උණවටුන සංචාරක හෝටලයක පොඩි බොසයි ලොකු බොසයි රුසියානුවන්ට දුන්න ගේම | සිළුමිණ

උණවටුන සංචාරක හෝටලයක පොඩි බොසයි ලොකු බොසයි රුසියානුවන්ට දුන්න ගේම

- සංචාරක හෝටලයේ සේප්පුවලින් රුපියල් ලක්ෂ හැටක ඩොලර් සොරකම් කරලා
- සැකකාර පිය පුතු සහ ගණකාධිකාරි අත්අඩංගුවට

ණවටුනේ ප්‍රකට සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිටි රුසියන් ජාතිකයන් තිදෙනෙකු සතු රුපියල් හැටලක්ෂයක් පමණ වටිනා විදේශීය මුදල් තොගයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් එම හෝටලයේ අයිතිකරු ඔහුගේ පුතා සහ එහි ගණකාධිකාරිවරයා ද අත්අඩංගුවට ගැනීමට උණවටුන සංචාරක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභූ ප්‍රසන්න ඇතුළු නිලධාරින් කණ්ඩායමකට හැකි වූයේ පසුගියදාය. 

පොලිස් පරීක්ෂණ අනුව මෙම සිද්ධිය අනාවරණය වන්නේ මෙසේය.

විවේකයක් ගත කිරීම සඳහා මෙරටට පැමිණි රුසියන් ජාතිකයෝ තිදෙනෙක් පසුගිය දෙසැම්බර් මස 27 වන දින උණවටුනේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක නවාතැන් ගත්හ. පිරිමින් දෙදෙනෙක් සහ එක් විදේශික කාන්තාවක් මෙම කණ්ඩායමට අයත් විය. උණවටුන, වැල්ලෙ දේවාලය පාරේ පදිංචි ජනක් හෙවත් ලොකු බොස් සහ රවිඳු හෙවත් පොඩි බොස් යන පියපුතු දෙපළ මෙම සංචාරක හෝටලයේ අයිතිකරුවන්ය.

දින පහක සංචාරයක් සඳහා උණවටුනට පැමිණි මෙම සංචාරකයින්ට හෝටලයේ අංක 6 , 7 සහ 14 යන කාමරවල නවාතැන් ගැනීමට ලැබුණි. සංචාරකයින්ගේ මුදල් ඇතුළු වෙනත් වටිනා භාණ්ඩ තැබීමට එම කාමරවල යකඩ සේප්පුද තුනක් විය. එම සේප්පුවල 'මාස්ටර් කී' හෙවත් ප්‍රධාන යතුරු එහි පාලකයන් ළඟ ඇත. එහෙත් කාමරයේ නවාතැන් ගන්නා සංචාරකයින්ට එම සේප්පු විවෘත කිරීමට රහස් අංක තුනක්ද එම විදේශිකයෝ තිදෙනා තෝරා ගත්හ.

එහෙත් මෙම සේප්පුවල රහස් අංක නැතත් හෝටලයේ අයිතිකරුවන් ළඟ ඇති 'මාස්ටර් කී' නමැති යතුරෙන්ද මෙම සේප්පු විවෘත කළ හැකිය. සේප්පුවේ රහස් අංකය අමතක වූ විටක අයිතිකරු ළඟ ඇති 'මාස්ටර් කී' උපයෝගී කරගෙන සේප්පුව විවෘත කරනු ලබයි. මේ අතර දින පහක් තිස්සේ මෙම සංචාරක හෝටලයේ නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයන් තිදෙනා ජනවාරි මස 1 වන දින ආපසු යෑමට සූදානම් වූහ. එහිදී අංක 6 කාමරයේ නතරව සිටි රුසියානු ජාතික කාන්තාව ගමන් ආරම්භ කිරීමට පෙර සේප්පුව විවෘත කොට එහි තැන්පත් කර තිබු මුදල් ගණන් කර බැලුවාය. එවිට තමාගේ මුදල්වලින් ඩොලර් දසදහසක් අඩු බව ඇයට අවබෝධ විය. ඒ සමඟම අනිත් දෙදෙනාටද මේ බව පවසා ඔවුන්ගේ සේප්පුද විවෘත කර බලන ලෙස ඇය ඉල්ලා සිටියාය. ඒ අනුව සෙසු විදේශිකයන් දෙදෙනාද තම සේප්පු විවෘත කර බැලූහ. එවිට අංක 7 කාමරයේ නවාතැන් ගෙන සිටි විදේශිකයා තම සේප්පුව විවෘත කර බැලූ විට තම මුදල්වලින් ඩොලර් දෙදහස් පන්සියයක් සහ රූබල් අනූපන්දහසක් කිසිවෙකු විසින් සොරකම් කර ඇති බව එම විදේශිකයා දැන ගත්තේය. එමෙන්ම අංක 14 කාමරයේ නවාතැන් ගෙන සිටි රුසියන් ජාතිකයා සතු ඩොලර් තුන්දහස් තුන්සියයක්, රූබල් ලක්ෂයක් සහ යූරෝ දෙසීයක් සොරකම් කර ඇති බවද හෙළි විය. තමන්ගේ කාමරවලට ඇතුළු වූ කිසිවෙකු විසින් ඒවායේ සේප්පු තුළ තිබූ විදේශීය මුදල් තොගය සොරකම් කර ඇති බව තේරුම් ගත් විදේශිකයින් තිදෙනා උණවටුන සංචාරක පොලිසිය වෙත මේ ගැන පැමිණිලි කළහ. මෙරට මුදල්වලින් රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා විදේශීය මුදල් සොරකම් කර ඇති බව එම පැමිණිලිවලින් හෙළි විය.

