
මෙහිදී බෙහෙත් පාවිච්චි කිරීමක් නැහැ. මෙහි සඳහන් පහසු පියවර අනුගමනය කළොත් එවැනි රෝග සඳහා බෙහෙත් ගන්න අයට බෙහෙත් නවත්වා ගන්නත් බෙහෙත් නොගන්න අයට දිගටම බෙහෙත් නොගෙන ඉන්නත් පුළුවන්
ස්ථූලතාව සහ දියවැඩියාව තියෙන අයට වගේම සිරුරේ බර සාමාන්‍ය මට්ටමේ තිබෙන කෙනකුටත් පහසුවෙන් නීරෝගි දිවිපෙවෙතක් ගත කරන්න මේ ක්‍රමයෙන් හැකියාව ලැබේ
අපේ ක්‍රමය ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතුවක් වුණේ අපට අතීතයේ සිට හුරු පුරුදු පොල් සම්බෝලයට සහ මීකිරිවලට මේ පිඟානේ ලැබී ඇති වැදගත් තැනයි. මේ ආහාර දෙකෙන් නිර්මාංශ අයෙකුටත් මේදය සහ ප්‍රෝටීන ලබා ගන්න පුළුවන් පහසු සහ ලාභ දායක ක්‍රමයක්. අනිත් වැදගත් ආහාරය නම් බිත්තර. එය පෝෂණ ගුණයෙන් ඉහළයි. මස් සහ මාළු නැතිව වුණත් කෙනෙකුට බිත්තර, පොල් සම්බෝල සහ මීකිරිවලින් සාපේක්ෂව අඩු වියදම්, සෞඛ්‍ය සම්පන්න ආහාර පිඟානක් සකසා ගන්න පුළුවන්
ක ස්ථූලතා දිනය සැමරුණේ ඉකුත් මාර්තු 4 වැනිදාය. එහිදී සෞඛ්‍ය අංශ විසින් අනාවරණය කරන ලද්දේ මෙරට පුද්ගලයන් අතර ස්ථූලතාව තීරණාත්මක ලෙස ඉහළ යමින් පවතින බවයි. පිරිමින්ගේ මෙම අගය සියයට 34ක් වන අතර කාන්තාවන්ගේ ස්ථූලතාව සියයට 43 දක්වා ඉහළ නැඟ තිබේ. කොළඹ තදාසන්න ප්‍රදේශවල දියවැඩියාව සහ පූර්ව දියවැඩියාව තත්ත්වය සියයට 60කට ආසන්න මට්ට්මක පවතින බව වසර කිහිපයකට පෙර කළ සමීකෂණයකින් හෙළි වී තිබූ අතර, මේ වනවිට එම සංඛ්‍යාව වැඩි වුවහොත් මිස අඩු විය නොහැකිය. දියවැඩියාව, හෘදයාබාධ සහ පිළිකාව වැනි බෝ නොවන රෝග මේ වන විට විශාල සමාජ, ආර්ථික ගැටලුවක්ව පවතින අතර, ස්ථූලතාව ඒ සියලු තත්ත්වයන්ට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැකිය.
මෙරට සිදුවන මරණ පහකින් හතරක්ම බෝ නොවන රෝග නිසා සිදු වේ. මින් බහුතරය වයස හැත්තෑවට වඩා අඩු මරණ ය. එම රෝගවලින් පෙළෙන පුද්ගලයන්ගෙන් ඇතැමකු කාලයක් විඳවා මිය යෑමේ අවදානමක් තිබෙන අතර, තවත් අයකු හදිසියේම මිය යෑමට පුළුවන. එවැනි අයකුගේ රෝගී තත්ත්වය තීරණය වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයේදීය. මෙය අප රටට පමණක් නොව මුළු ලොවම මුහුණ දී සිටින තත්ත්වයකි.
අද සමාජයේ බොහෝ පිරිස් විශේෂයෙන්ම තරුණ වියේ පසුවන්නන් මෙන්ම මැදි වියට එළැඹෙන්නන් ද මෙම තත්ත්වයන් ගැන වැඩි වැඩියෙන් උනන්දු වන්නේ මෙම රෝගී තත්ත්වයන් නිසා සිදු විය හැකි මරණ බියටත් වඩා ඇති වන සහ ඇති විය හැකි වෙනස්කම් තම රූප ස්වාභාවට ද බලපෑම් ඇති කරන නිසාය. විශේෂයෙන් ස්ථූලභාවය සහ උදරයේ ඇතිවෙන අසාමාන්‍ය නෙරා ඒම ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා බව දැනෙන්නේ සමාජ මාධ්‍ය හරහා කෙරෙන කතාබහ ගැන අවධානය යොමු කරද්දීය.
