නව ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත කඩිනමින් | සිළුමිණ

නව ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත කඩිනමින්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට රජය විසින් ගෙන ඒමට යෝජිත නව ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීම සදහා කඩිනමින් සකස් කරන ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
 
මේ වන විට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වර්තමානයට ගැළපෙන පරිදි යාවත් කාලීන විය යුතු බැවින් එම කරුණු හා දේශිය ජාත්‍යන්තර ප්‍රජාවගේ ඉල්ලීම් ද  සැලකිල්ලට ගනිමින් පුරවැසි අයිතීන් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන ආකාරයට ජාතික ආරක්ෂක පනත සකස් කිරීමට රජය පියවර ගෙන තිබේ.
 
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, නෙරින් පුල්ලේ, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක (නීති) ලේකම් පියුමන්ති පිරීස්, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංග කරවිට, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක නීති කෙටුම්පත් සම්පාදක ඩී.ඩී.කුලසේන යන මහත්ම මහත්මීන් ඇතුළු අධිකරන අමාත්‍යාංශය, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
 
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සදහා නව පනත් කෙටුම්පත සකස් කිරීම අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, නෙරින් පුල්ලේ, ජනාධිපති නීතිඥ, නලින්ද ඉන්ද්‍රතිස්ස යන මහත්වරුන්ගෙන් සම සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් විසින් සකස් කර ඇත.
 

Comments