පොලිසියට පැමිණිල්ලක් කර රෝහල්ගත වූ කොන්දොස්තර රෝහලේදී මිය ගිහින්
ගමන් සගයාට බෝතලයක් කඩා ඇන්න රියැදුරා ඇවරිවත්තේදී අල්ලයි
කන - බොන අතරේ ඇති වූ ආරවුලක්
‘සරත් බණ්ඩාර' සහ 'අනුර පවන් කුමාර' සමීප එසේම කල්‍යාණ මිත්‍රයෝය. ඔවුන් දෙදෙනාම මොනරාගල, දඹගල්ල ගමේ පදිංචිකරුවන් වීම එම බැඳීම වඩාත් දැඩි කර තිබුණි. මේ දෙදෙනා කටුනායක සිට මොනරාගල දක්වා ධාවනය කෙරෙන ශ්‍රී ලංගම බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තර ලෙස වසර ගණනාවක සිට කටයුතු කරමින් සිටියහ. 36 හැවිරිදි කොඩිකාර මුදියන්සේලාගේ 'සරත් බණ්ඩාර' මොනරාගල කටුනායක බසයේ රියැදුරුවරයා ලෙස සේවය කළ අතර ඔහු දෙදරු පියෙකි. 38 හැවිරිදි විජේසිංහ මුදියන්සේලාගේ අනුර පවන් කුමාර එම බස් රථයේ කොන්දොස්තර ලෙස සේවය කළ අතර ඔහු සිය විවාහ ජීවිතයේ දිගු කලකට පසුව පස් මස් වියැති සිඟිත්තෙකුගේ පියෙකු වී සිටියේය.
මොනරාගල සිට අලුයම පහට කටුනායක බලා පිටත්වන මෙම බස් රථය සවස 02.30 වන විට කටුනායකට ළඟා වේ. සියලු මගීන් බසයෙන් බැසීමෙන් පසුව රාත්‍රී නවාතැන් ගැනීම සඳහා කටුනායක 'වලානගොඩ සුමනාරාම විහාරථානය'ට මේ දෙදෙනා යන්නේ එම බසයද රැගෙනය.
ඉන් පසුව ඔවුන් දෙදෙනා බසය සෝදා පිරිසිදු කර තම රෙදිපිළි ද සෝදා දිය නෑමෙන් අනතුරුව රාත්‍රී ආහාරය පිළියෙල කර අනුභව කිරීම සිදු වේ. පසුව රාත්‍රී නින්දට වැටෙන්නේ පසු දින අලුයම මොනරාගල බලා යෑමේ අරමුණෙනි. එදින ද 'සුපුරුදු දින චර්යාව' අනුගමනය කළ මේ දෙදෙනා ආහාර පිළියෙල කරන අතර, ආහාර පිසෙන තෙක් මදුවිතෙන් සප්පායම් වීමට ද පටන්ගෙන තිබුණි.
ඉකුත් 23 වැනිදා රාත්‍රී 07.30 පමණ වන විට දෙදෙනා මත්පැනින් හොඳින් සන්තර්පණය වී සිටි අතර ඔවුන් අතර 'දේශපාලන සංවාදයක්' ද ආරම්භ වී තිබුණි. ක්‍රමයෙන් එය 'උත්සන්න' වීමත් සමඟ දෙදෙනා කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත්තේ එක්වරමය.
ආරවුල උත්සන්න වීමත් සමඟ ඔවුන් පානය කරමින් තිබූ මත්පැන් බෝතල් දෙකක් පොළොවේ ගසා එකිනෙකාට ඇන ගැනීමට තැත් කර ඇති අතර එහිදී රියැදුරු සරත් බණ්ඩාර විසින් ද බෝතල් පහරක් කොන්දොස්තර පවන් කුමාරගේ ගෙල ප්‍රදේශයට එල්ල කර ඇත්තේ එක් වරමය.