එවන් රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින අයට කෙරෙන ප්‍රතිකාර සහ උපදේශන ලබා දෙන උපදේශකයෝ ද එමටය. ඒ අතරින් මුල් තැනක් ගන්නා උපදේශන සේවයක් ලෙස 'වන්නකු මෙතඩ්' හැඳින්විය හැකිය. ඒ ගැන අන්තර්ජාලයේ සිදු වන කතාබහ මෙන්ම එයට ලැබී ඇති ලක්ෂ සංඛ්‍යාත ප්‍රතිචාර නිසා අප 'වන්නකු මෙතඩ්' නිර්මාතෘ වෛද්‍ය ජානක වන්නකු සොයා ගියේ ඒ පිළිබඳ වැඩි විස්තර සොයන අදහසිනි.
රත්නපුර මහා රෝහලේ වෛද්‍ය නිලධාරියකු ලෙස සේවය කරන වෛද්‍ය ජානක වන්නකු කලක් රත්නපුර දිස්ත්‍රික්කයේ බෝ නොවන රෝග පිළිබඳ වෛද්‍යවරයා ලෙස ද කටයුතු කර ඇති අතර, වෛද්‍ය ක්ෂේත්රයේ වසර 20කට වැඩි අත්දැකීම් ඇති පළපුරුදු වෛද්‍යවරයෙකි. 'වන්නකු මෙතඩ්' යනු කුමක් දැයි අපි ඔහුගෙන් මුලින්ම විමසුවෙමි.
"ඇතැම් බෝවන රෝග මාරාන්තිකයි. ඒ වගේමයි දියවැඩියාව, හෘදයාබාධ සහ පිළිකාව වැනි බෝ නොවන රෝගී තත්ත්වයන් ගණන් නොගෙන සිටීමෙන් ඇතිවෙන මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යනවා වගේම ශරීර අංග ඉවත් කිරීම වැනි තත්ත්වයන්ට මුහුණ දෙන ප්‍රමාණය දිනෙන් දින ඉහළ යනවා. මම රත්නපුර දිස්ත්‍රික්කයේ බෝ නොවන රෝග පිළිබඳ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ අවදියේදී එම තත්ත්වය හොඳින් අත්දුටුවා. සෞඛ්‍ය පුරුදු හා ව්‍යායාමවල යෙදෙමින් සිටියදීත් මගේ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ඇදහිය නොහැකි ලෙස ඉහළ ගියා. එහෙම වුණේ ඇයි කියලා හොයාගෙන යනකොට තමා මේ දැනුම ලබා ගන්නට පුළුවන් වුණේ. "
වෛද්‍ය ජානක වන්නකු ඒ පිළිබඳ වැඩිදුරටත් අපට පැහැදිලි කිරීමට පෙර අන්තර්ජාලයේ පළ වී තිබෙන වන්නකු මෙතඩ් පිළිබඳ සටහනක් අපේ අවධානයට යොමු කළේය. එහි සඳහන් කරුණු 10 ස්ථූලතාව සහ දියවැඩියාව වැනි බෝ නොවන රෝගී තත්ත්වයන්ට ප්‍රතිකර්මයක් වෙන්නේ කෙසේද යන්න පිළිබඳ අප ඔහුගෙන් විමසුවෙමු.
"මෙතැනදී අප උත්සාහ කරන්නේ ස්ථූලතාව සහ දියවැඩියාව තියෙන අයට පමණක් නොවෙයි, සිරුරේ බර සාමාන්‍ය මට්ට්මේ තිබෙන කෙනකුටත් පහසුවෙන් නීරෝගි දිවි පෙවෙතක් ගත කරන්න පුළුවන් සරල ජීවන රටාවක් හඳුන්වා දීමටයි. මෙහිදී බෙහෙත් පාවිච්චි කිරීමක් නැහැ. මෙහි සඳහන් පහසු පියවර අනුගමනය කළොත් එවැනි රෝග සඳහා බෙහෙත් ගන්න අයට බෙහෙත් නවත්වා ගන්නත් බෙහෙත් නොගන්න අයට දිගටම බෙහෙත් නොගෙන ඉන්නත් පුළුවන්."
ඊළඟට අප වෛද්‍ය ජානක වන්නකු ගෙන් විමසුවේ ඉහත රෝගී තත්ත්වයන් කල් තියා හඳුනා ගැනීමේ හැකියාවක් තිබෙනවාද යන්න පිළිබඳවයි.
