පැළ ඉනි වැටේ ආරවුල ජීවිත දෙකක් බිලි ගනී | සිළුමිණ

පැළ ඉනි වැටේ ආරවුල ජීවිත දෙකක් බිලි ගනී

- ගැටුමෙන් තුවාල ලැබූ හතරදෙනෙක් රෝහලේ
- පාලම්කුලම් රක්ෂිතයේ අනවසර වගා-හරක් මඩු

ත්‍රිකුණාමලය දිසාවට අයත් පුල්මුඩේ පොලිස් වසමේ ඛණිජ වැලි පොම්පාගාර පාරේ පාලම්කුලම ප්‍රදේශයේ දී රජයේ රක්ෂිත ඉඩමක අයිතිය වෙනුවෙන් ඉකුත් ජනවාරි 29 දා පාර්ශ්ව දෙකක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය විය. තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබූහ. පොලිසිය මේ ගැන විමර්ශන ආරම්භ කෙළේ ඉන් පසුවය.

පාලම්කුලම රජයේ රක්ෂිතය පිහිටා ඇත්තේ පුල්මුඩේ සිට කිලෝමීටර් 15ක් පමණ ඈත කැලෑවක් ඇතුළතය. මෙහි අනවසර වගා කටයුතු සිදුවන අතර ගව මඩුද අනවසරයෙන් පවත්වාගෙන යන අයුරු දක්නට ඇත. ගැටුම හටගත් දෙපාර්ශ්වයටම මෙම ඉඩම්වල අයිතියක් නැති නමුත් වගා කටයුතු සහ ගව මඩු පවත්වාගෙන යෑම කලක පටන් සිදු කරගෙන යයි. ආරවුල් ඇති කරගත් දෙපාර්ශ්වය මෙම ඉඩම්වල මායිම් පිළිබඳ ආරවුල මීට කලකට පෙර පොලිස් පොතේ පැමිණිල්ලක් ලෙස ද සටහන් වී තිබුණි. මෙය රජයේ ඉඩමක් නිසා ආරවුල විසඳීමට කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කිරීමෙන් පසු රජයේ රක්ෂිතයක් නිසා එම ප්‍රදේශයට යෑමට දෙපාර්ශ්වයටම මීට කලකට පෙර තහනම් කර තිබුණි. 

එසේ තිබුණත් මේ දෙපාර්ශ්වයම විවිධ ගැටුම් ඇති කරගෙන වගා කිරීම සහ ගව මඩු පවත්වාගෙන ගොස් තිබුණි. සිද්ධිය වූ දින එක් පාර්ශ්වයක අයෙකු ආරවුලට තුඩුදුන් ඉඩම මායිමේ ගව මඩුවක වැටක් ඉදිකරද්දී එය සැලවු අනෙක් පුද්ගලයා එම වැට කපා දමන්නේ ඒ මොහොතේමය. සිද්ධියෙන් මියගිය පුල්මුඩේ කොට්ඨාස අංක 01හි පදිංචි 42 හැවිරිදි පරිඩ් මොහොමඩ් අලාබ්දීන් හෙවත් සලීම් නමැත්තා සහ කොට්ඨාස අංක 01හි පදිංචි 39 හැවිරිදි සින්න මරික්කාර් බදුර් දෙදෙනා මුලින් මේ ගැටුමට පැටලී ඇති අතර පසුව දෙදෙනාගේ සහෝදරයන්ට මෙය සැලවී දෙපාර්ශ්වයේම අය ගැටුමට හවුල් වී ඇත්තේ තවත් විනාඩි කීපයක් ඇතුළතය. දෙපාර්ශ්වයම පිහි සහ මුගුරු රැගෙන ගැටුමට එක් වී ඇති අතර මුලින් ගැටුමට එක් වූ බදුර් සහ අලබ්දීන් පිහි පහරවල් කාගෙන වෙල් යායේ ඇද වැටෙද්දී දෙපැත්තේම සෙසු පිරිස් කපාකොටා ගෙන ඇත්තේ මෙය බලා සිටි පිරිස් විලාප නඟන අතරතුරදීය.