එයින් තුවාල ලැබූ කොන්දොස්තර පවන් කුමාර කටුනායක පොලිසිය වෙත පැමිණ සිදු වූ සියල්ල පවසා කටුනායක පොලිසියේ පැමිණිල්ලක් සිදු කිරීමෙන් අනතුරුව මීගමුව මහ රෝහල වෙත වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇතුළු වී තිබේ.
පසු දා, එනම් පසුගිය 24 වැනිදා පහන් වී හෝරා කීපයක් ගතවත්ම මීගමුව මහ රෝහලෙන් කටුනායක පොලිසියට ලැබුණේ අසුබ ආරංචියකි. ඒ ඊට ස්වල්ප මොහොතකට පෙර මොනරාගල බස් රථයේ කොන්දොස්තරවරයා ලෙස සේවය කළ අනුර පවන් කුමාර මිය ගිය බවයි. ඒ අනුව මේ පුවතට මාධ්‍ය මඟින්ද මහත් ප්‍රචාරයක් ලැබිණි.
තොරතුර ලද සැණින් ක්‍රියාත්මක වූ කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක මොහොමඩ් නිෂ්මි ඇතුළු නිලධාරීන් පිරිස බසයේ රියැදුරු සරත් බණ්ඩාර සොයා කටුනායක වලානගොඩ විහාරස්ථානය වෙත යෑමට පිටත් වූ අතර, එහිදී ඔවුන්ට ලද 'බුද්ධි තොරතුරක්' අනුව ඒ වන විටත් කටුනායක ප්‍රධාන බස් නැවතුම්පොළ වෙත පැමිණ සිටි සරත් බණ්ඩාර අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබුණි.
සරත් බණ්ඩාර එසේ කටුනායක ප්‍රධාන බස් නැවතුම්පොළ වෙත පැමිණ සිටියේ මිතුරා වන කොන්දොස්තර පවන් කුමාර බැලීමටද, නැතිනම් මේ පුවත දැනගත් සැණින් ප්‍රදේශයෙන් පලා යෑමට ද යන්න පිළිබඳව සෙවීමට කටුනායක පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. කටුනායක පොලිසිය මෙම සිද්ධිය පිළිබඳව කීප දෙනෙකුගෙන්ම සාක්ෂි සටහන් කර ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු කරමින් සිටියි.
මොනරාගල බසයේ රියැදුරු සරත් බණ්ඩාරගේ බිරිය සහ දරු දෙදෙනාද මොනරාගල බස් ඩිපෝවේ අධිකාරීවරයා ඇතුළු එම ඩිපෝවේ උසස් නිලධාරීන් පිරිසක් පසුගිය 25 වැනිදා කටුනායක පොලිසිය වෙත පැමිණ සිටියේය.
එහිදී ඩිපෝ අධිකාරීවරයා සඳහන් කළේ සෑම දිනකම මොනරාගල සිට කටුනායකටත්, කටුනායක සිට මොනරාගල දක්වාත් බස් රථ දෙකක් ධාවනය සඳහා යොදවා ඇති අතර, ඉන් එක් බස් රථයකින් රුපියල් ලක්ෂ එකහමාරක පමණ මුදලක් සිය ඩිපෝවට ආදායම් සේ ලැබෙන බවයි. මේ සිද්ධිය ගැන ඔහුද දැඩි ලෙස කම්පාවට පත්ව සිටියේය.
මොනරාගල බසයේ රියැදුරු සරත් බණ්ඩාර කටුනායක පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර, කොන්දොස්තර අනුර පවන් කුමාරගේ ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක්ද පැවැත්විණි.
මීගමුව පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ උපදෙස් පරිදි කටුනායක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් නිශ්ශංකගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජීව කුමාර සුදුසිංහ, උප පොලිස් පරීක්ෂකවරුන් වන මොහොමඩ් නිෂ්මි සහ සජිත්, සැරයන් 37371 සුනිල්, කොස්තාපල් 33249 අනුෂ්ක යන නිලධාරීන් විසින් විමර්ශන සිදු කරන ලැබිණි.