"ඔව්. ඔබට රෝගී තත්ත්වයකට ගොදුරු වෙන්න තියෙනවාද නැද්ද කියන ඒක හඳුනා ගන්න පුළුවන් නිවැරැදිම සහ පහසුම ක්‍රමය නම් ඔබේ උදරය කොයි තරම් ඉදිරියට නෙරා ඇවිත්ද කියන කරුණයි. එය බලා ගත හැකි ලේසිම ආකාරය නම් ඔබේ ඉනේ මහතම තැන වට ප්‍රමාණය මැන ගැනීමයි. ඒ වට ප්‍රමාණය, ඔබේ උසට වඩා භාගයකට වඩා අඩුවෙන් තිබීම අවශ්‍යයි. අපේ රටේ ජීවත්වන සියලුම වැඩිහිටියන් මේ කාණ්ඩයට අයත් වනවා.
වන්නකු මෙතඩ් අනුගමනය කිරීමෙන් සිද්ධ වෙන්නේ මෙටබෝලික් සින්ඩ්‍රෝමය (Metabolic Syndrome ) සහ ඒ වටා බැඳුණු රෝග වළක්වා ගන්නට හෝ සමනය කර ගන්නටත් උපකාරී වන කරුණු කිහිපයක් පියවරෙන් පියවරට ඉදිරිපත් කිරීමයි. මේ කරුණු නිසි අයුරින් පිළිපැද්දොත් දියවැඩියා තත්ත්වය සමනය කිරීමට වගේම ඉන් වැළකී සිටීම වගේම සිරුරේ අඩු කරගෙන ස්ථූලභාවයෙන් මිදෙන්නත් හැකියාව ලැබෙනවා. ඒ වගේම තවත් අතුරු රෝගාබාධ රැසකින්ම මිදෙන්නටත් ඔබට හැකියාව ලැබෙනවා.
දියවැඩියාව සහ ස්ථූලතාව ඇති වීමට මූලික වන්නේ ඉන්සියුලින් ප්රතිරෝධයයි. අපි පාලනකින් තොරව ගන්නා සීනි සහ කාබෝහයිඩ්රේට අඩංගු ආහාර මේකට මූලිකව බලපානවා. සීනි, පැණි රස, පාන් පිටි, හා වෙනත් පිටි වර්ග, කිරි, එළවළු තෙල්, සූරියකාන්ත තෙල්, ඉරිඟු තෙල්, මාගරින්, පැකට් කළ ආහාර, සකස් කළ ආහාර වගේ ආහාර අපේ සිරුරට ඉතාම අහිතකරයි. මේ ආහාර පරිභෝජනය හැකි තරම් අඩු කරන්න.
මේ ආහාර අපේ පිඟානට එකතු වුණේ අසූව දශකයෙන් පසුවයි. ඒ වගේම ආහාර වෙළෙඳපොල සම්පූර්ණයෙන්ම පාහේ දුවන්නේ මේ ආහාර වර්ග සමඟයි. ඔබ කවුරුන් වුවත් ඔබ වැඩියෙන්ම කැමති ආහාරය වන්නට වඩාත් ඉඩ ඇත්තේ සීනි සහ පාන් පිටි දෙක එකතු කර අනා සාදන ලද ආහාරයකටයි. යම් ලෙසකින් අපට සීනි සහ පාන් පිටි පරිභෝජනය සම්පූර්ණයෙන්ම නවත්වන්නට පුළුවන්කමක් තිබෙනවා නම් අපේ රටේ රෝහල්වලින් භාගයක්ම වසා දමන්නට පුළුවන් වීමට ඉඩ තිබෙනවා.
ආහාරපාන ගැනීමේදී සැලකිලිමත් විය යුතු විශේෂ කරුණු ගැන ද අප ඔහුගෙන් විමසුවෙමු.
