍රථම මාලා නාට්‍ය වන ‘වලහා’ නාට්‍ය තුළ හෝ එවැන්නක් දක්නට නොලැබිණි. කා අතරත් මහත් සේ ජනාදරයට පත් වූ ගුවන් විදුලි නාට්‍යයට පැවති නොපෙනෙන සෙවණැල්ල මහැදුරු සරච්චන්ද්‍රයන් බව ඉන් පැහැදිලිය.

සිළුමිණ මේ සම්බන්ධයෙන් ආචාර්ය ලලිතා සරච්චන්ද්‍රයන්ගෙන් කළ විමසීමේදී පවසා සිටියේ එතුමන් වෙනුවෙන් මැදිරියක් නම් කිරීමට කටයුතු කිරීම,එතුමන් ගුවන් විදුලියට කළ සේවය අගයමින් කළ කෘතගුණ දැක්වීමක් බවයි.

 

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

සුදත් මලවීර

Comments