පැමිණිල්ල ලද වහාම දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උජිත් එන්. පී. ලියනගේ, ගාල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ සහ දකුණු පළාත් සංචාරක කලාපය භාර සහකාර පොලිස් අධිකාරී ටී. වෙත්තසිංහගේ උපදෙස් පරිදි හබරාදුව ⁣පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අ⁣ශෝක කරුණාරත්නගේ මෙහෙයවීම මත උණවටුන සංචාරක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභූ ප්‍රසන්න සැරයන්වරුන් වන නිශාන්ත (35553), සමරනායක (33603), පේමරත්න (18372), කුමාරවඩු (35195) කොස්තාපල්වරුන් වන ජයන්ත ( 59433), ලලිත් ( 46797), ශාන්ත ( 75120) සහ කාන්තා කොස්තාපල් දිල්රුක්ෂි (8099) යන කණ්ඩායම පරීක්ෂණ ආරම්භ කරන ලදී.

පොලිස් කණ්ඩායම සොරකම සිදුවු හෝටලයට ගොස් පරීක්ෂණ ආරම්භ කළ අවස්ථාවේ මෙය බොරු පැමිණිල්ලක් බව හෝටලයේ අයිතිකරුවෝ පැවසූහ. එහෙත් පොලිසිය දිගින් දිගටම පරීක්ෂණ පැවැත්වීය. එහිදී මෙම හෝටලයේ ආරක්ෂිත කැමරා පද්ධතියේ සීසීටීවී දත්ත මකා ඇති බව පොලිසියට පළමුවෙන්ම අනාවරණය විය. එමෙන්ම මෙම කැමරා පද්ධතිය සංචාරකයින් නවාතැන් ගන්නා කාමර දෙසට එල්ල නොකොට වෙන වෙන පැතිවලට එල්ල කර ඇති අයුරුද පොලිසියේ 'උකුසු ඇසට' පෙනුණි. හෝටලයේ අයිතිකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වන 'ලොකු බොස්'ගෙන් මෙම සේප්පු විවෘත කළ හැකි 'මාස්ටර් කී' යතුර ගැන විමසූ විට 'ලොකු බොස්' පොලිසියට කීවේ එම යතුර හෝටලයේ කළමනාකරු ළඟ ඇති බවය. එවිට හෝටලයේ කළමනාකරුගෙන් පොලිසිය 'මාස්ටර් කී' යතුර ගැන විමසූ විට එය 'ලොකු බොස්' ළඟ බව කීය. ඒ අනුව මෙහි විශාල රහසක් ඇති බව පොලිසියට අවබෝධ විය. මේ අතර 'මාස්ටර් කී' යතුර තමා ළඟ ඇති බව පොලිසියට පැවසීම නිසා කෝපයට පත් ලොකු බොස් කළමනාකරුට මරණ තර්ජන පවා එල්ල කර ඇති බවද හෙළි විය.

පසුව මෙම සේප්පු නිෂ්පාදනය කර ඇති සමාගමේ ප්‍රධාන කාර්මික ශිල්පියා ගෙන්වා පොලිසිය ඔහුගෙන් පැය හතරක ප්‍රකාශයක් ලබා ගන්නා ලදී. එහිදී එම කාර්මික ශිල්පියා පොලිසියට පවසා ඇත්තේ මීට වසර දෙකකට පෙර මෙම සේප්පු මිලදී ගත් අවස්ථාවේ එම සේප්පුවල 'මාස්ටර් කී' යතුරු දෙකක් හෝටලයේ අයිතිකරුවන්ට ලබා දුන් බවය. ඒ අනුව 'මාස්ටර් කී' යතුරු හෝටලයේ අයිතිකරු වන 'ලොකු බොස්' සහ 'පොඩි බොස්' ළඟ ඇති බවට තොරතුරු අනාවරණය විය.

මේ අන්දමට පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටින විට සිද්ධියට සම්බන්ධ හෝටලයේ කළමනාකරු පලා ගොස් තිබුණි. විදේශිකයන් නතරව සිටි කාමරවල රූම් බෝයි ලෙස සේවය කළ අයගෙන් ප්‍රශ්න කිරීමේදි හෝටලයේ අයිතිකරුවන් විසින් දුන් ඩොලර් 2900 ක් ගාල්ලේ විදේශ මුදල් මාරු කිරිමේ මධ්‍යස්ථානයකට ගොස් මාරු කර ගෙනවිත් දුන් බව පොලිසියට කීය. හෝටලයේ ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත මකා දැමීමට එහි ගණකාධිකාරිවරයා සම්බන්ධ බව පරීක්ෂණවලදී හෙළි විය.

එම නිසා මෙම සොරකම සම්බන්ධයෙන් හෝටලයේ අයිතිකරුවන් වන 'ලොකු බොස්' සහ ඔහුගේ පුතා වන 'පොඩි බොස්' නැමැත්තාද එහි ගණකාධිකාරිවරයාද අත්අඩංගුවට ගනු ලැබීය. සොරකම සම්බන්ධයෙන් සැඟවී සිටින එහි කළමනාකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

කලක සිටම මෙම හෝටලයට පැමිණෙන විදේශිකයන්ගෙන් මේ අන්දමට මුදල් සොරකම් කර ඇති බවද අනාවරණය වී ඇත. මෙම විදේශිකයන් තිදෙනා සේප්පුවල මුදල් තැන්පත් කොට කාමරවලින් පිටත ගිය පසු හෝටලයේ අයිතිකරුවන් ළඟ ඇති 'මාස්ටර් කී' යතුර පාවිච්චි කර සේප්පු විවෘත කොට මුදල් සොරකම් කර ඇතැයිද පොලිසිය සඳහන් කළේය.

එස්. දීයගහගේ 
දකුණු පළාත් සංචාරක

Comments