"පිඟානෙන් කාලක් පමණක් පිෂ්ඨය අඩංගු ආහාර තෝරා ගන්න. ආහාර තෝරා ගැනීමේදී ග්ලයිසිමෙක් ඉන්ඩෙක්ස් අඩු ආහාර තෝරා ගත යුතුයි. කවුපි, මුං ඇට, තම්බපු සහල්, කොස්, පොලොස්, දෙල් වගේම දේශීය අල වර්ග, පිෂ්ටය සහිත එළවළු කැරට්, බීට්, වට්ටක්කා, අළුකෙසෙල් ඒවායින් සමහරක්. පිෂ්ටය රහිත එළවළු ආහාරයට ගැනීමේදී කිරි වැඩියෙන් එකතු කර ගැනීමෙන් අඩුව පිරිමහගන්න පුළුවන්. ඇඹරැල්ලා, වෙරළු, නාරන්, නමිනන්, පේර, අලිගැටපේර, ලොවි, උගුරැස්ස, දිවුල් සහ බෙලි වැනි පලතුරු ඉතාමත්ම වැදගත්. අඹ, අන්නාසි, ගස්ලබු, කෙසෙල්, කොමඩු වැනි පැණි රස පලතුරු වර්ග රුධිරයේ සීනි මට්ටම ඉහළ නංවන නිසා දියවැඩියා රෝගීන්ට කිසිසේත් ගුණ නැහැ.
එසේ නම් සිරුරට පිෂ්ටය එනම්, බත් අවශ්‍යම නැත්දැයි යනුවෙන් අප ඇසූ පැනයට වෛද්‍ය වන්නකු දුන්නේ මෙවැනි පිළිතුරකි.
"අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සහ මේද අම්ල තිබෙනවා. මේවා නැතිනම් සිරුරේ ඌනතා රෝග හට ගන්නවා. නමුත් අත්‍යවශ්‍ය කාබෝහයිඩ්රේට කියලා ජාතියක් නෑ. බත් ඇටයක්වත් නොකෑවට අවශ්‍ය සියලුම ග්ලූකෝස් නිපදවන්න අක්මාවට පුළුවන්. බර අඩු වෙන්නත් රෝග සමනය වන්නත් හේතු වන ආහාර වර්ග නම් පොල් සම්බෝල, බිත්තර, මීකිරි, මාළු, මස්, බටර්, පොල්තෙල් සහ අලිගැට පේරයි. මේවායින් වර්ග ඒකක් හෝ දෙකක් පිඟානෙන් තුන් කාලක්වත් පිරෙන්න බෙදා ගන්න.
අපේ ක්‍රමය ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතුවක් වුණේ අපට අතීතයේ සිට හුරු පුරුදු පොල් සම්බෝලයට සහ මීකිරිවලට මේ පිඟානේ ලැබී ඇති වැදගත් තැනයි. මේ ආහාර දෙකෙන් නිර්මාංශ අයෙකුටත් මේදය සහ ප්‍රෝටීන ලබා ගන්න පුළුවන් පහසු සහ ලාභ දායක ක්‍රමයක්. අනිත් වැදගත් ආහාරය නම් බිත්තරයි. අද වන විට මිල ඉහළ ගිහින් තිබුණත් මාළු පාන් එකක්, බනිස් ගෙඩියකට හෝ කිරි තේ එකකට වඩා බිත්තරයක් ලාභදායකයි. ඒ වගේම පෝෂණ ගුණයෙන් ඉහළයි. මස් සහ මාළු නැතිව වුණත් කෙනෙකුට බිත්තර, පොල් සම්බෝල සහ මීකිරිවලින් සාපේක්ෂව අඩු වියදම්, සෞඛ්‍ය සම්පන්න ආහාර පිඟානක් සකසා ගන්න පුළුවන්. "
වෛද්‍ය ජානක වන්නකු දියවැඩියා රෝගීන්ට පැණි නැතුව කිරි කන්නේ කොහොමද කියා අපූරු පැහැදිලි කිරීමක් ද කළේය.
"අපේ දමිල ජනතාව කරනවා වාගේ කිරිවලට ලුණු, ගම්මිරිස් පොඩ්ඩක් ඉහලා ලූනු ගෙඩියක් කපලා දැම්මාම හරිම රසයි වගේම රුධිරයේ සීනි මට්ට්ම ඉහළ යන්නෙත් නෑ.