වෙල් යායේ ඇද වැටුණු බදුර් සහ අලාබ්දීන් මිය යද්දී සෙසු පිරිස ගැටුම අවසන් කළේ පිහි පහරවල් වැදී තුවාල ලැබීමෙන් පසුය. සිද්ධිය පුල්මුඩේ පොලිසියට සැල කැරිණි. වහා ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වී.පී.ඩබ්ලිව්.ආර්. ප්‍රියදර්ශන සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළේ ඉන් පසුවය.

ත්‍රිකුණාමල කොට්ඨාස භාර ‍ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රහ්මණගේට සහ ත්‍රිකුණාමල II සහකාර පොලිස් අධිකාරි චන්දන බස්නායකට ද මේ සිද්ධිය දැනුම් දීමෙන් පසුව අවශ්‍ය උපදෙස් ලබාදීම ද සිදුවිය. මියගිය බදුර්ගේ බාල සහෝදරයා වන තුවාල ලබා සිටි සින්න මරික්කාර් හසන් සහ ඝාතනය වූ අලබ්දීන්ගේ වැඩිමහල් සහෝදරයා වන 43 හැවිරිදි පරිඩ් මොහොමඩ් මුස්තාපා සහ බාල සහෝදරයන් වන 31 හැවිරිදි පරිඩ් මොහොමඩ් ලාපීර්, 36 හැවිරිදි පරිඩ් මොහොමඩ් හසන් පුල්මුඩේ රෝහලට ඇතුළත් කෙරිණි. අනතුරුව තුවාලකරුවන් සියලු දෙනා ත්‍රිකුණාමල මහ රෝහලට ඇතුළත් කෙරිණි. 

මෙම ඝාතනවලට සම්බන්ධ වූ පුද්ගලයන් කවුරුන්ද යන්න සෙවීම සඳහා පුල්මුඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වී.පී.ඩබ්ලිව්.ආර්. ප්‍රියදර්ශනගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දර්ශන කුමාර ඇතුළු පිරිස පරීක්ෂණ පවත්වද්දී අනාවරණය වූයේ තුවාල ලබා රෝහල්ගත වී සිටින සිවුදෙනා සහ තවත් දෙදෙනෙකු මීට හවුල් වී ඇති බවය. ත්‍රිකුණාමල රෝහලේ සිටි තුවාලකරුවන් සිවුදෙනා අත්අඩංගුවට ගැනීමට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වහා ක්‍රියා කළේය. මේ අනුව සැකකරුවන් හයදෙනෙකු ඝාතනවලට සහ කපාකොටා ගැනීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. කැපුම් තුවාල සහිතව වෙල් යායේ මැරී සිටි දෙදෙනා සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ සිදු කළ ත්‍රිකුණාමල අතිරේක මහේස්ත්‍රාත් දර්ශනි අන්නාතුරෙයි එම මළ සිරුරු ද පරීක්ෂා කළා ය. ගෙලේ සහ ශරිරයේ විවිධ ස්ථානවල කැපුම් තුවාල සහිතව මියගිය දෙදෙනාගේ ඝාතනවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ත්‍රිකුණාමල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසටත් මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියම කළාය.

දෙපාර්ශ්වයටම අයිතියක් නොමැති රජයේ රක්ෂිත ඉඩමක අයිතිය වෙනුවෙන් ජීවිත දෙකකින් වන්දි ගෙවීමට සිදු වූයේ කාගේ වරදින්ද? ඝාතනයට ලක් වූ බදූර් පුල්මුඩේ පදිංචිකරුවෙකි. ඔහු ඉහළ ආදායමක් ඇති යමක්කමක් ඇති තැනැත්තෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රහ්මණගේගේ උපදෙස් මත පුල්මුඩේ සහකාර පොලිස් අධිකාරි චන්දන බස්නායකගේ අධීක්ෂණයෙන් පුල්මුඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වී.පී.ඩබ්ලිව්.ආර්. ප්‍රියදර්ශනගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දර්ශන කුමාර ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

ඒ.ටී.එම්. ගුණානන්ද 
ත්‍රිකුණාමලය විශේෂ

Comments