ගොවි ගිණුම් අංක වැරැද්දූ නිලධාරින්ට දැඩි විනය පියවර | සිළුමිණ

ගොවි ගිණුම් අංක වැරැද්දූ නිලධාරින්ට දැඩි විනය පියවර

ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙරට වී වගා කරන ගොවි ජනතාවට නැවත අයකිරීමකින් තොරව ලබා දීමට පියවර ගත් මූල්‍ය ප්‍රතිපාදන, ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීම සඳහා අවශ්‍ය තොරතුරු නිවැරදිව ලබා නොදුන් ඇතැම් ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරින්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කරයි.
 
කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14)  මෙම මුදල් ප්‍රතිපාදන ගොවි ගිණුම්ගත කිරීම සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්විනි. ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් කෝටි 800ක මුදලක් ගොවි ජනතාවට සහන සැලසීම සඳහා ලබා දුන්න ද ඒවා නිසි කළට වේලාවට ගොවි ජනතාවට ලබා දීමට පියවර නොගැනීම සම්බන්ධව කරුණු විමසනු ලැබීය.
 
මෙම ප්‍රමාදය නිලධාරින් පිරිසක් හිතාමතා සිදු කරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව පෙනී යන  බව සඳහන් කළ ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට එවා තිබු ගිණුම්වලින් සියයට 38ක් ම වැරදි ගිණුම් අංක බව සනාථ වී ඇති බවත්, ඒවා නිවැරදි කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ 20 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් නැවත යෙද වූ බව ද සඳහන් කළේය.
 
එමෙන්ම එම  ගොවි ගිණුම්වලින් සියයට 08ක අංක තවමත් නිවැරදි කර ගැනීමට නොහැකි වී ඇතැයි ද ඒ සදහා උපරිම උත්සාහ දරන බවත් සඳහන් කළේය.
 
මේ අතර ඇතැම් ‌ ගොවි ජන බල ප්‍රදේශ බාරව කටයුතු කරන නිලධාරින් තවමත් ගොවි ගිණුම් අංක එවා නැති බවද අනාවරණය වී තිබේ.
 
කෙසේ වුවද ගොවි ජනතාවට සහන සළසන මෙම වැඩ පිළිවෙළ කඩාකප්පල් කිරීමට මෙම නිලධාරින් කටයුතු කර ඇති බව පෙනී යයි. එමනිසා ඔවුන් සම්බන්ධව දැඩි  විනයානුකූල පියවර ගන්නා බවත් ගොවි ජන කොමසාරිස් ජනරාල් එච්. එම්. එල්. ඒ. අබේරත්න මහතා පැවසීය.
 
මෙම ක්‍රියාවලිය පසුපස විපක්ෂයේ පක්ෂ දෙකකට සහාය දක්වන නිලධාරි පිරිසක් සිටින බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, රජයේ සේවකයින් දේශපාලනය කරන්නේ නම් රාජ්‍ය සේවයෙන් ඉවත් ව ගොස් දේශපාලනය කළ හැකි බවත් අමාත්‍ය මහින්ද අමරවීර සදහන්  මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය පළුදු කිරීමට කටයුතු කළ එම නිලධාරින් සම්බන්ධව දැඩි විනය පියවර ගතයුතු බව ද  සඳහන් කළේය.
 
මෙම මුල්‍ය ප්‍රතිපාදන අනුව වී වගා කරන ගොවීන්ට හෙක්ටෙයාර් එකකට රු. 10,000ක් හා හෙක්ටෙයාර් දෙකකට රු. 20,000ක් වශයෙන් ලබා දීමට කටයුතු යොදා තිබේ. මේ වනවිට රුපියල් බිලියන 6.5ක් බෙදා හැර ඇති අතර ගොවි ගිණුම් අංක වරදවා ලබා දීම නිසා රුපියල් මිලියන 1300ක් ආපසු ලැබී ඇත.  තවත් රුපියල් බිලියන 1.5ක් ගොවි ගිණුම්ගත කිරීමට ඉතිරිව  ඇති බවත් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.
 
 
 
 

Comments