මිනිස් සිරුර හැදිලා තියෙන්නේ මස් මාංශ ඇති තරම් අනුභව කිරීමටයි. ඒ වෙනුවට ධාන්‍ය වර්ග ආදේශ වුණු තැන ඉඳලා තමයි මිනිසා ලෙඩ වන්නට පටන් ගත්තේ. අදටත් අපට ගන්න පුළුවන් පෝෂ්‍යදායීම ආහාරය, රතු මස්. රතු මස් ආහාරයට ගන්නා උත්තර ධ්‍රැවයේ ජීවත්වන ඇස්කිමෝවරු සහ අප්‍රිකාවේ මසායි ගෝත්‍රිකයන් මීට හොඳ නිදසුනක්. ඔවුන්ගේ ආහාරය සියයට 70ක් පමණ සංතෘප්ත මේදයෙන් සමන්විත වුවත් අපට උගන්වන ආකාරයට ඔවුන් ස්ථූල වන්නේ හෝ හෘද රෝග හෝ පිළිකා රෝග වැලඳෙන්නේ නැහැ. පුරාණ ඊජිප්තු ජාතිකයන්ගේ ප්‍රධාන ආහාරය වූයේ හෘද රෝගවලට ගුණදායක ලෙස අපට උගන්වන ධාන්‍ය වර්ග සහ පලතුරුයි. නමුත් ඔවුන් අතර ස්ථුලතාව සහ හෘද රෝග බහුල බව මරණ පරීක්ෂණවලින් පැහැදිලි වනවා. අප අද අත් විඳින්නේ මේ කටුක සත්‍යය නොවේද?
"උදෑසන ආහාර වේල රජෙක් වගේ කන්න" මෙවැනි උපදෙසක් තිබුණත් වෛද්‍ය ජානක වන්නකු පවසන්නේ උදෑසන ආහාර වේල පමා කරන්න හෝ නොගෙනම ඉන්න කියලයි. එයින් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි අප ඔහුගෙන් ඇසුවෙමු.
'ඉන්සියුලින් ප්‍රතිරෝධය අඩු කර ගන්න නම් ආහාර ගන්න ප්‍රමාණයටත් වඩා වැදගත් වන්නේ ආහාර ගන්නා වෙලාවයි. අපි දවසෙන් වැඩි කාලයක්ම ආහාර බුදින්න පුරුදු වෙලා ඉන්නවා. ඒ කියන්නේ පැය දාහතරක් ආහාර ගන්නවා. ආහාර නොගෙන ඉන්නේ පැය දහයක් පමණයි. නමුත් අතීතයේදී, අපේ සීයලා ආච්චිලා උදේ කහට කෝප්පයක් බීලා කුඹුරට ගිහින් වැඩ කළා. උදේටයි දවල්ටයි දෙකටම ආහාර ගත්තේ ඉර මුදුන් වීගෙන එනකොටයි. ආපහු කුඹුරු වැඩ අහවර කරලා, ගෙදර ගිහින් බිං කලුවර වැටෙන්න කලින්, හවහට මොනව හරි කොටා බාලා, ඉක්මනින්ම නිදා ගත්තා. අපි යෝජනා කරන්නේ මීට සමානුපාතික වන ලෙස පැය අටක් හෝ දහයක් ඇතුලත ආහාර වේල් දෙකක් හෝ තුනක් පමණක් ගන්නා ලෙසටයි.
වර්තමානයේදී Intermittent fasting කියලා බටහිරින් අපේ රටේ ප්‍රවර්ධනය කළෙත් මේ සංකල්පයයි. සියලුම ආගම්වල උපවාසයට විශාල වටිනාකමක් දීලා තියෙනවා. මේක අහම්බයක් නොවේ. අපි උපවාසයෙන් ඉන්නා කාලය තුළ සිරුරේ රෝගකාරක අමතර මේදය දහනය වෙලා යනවා. ඒ වගේම රුධිරයේ සීනි මට්ටම පහළ බහිනවා. සිරුරේ ඉන්සියුලින් ප්‍රතිරෝධය සමනය වීමට පටන් ගන්නවා.."
අවුරුදු දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළතදී වන්නකු මෙතඩ් ජනප්‍රිය වීමට හේතු පිළිබඳ වෛද්‍ය වන්නකු දැක්වූයේ මෙවැනි අදහසකි.
"එකම හේතුව සරල වුණත් වන්නකු මෙතඩ් ඉතාම කාර්යක්ෂම ක්‍රමයක්. එහි සෑම පියවරක්ම සැලසුම් කර තිබෙන්නේ යම් විශේෂිත හෝර්මෝන පද්ධතියක් ඉලක්ක කරගනිමින්. එහි හැම පියවරක්ම අන්තර්ජාතික සායනික පරීක්ෂණ සහ සමීක්ෂණ මඟින් තහවුරු කරලා තියෙනවා. මේ පිළිබඳ වැඩි විස්තර ඔබට පහසුවෙන්ම අන්තර්ජාලයෙන් හොයා ගන්න පුළුවන්. අපේ අරමුණ මේ දැනුම අපේ රටේ මහජනතාව නීරෝගි වන්නට උපයෝගී කර ගනු ඇත යන්නයි.